ඊශ්‍රායලයේ නවතම අධි තාක්‍ෂණික අවි මොනවා ද? AI ඊට සම්බන්ධ වන්නේ කෙසේ ද?

Israeli soldier holding a tablet

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඊශ්‍රායල සන්නද්ධ බලකායන් හෙවත් IDF යනු ලොව දියුණුතම හමුදාවන්ගෙන් එකක් වන අතර, එය ආයුධ කර්මාන්තය හා අළලා "සැලකිය යුතු පරාසයක පෙරළිකාර තාක්‍ෂණයක්” ගොඩනගා ඇතැ යි පුරසාරමක් 2022 වසරේ වාර්තාවකින් එළි දක්වා තිබුණි.

ගාසා යුද්ධය සඳහා ඊශ්‍රායල හමුදාව විසින් හඳුන්වා දුන් නවීන අධිතාක්‍ෂණික අවි භාවිතාකර තිබේ.

ඊශ්‍රායලයේ ආයුධ හා ඉලක්ක හඳුනාගැනීම යන දෙඅංශයෙහි දීම කෘත්‍රිම බුද්ධිය විශාල වැඩකොටසක් ඉටු කරමින් සිටියි - නමුත් IDF පවසන පරිදි ඝාතනය කිරීමේ තීරණය ගන්නේ සෙබළා මිස කෘත්‍රිම බුද්ධිය නොවේ.

හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යන ගාසා තීරයේ පිහිටි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ගාසාහි මියගිය තැනැත්තන් සංඛ්‍යාව 22,000 ඉක්මවා ඇත.

IDF, එය ජාත්‍යන්තර නීතිය අනුගමනය කරන බවත්, සිවිල්වැසියන්ගේ ජීවිත හානි අවම කිරීමට පියවර ගන්නා බවත් පවසයි.

ඊශ්‍රායලයේ ඇතැම් නවතම අධි තාක්‍ෂණික ආයුධ මොනවා ද?

බරාක් යුද ටැංකි

Barak tank

ඡායාරූප මූලාශ්‍රය, Israeli Ministry of Defence

බරාක් යුද ටැංකිය, සුප්‍රකට මෙර්කවා ටැංකියේ "පස්වැනි අනුවාදය" ලෙස විස්තර කෙරෙයි. එය ක්‍රම කිහිපයකට කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කරයි.

මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ, ටැංකියේ දොරවල් වසා තිබියදී පවා අණ දෙන නිලධාරීන්ට ටැංකිය අවට ප්‍රදේශය දෙස බැලීමට ඇති හැකියාව ය. IDF විසින් "විශ්වසනීය සංවේදකවලින් සැදි පුළුල් යටිතල පහසුකම්" ලෙස හඳුන්වන දෑ විසින් ටැංකියෙන් පිටත ඇති දෑහි ආවර්ධිත යථාතත්වය (නියම ස්වභාවය) ජනනය කරයි.

එය ගොඩනැගීමෙන් වසර පහකට පසු, මෙහි පළමු නව ටැංකි 2023 සැප්තැම්බරය මුල දී ඊශ්‍රායලයේ 401 වැනි සන්නාහ සන්නද්ධ බලකායේ 52 වැනි බලඇණිය වෙත ලබාදුනි.

බරාක් මාදිලියට, ටැංකිය වටා අංශක 360ක "ආරක්ෂක පලිහක්" නිර්මාණය කරන ‘ට්‍රෝෆි ක්‍රියාකාරී ආරක්ෂණ පද්ධති’ ද අඩංගු ය. ටැංකියට එල්ලවන ඕනෑම තර්ජනයක් ක්ෂණිකව හඳුනාගන්නා මෙම පද්ධතිය, ටැංකිය වෙත එන මිසයිලය පුපුරවා හැරීමට එහිම මිසයිලයක් විදිමින් තර්ජනය උදාසීන කරයි.

ස්පාක් ඩ්‍රෝන

Spark drone

ඡායාරූප මූලාශ්‍රය, Aeronautics

ස්පාක් ඩ්‍රෝන නිපදවන ලද්දේ ඊශ්‍රායල ගුවන් හමුදාවේ 'ස්ටෝම් ක්ලවුඩ්ස්' වැඩසටහනේ අංගයක් වශයෙනි. එය, බුද්ධි තොරතුරු රැස්කිරීමටත්, සටන් සඳහාත් යොදාගන්නා මිනිසුන් රහිත ගුවන් යානා (UAVs) බලඇණියකි. රෆායෙල් ඇඩ්වාන්ස්ඩ් ඩිෆෙන්ස් සිස්ටම්ස් ඇන්ඩ් එයරොනොටික්ස් ගෘප් නම් සමාගම විසින් එය නිෂ්පාදනය කරනු ලබයි.

