ගාසා සටන් විරාම ගිවිසුම යනු කුමක් ද? එයට අඛණ්ඩව පැවතිය හැකි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, ජෙරමි හොවෙල්
- Role, බීබීසී ලෝක සේවය
ගාසාහි මාස 15ක පුරා පැවති යුද්ධය අවසන් කිරීම සඳහා ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාම ගිවිසුමකට එළැඹ ඇති බව ආරංචි මාර්ග බීබීසීයට පවසයි.
මීට පෙර කටාර් මැදිහත්කරුවන් විසින් ඊශ්‍රායලයට සහ හමාස් සංවිධානය වෙත ගාසා තීරයේ සටන් නැවැත්වීමට වන ගිවිසුමකට අදාළ යෝජිත කොන්දේසි ලබා දෙනු ලැබ තිබිණි. පලස්තීන සිරකරුවන් සඳහා හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් භාර දීම වැනි කොන්දේසි මෙම ගිවිසුමට ඇතුළත් විය.
කටාර් අගනුවර වන දෝහාහි පැවති සාම සාකච්ඡාවලට සම්බන්ධ වූ නිලධාරීන් පැවසුවේ, දෙපාර්ශවය දින 60ක සටන් විරාමයකට එකඟ වීමට ඉතා ආසන්නව සිටි බව ය.
කෙසේ වෙතත්, එය ස්ථිර සටන් විරාමයක් බවට පත්වීම වැළැක්විය හැකි බොහෝ බාධක තවමත් පවතී.

ඡායාරූප මූලාශ්‍රය, Abir Sultan / EPA
සාම ගිවිසුමේ කොන්දේසි මොනවා ද?
ගාසාහි මාස 15ක් පුරා පැවති ගැටුම අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය සාම ගිවිසුමක් සඳහා පුළුල් කොන්දේසි කිහිපයක් සකස් කළේ ය. එතැන් පටන් ඊශ්‍රායල සහ හමාස් සංවිධානය කටාර්, ඊජිප්තුව සහ එක්සත් ජනපදයේ මැදිහත්කරුවන් හරහා ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටියේ ය.
ස්ථීර සටන් විරාමයකට තුඩු දෙන අදියර තුනකින් සමන්විත ගිවිසුමක් සඳහා වන කෙටුම්පතක් කටාර් මැදිහත්කරුවන් විසින් දැන් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Mohammed Saber / EPA
යෝජිත සටන් විරාමයේ පළමු අදියර ඇතැම් වාර්තාවලට අනුව දින 42ක් හෝ දින 60ක් පවතිනු ඇති බව රොයිටර්ස පුවත් සේවය වෙත අදහස් දැක්වූ පලස්තීන නිලධාරියෙක් පැවසීය.
පලස්තීන නිලධාරියෙකු බීබීසීයට පැවසුවේ, හමාස් සංවිධානය ගිවිසුමේ පළමු දිනයේ ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු නිදහස් කරන බව ය. ඊළඟ සතිවල දී තවත් ප්‍රාණ ඇපකරුවන් වරින් වර නිදහස් කරනු ඇත.
රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන්නේ, යෝජිත ගිවිසුමට අනුව පළමු අදියරේදී ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු ඊශ්‍රායලයට ආපසු භාර දිය යුතු බව ය. මෙම පිරිස:
- දරුවන්
- සෙබළියන් ඇතුළු කාන්තාවන්
- අවුරුදු 50ට වැඩි පිරිමි
- තුවාල ලැබූ සහ අසනීප තත්ත්වයේ පසුවන පුද්ගලයින්

ඡායාරූප මූලාශ්‍රය, EPA
1 වන අදියර: දින 42ක සටන් විරාමය
මෙම ප්‍රාණ ඇපකරුවන්ගෙන් බහුතරයක් ජීවතුන් අතර සිටින බව ඊශ්‍රායලය විශ්වාස කරන නමුත් ඔවුන් ජීවත්ව සිටින බවට හමාස් වෙතින් නිල තහවුරු කිරීමක් නොමැත.
ඊශ්‍රායලය පවසන්නේ ඔවුන්ගෙන් 94 දෙනෙකු ගාසාහි සිටින අතර 34 දෙනෙකු මියගොස් ඇති බව ය. යුද්ධයට පෙර පැහැරගත් ඊශ්‍රායල ජාතිකයන් හතර දෙනෙකු ද ඔවුන් අතර සිටින අතර ඉන් දෙදෙනකු මියගොස් ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ගිවිසුම් කෙටුම්පතේ දැක්වෙන්නේ සටන් විරාමයේ 16 වන දින ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම සැලැස්මේ දෙවන සහ තුන්වන අදියර පිළිබඳ සාකච්ඡා ආරම්භ කරන බව ය. පලස්තීන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා ඉතිරිව සිටින අනෙකුත් සියලු ම ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දීම මෙයට ඇතුළත් වේ.
ඊශ්‍රායලය උතුරු ගාසාවේ තම නිවෙස්වලින් අවතැන් වූ පදිංචිකරුවන්ට ආයුධ සඳහා වන පරීක්ෂා කිරීම්වලට යටත්ව භූමියේ දකුණු ප්‍රදේශයෙන් ආපසු පැමිණීමට ඉඩ දෙනු ඇත.
පයින් ගමන් පුද්ගලයින්ට වෙරළ මාර්ගය භාවිත කිරීමට සිදුවනු ඇත. වාහන හෝ කරත්තවලින් ගමන් කරන පුද්ගලයින්ට ගාසා තීරයේ මැදින් සලා අල්-ඩින් මාර්ගයට සමාන්තරව මාර්ගයක් ඔස්සේ ගමන් කළ හැකි ය.
ඊශ්‍රායල ඉවත් කිරීමේ නියෝග, ඊශ්‍රායල ප්‍රහාර සහ භූමියේ පැවති සටන් හේතුවෙන් ගාසා හී මිලියන 2.3ක ජනතාවකට තම නිවෙස් හැර යාමට සිදු වූහ.

