මාරාන්තික ගුවන් ප්‍රහාරවලින් පසු ඊශ්‍රායලය ගාසා හී ගොඩබිම් මෙහෙයුම් තවදුරටත් පුළුල් කරයි

The IDF said it had begun "targeted ground activities" in Gaza
ගාසා තීරයේ "ඉලක්කගත භූමි ක්‍රියාකාරකම්" ආරම්භ කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කියා සිටියි.

ඡායාරූප මූලාශ්‍රය, Israel Defence Forces

ඡායාරූප ශීර්ෂ වැකිය, ගාසා තීරයේ "ඉලක්කගත භූමි ක්‍රියාකාරකම්" ආරම්භ කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කියා සිටියි.

හමාස් සංවිධානය මගින් මෙහෙයවන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි දින දෙකක් තුළ පුද්ගලයින් 430 කට වැඩි පිරිසක් මිය ගිය ගුවන් ප්‍රහාර මාලාවකින් පසුව ගාසා තීරයේ සිය ගොඩබිම් මෙහෙයුම් පුළුල් කර ඇති බව ඊශ්‍රායලය පවසයි.

ගාසාහි අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙන් ම, හමාස් සංවිධානයේ ඉහළ ම ආරක්ෂක නිලධාරියා වූ මහ්මුද් අබු වෆා, මෙම ගුවන් ප්‍රහාරයෙන් මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ.

මෙය පසුගිය ජනවාරි 19 වන දා සටන් විරාමය ආරම්භ වීමෙන් පසු ගාසා වෙත එල්ල වූ විශාලතම ගුවන් ප්‍රහාර මාලාව ය. ගාසාහි සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා වූ සාකච්ඡාවල එකඟතාවකට පැමිණීමට නොහැකි වී ඇති පසුබිමක ඉහත ප්‍රහාර එල්ල විය.

දැන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) පැවසුවේ හමුදා භට පිරිස් නෙට්සාරිම් කොරිඩෝව දක්වා ගමන් කර ඇති අතර, එය උතුරු සහ දකුණු ගාසා තීරය වෙන් කරන ස්ථානය වේ.

මීට පෙර, ඩෙයිර් අල්-බාලාහි පිහිටි තම පරිශ්‍රයේ සිදු වූ පිපිරීමකින් සිය කාර්ය මණ්ඩලයේ එක් අයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරන ලදී.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු පැවසූ නමුත් ඊශ්‍රායලය එම ප්‍රහාරයට තමන් වගකිව යුතු බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.

ගාසා තීරයේ "උතුර සහ දකුණ අතර අර්ධ ස්වාරක්ෂක කලාපයක්" නිර්මාණය කිරීම සඳහා "ඉලක්කගත භූමියේ මෙහෙයුම්" ආරම්භ කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පැවසීය.

උතුරු ගාසා තීරයේ බෙයිට් හනූන් ඇතුළු හමුදාව ගමන් කරන ප්‍රදේශවල සිටින ජනතාවට ඉවත් වීම සඳහා වන නියෝග නිකුත් කර ඇති බව බීබීසීයට දැකගත හැකි විය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ගාසා වැසියන්ට දේශසීමාවේ පැති තුනකට අයත් විශාල භුමි ප්‍රදේශයකින් ඉවත් වන ලෙස හමුදාව නියෝග රැසක් නිකුත් කර ඇති අතර, එයින් ඇඟවෙන්නේ ඉක්මනින් විශාල ප්‍රමාණයේ ගොඩබිම් මෙහෙයුමක් සිදුවිය හැකි බවයි.

මෙම නියෝග නිකුත් කිරීමත් සමග පලස්තීන පවුල් අතර භීතියක් හට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් යුද්ධයෙන් අවස්ථා රැසකදී අවතැන් වී සටන් විරාමය අතරතුර නැවත සිය නිවෙස් බලා පැමිණි පිරිස් වේ.

ඊශ්‍රායල හමුදාව විසින් සලකුණු කරන ලද ප්‍රදේශවලින් ආරක්ෂාව පතා ඉවත්වන පවුල් තමන්ට හැකි සෑම දෙයක්ම රැගෙන පා ගමනින්, කරත්ත වලින් හෝ වාහනයකින් පිටත්ව යන අයුරු දැක ගත හැකි විය.

