ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලැස්මට ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩල අනුමැතිය

Israeli tank manoeuvres near heavy machinery, with a view of destruction in North Gaza, in the background, as seen from the Israeli side of the border, July 17, 2025.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මීට පෙර පවසා තිබුණේ තමාට මුළු ගාසා තීරයම අත්පත් කර ගැනීමට අවශ්‍ය බවයි - අනුමත සැලැස්ම විශේෂයෙන් අවධානය යොමු කරන්නේ ගාසා නගරය කෙරෙහි වන අතර එය එම ප්‍රදේශයේ විශාලතම නගරයයි.

බොහෝ පලස්තීනුවන් ජීවත් වන ගාසා නගරය පාලනය කිරීමේ සැලැස්මක් ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත. මෙය වසර දෙකකට ආසන්න කාලයක් පැවති යුද්ධයේ ප්‍රධාන හා මතභේදාත්මක පියවරකි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මීට පෙර පැවසුවේ තමාට මුළු ගාසා තීරයම අත්පත් කර ගැනීමට අවශ්‍ය බවයි. කෙසේ වෙතත්, අනුමත සැලැස්ම දැන් අවධානය යොමු කරන්නේ ප්‍රදේශයේ විශාලතම නගරය වන ගාසා නගරය කෙරෙහි පමණි.

ඉදිරිපත් කළ අනෙක් සැලැස්ම හමාස් සංවිධානය පරාජය කිරීමට හෝ ප්‍රාණ ඇපකරුවන් ආපසු ගෙන්වා ගැනීමට උපකාරී නොවනු ඇතැයි බොහෝ කැබිනට් අමාත්‍යවරුන් විශ්වාස කළ බැවින් මෙම තීරණය ගත් බව අගමැති නෙතන්යාහුගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

හමාස් නිරායුධ කිරීම, සියලුම ප්‍රාණ ඇපකරුවන් (ජීවමාන සහ මියගිය) ආපසු ගෙන ඒම, ගාසා තීරය හමුදාකරණයෙන් ඉවත් කිරීම, ගාසා තීරයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා පාලනයේ තබා ගැනීම සහ හමාස් හෝ පලස්තීන අධිකාරිය නොවන සිවිල් රජයක් පිහිටුවීම යන යුද්ධය අවසන් කිරීම සඳහා මූලධර්ම පහක් ද නිකුත් කර ඇත.

ගාසා තීරයේ යුද්ධය නැවැත්වීමට සහ එම ප්‍රදේශයට වැඩි ආධාර ලබා දෙන ලෙස ඊශ්‍රායලයට ඔවුන්ගේ මිත්‍ර පාක්ෂිකයින් ඇතුළු අනෙකුත් රටවලින් වැඩි පීඩනයකට ලක්ව ඇති අවස්ථාවක මෙම නිවේදනය නිකුත් කර තිබේ.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් ප්‍රහාරයකින් පුද්ගලයින් 1,200 ක් පමණ මිය ගොස් 251 ක් ප්‍රාණ ඇපකරුවන් ලෙස රැගෙන යාමෙන් පසුව ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ යුද්ධය ආරම්භ කරන ලදී.

ගාසා තීරයේ හමාස් සංවිධානය මගින් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලයේ දැවැන්ත හමුදා ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පලස්තීනුවන් 61,000 ක් මිය ගොස් තිබේ.

ඊශ්‍රායලයේ හමුදා ක්‍රියාමාර්ග හේතුවෙන් ගාසා තීරයෙන් 87% ක් හමුදා කලාපයක් හෝ ඉවත්ව යෑමේ නියෝග යටතේ පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Internally displaced Palestinians, including children, hold pots as they receive food from a charity kitchen, in Gaza City, Gaza Strip, 04 August 2025.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා තීරයේ මානුෂීය අර්බුදය තවත් උග්‍ර වනු ඇතැයි ආධාර කණ්ඩායම් අනතුරු අඟවා තිබේ.
Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

"අත්පත් කර ගන්න තවත් කිසිම දෙයක් ඉතිරිවෙලා තියෙනවා කියලා පේන්න නැහැ," නෙතන්යාහුගේ සැලසුම්වලට ප්‍රතිචාර දක්වමින් ගාසා නගරයේ පලස්තීන ජාතික මහමුද් අල්-කුරාෂ්ලි පවසයි.

"ප්‍රායෝගිකව මුළු ගාසා තීරයම ගාසා නගරයේ බටහිර කොටසට තෙරපිලා තියෙන්නේ. ඉතිරිවෙලා තියෙන්නේ එච්චරයි. ඔහු එය අත්පත් කරගෙන සිටියත් නැතත් මේ වෙලාවේදී, ජනතාවට ඒකේ ලොකු වෙනසක් නැහැ." ඔහු පැවසීය.

