ඉරානයේ කුඩ්ස් බළකායේ මහමොළකරු කාසිම් සොලේමානිගේ ඝාතනයට වසර 5යි: ඉරානයට සහය දක්වන සන්නද්ධ කණ්ඩායම්වල අනාගතය කෙබඳු ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, කැශෝයර් ජෝනේඩි සහ ෆර්සාඩ් සෙයිෆිකරන්
- Role, බීබීසී පර්සියානු සේවය
පසුගිය මාසයේ ඉරානයේ පිටුබලය ලත් සිරියානු ආණ්ඩුවේ වැටීම මැද පෙරදිග ප්‍රධාන රටවල්වල එකතුවෙන් සැදුම් ලත් බලගතු සන්ධානයක් වන ප්‍රතිරෝධයේ අක්ෂයට (Axis of Resistance) විශාල පහරක් එල්ල කළේ ය. එහි මහ මොළකරුවෙකු වන කාසිම් සොලේමානිගේ මරණයේ පස්වන සංවත්සරයේදී, බීබීසී පර්සියානු සේවය මෙම සන්ධානයේ අනාගතය කුමක් විය හැකි දැයි විමසා බැලීය.
මීට වසර පහකට පෙර, එනම් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති සමයේදී කාසිම් සොලේමානි බැග්ඩෑඩ්හි දී එක්සත් ජනපද හමුදාව විසින් ඉලක්ක කර ඝාතනය කෙරිණි. සොලේමානි ඉරානයේ ප්‍රබල කුඩ්ස් බළකායේ අණදෙන නිලධාරියා විය. එම බළකාය ඉරානයේ විදේශ මෙහෙයුම් සඳහා වගකිව යුතු ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බළකායේ (IRGC) ශාඛාවක් වන අතර එරට කලාපීය බලපෑම සහ හමුදා මූලෝපායන් හැඩගැස්වීමෙහි ලා ප්‍රධාන කාර්යයක් ඉටු කරයි.
2020 ජනවාරි 3 වන දින එක්සත් ජනපද ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඔහු මිය යාමට මාස තුනකට පෙර, සොලේමානි IRGC අණ දෙන නිලධාරීන්ට රහසිගත දේශනයක් සිදු කර ඇති අතර එහිදී ඔහු "ප්‍රතිරෝධයේ අක්ෂයේ ප්‍රමාණාත්මක හා ගුණාත්මක ව්‍යාප්තිය" ගැන සඳහන් කර ඇත.
සොලේමානි තම මරණය අපේක්ෂාවෙන් සිටි බවක් පෙනෙන්නට තිබූ අතර ඔහුට කුඩ්ස් බළකාය සම්බන්ධයෙන් ඔහුගේ දශක දෙකක නායකත්වය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය විය. ඔහු එහි මෙසේ පැවසීය: "IRGC විසින් ප්‍රමාණාත්මකව සහ ගුණාත්මකව ප්‍රතිරෝධය වර්ධනය කරනු ලැබ ඇති අතර, එය දකුණු ලෙබනනයේ වර්ග කිලෝමීටර් 2,000ක ප්‍රදේශයක සිට වර්ග කිලෝමීටර් මිලියන භාගයක් දක්වා පුළුල් කර ඇත."
ඔහු මෙසේ ද එම වාර්තාවේ සඳහන් කළේ ය: "IRGC ප්‍රතිරෝධය අතර භෞමික සම්බන්ධයක් නිර්මාණය කළේ ය; එනම්, එය ඉරාකය - ඉරාකය, ඉරාකය - සිරියාව සහ සිරියාව - ලෙබනනය සම්බන්ධ කළේ ය. අද, ඔබට ටෙහෙරානයෙන් මෝටර් රථයකට නැග බේරූට්හි දකුණු තදාසන්න ප්‍රදේශවලට යා හැකි ය."
ඉරානයේ ප්‍රතිරෝධයේ අක්ෂය සොලේමානිගේ ප්‍රධාන ජයග්‍රහණවලින් එකක් ලෙස සලකනු ලැබූ නමුත් පසුගිය වසර තුළ එයට විශාල පහරවල් කිහිපයක් එල්ල විය.
