බෂාර් අල්-අසාද්: ලන්ඩනයේ අක්ෂි වෛද්‍යවරයෙක්ව සිට සිරියාවේ ඒකාධිපති ජනාධිපති දක්වා

Image of Syrian President Bashar al-Assad සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ඡායාරූපය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ ජීවිතයේ බොහෝ තීරණාත්මක අවස්ථා පවතී, නමුත් සමහර විට වඩාත්ම බලගතු සිදුවීම වූයේ ඔහු ජීවත් වූ ස්ථානයට කිලෝමීටර් දහස් ගණනක් එපිටින් සිදුවූ රිය අනතුරකි.

බෂාර් අසාද් ඔහුගේ පියාගෙන් ලද බලය උරුම කර ගැනීමට මුල දී සූදානම් නොවීය. 1994 මුල් භාගයේදී ඩැමස්කස් සමීපයේ සිදුවූ රිය අනතුරකින් ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන බාසල් මිය යාමෙන් පසුව මෙම ගමන ආරම්භ විය. ඒ වන විට බෂාර් ලන්ඩනයේ අක්ෂි වෛද්‍ය විද්‍යාව හදාරමින් සිටියේය.

බාසල්ගේ මරණයෙන් පසුව, සිරියාවේ බලය සඳහා බාල සොහොයුරා සූදානම් කිරීමට සැලසුම් කරන ලදී. පසුව, ඔහු සිය දහස් ගණනකගේ ජීවිත බිලිගත් සහ මිලියන ගණනක් අවතැන් වූ ලේ වැගිරීමකින් සිදු කළ යුද්ධයක් හරහා ඔහු විසින් රට මෙහෙයවනු ලැබීය.

එහෙත් බෂාර් අල් අසාද් වෛද්‍යවරයකුගේ සිට යුද අපරාධ චෝදනා එල්ල වූ අධිකාරී බලයක් සහිත නායකයෙක් බවට පත් වූයේ කෙසේද?

පියාගේ උරුමය

Hafez al-Assad හෆීස් අල්-අසාද්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බෂාර් අල් අසාද් 1965 දී හෆීස් අල් අසාද් සහ අනීසා මක්ලූෆ්ට දාව උපත ලැබීය.

ඔහුගේ උපත සිරියාවේ, මැද පෙරදිග සහ ඉන් ඔබ්බෙහි සිදුවූ කැපීපෙනෙන වර්ධනයන් සමඟ සමපාත විය. එකල අරාබි ජාතිකවාදය කලාපයේ බොහෝ රටවල කලාපීය දේශපාලනය ආධිපත්‍යය දැරූ අතර සිරියාව ද ඊට වෙනස් නොවීය.

ඊජිප්තුව සහ සිරියාව අතර (1958-1961) කෙටිකාලීන සහයෝගීතාවය අසාර්ථක වීමෙන් පසු බාත් පක්ෂය බලය අල්ලාගෙන අරාබි ජාතිකවාදී ස්ථාවරයන් ප්‍රවර්ධනය කරන ලදී. එකල බොහෝ අරාබි රටවල් මෙන් සිරියාව ද ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොවූ අතර එහි බහු පක්ෂ මැතිවරණ නොතිබුණි.

අසාද් පවුල අයත් වන ඇලවිට්ස් (Alawite) ප්‍රජාව සිරියාවේ වඩාත්ම අවාසි සහගත ප්‍රජාව වූ අතර ආර්ථික දුෂ්කරතා හේතුවෙන් එහි සාමාජිකයින් බොහෝ දෙනෙකු සිරියානු හමුදාවට එක් වුණි. හෆීස් අල්-අසාද් හමුදා නිලධාරියෙකු ලෙසත් බාත් පක්ෂයේ දැඩි ආධාරකරුවෙකු ලෙසත් ප්‍රසිද්ධියට පත් වූ අතර 1966 දී ආරක්ෂක ඇමති බවට පත්විය.

හෆීස් අල්-අසාද් බලය තහවුරු කරගෙන 1971 දී ජනාධිපති බවට පත් වූ අතර, 2000 වසරේ දී ඔහු මිය යන තුරුම එම තනතුර දැරීය. හමුදා කුමන්ත්‍රණ මාලාවක් සිදුවූ සිරියාවේ නිදහසින් පසු ඉතිහාසයේ මෙම දීර්ඝ කාලය කැපී පෙනුණි.