IDF නව ඩ්‍රෝනය පිළිබඳ වැඩි තොරතුරක් අනාවරණයකර නැත. එය, ඩ්‍රෝනය විසින් "ලැබෙන දත්තවලට අනුව ප්‍රහාරාත්මකව හා ඵලදායීව ක්‍රියා කිරීම සඳහා මෙහෙයුම්වල යෙදෙන භටයින්ට ඇති හැකියාව සැලකිය යුතු තරමින් වැඩිදියුණු කරනු ඇතැ"යි පවසතත්, මෙය සිදුවනු ඇත්තේ කෙසේදැ යි නොපවසයි.

ස්පයික් ෆයර්ෆ්ලයි (Loitering Munition Spike Firefly)

SPIKE FIREFLY

ඡායාරූප මූලාශ්‍රය, Rafael Advanced Defence Systems

කමිකාස් ඩ්‍රෝනවල අනුවාදයක් වන, කිලෝග්‍රෑම් තුනක් පමණක් බරැති මෙය ගලවා වෙන් කළ හැකි පුපුරන ද්‍රව්‍ය අඩංගු මිසයිල ශ්‍රීර්ෂයක් සමග පැමිණෙයි.

මෙහි නිෂ්පාදක රෆායෙල් සමාගමට අනුව, මෙය ප්‍රධානකොටම භාවිතා කෙරෙන්නේ පෙනෙන මානයෙන් ඔබ්බට ය. බිම සිට ක්‍රියාත්මක වන සෙබළෙකුට නොපෙනෙන සතුරු ස්ථානයන්ට ඉහළින් මෙම ඩ්‍රෝනයට පියාසර කළ හැකිබව මින් අදහස් වෙයි.

අතේ ගෙනයා හැකි කුඩා කැනිස්ටරයක අසුරා පැමිණෙන ඩ්‍රෝනයට, යම් ප්‍රදේශයකට ඉහළින් පියාසැරියේ රැඳී සිටීමට ද, මිනිත්තු 30ක් දක්වා ගුවනේ පැවතීමට ද, කිලෝමීටර 1.5ක් දක්වා ප්‍රදේශයක තත්ත්වය ගැන භට පිරිස් දැනුවත් කිරීමට ද හැකි ය.

එය, ටැබ්ලට් එකක් මඟින් එය පාලනය කරන සෙබළෙකුගේ අණ යටතේ තොරතුරු රැස් කිරීමට හා ඉලක්කයක මායිම නියම කිරීම සිදුකරයි. එයට ආපිට කඳවුර වෙත පැමිණීමට ද, නොඑසේ නම්, විකල්පයක් ලෙස සවිකළ හැකි ග්‍රෑම් 350ක සර්වදිශානුගත ඛණ්ඩන මිසයිලයක් සවිකළහොත් ඉලක්කයක් වෙත කඩාවැටීමට ද පුළුවන.

අයන් ස්ටින්ග්

මෙය, ආරක්ෂක සමාගමක් වන එල්බිට් සිස්ටම්ස් විසින් වැඩි දියුණු කෙරුණු, "ඉතා නිරවද්‍ය, ලේසර් සහ ජීපීඑස් හරහා මඟපෙන්වන මෝටාර් බෝම්බයකි". එය ප්‍රථම වරට භාවිතා කෙරුනේ 2023 ඔක්තෝම්බරයේ ගාසා තීරයේ දී බව IDF පවසයි.

නිෂ්පාදකයා විස්තර කරන පරිදි, අයන් ස්ටින්ග් යනු "යුධ පිටියේ සියලු අවස්ථාවන්වල දී ශක්තිමත් හැකියාවන්" සපයන, ප්‍රමාණයෙන් 120mmක් වන, නිරවද්‍යතාවෙන් යුතුව ඉලක්කයට යන මෝටාර් බෝම්බයකි. මෝටාර් ටියුබය මත පදනම් වන කිලෝමීටර 1 - 12 පරාසයක් එය සතු ය.