රායීඩ් අබු මොහොමඩ් පවසන්නේ ඔවුන් මාස පහක් පුරා කූඩාරම්වල ජීවත් වීමට පටන් ගෙන ඇති බවයි: "ඔව්, දුක් වේදනා සහ මරණය එහි තියෙනවා. නමුත් අපි තවමත් ජීවිතය අල්ලාගෙන ඉන්නවා. ඊශ්‍රායලය හමාස්ලව මරා දමන්නේ නැහැ, ඔවුන් සිවිල් වැසියන්, දරුවන් සහ කාන්තාවන් මරා දමනවා."

ගාසා තීරය අත්පත් කර ගැනීමේ නෙතන්යාහුගේ සැලැස්මෙන් අදහස් වන්නේ ජන සංහාරය සහ මිනිසුන් අවතැන් කිරීම වැනි අපරාධ අඛණ්ඩව සිදු කිරීමට ඔහුට අවශ්‍ය බව යැයි හමාස් සංවිධානය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ඔහුගේ ක්‍රියාවන් "සාකච්ඡාවලින් පැහැදිලි ආපසු හැරීමක් පෙන්නුම් කරන අතර අවසන් වටයෙන් ඔහු ඉවත් වීම පිටුපස ඇති සැබෑ චේතනාවන් පැහැදිලිව හෙළි කර තිබෙනවා" යැයි ප්‍රකාශයේ සඳහන් වේ.

අවසාන ගිවිසුමකට ඉතා ආසන්නව සිටි බවත්, ගාසා තීරය අත්පත් කර ගැනීමට උත්සාහ කළහොත් ඊශ්‍රායලයට ඉහළ වන්දියක් ගෙවීමට සිදුවන බවත් ඔවුහු පවසති.

"මෙම භයානක ප්‍රකාශය හෙළා දැක ප්‍රතික්ෂේප කරන ලෙසත්, ආක්‍රමණ නැවැත්වීමට සහ අත්පත් කර ගැනීම අවසන් කිරීමට හදිසි පියවර ගන්නා ලෙසත්" අරාබි සහ ඉස්ලාමීය රටවලින් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවෙන්ද හමාස් සංවිධානය ඉල්ලා සිටියි.

ආරක්ෂක කැබිනට් රැස්වීමට පෙර නෙතන්යාහු ෆොක්ස් නිව්ස් වෙත පැවසුවේ ඊශ්‍රායලය මුළු ගාසා තීරයම පාලනය කිරීමට සහ හමාස් ඉවත් කිරීමට සැලසුම් කරන නමුත් එය ස්ථිරවම පාලනයේ තබා ගැනීමට අවශ්‍යතාවක් නොමැති බවයි.

"අපිට අවශ්‍ය වන්නේ හමාස් සංවිධානයේ බිහිසුණු භීෂණයෙන් ගාසා තීරයේ ජනතාව නිදහස් කර ගැනීමයි."

"අපිට ආරක්ෂක පරිමිතියක් තියෙන්න ඕන. අපිට ඒක පාලනය කරන්න අවශ්‍ය නෑ," ඔහු තවදුරටත් පවසයි.

මාධ්‍ය වාර්තාවලට අනුව, ඊශ්‍රායල හමුදාව ගාසා තීරය සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට විරුද්ධ ය. ඉතා උණුසුම් රැස්වීමකදී ඊශ්‍රායල් හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අයල් විසින් නෙතන්යාහුට පවසා ඇත්තේ "එය උගුලකට ඇතුළු වීමට සමානයි" යනුවෙන් බව වාර්තා වේ.

Families and supporters of Israeli hostages held by Hamas in Gaza carrying torches, banners and pictures of the hostages protest outside the Israeli Prime Minister's office during a security cabinet session, to demand the immediate release of the hostages and the end of the war, in Jerusalem, 07 August 2025.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ රැස්වීම අතරතුර ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සහ ආධාරකරුවන් විරෝධතා දැක්වූහ.

ගාසා නගරය අත්පත් කර ගැනීමේ සැලැස්ම එම ප්‍රදේශයේ තවමත් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල දැඩි හෙළා දැකීමට ලක්ව ඇත. යුද්ධය වහාම අවසන් කරන ලෙස සහ සාකච්ඡාමය ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස ඔවුහූ ඉල්ලා සිටිති.

මීට පෙර, ආරක්ෂක කැබිනට් මණ්ඩලය සැලසුම් සාකච්ඡා කරන අතරතුර, ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සහ ආධාරකරුවන් ටෙල් අවිව්හි සහ ජෙරුසලමේ බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලයෙන් පිටත විරෝධතාවල නිරත විය.

ඇතැම් විරෝධතාකරුවන් දම්වැලක් ලෙස එකට බැඳගෙන මෙම පියවර ඔවුන්ගේ ආදරණීයයන්ට "මරණ දඬුවමක්" වනු ඇතැයි අනතුරු ඇඟවීය.