මැද පෙරදිග වෙනස් කළ අදහසක්
ඉරානයේ කලාපීය ව්‍යාප්තිය ආරම්භ වූයේ 1980 දශකයේ මුල් භාගයේදී, එය එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව සටන් කිරීම සඳහා ලෙබනනයේ ෂියා හිස්බුල්ලා ව්‍යාපාරය පිහිටුවීමට උපකාර කළ අවස්ථාවේදී ය.
පසුව, 2003දී ඇමෙරිකාව ඉරාකය ආක්‍රමණය කිරීමත්, 2011 අරාබි වසන්තයත් සමග කලාපයේ ඇති වූ අස්ථාවරත්වය සහ ඉස්ලාමීය රාජ්‍ය කණ්ඩායම වැනි සුන්නි අන්තවාදී ව්‍යාපාර මතුවීම නිසා ඉරානයට කලාපය තුළ තම පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට අවස්ථාවක් නිර්මාණය විය.
සිරියාවේ IRGC බළකා යෙදවීම සහ ඉරාකයේ සහ ලෙබනනයේ ෂියා සටන්කාමී කණ්ඩායම් සිටීම, ඉරානයේ දේශසීමාවේ සිට මධ්‍යධරණී වෙරළ තීරය දක්වා විහිදුණු භෞමික සබඳතාවයක් නිර්මාණය කළ අතර එය එය ඊශ්‍රායල දේශසීමා වෙත ද ළඟා විය.
2003 එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කිරීමට පෙර ඉරානය සහ එහි පාලිත ප්‍රදේශ අතර ගොඩබිම් කොරිඩෝවක් පිහිටුවීමේ අදහස කළ නොහැකි දෙයක් ලෙස තිබුණු බව ජෙරුසලමේ හීබ්‍රූ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩැනියෙල් සෝබල්මන් විශ්වාස කරයි.
"ඉරාක යුද්ධය ඉරානයට සම්බන්ධ වෙන්න අවස්ථාව හදලා දුන්නේ ඉරාකය, සිරියාව සහ එතැන් සිට කෙලින් ම ලෙබනනය දක්වා එහි මාර්ගය සම්බන්ධ කරමින්," ඔහු පවසයි.
"මේක ඇත්තට ම වැදගත් වුණේ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ඉරානයේ කලාපීය තුළ තම බලය තහවුරු කර ගැනීමේ ව්‍යාපෘතියේ ප්‍රමුඛයා වුණු නිසා ත් ප්‍රතිරෝධයේ අක්ෂයේ තීරණාත්මක ම කොටස බවට පත් වුණු නිසා ත්."
යේමනය ද සිවිල් යුද්ධයකට මැදිවුණු අතර එහි අගනුවර සහ බොහෝ ප්‍රධාන නගර ඉරානය සමග පෙළගැසී සිටින ෂියා මිලීෂියාවන්ගේ පාලනයට නතු විය.
ඊශ්‍රායලය වටා 'ගිනි වළල්ලක්'
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පසුගිය වසර පුරා, "ප්‍රතිරෝධයේ අක්ෂය" ප්‍රධාන වශයෙන් ෂියා කණ්ඩායම් සහ පලස්තීන හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් වැනි මැද පෙරදිග බටහිර සහ ඊශ්‍රායල බලපෑමට මුහුණ දීම අරමුණු කරගත් ඇතැම් සුන්නි ඉස්ලාම්වාදීන් අතර ගොඩනගා ගෙන ඇති කලාපීය සන්ධානයක සංකේතයක් බවට පත්ව ඇත.
ලෙබනනයේ හිස්බුල්ලා, ඉරාකයේ ෂියා මිලීෂියා සහ යේමනයේ හූති කැරලිකරුවන් මෙන් ම මීට පෙර සිරියාවේ බෂාර් අල්-අසාද්ගේ රජය වැනි රාජ්‍ය නොවන ක්‍රියාකාරීන්ගෙන් සැදුම් ලත් මෙම අක්ෂය ඉරානයේ වැදගත් ම භූ දේශපාලන ලීවරය ලෙස සේවය කර ඇත.
ඇත්ත වශයෙන් ම, මෙම ජාලයේ සහය නොතිබුණේ නම්, අසාද් පාලනය මීට බොහෝ කලකට පෙර බිඳ වැටීමට ඉඩ තිබිණි.