බදාදා (මාර්තු 19) වීඩියෝ පණිවිඩයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස්, පලස්තීන භූමියට "අවසාන අනතුරු ඇඟවීම" නිකුත් කරමින් එහි රඳවා සිටින ඉතිරි ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

හමාස් සංවිධානය තවමත් ප්‍රාණ ඇපකරුවන් 59 දෙනෙකු රඳවාගෙන සිටින බවත්, ඉන් 24 දෙනෙකු ජීවතුන් අතර සිටින බවට විශ්වාස කරන බවත් ඊශ්‍රායලය පවසයි.

ඉල්ලීම් කිසිවක් ඉටු නොකළහොත් එහි ප්‍රතිඵලය ලෙස "ආපසු හැරවිය නොහැකි හානියක් සිදුකරන" බවට අනතුරු ඇඟවූ කැට්ස්, හමාස් සංවිධානය අවසන් කළ යුතු බවට වන ඉල්ලීම ද නැවතත් අවධාරණය කළේය.

බදාදා දින ඩෙයිර් අල්-බාලාහි පිහිටි තම පරිශ්‍රයට හානි වීමෙන් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මිය ගිය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කිරීමෙන් පසුව මෙම හමුදා මෙහෙයුම් සිදු විය.

හුදකලා ප්‍රදේශයක පිහිටි ගොඩනැගිල්ලට පුපුරණ ද්‍රව්‍යයක් හෙළා හෝ වෙඩි තබා ඇති බව එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘති සේවා කාර්යාලය (UNOPS) පැවසීය. සිද්ධිය පිළිබඳ තොරතුරු සහ භාවිත කළ ආයුධ වර්ගය තහවුරු කර නොමැති බව ඔවුන් වැඩිදුරටත් පැවසීය.

"මෙය අහම්බයක් නොවන බව" තමන් විශ්වාස කරන බවත්, ගාසා තීරයේ තත්වය "බැරෑරුම්" බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානී ජෝර්ජ් මොරෙයිරා ද සිල්වා පැවසුවේ‍ය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටාරෙස් පූර්ණ පරීක්ෂණයක් ඉල්ලා ඇත.

Mahmoud Abu Watfa attends a training session in Gaza City in January 2020.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, හමාස් සංවිධානයේ ඉහළ ම ආරක්ෂක නිලධාරියා වූ මහ්මුද් අබු වෆා, මෙම ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ (ඡායාරූපය 2020 වසරේ ලබා ගත් එකකි)

ඊශ්‍රායලය, හමාස් සංවිධානයට එරෙහිව ගාසා තීරයේ 'පූර්ණ බලය යොදා' සටන් යළි අරඹන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබුණේ අඟහරුවාදා (මාර්තු 18) රාත්‍රියේය.

"සාකච්ඡා දිගටම පවතින්නේ ප්‍රහාර මධ්‍යයේ පමණක්" බවත් "මෙය ආරම්භයක් පමණක්" බවත් ඔහු වීඩියෝ ප්‍රකාශයකින් අනතුරු ඇඟවීය.

මීට පෙර පුද්ගලයින් 430 කට වැඩි පිරිසක් මිය ගිය ගුවන් ප්‍රහාර මාලාව සිදු වුයේ කෙසේද?

සාක්ෂිකරුවන් පවසන්නේ, ගාසා තීරයේ පිපිරීම් ආරම්භ වන විට, මේ ශුද්ධ වූ රාමසාන් මාසය බැවින් බොහෝ දෙනෙකු අලුයම ආහාර ගනිමින් සිටි බව ය.

ඊශ්‍රායල් යුද ගුවන් යානා 20කට වැඩි සංඛ්‍යාවක් පියාසර කළ බවත් ඉන්පසුව එම ගුවන් යානාවලින් රෆා සහ ඛාන් යුනිස්හි ඉලක්කවලට පහරදීම ආරම්භ වී තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශයට අනුව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඊශ්‍රායල ආරක්ෂක ඇමති කැට්ස් අඟහරුවාදා (මාර්තු 18) උදෑසන මෙම ප්‍රහාරය එල්ල කිරීමට නියෝග කර තිබේ.

Gaza

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"හමාස් සංවිධානය අපගේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම යළි යළිත් ප්‍රතික්ෂේප කිරීම මෙන් ම, ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ නියෝජිත ස්ටීව් විට්කොෆ් සහ මැදිහත්කරුවන්ගෙන් ලැබුණු සියලු යෝජනා ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව මෙය සිදු වූ," බව එහි සඳහන් ය.