විපක්ෂය යටපත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ප්‍රතික්ෂේප කරමින් ඔහු අයෝමය හස්තයකින් රට පාලනය කළේය. කෙසේ වෙතත්, ඔහු විදේශ ප්‍රතිපත්තිය තුළ ප්‍රායෝගිකත්වය ප්‍රදර්ශනය කළ අතර, සෝවියට් සංගමය සමඟ සන්ධානගත වූ නමුත් 1991 ගල්ෆ් යුද්ධයේදී ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයට සම්බන්ධ විය.

වෛද්‍ය විද්‍යාව සහ ලන්ඩනය

Asma al-Akhras අස්මා අල්-අක්රාස්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

කෙසේ වෙතත්, බෂාර් අසාද් දේශපාලනයෙන් සහ හමුදාවෙන් ඈත්ව වෙනත් මාවතක් තෝරාගෙන තිබුණි. ඔහු වෛද්‍ය වෘත්තියේ නිරතවීමට තීරණය කළේය.

ඩැමස්කස් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලැබීමෙන් පසු ඔහු 1992 දී ලන්ඩනයේ බටහිර අක්ෂි රෝහලේ අක්ෂි වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥයෙකු වීමට එක්සත් රාජධානියට ගියේය.

2018 පළ වූ 'A Dangerous Dynasty: The Assads' BBC වාර්තා චිත්‍රපටියට අනුව, බෂාර් ලන්ඩනයේ ජීවිතය භුක්තිය වින්දේය. ඔහු ඉංග්‍රීසි ගායක ෆිල් කොලින්ස් අගය කළ අතර බටහිර සංස්කෘතියේ අංග වැළඳ ගත්තේය.

බෂාර්ට තම සිය බිරිඳ අස්මා අල් අක්රාස් මුණගැසුණේ ලන්ඩනයේදී යි. අස්මා ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි පරිගණක විද්‍යාව හදාරමින් සිටි අතර පසුව MBA වැඩසටහනක් සඳහා හාවර්ඩ් විශ්ව විද්‍යාලයට ඇතුළත් විය. කෙසේ වෙතත්, ඉක්මනින් ඇගේ ජීවිතය පරිවර්තනයකට ලක්විය.

හෆීස් අල්-අසාද්ගේ දෙවන පුත්‍රයා ලෙස, බෂාර් බොහෝ දුරට "උරුමක්කාරයා" ලෙස සැලකෙන ඔහුගේ වැඩිමහල් සොහොයුරාගේ සෙවනේ සෑම විටම විය.

1994 ජනවාරි මාසයේදී බාසල්ගේ මරණයෙන් බෂාර්ගේ ජීවිතයේ ගමන් මග රැඩිකල්වාදී වෙනසකට බඳුන් විය. සිරියාවේ මීළඟ නායකයා ලෙස ඔහුගේ හැඩගැන්වීමේ ආරම්භය සනිටුහන් කරමින් ඔහුව වහාම ලන්ඩනයේ සිට කැඳවන ලදී.

බෂාර් හමුදාවට බැඳුණු අතර ඔහුගේ අනාගත භූමිකාව සඳහා සූදානම් වීම සඳහා ඔහුගේ මහජන ප්‍රතිරූපය ගොඩනැගීමට පටන් ගත්තේය.

සිහින වෙනස් වීම

Photo of the Assad family අසාද් පවුලේ ඡායාරූපය

ඡායාරූප මූලාශ්‍රය, AFP

හෆීස් අල්-අසාද් 2000 ජුනි මාසයේදී මිය ගිය අතර අවම වයස් සීමාව වූ අවුරුදු 40 සිට අවශ්‍යතාව අනුව අඩු කිරීමට සිරියානු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් පසු 34 හැවිරිදි බෂාර් ඉක්මනින් ජනාධිපති ලෙස පත් කරන ලදී.

බෂාර් අසාද් නව දේශපාලන ස්වරයක් හඳුන්වා දෙමින් 2000 වසරේ ගිම්හානයේදී ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නේය. ඔහු "විනිවිදභාවය, ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, නවීකරණය, වගවීම සහ ආයතනික චින්තනය" ගැන කතා කළේය.

ජනාධිපති ධුරයට පත් වී මාස කිහිපයකට පසු බෂාර්, අස්මා අල් අක්රාස් සමඟ විවාහ විය. ඔවුන්ට දරුවන් තිදෙනෙක් සිටී: හෆීස්, සෙයින් සහ කරීම් එම දරුවන් වේ.

