සයිඩ්නායා බන්ධනාගාරය: සිරියානු ජනපතිගේ 'මිනිස් වධකාගාරය' සිතියම් ඇසුරින්

ඡායාරූප මූලාශ්‍රය, White Helmets
- Author, මැට් මර්ෆි
- Role, බීබීසී
පසුගිය ඉරිදා, අසාද් පාලනය බිඳ වැටීමෙන් පසු, සිරියානු සිවිල් වැසියන් තම ඥාතීන් පිළිබඳ තොරතුරු බලාපොරොත්තුවෙන් රටේ වඩාත් ම රහසිගත හා කුප්‍රකට බන්ධනාගාරය වන සයිඩ්නායා වෙතට යමින් සිටිති.
1980 දශකයේ මුල් භාගයේදී ඩමස්කස් අගනුවරට කිලෝමීටර් 30ක් හෙවත් සැතපුම් 19ක් උතුරින් පිහිටි කුඩා නගරයක පිහිටුවන ලද සයිඩ්නායා යනු, දශක ගණනාවක් තිස්සේ අසාද් පවුලේ සාමාජිකයින් ඔවුන්ගේ දේශපාලන විරුද්ධවාදීන් රඳවාගෙන සිටින ස්ථානය යි.
මානව හිමිකම් කණ්ඩායම් විසින් "මිනිස් වධකාගාරයක්" ලෙස හඳුන්වනු ලබන මෙහි, 2011 වසරේදී සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූ දා සිට දහස් ගණනක් මිනිසුන් රඳවා තබාගෙන, වධහිංසා පමුණුවා මරණයට පත්කර ඇති බව පැවසේ.
සයිඩ්නායා බන්ධනාගාරය කුමනාකාර ද යන්න පිටත ලෝකයට රහසක් වී තිබුණු අතර එහි ඇතුළත ඡායාරූප පවා මීට පෙර ප්‍රසිද්ධියට පත්වී තිබුණේ නැත.
එහෙත්, අසාද්වරුන්ගේ කුරිරු හා මර්දනකාරී පාලනයේ ප්‍රබල සංකේතයක් බවට පත්ව තිබූ මෙම ගොඩනැගිල්ල පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි තොරතුරු, මානව හිමිකම් සංවිධාන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් හෙළිදරව් කර තිබේ.
සුවිසල් 'වධකාගාරයක්'
1980 දශකයේ මුල් භාගයේදී ඉදිකිරීම් ආරම්භ වූ සයිඩ්නායා බන්ධනාගාරය දශක ගණනාවක් තිස්සේ සිරියානු මිලිටරි පොලිසිය සහ මිලිටරි බුද්ධි අංශ විසින් පාලනය කරන ලදී. වර්ග කිලෝමීටර් 1.4ක බන්ධනාගාරය වෙතට පළමු රැඳවියන් කණ්ඩායම පැමිණියේ බෂාර්ගේ පියා වන ජනාධිපති හෆීස් අල්-අසාද්ගේ පාලන කාලය ආරම්භ වී වසර 16කට පසුව, එනම් 1987 වර්ෂයේදී ය.
සම්පූර්ණයෙන් ම ක්‍රියාකාරී වූ පසුව, බන්ධනාගාරයේ ප්‍රධාන රැඳවුම් මධ්‍යස්ථාන දෙකක් තිබිණි. මානව හිමිකම් කණ්ඩායම්වලට අනුව, ධවල ගොඩනැගිල්ල, ප්‍රධාන වශයෙන් ඉදිකරන ලද්දේ පාලන තන්ත්‍රයට අපක්ෂපාතී යැයි සැක කෙරෙන හමුදා නිලධාරීන් සහ භට පිරිස් රඳවා තැබීම වෙනුවෙනි. එය මෙම සුවිසල් ගොඩනැගිලි සංකීර්ණයේ ගිනිකොණ දෙසට වන්නට පිහිටි L හැඩයේ ගොඩනැගිල්ලකි.
රතු ගොඩනැගිල්ල හෙවත් ප්‍රධාන බන්ධනාගාරය, පාලන තන්ත්‍රයේ විරුද්ධවාදීන් සඳහා වෙන් කර තිබූ අතර, මුලදී ඉස්ලාමීය කණ්ඩායම්වල සාමාජිකයින් යැයි සැක කළ පිරිස් එහි රඳවා තැබිණි. මෙම ගොඩනැගිල්ල කැපී පෙනුණේ එහි වූ සුවිශේෂී Yහැඩය හේතුවෙනි. මධ්‍යයක සිට පිටතට විහිදෙන ඍජු කොරිඩෝ තුනකින් එය සමන්විත විය.
මෙම ගොඩනැගිලි දෙක තුළ 10,000-20,000ක් අතර පිරිසක් රඳවා තබා ගත හැකි බව නිදහස් වූ සිරකරුවන් සමග සාකච්ඡා කළ මානව හිමිකම් කණ්ඩායම් පවසයි. ඉරිදා සිට ඉන්ටර්නෙට් හරහා සංසරණය වන බීබීසීය විසින් සත්‍ය බවට තහවුරු කර ගත් වීඩියෝවලින් බන්ධනාගාරයේ ඇති විශාල CCTV තිරවලින් පිරී ඇති විශාල නිරීක්ෂණ කාමරයක් දකින්නට ලැබේ. ඉන් සිර මැදිරි විශාල සංඛ්‍යාවක් නිරීක්ෂණය කළ හැකි ය.