එල්බිට් සමාගමට අනුව, මේ මෝටාරයට පිපිරීමේ හා ඛණ්ඩනයේ හැකියාවෙන් යුතුව, දෙවරක් ශක්තිමත් කරන ලද කොන්ක්‍රීට් විනිවිද යෑමට හැකි ය.

Iron Sting mortar in action

ඡායාරූප මූලාශ්‍රය, Elbit systems

යුද්ධයේ දී කෘත්‍රිම බුද්ධිය ඉටුකරන කාර්යයභාරය කුමක් ද?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

යුද්ධෝපකරණ සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතා කිරීම නිසා, ඉලක්කයන්ට පහරදීමේ දී ආයුධ වඩාත් නිරවද්‍යව ක්‍රියා කරනබව ද, එමඟින් අනවශ්‍ය හානි සිදුවීම හා සටන්කාමීන් නොවන පුද්ගලයින් ඝාතනයවීම සීමාවෙනබව ද පැවසෙන නමුත්, සන්නද්ධ ගැටුම්වල දී AI හා මැෂින් ලර්නින් භාවිතා කිරීම ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) කනස්සල්ල පළකර තිබේ.

ICRCය පසුගිය වසර මුල දී නිකුත් කළ වාර්තාවකින්, "යුද්ධයේ නීතිමය බැඳීම් සහ සදාචාරාත්මක වගකීම් යන්ත්‍ර සහ මෘදුකාංගවලට බැර නොකළ යුතු" බව ප්‍රකාශ කළේ ය. ඊශ්‍රායලයේ AI භාවිතා කරනබවට වූ වාර්තා පිළිබඳ අදහස් දැක්වීම එය ප්‍රතික්ෂේප කළේ ය.

මෙම කණස්සළු ස්වයංක්‍රිය ආයුධ පද්ධතීන් හා සම්බන්ධ ය. මේවා, වරක් සක්‍රිය කළ පසු ක්‍රියාරම්භක යාන්ත්‍රණ මත පදනම්ව ස්වයංක්‍රීයව ක්‍රියා කරන පද්ධතීන් ය. මිසයිල ආරක්ෂණ පද්ධති සහ ඇතැම් අවි ආයුධ මේවාට ඇතුළත් වෙයි.

2023 දී IDF බුද්ධි තොරතුරු රැස් කිරීමටත්, ඉලක්ක නිර්මාණය කිරීමටත් AI භාවිතා කරයි.

ඊශ්‍රායල ආරක්ෂක බලකායන් 2021 දී ගාසා තීරයේ සිදුකෙරුණු දින එකොළහේ යුද්ධයේ දී මෙය භාවිතාකර තිබුණි.

2023 ජුනි මාසයේ ඊශ්‍රායල ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Ynet News සමග සිදුකළ මාධ්‍ය සාකච්ඡාවක දී, ඊශ්‍රායල ආරක්ෂක බලකායන්හි හිටපු මාණ්ඩලික ප්‍රධානී අවීව් කොවාචි ඔවුන්ගේ ඉලක්ක කිරීම් හැසිරවීමේ ඒකකය "සිය ගණනක් නිලධාරීන් සහ සෙබළුන්ගෙන් සමන්විත, AI හැකියාවන්ගෙන් බලගැන්වුණු " යමක් ලෙස හැඳින්වීය.

"ඒක ඕනම මනුස්සයෙකුට වඩා වේගයෙන්, ඵලදායීව දත්ත විශාල ප්‍රමාණයක් හසුරුවන යන්ත්‍රයක්; ඒකෙන් ඒ දත්ත, ක්‍රියාත්මක විය හැකි ඉලක්කබවට පරිවර්තනය කරනවා," ඔහු පැවසීය.

“ඉස්සර අපි ගාසා තුළ වසරකට ඉලක්ක 50ක් උත්පාදනය කරනවා. දැන්, මේ යන්ත්‍රය එක දවසක් තුළ ඉලක්ක 100ක් උත්පාදනය කරලා තියෙනවා වගේම, එයින් 50%ක්ම ප්‍රහාරයට ලක්කරලා තියෙනවා," 2021 දී සිදුකෙරුණු "ඔපරේෂන් ගාඩියන් ඔෆ් ද වෝල්ස්" නම් මෙහෙයුම ගැන සඳහන් කරමින් ඔහු පැහැදිලි කළේ ය.