මුලදී, දේශපාලන ප්‍රතිසංස්කරණ සහ මාධ්‍ය නිදහස පිළිබඳ බෂාර්ගේ කතා බොහෝ සිරියානුවන් අතර බලාපොරොත්තුවක් ඇති කළේය. අස්මාගේ බටහිර අධ්‍යාපනය සමඟින් මුසු වූ ඔහුගේ නායකත්ව විලාසය වෙනස් වීමේ නව යුගයක් සනිටුහන් කරන බවක් පෙනෙන්නට තිබුණි.

සිරියාව "ඩැමස්කස් වසන්තය" ලෙස හැඳින්වෙන සිවිල් විවාදයේ සහ සාපේක්ෂ ප්‍රකාශනයේ නිදහසේ කෙටි කාල පරිච්ඡේදයක් අත්විඳින නමුත් 2001 වන විට ආරක්ෂක හමුදා ඔවුන්ගේ මර්දනය නැවත ආරම්භ කර, හඬ නගන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගත්තේය.

බෂාර් පුද්ගලික අංශයේ වර්ධනය දිරිමත් කරන සීමිත ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන් අතර, ඔහුගේ ජනාධිපති ධුරයේ මුල් වසරවල ඔහුගේ ඥාති සොහොයුරා වන රමි මක්ලූෆ් නැගීමක් සටහන් කළේය. මක්ලුෆ් විශාල ආර්ථික අධිරාජ්‍යයක් ස්ථාපිත කළ අතර, එය ධනය හා බලය ඒකාබද්ධ කිරීම සංකේතවත් කරන බව විචාරකයින් පැවසූහ.

ඉරාකය සහ ලෙබනනය

An image of Rafik Hariri hangs from a bridge in Lebanon රෆික් හරිරිගේ රූපයක් ලෙබනනයේ පාලමක එල්ලා ඇති අයුරු

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ලෙබනන් අගමැති රෆික් හරීරිගේ ඝාතනය බෂාර් අල් අසාද්ට වැඩි පීඩනයක් එල්ල කළේය.

2003 වසරේදී ඉරාක යුද්ධය බෂාර් අල් අසාද් සහ බටහිර ආණ්ඩු අතර වූ සබඳතාවල විශාල පිරිහීමක් ඇති කළේය. ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද ඉරාකය ආක්‍රමණය කිරීම පිලිබඳව සිරියානු ජනාධිපතිවරයා විරුද්ධ වූ අතර, එයට හේතුව ලෙස ඇතැමුන් සඳහන් කළේ ඇමෙරිකා එක්සත් ජනපදයේ යුද ක්‍රියාමාර්ගයේ මීළඟ ඉලක්කය සිරියාව වනු ඇතැයි ඔහු බිය පල කිරීමයි.

ඇමෙරිකා එක්සත් ජනපද ආක්‍රමණයට විරුද්ධ ඉරාකයේ කැරලිකරුවන්ට ආයුධ ගෙන ඒමට සහ අන්තවාදීන්ට දෙරට අතර දිගු දේශසීමාව හරහා යාමට ඉඩ සලසමින් නොදැක්කා සේ සිටින බවට වොෂින්ටනය විසින් ඩැමස්කස් වෙත චෝදනා කරන ලදී.

2003 දෙසැම්බරයේදී, ඇමෙරිකා එක්සත් ජනපදය විවිධ හේතූන් මත ඩැමස්කස් වෙත සම්බාධක පනවන ලදී. එම පියවර ඉරාකයට පමණක් සම්බන්ධ නොවන නමුත් ලෙබනනයේ සිරියාවේ පැවැත්මට ද සම්බන්ධ විය.

2005 පෙබරවාරියේදී, ලෙබනනයේ සිටි සිරියාවේ ප්‍රධාන විරුද්ධවාදියෙකු වන හිටපු ලෙබනන් අගමැති රෆික් හරිරි මධ්‍යම බීරූට්හි දැවැන්ත පිපිරීමකින් ඝාතනය විය. ඒ සම්බන්ධයෙන් සිරියාවට සහ ඔවුන්ගේ සහයකයින් වෙත ඉක්මනින් ඇඟිලි දිගු විය.