ප්‍රතිරෝධයේ අක්ෂය ඊශ්‍රායලයේ දේශසීමා වටා "ගිනි වළල්ලක්" ද පිහිටුවූයේ එය ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට තම ක්‍රියාවල ප්‍රතිවිපාක පිළිබඳ අනතුරු ඇඟවීමේ ඉරානයේ ප්‍රධාන මෙවලමක් බවට පත් වෙමිනි.
ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් යටතේ ආරම්භ වූ ඉරාකයේ සහ ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපද හමුදාවේ යුද්ධ සහ සිරියාවේ IRGC සමග ඇමෙරිකානු ක්‍රියාකාරකම් හේතුවෙන් ඉරාන න්‍යෂ්ටික ගිවිසුම බිඳවැටීමක් (දැන් අභාවයට ගොස් ඇත) පිළිබඳ ඔබාමා පරිපාලනයේ කනස්සල්ල ටෙහෙරානයේ කලාපීය පිහිටීම සහ ප්‍රතිරෝධයේ අක්ෂය පුළුල් වීම ශක්තිමත් කිරීමට උපකාරී වූ සාධක අතර විය.
ට්‍රම්ප්ගේ ජනාධිපති ධූර කාලය තුළ එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ ජෝන් බෝල්ටන් පවසන්නේ, ඉරානය සිය සන්ධානය පුළුල් කිරීමත් සමග තම හමුදාව ශක්තිමත් කිරීමට ගත් උත්සහය සාර්ථක වූ බව ය.
"ඉරානය ඔවුන් ප්‍රතිරෝධයේ අක්ෂය ලෙස හඳුන්වන දෙය නිර්මාණය කිරීමට ගත් උත්සහය, ඒ කියන්නේ ඊශ්‍රායලයට එරෙහි 'ගිනි වළල්ලක' උපාය මාර්ගය ලෙස සොලේමානි සහ කුඩ්ස් බළකාය නිතර හැඳින්වූ දෙය, ඉතා බැරෑරුම් උත්සහයක්," ඔහු පවසයි.
"ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය නිර්මාණය කිරීම සහ පිහිටුවීමත් සමග ආරම්භ වුණු මෙම ප්‍රයත්නය සඳහා ඔවුන් දිගු කාලයක් පුරා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කරලා තියෙනවා කියලා මම හිතනවා. ඔබ මේක ඉරානයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන් සමග ඒකාබද්ධ කළා ම, පේනවා ඒක ඉතා අභිලාෂකාමී උත්සහයක් සහ සැලකිය යුතු සාර්ථකත්වයක් අත්කර ගත්ත දෙයක් කියලා."
ඉරානයේ බලපෑම අඩුවීම

ඡායාරූප මූලාශ්‍රය, Soleimani.ir
වසර පහකට පෙර, එවකට එක්සත් ජනපද ජනාධිපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රතිරෝධයේ අක්ෂයේ බලපෑම බිඳවැටීමට මග සකසමින්, කාසිම් සොලේමානි ඝාතනය කිරීමට නියෝග කළේ ය.
දැන්, ට්‍රම්ප් ධවල මන්දිරයට ආපසු යාමට සූදානම් වන මොහොතේ, ඉකුත් දශක දෙකට සාපේක්ෂව ඉරානය කලාපය තුළ සිටින්නේ එහි දුර්වල ම ස්ථානයේ ය.
ට්‍රම්ප් ජනාධිපතිව සිටියදී ඉරානයට එරෙහිව "දැඩි පීඩනයකින්" යුතුව කටයුතු කළ අතර එයට ජාත්‍යන්තර න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වීම සහ දැඩි සම්බාධක නැවත ස්ථාපනය කිරීම ඇතුළත් විය.
මෙය පසුගිය වසර හත තුළ ඉරානයට සැලකිය යුතු මූල්‍ය පීඩනයක් ඇති කළේ ය.
මෙම පීඩනය, ප්‍රධාන අණ දෙන නිලධාරියෙකු වූ සොලේමානිගේ මරණය සමග ඒකාබද්ධව ඉරානයේ කලාපීය භූමිකාව දුර්වල කිරීමට දායක වී තිබේ.