සටන් විරාමය ආරම්භ වී දින කිහිපයකට පසු, ඊශ්‍රායල හමුදා තීරුවෙන් පියවරෙන් පියවර ඉවත් වීමේ කොටසක් ලෙස මධ්‍යම ගාසා තීරයේ නෙට්සාරිම් කොරිඩෝවෙන් පිටව යාම ආරම්භ කරනු ඇත.
කෙසේ වෙතත්, ඊශ්‍රායලය ගාසාහි ඊජිප්තුව සමග දකුණු දෙසින් වැටී ඇති මායිම දිගේ පිහිටා ඇති ෆිලඩෙල්ෆි කොරිඩෝවේ හමුදා කිහිපයක් තබා ගනු ඇත.
ඊජිප්තුව සහ ගාසා අතර රෆා හරස් මාර්ගය ක්‍රමක්‍රමයෙන් රෝගී සහ තුවාල ලැබූ පුද්ගලයන්ට ප්‍රතිකාර ලබා සඳහා භූමියෙන් පිටවීම වෙනුවෙන් විවෘත කෙරෙනු ඇති අතර ඒ හරහා තවත් මානුෂීය ආධාර ඇතුළු වීමට ඉඩ දෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
2 වන අදියර: ඉතිරි ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායලය වෙත ආපසු යැවීම
දෙවන අදියරේදී, ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන්, සෙබළුන් සහ තරුණ සිවිල් පිරිමි පුද්ගලයින් නිදහස් කෙරෙනු ඇති අතර මියගිය ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ද ආපසු ලබා දෙනු ඇත.
ඒ වෙනුවට ඊශ්‍රායලය පලස්තීන සිරකරුවන් සහ මාරාන්තික ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් දීර්ඝ සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන් ඇතුළු රැඳවියන් නිදහස් කරනු ඇත. බීබීසීයට කතා කළ පලස්තීන නිලධාරියෙක් එම සංඛ්‍යාව 1,000ක් ලෙස ප්‍රකාශ කළ අතර ඊශ්‍රායල රජයේ නිලධාරියෙක් පැවසුවේ, එය "සිය ගණනක්" වනු ඇති බව ය.
රොයිටර්ස් සහ අනෙකුත් මූලාශ්‍ර පවසන්නේ, 2023 ඔක්තෝබර් 7 ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයට සහභාගී වූ හමාස් සටන්කාමීන් නිදහස් නොකරනු ඇති බව ය.
ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා නිදහස් කළ පසු පමණක් තම හමුදා සම්පූර්ණයෙන් ඉවත් කර ගන්නා බව ය.
ඉන් පසුව, ඔවුන් ඊශ්‍රායලයට මායිම්ව ගාසා තීරයේ නැගෙනහිර සහ උතුරු පැතිවල මීටර් 800ක් පළල ස්වාරක්ෂක කලාප පවත්වාගෙන යනු ඇති අතර ගාසා තීරයේ ආරක්ෂක පාලනය පවත්වාගෙන යනු ඇතැයි වාර්තා වේ.

ඡායාරූප මූලාශ්‍රය, Bashar Taleb / AFP / Getty Images
3 වන අදියර: ගාසා තීරය යළි ගොඩනැගීම
සටන් විරාම සැලැස්මේ තුන්වන අදියර වනුයේ ගාසා තීරය නැවත ගොඩ නැගීම සහ ඉතිරිව සිටින ප්‍රාණ ඇපකරුවන්ගේ සිරුරු ආපසු ලබා දීම ය.
ගාසා තීරයේ ඉතා විශාල කොටසක් සුන්බුන් බවට පත් වී ඇති බැවින් මෙම අදියර සඳහා වසර කිහිපයක් ගත විය හැකි ය.