ජාත්‍යන්තරව එල්ල වූ පීඩනය සමග සමපාත වෙමින් ලෙබනනයේ මහජන විරෝධතා පැන නැගුණු අතර මේ හේතුවෙන් 30 වසරකට පසු ලෙබනනයේ සිටි සිරියාවේ හමුදාවන්ට ඉවත්වීමට සිදුවිය.

2020 දී ඒ අපරාධයට සම්බන්ධ බවට හිස්බුල්ලා සාමාජිකයෙකු විශේෂ ජාත්‍යන්තර අධිකරණයක් විසින් වරදකරු කිරීමෙන් පසුව පවා, හරීරිගේ ඝාතනයට සම්බන්ධ වු බවට වන චෝදනාවන් අසාද් සහ ඔහුගේ ප්‍රධානම ලෙබනන් හිතවාදියා වන හිස්බුල්ලා විසින් නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කළේය.

අරාබි වසන්තය

Protesters tear donw posters of Assad and his father විරෝධතාකරුවන් අසාද්ගේ සහ ඔහුගේ පියාගේ පෝස්ටර් ඉරා දමයි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බෂාර් අල්-අසාද්ගේ පාලනයේ පළමු දශකය ඉරානය සමඟ සිරියාවේ සබඳතාව ශක්තිමත් කිරීම සහ කටාර් සහ තුර්කිය යන රටවල් සමඟ සබඳතා වර්ධනය වීම දැක ගත හැකි වූ අතර පසුව එම සබඳතා වෙනස් වන අයුරු ද දැකගත හැකි විය. තරුණ ජනාධිපතිවරයාට පළමුව සෞදියෙන් සහයෝගය ලැබුණු අතර පසුව සෞදි අරාබිය සමඟ පැවති එම සබඳතා උඩු යටිකුරු විය.

සමස්තයක් වශයෙන්, බෂාර් අල්-අසාද් සිය විදේශ ප්‍රතිපත්තියේ දී තම පියාගේ අඩිපාරේ යමින් සෘජු යුද ගැටුම් වළක්වා ගනිමින් ප්‍රවේශමෙන් උපාය මාර්ගිකව කටයුතු කළේය.

දශකයකට පසු බලයේ සිටි අසාද්ගේ පාලනය අත්තනෝමතික ප්‍රවේශයක් ලෙස හැඳින්විය හැකි අතර, විරුද්ධ හඬ දිගටම යටපත් විය.

2010 දෙසැම්බරයේදී, අස්මා අල්-අසාද් Vogue සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් අතර, එහිදී ඇය කියා සිටියේ ඔවුන්ගේ නිවස "ප්‍රජාතන්ත්‍රවාදීව" පවත්වාගෙන යන බවයි.

එදිනම, බුවාසිසි පොලිස් කාන්තාවකගේ කම්මුලට පහර දීම හේතුවෙන් ටියුනීසියානු එළවළු වෙළෙන්දෙක් වූ මොහොමඩ් ගිනි තබා ගත් අතර, ටියුනීසියාවේ ජනාධිපති සයින් එල් අබිඩින් බෙන් අලි පෙරළා දැමූ මහජන නැගිටීමක් ඇති විය.

ටියුනීසියානු නැගිටීම අරාබි ලෝකය පුරා ඊජිප්තුව, ලිබියාව, යේමනය, බහරේනය සහ සිරියාව දක්වා විප්ලවවාදී ව්‍යාපාරවලට අනපේක්ෂිත ලෙස බලපෑමක් එල්ල කරන ලදී.

2011 මාර්තු මාසයේදී "A Rose in the Desert" යන ශීර්ෂය යටතේ ප්‍රකාශයට පත් කරන ලද Vogue සම්මුඛ සාකච්ඡාව (පසුව ඉවත් කරන ලදී), සිරියාව විස්තර කළේ "බෝම්බ, ආතතීන් සහ පැහැරගැනීම්වලින් තොර රටක්" ලෙසයි. ඉදිරි මාසවලදී එම රූපය ක්ෂණික ලෙස වෙනස් විය.

මාර්තු මැද වන විට, ඩැමස්කස්හි විරෝධතාවක් පැවැත්වුණු අතර, දින කිහිපයකට පසු, තාප්ප මත අසාද් විරෝධී සටන් පාඨ ලිවීම සම්බන්ධයෙන් ළමුන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, දකුණු නගරය වන ඩාරා හි විරෝධතා ආරම්භ විය.