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
2011 වසරේදී සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වීමෙන් පසුව, එතෙක් ධවල ගොඩනැගිල්ලේ රඳවා සිටි සිරකරුවන් ඉන් ඉවත් කළ බවත්, ජනාධිපති බෂාර් අල් අසාද්ගේ පාලනයට එරෙහි විරෝධතාවලට සහභාගී වීම නිසා අත්අඩංගුවට ගත් පිරිස රඳවා තබා ගැනීමට සූදානම් කළ බවත්, බන්ධනාගාරයේ හිටපු ආරක්ෂකයින් උපුටා දක්වමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් 2017 වසරේදී එළි දක්වන ලද වාර්තාවකින් හෙළි විය.
හිටපු නිලධාරියෙකු ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙත පවසා තිබුණේ, 2011 වසරෙන් පසුව සයිඩ්නායා බන්ධනාගාරය සිරියාවේ ප්‍රධාන දේශපාලන බන්ධනාගාරය බවට පත්වූ බව ය.
එමෙන් ම, හිටපු සිරකරුවන්ගේ සාක්ෂි ද උපුටා දක්වමින්, එම සංවිධානය පවසන්නේ, බන්ධනාගාරයේ රතු ගොඩනැගිල්ලේ රඳවා සිටින පුද්ගලයින් දැඩි ලෙස පහරදීම්වලට, ලිංගික හිංසනවලට සහ ආහාර හා ඖෂධ ලබා නොදීම ආදී විවිධ වධහිංසාවලට නිතර ලක් කෙරුණු බව ය.
ඇම්නෙස්ටි සංවිධානය හා සම්බන්ධ වූවන්ට අනුව, ධවල ගොඩනැගිල්ලට යටින් "මරණ දඬුවම දෙන කාමරයක්" පිහිටා තිබේ. රතු ගොඩනැගිල්ලේ රඳවා සිටි රැඳවියන් එල්ලා මැරීම සඳහා එහි ගෙනැවිත් ඇත.
හිටපු ආරක්ෂකයෙකු පැවසුවේ, රතු ගොඩනැගිල්ලේ සිටින්නන්ගෙන්, මරණ දඬුවමට ලක් කළ යුතු අයගේ ලැයිස්තුවක් දිවා ආහාරය පැවති වේලාවට ලැබෙන බව ය. පසුව සොල්දාදුවන් විසින් මරණය සඳහා නියම කර ඇති සිරකරුවන් පහළ ම මාලයේ සිර මැදිරියකට ගෙන යනු ඇත. ඇතැම් විට එම ලැයිස්තුව පුද්ගලයින් 100 දෙනෙකු පමණ දක්වා දිගු වේ. එහිදී ඔවුහු පහරදීම්වලට ලක් වෙති.
එල්ලා මරා දැමීමට සකස් කළ පෝරක 10ක් සහිත මීටරයක් උස වේදිකාව මතට ගෙන යාමට පෙර, ඇස් බඳින ලද රැඳවියන්ව ධවල ගොඩනැගිල්ලේ ගිනිකොණ දිග කොටසේ වූ පඩිපෙළකින් පහළ වූ "මරණ දඬුවම් කාමරයට" ගෙන යනු ලබ යි.
ඇම්නෙස්ටි සංවිධානය පවසන පරිදි, 2012දී මෙම කාමරය විශාල කරන ලද අතර, තවත් පෝරක 20ක් සහිතව දෙවන වේදිකාවක් ඉදි කෙරී තිබේ. පාලන තන්ත්‍රය බිඳ වැටීමෙන් පසුව කැරලිකරුවන්ට අයත් මාධ්‍ය ඔස්සේ, සටන්කාමීන් විසින් සයිඩ්නායාහි තිබී සොයාගත් උගුල් විශාල සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරිණි.
2011 සිට 2018 දක්වා කාලය තුළ වධහිංසා පැමිණවීම, වෛද්‍ය ප්‍රතිකාර නොමැති වීම හෝ සාගින්න හේතුවෙන් රැඳවියන් 30,000 කට අධික පිරිසක් මරණයට පත් වී හෝ මරණයට පත් කර ඇති බවට මානව හිමිකම් කණ්ඩායම් ඇස්තමේන්තු කර ඇත. නිදහස් කරන ලද රැඳවියන් කිහිප දෙනෙකුගේ ප්‍රකාශ උපුටා දක්වමින්, සයිඩ්නායා බන්ධනාගාරයේ අතුරුදන් වූවන්ගේ සහ රැඳවියන්ගේ සංගමය (AMDSP) 2022 දී පැවසුවේ, 2018 සිට 2021 දක්වා කාලය තුළ අවම වශයෙන් තවත් රැඳවියන් 500කට වත් මරණ දඬුවම දී ඇති බව ය.