IDF, ද ගොස්පල් සහ "ඉලක්ක කර්මාන්තශාලාවක්"

"ද ගොස්පල්" යනු ඊශ්‍රායලයේ නව AI-සංවර්ධිත ඉලක්ක උත්පාදන ප්ලැට්ෆෝමය යි. එය ක්‍රියාත්මක වන්නේ ඉලක්ක කිරීම් හැසිරවීමේ ඒකකය විසිනි. "ද ගොස්පල්", 2023 නොවැම්බර් දෙවැනිදා IDF එහි වෙබ් අඩවියේ පළකළ ලිපියේ විස්තරකර ඇති පරිදි, "පැය 24 පුරා ක්‍රියාත්මක වන ඉලක්ක කර්මාන්තශාලාවකි".

IDF පවසන පරිදි එය "ස්වයංක්‍රීය මෙවලම් භාවිතාවට වේගයෙන් ඉලක්ක උත්පාදනයට ඉඩ සලසන පද්ධතියකි... කෘත්‍රිම බුද්ධියේ සහාය ඇතිව, යාවත්කාලීන වන බුද්ධි තොරතුරු වේගවත්ව හා ස්වයංක්‍රීයව උපුටා ගැනීම හරහා - එය පර්යේෂකයා වෙත නිර්දේශයක් නිෂ්පාදනය කරයි; එහි ඉලක්කය වන්නේ යන්ත්‍රයේ නිර්දේශය සහ පුද්ගලයෙකු සිදුකරන හඳුනාගැනීම පූර්ණව ගැලපීම ය.

ගාසා තීරයේ සේවය කරන ඊශ්‍රායල බුද්ධි අංශයේ විවිධ අංශ විසින් රැස් කෙරෙන දත්ත විශාල ප්‍රමාණයක් හැසිරවීමෙන් මෙම පද්ධතිය ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉලක්ක ජනනය කරයි. කෙසේ වෙතත්, IDF පවසන පරිදි, ප්‍රහාර එල්ල කිරීමේ තීරණය පවතින්නේ නිලධාරීන් සතුව ය.

යුද්ධය ඇරඹී 27 වැනිදා, ගාසා තීරය තුළ ඉලක්ක 12,000කට වැඩි ප්‍රමාණයක් ඇතිබව IDF ප්‍රකාශ කළේ ය.

ජෙරුසලම පදනම් කරගත් ඊශ්‍රායල ජාතික ගවේෂණාත්මක මාධ්‍යවේදියෙකු වන යුවාල් ඒබ්‍රහම්, ගාසා යුද්ධයේ දී කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීම පිළිබඳව විමර්ශනය කරමින් සිටි අයෙකි.

ඒබ්‍රහම්ගේ "සමූල ඝාතන කර්මාන්තශාලාව" නම් වාර්තාව, පලස්තීන සහ ඊශ්‍රායල මාධ්‍යවේදීන් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යන ස්වාධීන, ඔන්ලයින්, ලාභ නොලබන සඟරාවක් වන +972 සඟරාව හා'ලෝකල් කෝල්' නම් ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහා ලියන ලද්දකි. මෙම වාර්තාව, ඊශ්‍රායල මෙහෙයුම්වලට සම්බන්ධ හමුදා බුද්ධි අංශ සහ ගුවන් හමුදා නිලධාරීන් ද ඇතුළු ඊශ්‍රායල බුද්ධි ප්‍රජාවේ වත්මන් හා හිටපු සාමාජිකයන් හත්දෙනෙකු සමග සිදුකළ සංවාද මත පදනම් වී තිබේ.

ද ගොස්පල් පද්ධතිය මඟින් "ක්‍රියාකාරිකයින් හා පවුල්වල නිවෙස්" මෙන්ම ඝාතනය වනු ඇතැයි IDF ඇස්තමේන්තු කරන සිවිල් වැසියන් සංඛ්‍යාව ද ඇතුළත්බව ඒබ්‍රහම් බීබීසීයට පැවසුවේ ය. "ගාසා තීරයේ සිවිල් වැසියො මියයද්දී, බහුතරයක් අවස්ථාවල දී ඒක ගණනය කරලා, දැනුවත්ව සිදු කරනවා," ඔහු ඔහුගේ නම් නොකළ මූලාශ්‍රය පැවසූබවට උපුටා දක්වයි. උත්පාදනය කෙරුණු ඉලක්ක අතර 16 හැවිරිදි තරම් ළාබාල ක්‍රියාකාරිකයින් සිටින අතර, හමාස් සාමාජිකයෙකු ඉලක්ක කිරීමේ දී පලස්තීන සිවිල් වැසියන්ට හානි සිදුවීම පිළිබඳ නිර්ණායක "සැලකිය යුතු තරම් ලිහිල්යැ"යි ද මේ මූලාශ්‍රය පවසා තිබේ.