කෙසේ වෙතත්, 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ ප්‍රතිඵලය ඊටත් වඩා විශාල අභියෝග ඇති කර තිබේ.
හමාස් නායකයින්ගේ මරණ සහ ගාසා තීරයේ එහි හමුදා බලය විසිරී යාම, බේරූට්හි හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කිරීම සහ ෂියා කණ්ඩායමේ බොහෝ ජ්‍යෙෂ්ඨ අණ දෙන නිලධාරීන් ඉලක්ක බවට පත් වීමත් සමග ඉරානයේ ඊශ්‍රායලය වැළැක්වීමේ හැකියාව සැලකිය යුතු ලෙස දුර්වල කර ඇත.
මහාචාර්ය ඩැනියෙල් සෝබල්මන්ට අනුව, ඉරාන බලපෑමේ වැදගත්ම කලාපීය හස්තය වන හිස්බුල්ලා සංවිධානයේ හමුදා යාන්ත්‍රණයේ අඩපණ වීම දිගු කාලීනව ඊශ්‍රායලයට වාසි ඇති කරමින් කලාපයේ බල තුලනය වෙනස් කර තිබේ.
"වසර ගණනාවක් තිස්සේ, හිස්බුල්ලා සංවිධානය ප්‍රතිරෝධයේ අක්ෂයේ බලවත් ම සංරචකය ලෙස ස්ථාපනය වෙලා තිබුණා," ඔහු පවසයි.
"දැන් අපි මෙම අක්ෂයේ තිරසරභාවය ගැන සාකච්ඡා කිරීමේ යථාර්ථයට මුහුණ දීලා ඉන්නේ, ඒක පුදුම සහගතයි."
ඔහු මෙසේ ද පවසයි: "ප්‍රතිරෝධයේ අක්ෂය ඉරානයට වාසිදායක ලෙස බලය තුලනය කරන්න සමත් වුණා, නමුත් දැන් තත්ත්වය සම්පූර්ණයෙන් ම ආපහු හැරිලා."
අනෙක් අතට, ප්‍රතිරෝධයේ අක්ෂයේ කුළුණ ලෙස ඉරානයේ ආධාරකරුවන් විසින් විස්තර කරන ලද සිරියාවේ ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පාලන තන්ත්‍රයේ බිඳවැටීම එම සන්ධානයට ආපසු හැරවිය නොහැකි පහරක් එල්ල කර ඇත.
ජෝන් බෝල්ටන් මෙසේ පවසයි: "කිසි කෙනෙක් බලාපොරොත්තු නොවූ අසාද්ගේ වැටීම ඉරානයට දැවැන්ත පරාජයක් - ඒ ගැන කිසිදු සැකයක් නැහැ."
"ඒක හිස්බුල්ලා සංවිධානයටත් දැවැන්ත පරාජයක්, මොකද දැන් ඉරානයේ ඉඳලා ගොඩබිමින් මිසයිල, ආයුධ සහ වෙනත් උපකරණ සපයන මාර්ග අවහිර කරලා නිසා."
ඔහු මෙසේ ද පැවසීය: "ඉතින්, ඊශ්‍රායලයේ දැවැන්ත පීඩනයකට ලක් වෙලා ඉන්න හිස්බුල්ලා සංවිධානය දැන් බරපතළ විදිහට සැපයුම් ගැටලුවලට මුහුණ දීලා ඉන්නේ."
ප්‍රතිරෝධයේ අක්ෂයේ අනාගතය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ප්‍රතිරෝධයේ අක්ෂයේ බොහෝ අණ දෙන නිලධාරීන් සහ නායකයින් අහිමි වී සහ මිත්‍ර පාක්ෂිකයින් සමග භෞමික සම්බන්ධතා නොමැතිකම හේතුවෙන් දැන් ඉරානය දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත.
ඉරාකයේ ෂියා ෂියා මිලීෂියාව සමග, යේමනයේ හූති කැරලිකරුවන් යනු, කලාපය තුළ ඉරානය සඳහා ඉතිරිව ඇති එක ම සන්නද්ධ කණඩායම වේ. නමුත් ඔවුහු ද එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ පුළුල් ප්‍රහාරවලට ලක්ව සිටිති.