අසාද් සිරියානු ජනතාව ඇමතීමට සති දෙකක් බලා සිටියේය. පාර්ලිමේන්තුවේදී ඔහු සිරියාව ඉලක්ක කරගත් "කුමන්ත්‍රණයක්" ව්‍යර්ථ කරන බවට පොරොන්දු වූ අතර බොහෝ මිනිසුන්ගේ අවශ්‍යතා සපුරා නොමැති බව පිළිගත්තේය.

ඩාරා හි පෙළපාලිකරුවන්ට ආරක්ෂක හමුදා විසින් වෙඩි තැබීම, පෙළපාලි තව දුරටත් උත්සන්න කළ අතර, අසාද්ට ඉල්ලා අස්වෙන ලෙස ඉල්ලීම් කරමින් නගර කිහිපයක් පුරා විරෝධතා හට ගැනුණි. බලධාරීන් එයට ප්‍රචණ්ඩත්වයෙන් ප්‍රතිචාර දැක්වූයේ "බාහිර බලවේග විසින් මෙහෙයවනු ලබන කඩාකප්පල්කාරීන් සහ ආක්‍රමණය කරන්නන්ට" දොස් පවරමිනි.

මාස කිහිපයක් ඇතුළත, එම තත්ත්වය රට පුරා ආයුධ අතට ගත් රජයේ හමුදා සහ විපක්ෂ කණ්ඩායම් අතර සන්නද්ධ ගැටුම් දක්වා වර්ධනය විය.

ජාත්‍යන්තර මැදිහත්වීම, ජිහාඩ්වාදීන් සහ යුද අපරාධ

Syrians inspect the destroyed buildings following a Syrian government air strike in Aleppo, Syria, on June 26, 2014. 2014 ජුනි 26 වන දින සිරියාවේ ඇලෙප්පෝ හි සිරියානු රජයේ ගුවන් ප්‍රහාරයකින් පසු විනාශ වූ ගොඩනැගිලි සිරියානුවන් පරීක්ෂා කරයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගැටුම උත්සන්න වීමත් සමග, ජාත්‍යන්තර බලවතුන්ගේ වැඩෙන මැදිහත්වීම මධ්‍යයේ, තුවාල ලැබූවන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තු දහසේ සිට සිය දහස් ගණනක් දක්වා ඉහල යන ලදී.

රුසියාව, ඉරානය සහ ඉරානයේ පිටුබලය ලත් සන්නද්ධ කණ්ඩායම් අසාද්ගේ හමුදාව සමඟ මැදිහත් වූ අතර තුර්කිය සහ ගල්ෆ් රාජ්‍යයන් සන්නද්ධ විපක්ෂ කණ්ඩායම්වලට සහාය දැක්වූහ.

අසාද් විරෝධී පෙළපාලි මුලින් ප්‍රජාතන්ත්‍රවාදය සහ සැමට නිදහස ඉල්ලා සිටිය ද, නිකායිකවාදය ඉක්මනින් මතු වූ අතර සමහර විපක්ෂ කණ්ඩායම් සුන්නි බහුතරයට වඩා ඇලවිට්ස් (Alawite) වෙත පක්ෂව සිටින බවට රජයට චෝදනා කළහ.

කලාපීය මැදිහත්වීම නිසා නිකාය භේදය ගැඹුරු විය. ඉස්ලාමීය කණ්ඩායම් ඇලවිට්ස් (Alawite)ට එරෙහිව විරෝධීව කතා කළ අතර, හිස්බුල්ලාගේ නායකත්වයෙන් ඉරානයට පක්ෂපාතී ෂියා සන්නද්ධ කණ්ඩායම් අසාද්ගේ ආණ්ඩුවට සහය දැක්වීම සඳහා සිරියාවට එන ලදී.

අසල්වැසි ඉරාකයේ, ඉස්ලාමීය නීතිය එහි දැඩි ලෙස අර්ථකථනය කරන ඉස්ලාමිය රාජ්‍ය නම් අන්තවාදී කණ්ඩායමක් වර්ධනය වෙමින් පැවතිණි. මෙම කණ්ඩායම සිරියාවේ භූමි ප්‍රදේශ ද අත්පත් කර ගැනීමට සිවිල් යුද්ධය ප්‍රයෝජනයට ගත් අතර නැගෙනහිර රක්කා නගරය එහි අගනුවර ලෙස ප්‍රකාශයට පත් විය.