මෙම ප්‍රකාශයන් ගෙනහැර පාමින් විමසූ විට IDF බීබීසීයට මෙසේ පැවසීය: "හමාස්හි ම්ලේච්ඡ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස, IDF හමාස්හි හමුදා සහ පරිපාලන හැකියාවන් බිඳ දැමීමට ක්‍රියාත්මක වෙයි. හමාස් සංවිධානය ඊශ්‍රායල පිරිමින්, කාන්තාවන් සහ ළමුන් වෙත හිතාමතා කරණ ප්‍රහාරයන්ට හාත්පසින්ම වෙනස්ව, IDF විසින් ජාත්‍යන්තර නීතිය අනුගමනය කෙරෙන අතර සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කිරීම සඳහා ගත හැකි සාධ්‍ය පූර්වාරක්ෂාවන් ගනියි."

Destroyed houses in Gaza

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"ඉහළ නිරවද්‍යතාවෙන් යුත්" පද්ධති පවතින යුගයක, සිවිල් ජීවිත හානි වැඩි සංඛ්‍යාවක් සිදුවන්නේ ඇයි?

යුවාල් ඒබ්‍රහම් පවසන පරිදි, ඊශ්‍රායල හමුදාවේ දැනටත් සේවය කරන ඔහුගේ මූලාශ්‍රයයන් තුනක්, හමුදාව විසින් ජ්‍යෙෂ්ඨ හමාස් සාමාජිකයෙකු ලෙස නම්කර එල්ල කරන සෑම ප්‍රහාරයකින්ම පලස්තීන සිවිල් වැසියන් සිය ගණනක් මියයෑම ගැන ඔහු හා පවසා තිබේ.

"ඔවුන්ට (ඉස්සර) හමාස් ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් මරණ එක වෙනුවෙන් [සිවිල් වැසියන්] දුසිම් ගාණක් මරා දාන්න පුළුවන් වෙලා තිබුණු බවත්, දැන් මරා දමන්න අවසර දීලා තියෙන සිවිල් වැසියන් සංඛ්‍යාව ඉස්සරට වඩා 10-20 ගුණයකින් වැඩි බවත්," ඔහුගේ මූලාශ්‍රය ඔහුට පැවසූබව ඔහු කියයි.

ගාසා තීරයේ වත්මන් හමුදා මෙහෙයුමට නායකත්වය දෙන නිලධාරීන්, "සිවිල් ජනතාවට ප්‍රහාර එල්ලවීම නැවැත්වීම සඳහා ප්‍රහාර සීමා කරන්නට පෙර දී පනවා තිබුණු සියලු ප්‍රොටොකෝල අත්හැර දමා ඇතැ"යි ඔහුගේ මූලාශ්‍ර ඇඟවූබව යුවාල් බීබීසීයට පැවසීය. "ඔවුන් කිසිසේත්ම ප්‍රමාණානුකූල නොවන ප්‍රහාරයන් එල්ලකරගෙන ගියා, මොකද ඔවුන් දැන් අවධානය යොමු කරන්නේ ඉලක්කවල නිරවද්‍යභාවයට නෙවෙයි සංඛ්‍යාත්මකභාවයට නිසා," ඔහු ඊශ්‍රායල හමුදා බුද්ධි නිලධාරියෙකු උපුටා දක්වයි.