2017 වසරේදී ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ, ඝාතනයට ලක්වූ සිරකරුවන්ගේ සිරුරු බැහැර කිරීම සඳහා බලධාරීන් විසින් එම ස්ථානයේ ආදාහනාගාරයක් ඉදිකරනු ලැබ ඇති බව ය. පහත ඡායාරූපවල, සුදු ගොඩනැගිල්ලට යාබදව කුඩා ඉදිකිරීමක් දැකිය හැකි ය.

රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු පැවසුවේ, නිලධාරීන් මෙම මධ්‍යස්ථානය ඉදිකර ඇත්තේ, "සයිඩ්නායා බන්ධනාගාරයේ සිදුවන සමූහ මිනීමැරුම් වසන් කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස බව ය.
ඇමෙරිකානු විමර්ශකයින් විසින් නිකුත් කරන ලද චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන කුඩා ගොඩනැගිල්ල, ආදාහනාගාරයක් බවට පරිවර්තනය කරන ලද ගොඩනැගිල්ලකි. ගොඩනැගිල්ලේ වහලය මත හිම දියවී තිබීම මෙම නිගමනය සනාථ කිරීමට හේතු වූ බව ද ඔවුන් සඳහන් කර තිබේ.
එමෙන් ම, අවම වශයෙන් දිනකට සිරකරුවන් 50 දෙනෙකු මෙම බන්ධනාගාරයේදී එල්ලා මරා දමනු ලැබූ බවත් ප්‍රකාශ කර තිබේ.
ගොඩනැගිල්ල වටා දැඩි ආරක්ෂාවක්
එහි ඉතිහාසය පුරා ම, මෙම ගොඩනැගිලි සංකීර්ණය දැඩි ලෙස ආරක්ෂා කර ඇති අතර, භූමිය වටා බළකොටු ඇත.
2022 සයිඩ්නායා බන්ධනාගාරයේ අතුරුදන් වූවන්ගේ සහ රැඳවියන්ගේ සංගමයේ වාර්තාවට අනුව, හමුදාවේ භටයින් 200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් බන්ධනාගාරයේ පිටත මුර සංචාරයේ යෙදී සිටින අතර, හමුදා බුද්ධි අංශ සහ හමුදා පොලිසියේ අතිරේක සොල්දාදුවන් 250 දෙනෙක් එහි අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳව සොයා බලති.
හමුදාවේ තුන් වන සේනාංකයේ 21 වන සේනාංකයේ භට පිරිස් බන්ධනාගාරය ආරක්ෂා කිරීම සඳහා තෝරා ගෙන ඇත්තේ, පාලන තන්ත්‍රයට ඔවුන්ගේ ඇති දැඩි පක්ෂපාතීත්වය හේතුවෙනි. සොල්දාදුවන්ට අණ දීම සිදු කළේ, ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඇලවයිට් (අලිගේ අනුගාමිකයින්) සුළුතරයේ නිලධාරීන් ය.
අසාද් පාලනයේ බිඳ වැටීමෙන් පසුව, බන්ධනාගාරයට යාමෙන් වළකින ලෙස සිවිල් වැසියන්ගෙන් ඉල්ලා තිබේ. මානව හිමිකම් සංවිධාන පවසන්නේ, සංකීර්ණයේ පිටත විශාල වශයෙන් බිම් බෝම්බ වළලා ඇති බව ය. යුද්ධ ටැංකි නාශක යුද්ධෝපකරණ වළල්ලක් බන්ධනාගාරයේ පිටතින් ඒ වටා දිවෙන අතර, ද්විතික වළල්ලක් ලෙස පුද්ගල නාශක බිම් බෝම්බ වළලා තිබේ.

සිරියානු සිවිල් ආරක්ෂක කණ්ඩායමක් වන වයිට් හෙල්මට්ස් සංවිධානය විසින් නිකුත් කරන ලද ඡායාරූපවල ගොඩනැගිල්ල වටා, මුදුනත කටු කම්බි රැඳවූ උස් බිත්ති දක්නට ලැබේ. එමෙන් ම මෙම ගොඩනැගිල්ල වටා මුර කුලුනු ද දැකගත හැකි ය.
ජාත්‍යන්තර සංවිධාන විසින් තමන්ට එල්ල කරන ලද චෝදනා අසාද් පාලනය සෑම විට ම පාහේ ප්‍රතික්ෂේප කළේ, ඒවා "පදනම් විරහිත" සහ "සත්‍යයෙන් තොර" බව පවසමිනි.
ඇම්නෙස්ටි සංවිධානය පවසන්නේ, පාලන තන්ත්‍රයේ බිඳ වැටීම, තම ඥාතීන් සයිඩ්නායාහි රඳවාගෙන ඇති බවට සැක කරන පවුල් සඳහා "දශක ගණනාවකට පසුව හෝ ඔවුන්ගේ අතුරුදන් වූ ආදරණීයයන්ගේ ඉරණම පිළිබඳව දැනුවත් විය හැකි බවට අපේක්ෂාව මතු කරන" බව ය.