ඉරානයේ ඩොලර් බිලියන ගණනක ආයෝජනය සහ සිරියාවේ සහ අනෙකුත් ගැටුම් කලාපවල සිය දහස් ගණනක් ලේ වැගිරීම් තිබියදීත්, වරක් ප්‍රධාන කලාපීය බලවේගයක් ලෙස සැලකූ ප්‍රතිරෝධයේ අක්ෂය දැන් පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දෙමින් සිටියි.
මේ අතර, ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත බලයට පත්වීමත් සමග, ඉරානය සහ එක්සත් ජනපදය අතර එකඟතාවයකට නොපැමිණෙන්නේ නම්, ධවල මන්දිරය චීනය සහ ඉරාකය දෙසට තම තර්ජන හරවා ටෙහෙරානයට තෙල් ආදායම අහිමි කර ජනප්‍රිය ෂියා මිලීෂියා කණ්ඩායමක් වන ජනප්‍රිය බලමුලු ගැන්වීමේ බළකායන් බල රේඛාවෙන් තුරන් කිරීමට පියවර ගත හැකි බව පෙනේ.
මැදපෙරදිග පවතින කැළඹිලිසහගත වාතාවරණය තුළ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි දෙසැම්බර් මාසයේදී මෙසේ පැවසීය: "ඔබ ප්‍රතිරෝධයේ අක්ෂයේ මත පීඩනය යොදන්න ඒක තව තවත් අභිප්‍රේරණය වේවි."
"ප්‍රතිරෝධයේ අක්ෂයේ පරාසය වෙන කවරදාකටත් වඩා කලාපය පුරා විහිදී යනු ඇත," යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
ඔහුගේ ප්‍රකාශයන් ඉරානයේ ප්‍රතිරෝධයේ අක්ෂය නැවත ගොඩනැංවීමට සහ එහි නැතිවූ භෞමික සම්බන්ධතා යථා තත්ත්වයට පත් කිරීමට දරන උත්සහයන් ගැන ඉඟි කරයි.
ඊශ්‍රායල හමුදාවේ හිටපු බුද්ධි නිලධාරියෙකු සහ ආරක්ෂක තර්ජන පිළිබඳ විශේෂඥයෙකු වන ඊබ්‍රාහිම් ලෙවින් පවසන්නේ, ප්‍රතිරෝධයේ අක්ෂය තුළ පළිගැනීමේ චේතනාව දැන් එහි උච්චතම අවස්ථාවට පත්ව ඇති අතර එහි නායකයින් එහි පෙර ස්ථාවරය නැවත ලබා ගැනීමට උත්සහ දරනු ඇති බව ය.
සිරියාව යම් දුරකට "අහිමි" වුව ද, ලෙවින් විශ්වාස කරන්නේ, "ඉරානය සිරියාව වෙත සිය ප්‍රවේශය නැවත ස්ථාපනය කිරීමට උත්සහ කරනු ඇති අතර, ජොලානි [අසාද් පාලනය පෙරළා දැමීමට නායකත්වය දුන් HTS කණ්ඩායමේ නායකයා] වැනි පුද්ගලයින්ට සිරියානු භූමිය භාවිත කිරීමට නැවත අවසරය ලබා ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකි" බව ය.
මේ අතර, මහාචාර්ය සෝබල්මන් විශ්වාස කරන්නේ වත්මන් කාලය මැද පෙරදිග දේශපාලන නවෝත්පාදනයන් සඳහා තීරණාත්මක අවස්ථාවක් විය හැකි බව ය.
"ඇතැම් විට ඊශ්‍රායල-පලස්තීන ගැටුම විසඳීමට අවස්ථාවක් තියේවි," ඔහු පවසයි.
"දේශපාලකයන්ට සහ දේශපාලන උපායමාර්ගිකයින්ට ප්‍රයෝජන ගන්න, යුද්ධයේ ප්‍රතිවිපාක සමාලෝචනය කිරීමට සහ කලාපයේ යහපත් අනාගතයක් සඳහා විකල්ප මාර්ග ගවේෂණය කිරීමට දැන් තමයි කාලය."