එකල, IDFහි මාධ්‍ය ප්‍රකාශකයා යුවාල් +972 සහ කෝල් නිශ්චිත ප්‍රහාරයන් සම්බන්ධයෙන් කළ විමසුම් පිළිබඳ කතා නොකළ නමුත්, මෙලෙස සාමාන්‍ය ප්‍රකාශයක් සිදුකළේ ය: "IDF ප්‍රහාරවලට පෙර විවිධ ආකාරයෙන් අනතුරු ඇඟවීම් ලබා දුන්නා වගේම, ඉඩක් ලැබුණු විට, ඉලක්කයේ හෝ ඒ ආසන්නයේ සිටි පුද්ගලයින්ට දුරකථන ඇමතුම් හරහා තනි තනි අනතුරු ඇඟවීම් ලබාදුන්නා (යුද්ධය අතරතුර සජීවී සංවාද 25,000කට වඩා වැඩි ප්‍රමාණයක් ද, මිලියන ගණනක් පටිගත කරන ලද සංවාද ද, කෙටි පණිවිඩ ද, ජනතාවට අනතුරු ඇඟවීමේ අරමුණින් ගුවනේ සිට හෙළන ලද පත්‍රිකා ද තිබුණි). පොදුවේ ගත්කල, IDF ගාසා තීරයේ පුරවැසියන් මිනිස් පලිහක් ලෙස යොදාගන්නා ත්‍රස්තවාදී සංවිධානයකට එරෙහිව සටන් කිරීමේ අභියෝගය නොතකා, ප්‍රහාරවල කොටසක් ලෙස සිවිල් වැසියන්ට සිදුවන හානිය හැකිතාක් අවම කිරීමට ක්‍රියා කරනවා."

මෙම ප්‍රකාශයන් ගැන අදහස් විමසීමට බීබීසීය IDF සම්බන්ධකර ගත් අතර, ගාසාහි සිවිල්වැසියන් ආරක්ෂා කිරීමට ඊශ්‍රායලය සිදුකරන්නේ කුමක් ද යන්නත්, මියගිය සංඛ්‍යාව සම්බන්ධයෙන් ගත්කල එය ප්‍රමාණවත් තරම් දෑ සිදුකරන්නේ ද යන්නත් විමසීය.

IDF අපගේ නිශ්චිත ප්‍රශ්නවලට පිළිතුරු නොදුන් නමුත්, ඔවුන් "ජාත්‍යන්තර නීතිය අනුගමනය කෙරෙන අතර සිවිල් වැසියන්ට සිදුවන හානි අවම කිරීම සඳහා ගත හැකි පූර්වාරක්ෂාවන් ගන්නා" බව පැවසුවේ ය.

හමාස් සංවිධානය එහි උමං මාර්ග සහ අණදෙන මධ්‍යස්ථාන ගාසා තීරයේ සිවිල් යටිතල පහසුකම් තුළ ස්ථානගත කිරීම මඟින් සිවිල්වැසියන් මිනිස් පලිහක් ලෙස භාවිතා කරනබව ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායල හමුදාවට අනුව, "හමාස් සංවිධානය සිවිල් යටිතල ව්‍යුහයක් තුළට හෝ ඒ ආසන්නයට එහි හමුදා හැකියාවක් තැබුවොත්, ඒක නීත්‍යානුකූල හමුදා ඉලක්කයක්බවට පත්වෙනවා. එම ස්ථානයට පහරදීමේ අරමුණ එම හමුදා ඉලක්කය විනාශ කිරීම නම්, ඒක නීත්‍යානුකූල ඉලක්කයක්," බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි අංශයේ හිටපු කර්නල්වරයෙකු වන ෆිලිප් ඉන්ග්‍රම් බීබීසීයට පැවසුවේ ය.

"ඊශ්‍රායල ප්‍රහාරක හමුදාවේ වගකීම වෙන්නේ සිවිල්වැසියන්ගෙ ජීවිත හානි අවම කරන්න ඔවුන්ට කළ හැකි සෑම දෙයක්ම කරන එක මිස, සිවිල් වැසියන්ගේ මරණ තුරන් කිරීම කියල එයින් අදහස් වෙන්නෙ නැහැ. ඒක ප්‍රමාණානුකූල වුණත් නැතත්, ඒක ඊශ්‍රායල අණදෙන නිලධාරීන් ගනු ලබන දේශපාලන හා හමුදාමය තීරණයක්," ඔහු පවසයි.