මත විමසුම්වලින් පෙනී යන්නේ බොහෝ ඊශ්‍රායල ජාතිකයන් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර යුද්ධය අවසන් කිරීම සඳහා හමාස් සංවිධානය සමඟ ගිවිසුමකට සහාය දක්වන බවයි. ගාසා තීරයේ මානුෂීය අර්බුදය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට එල්ල වන ජාත්‍යන්තර පීඩනය හේතුවෙන් හමාස් සංවිධානය ධෛර්යමත් වී ඇති බව ඔවුන්ගේ මතය අනුව පෙනී යන බැවින්, ඊශ්‍රායල නායකයින් පවසන්නේ දැන් සාකච්ඡා කිරීමට හමාස් සංවිධානයේ උනන්දුවක් නොවන බවයි.

සම්පූර්ණ අත්පත් කර ගැනීමේ තර්ජනය, අඩාල වී ඇති සාකච්ඡාවලදී එකඟතාවක් ඇති කර ගැනීමට හමාස් සංවිධානයට බලපෑම් කිරීමේ උපක්‍රමයක් විය හැකිය.

හමාස් සමඟ ගිවිසුමක් ඇති වුවහොත් තමන් ඉවත් වන බව පවසන අන්ත ජාතිකවාදී අමාත්‍යවරුන් මත රඳා පවතින තම සභාග රජය ආරක්ෂා කර ගැනීම සඳහා නෙතන්යාහු ගැටුම අඛණ්ඩව සිදු කරන බව බොහෝ පිරිසක් විශ්වාස කරති.

ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටමාර් බෙන්-ගිවියර් සහ මුදල් අමාත්‍ය බෙසලෙල් ස්මොට්‍රිච් ප්‍රසිද්ධියේම ගාසාවෙන් පලස්තීනුවන් ඉවත් කර යුදෙව්වන් සමඟ නැවත පදිංචි කිරීමට සහාය දක්වා ඇති අතර එය යුද අපරාධයක් ලෙස සැලකිය හැකිය.

Palestinians run towards parachutes carrying aid packages airdropped over northern Gaza Strip, August 7, 2025 2025 අගෝස්තු 7 වන දින උතුරු ගාසා තීරයට ගුවනින් හෙළන ලද ආධාර රැගත් පැරෂුට් දෙසට දිව යන පලස්තීනුවන්

ඡායාරූප මූලාශ්‍රය, Reuters

මාර්තු මස මුලදී, ඊශ්‍රායලය සියලුම ආධාර බෙදාහැරීම් නවතා සති දෙකකට පසු හමාස් සංවිධානයට එරෙහි සිය හමුදා ප්‍රහාරය නැවත ආරම්භ කළ අතර, මාස දෙකක සටන් විරාමය අවසන් කරන ලදී. ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස හමාස් සංවිධානයට බලපෑම් කිරීම සඳහා මෙය සිදු කළ බව ඊශ්‍රායලය පැවසීය.

මාස දෙකකට ආසන්න කාලයකට පසු, සාගතයක් පිළිබඳ ගෝලීය අනතුරු ඇඟවීම් හේතුවෙන් ආධාර සැපයුමට බාධා කිරීම් අර්ධ වශයෙන් ඉවත් කරන ලදී. නමුත් ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟය තවත් උග්‍රවී ඇත.

ගාසා තීරයේ හමාස් පාලනය කරන සෞඛ්‍ය අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා පැවසුවේ පසුගිය පැය 24 තුළ දී මන්දපෝෂණයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති බවයි. යුද්ධය ආරම්භ වූ දා සිට මන්දපෝෂණයෙන් මියගිය මුළු සංඛ්‍යාව 197 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 96 දෙනෙක් ළමුන් වෙති.

ගාසා තීරයේ "සාගතයක් නැහැ" යනුවෙන් පවසන ඊශ්‍රායලය, ආධාර ලබා දීමේදී ගාසා මානුෂීය පදනමට සහාය දක්වයි.

කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය මෙහෙයුම් ආරම්භයේ සිට ගාසා මානුෂීය පදනමේ බෙදාහැරීමේ ස්ථාන අවට අවම වශයෙන් පුද්ගලයින් 859 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා කිරීමෙන් පසුව, එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් කණ්ඩායමක් එය වසා දමන ලෙස ඉල්ලා තිබේ.

බ්‍රහස්පතින්දා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ජර්මනිය, ජෝර්දානය, බෙල්ජියම සහ කැනඩාව ගාසා තීරයට මානුෂීය ආධාර පැකේජ 80ක් ගුවනින් හෙලූ බව ඊශ්‍රායලය පැවසීය.

නමුත් ආධාර කණ්ඩායම් පවසන්නේ ගාසා තීරයට ගුවනින් හෙළන ආහාර, ඉන්ධන, ඖෂධ සහ අනෙකුත් වැදගත් සැපයුම් අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් නොවන බවයි.

ඊශ්‍රායල රජය බීබීසී ඇතුළු ජාත්‍යන්තර ප්‍රවෘත්ති කණ්ඩායම්වලට නිදහසේ වාර්තා කිරීමට ගාසා තීරයට ඇතුළු වීමට ඉඩලබා නොදෙයි.