ඡායාරූප මූලාශ්‍රය, Bashar Taleb / AFP / Getty Images
තවත් තීරණය කිරීමට ඇත්තේ මොනවා ද?
සටන් විරාමයේ දෙවන සහ තුන්වන අදියර සම්බන්ධයෙන් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර එකඟතාවක් ඇති වී නැත. ඒවා පිළිබඳ සාකච්ඡා මූලික සටන් විරාමයේ 16 වන දින ආරම්භ වනු ඇත.
නමුත් තවමත් විසඳිය යුතු ගැටලු තිබේ, ඉන් එකක් වන්නේ ගාසා තීරය පාලනය කරන්නේ කවුරුන් ද යන්න ය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊශ්‍රායලය හමාස් සංවිධානයට ප්‍රදේශය පාලනය කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරයි. බටහිර ඉවුරේ ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් ප්‍රදේශවල කොටස් පරිපාලනය කරන පලස්තීන අධිකාරිය (PA) ගාසා තීරය පාලනය කිරීමට ඉඩ දීම ද ඔවුහු ප්‍රතික්ෂේප කරති.
තව ද ඊශ්‍රායලයට අවශ්‍ය වී ඇත්තේ ගැටුම අවසන් වූ පසු ගාසාහි ආරක්‍ෂක පාලනය තමන් යටතේ රඳවා ගැනීමට ය.
කෙසේ වෙතත්, පලස්තීන අධිකාරිය ප්‍රතිසංස්කරණය කරන අතරතුර ගාසා තීරය පාලනය කිරීම සඳහා තාවකාලික පරිපාලනයක් සඳහා සැලැස්මක් මත ඔවුහු ඇමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග කටයුතු කරති. මෙම නව පාලනය ස්ථිර රජයක් බවට පත් වනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Amir Cohen / Getty Images
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හමාස් සංවිධානය සමග සාම ක්‍රියාවලියට එකඟ වුව ද, ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ඒ සඳහා පොළඹවා ගැනීමට ඔහුට නොහැකි වනු ඇත.
ඊට ඊශ්‍රායලයේ මුදල් ඇමති බෙසාලේල ස්මොට්‍රිච් සහ ජාතික ආරක්‍ෂක ඇමති ඉටමාර් බෙන්-ගිවියර් විරුද්ධ වනු ඇත.
මෙම ගිවිසුම ඊශ්‍රායලයේ ජාතික ආරක්‍ෂාවට "ව්‍යසනයක්" ඇති කරනු ඇති බව ත් ඊට සහය දැක්වීම ප්‍රතික්ෂේප කරන බව ත් ස්මොට්‍රිච් සමාජ මාධ්‍යවල ලියා තිබේ.
සාම සැලැස්මේ පළමු අදියරේදී ආපසු භාරදීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා ගැනීමෙන් පසු ඊශ්‍රායල රජය නැවත යුද්ධයක් ආරම්භ කරනු ඇතැයි හමාස් සංවිධානය බිය පළ කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ගිවිසුම අසාර්ථක කළ හැකි තවත් සාධක තිබේ.
ඊශ්‍රායලයට අවශ්‍ය වන්නේ, සියලු ම ප්‍රාණ ඇපකරුවන් නැවත පැමිණීම ය. නමුත් කුමන ප්‍රාණ ඇපකරුවන් ජීවතුන් අතර ද නැතහොත් මිය ගොස් ද යන්න පැහැදිලි නැත. ඇතැම් විට හමාස් සංවිධානය සතුව ඔවුන්ගෙන් සමහරෙකු පිළිබඳ වාර්තා නොමැති වීමට ඉඩ ඇත.
හමාස් සංවිධානයට අවශ්‍ය සිරකරුවන් නිදහස් කිරීම ඊශ්‍රායලය ද ප්‍රතික්ෂේප කරයි. ඔක්තෝබර් 7 ප්‍රහාරයට සම්බන්ධ වූවන් ද මේ අතර වන බව වාර්තා වේ.
තව ද ඊශ්‍රායලය ගාසා දේශසීමාවේ යෝජිත ස්වාරක්ෂක කලාපයෙන් හමුදා ඉවත් කරන්නේ කවදා ද, නැතහොත් ඔවුන්ව ස්ථිරව ම එහි තබා ගනී ද යන්න නොදනී.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පුද්ගලයින් 1,200ක් පමණ මිය ගිය අතර තවත් 251 දෙනෙකු ගාසා තීරයට ප්‍රාණ ඇපකරුවන් ලෙස ගෙන යාමත් සමග යුද්ධය ආරම්භ විය.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ඊට ප්‍රතිචාර වශයෙන් හමාස් සංවිධානය විනාශ කිරීමට ඊශ්‍රායලය ගාසා තීරයේ හමුදා ආක්‍රමණයක් දියත් කළේ ය.
ගාසාහි හමාස් සංවිධානය විසින් පාලනය කරනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ, ජනවාරි 14 වන විට සටන්වලින් පුද්ගලයින් 46,640කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ය.