Casualties of Israeli airstrike on central Gaza

ඡායාරූප මූලාශ්‍රය, Anadolu

"ස්මාර්ට්" බෝම්බ සහ "මෝඩ" බෝම්බ

මෙම යුද්ධයේ දී භාවිතා කෙරෙන නව "ස්මාර්ට්" සහ ඉහළ නිරවද්‍යතාවෙන් යුත් ආයුධ සහ ඉලක්ක මායිම් නියම කිරීමේ පද්ධති, පැරණි "මෝඩ" ආයුධවලට පූර්ණ ආදේශකයක් නොවේ.

ඇමරිකානු ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන CNN වෙත ලීක්වූ, 2023 දෙසැම්බරයේ නිකුත් කෙරුණු එක්සත් ජනපදයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂකගේ කාර්යාලයයේ තක්සේරුවක කොටස්වලට අනුව, ඊශ්‍රායලය ගුවනේ සිට ගාසා තීරයට හෙළා ඇති බෝම්බ 29,000න් 40-45%ක් පමණම (ලේසර් හෝ කෘත්‍රිම බුද්ධිය මඟින්) මඟපෙන්වනු නොලැබූ ඒවා ය. ඒවා "මෝඩ බෝම්බ" (dumb bombs) ලෙස ද හැඳින්වෙයි.

මඟපෙන්වීමක් නොමැති මේ බෝම්බවලට, "මීටර් 30ක් දක්වා දුරට ඒවයෙ ඉලක්කය මඟහැරෙන්න පුළුවන්. ඒ දුර වෙනස තමයි, හමාස් මූලස්ථානයකට හෝ සිවිල් වැසියන්ගෙන් පිරුණු මහල් නිවාසයකට පහරදීම අතර වෙනස," පෙන්ටගනයේ හිටපු ජ්‍යෙෂ්ඨ බුද්ධි විශ්ලේෂකයෙකු හා එක්සත් ජාතීන්ගේ හිටපු යුද අපරාධ විමර්ශකයෙකු වන, මේ බෝම්බ ප්‍රහාරවල වින්දිතයින්ට සහ සාක්ෂිකරුවන්ට කතාබහකර ඇති මාක් ගාර්ලැස්කෝ, මින් පෙර බීබීසී වෙරිෆයි වෙත පැවසීය.

IDF ඔවුන් "අනපේක්ෂිතව සිවිල් වැසියන් සිටිනවා දුටුවිට ප්‍රහාර නවත්වනවා. අප අනවශ්‍ය හානියක් සිදුනොවනු පිණිස එක් එක් ඉලක්කය සඳහා නිවැරදි යුධෝපකරණ තෝරාගන්නවා,"යි පවසයි.

"වැරදි යුද්ධෝපකරණ භාවිතාකර ඇතැ"යි IDF පවසයි

ගාසාහි පිහිටි පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, 2023 දෙසැම්බර් 24 වැනිදා ගාසා තීරය මධ්‍යයේ පිහිටි මගාසි සරණාගත කඳවුරට එල්ල කෙරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 86 දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රහාරය සඳහා වැරදි යුද්ධෝපකරණ භාවිතා කළබව පිළිගත් IDF, "සිදුවූ හානිය ගැන කණගාටුවන" බව බීබීසීය වෙත පැවසුවේ ය.

ඊශ්‍රායල රාජ්‍ය මාධ්‍ය සේවයක් වන කැන් පුවත් වෙත අදහස් දක්වමින් ඊශ්‍රායල හමුදා නිලධාරියෙක්, "යුද්ධෝපකරණ වර්ගය ප්‍රහාරයේ ස්වභාවයට නොගැලපුණු අතර, වළක්වාගත හැකිව තිබූ පුළුල් අමතර හානියක් සිදුකළා,"යි පැවසුවේ ය.

එහි ජෙට් යානාවන් හමාස් ක්‍රියාකාරීන් සිටිනබව හමුවූ ප්‍රදේශයකට යාබද ඉලක්ක දෙකකට ප්‍රහාර එල්ල කළමුත්, ප්‍රහාර අතරතුර අමතර ගොඩනැගිලි ද ප්‍රහාරයට ලක්වූබව හමුදාව පැවසීය.

2023 ඔක්තෝම්බර් හත්වැනිදා හමාස් තුවක්කුකරුවන් දකුණු ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරයක් දියත්කර, වැඩිමනක් සිවිල් වැසියන්ගෙන් සැදුම්ලත් පුද්ගලයන් 1,200ක් ඝාතනයකර 240ක් පමණ ප්‍රාණ ඇපයට ගත් පසු, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භ විය.