"ඊශ්‍රායලය මෙතැන් සිට හමාස් සංවිධානයට එරෙහිව ක්‍රියා කරන්නේ වර්ධනය වන මිලිටරි ශක්තියකින්," බවත් එහි තවදුරටත් සඳහන් කර ප්‍රහාර සඳහා සැලැස්ම "සති අන්තයේදී IDF විසින් ඉදිරිපත් කරන ලද අතර දේශපාලන නායකත්වය විසින් අනුමත කරන ලද," බවත් එහි දැක්විණි.

එහිදී සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස හමාස් සංවිධානයට අනතුරු හඟවමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ඊශ්‍රායල් තානාපතිවරයා වන ඩැනී ඩැනන් සඳහන් කළේ, "අපි අපේ සතුරන්ට කිසිදු අනුකම්පාවක් නොදක්වමු," යනුවෙනි.

සටන් විරාම ගිවිසුම අවලංගු කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය විශ්වාසය කඩ කර ඇති බවට චෝදනා කරමින් හමාස් සංවිධානය ද කෝපාවිෂ්ට ප්‍රතිචාරයක් දැක් වූ අතර ගාසා තීරයේ රඳවා සිටින ඉතිරි ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් "නොදන්නා ඉරණමකට" නිරාවරණය කරමින් සිටින බව ද එහි සඳහන් වේ.

එහෙත්, හමාස් සංවිධානය තවමත් යුද්ධය නැවත ආරම්භ කරන බව ප්‍රකාශ කර නැති අතර, ඒ වෙනුවට මැදිහත්කරුවන්ගෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් මෙයට මැදිහත් වන ලෙස ඉල්ලමින් සිටියි. ප්‍රහාර එල්ල කිරීමට පෙර ඊශ්‍රායලය ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් උපදෙස් ලබා ගත් බව ධවල මන්දිර ප්‍රකාශකයෙක් ෆොක්ස් නිව්ස් වෙත පවසා තිබේ.

වීඩියෝ ශීර්ෂ වැකිය, හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායල හමුදා ආරම්භ කළ නව ප්‍රහාර හේතුවෙන් ගාසා පුරා පිපිරීම් දක්නට ලැබිණි.

මාර්තු 1 වන දා තාවකාලික සටන් විරාමයේ පළමු අදියර අවසන් වීමෙන් පසුව, සාකච්ඡාකරුවෝ ඉදිරියට යාමට මාවතක් සෙවීමට උත්සහ කරමින් සිටියහ.

හමාස් සංවිධානය රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් සහ ඊශ්‍රායලය රඳවාගෙන සිටින පලස්තීන සිරකරුවන් තවදුරටත් හුවමාරු කර ගැනීම ද ඇතුළත් ව මෙම පළමු අදියර අප්‍රේල් මැද දක්වා දීර්ඝ කිරීමට එක්සත් ජනපදය විසින් යෝජනා කරන ලදී.

නමුත්, මෙවැනි සාකච්ඡා හුරුපුරුදු පලස්තීන නිලධාරියෙකු බීබීසීයට පැවසුවේ, වක්‍ර සාකච්ඡාවලදී විට්කොෆ් විසින් සකස් කරන ලද ගිවිසුමේ ප්‍රධාන අංශ සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එකඟ නොවූ බව ය.

හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයේ 1,200කට වැඩි පිරිසක් ඝාතනය කළ අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියෝ වූහ. පුද්ගලයින් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගැනීමෙන් ඊශ්‍රායලය සහ හමාස් අතර දැන් පවතින යුද්ධය ආරම්භ වූයේ, 2023 ඔක්තෝබර් 7 වන දින ය.

මෙම ප්‍රහාරය හේතුවෙන් ඊශ්‍රායල හමුදා ප්‍රහාරයක් ආරම්භ කළ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනෙකුත් සංවිධාන විසින් භාවිතා කරනු ලබන හමාස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන් පසුව පුද්ගලයින් 48,520කට වැඩි පිරිසක් මිය ගොස් ඇත. ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියෝ වූහ.

ගාසාහි මිලියන 2.1ක ජනගහනයෙන් වැඩි පිරිසක් අවස්ථා කිහිපයකදී ම අවතැන් වී ඇත.

ගොඩනැගිලිවලින් 70%ක් හානි වී හෝ විනාශ වී ඇති බවට ඇස්තමේන්තුගත කර ඇති අතර, සෞඛ්‍ය සේවා, ජලය සහ සනීපාරක්ෂක පද්ධති බිඳ වැටී ආහාර, ඉන්ධන, ඖෂධ සහ නවාතැන් හිඟයක් පවතියි.