2013 අගෝස්තු මාසයේදී, ඩැමස්කස් සමීපයේ විපක්ෂයේ පාලන ප්‍රදේශයක් වන නැගෙනහිර ගූටා වෙත එල්ලවූ රසායනික ප්‍රහාරයකින් සිය ගණනක් මිය ගියහ.

බටහිර බලවතුන් සහ සිරියානු විපක්ෂ කණ්ඩායම් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අසාද් පාලනයට දොස් පැවරූහ. ඩැමස්කස් ඊට සම්බන්ධ බවට වන චෝදනා ප්‍රතික්ෂේප කළ ද, ජාත්‍යන්තර පීඩනය සහ තර්ජන යටතේ එහි තිබු රසායනික අවි තොගය විසුරුවා හැරීමට එකඟ විය.

කෙසේ වෙතත්, තවදුරටත් මෙමගින් රසායනික ප්‍රහාර ඇතුළත් සිරියානු යුද්ධයේ කුරිරුකම් අවසන් වුයේ නැත. මිනීමැරුම්, වධහිංසා සහ ස්ත්‍රී දූෂණ ඇතුළු යුද අපරාධ සිදු කළ බවට එක්සත් ජාතීන්ගේ කොමිෂන් සභාව ගැටුමේ සෑම පාර්ශවයකටම චෝදනා කළේය.

2015 වන විට, අසාද්ගේ ආණ්ඩුව කඩාවැටීමේ ආසන්නයට පැමිණ සිටි අතර, රටේ විශාල කොටසක පාලනය ද අහිමි විය. කෙසේ වෙතත්, රුසියාවේ හමුදාමය මැදිහත්වීම එම රැල්ල ආපසු හැරවූ අතර, ප්‍රධාන භූමි ප්‍රදේශ වල පාලනය නැවත ලබා ගැනීමට අසාද්ට හැකි විය.

ගාසා යුද්ධය

Soldiers in uniform on a military vehicle pass a sign on a road with directions to different Syrian cities හමුදා වාහනයක නිල ඇඳුමින් සැරසී සිටින සොල්දාදුවන් විවිධ සිරියානු නගර වෙත යා හැකි මාර්ග දිශාවන් දැක්වෙන සංඥා පුවරුවක් පසුකර යමින්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

2018 සහ 2020 අතර, කලාපීය සහ ජාත්‍යන්තර ගිවිසුම් මගින් රජයේ හමුදා සිරියාවේ වැඩි කොටසක් පාලනය කරන තත්වයක් ඇති කළ අතර ඉස්ලාමීය විපක්ෂ කණ්ඩායම් සහ කුර්දි සටන්කාමීන් උතුරු සහ ඊසානදිග පාලනය බෙදා ගත්හ.

මෙම ගිවිසුම් අසාද්ගේ ස්ථාවරය ශක්තිමත් කළ අතර ඔහු ක්‍රමයෙන් අරාබි රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයට පැමිණියේය: 2023 දී සිරියාව නැවත අරාබි ලීගයට එක් කරන ලද අතර අරාබි රටවල් ඩැමස්කස් හි සිය තානාපති කාර්යාල නැවත විවෘත කරන ලදී.

අසාද්ගේ පාලනයේ තුන්වන දශකය තුළ සිරියාවේ ආර්ථික අර්බුද නරක අතට හැරෙමින් තිබියදීත්, ජනාධිපතිවරයා ඔහුගේ විශාලතම අභියෝගයෙන් බේරී ඇති බව පෙනෙන්නට තිබුණි.

කෙසේ වෙතත්, 2023 ඔක්තෝම්බර් මාසයේදී හමාස් විසින් ඊශ්‍රායලයට හදිසි ප්‍රහාරයක් දියත් කළ අතර, ගාසා තීරයේ යුද්ධයක් ඇති කරමින් එහි ප්‍රතිවිපාක ඉක්මනින් ලෙබනනය දක්වා පැතිර ගියේ, විශේෂයෙන් අසාද්ගේ මිත්‍රයා වන හිස්බුල්ලාට දැඩි බලපෑමක් එල්ල කරමිනි.

මෙම ගැටුමෙන් හිස්බුල්ලා සංවිධානයට එහි නායක හසන් නස්රල්ලාගේ මරණය ඇතුළුව විශාල පාඩුවක් සිදු විය.

ලෙබනනයේ සටන් විරාමය ක්‍රියාත්මක වූ දිනයේම, ඉස්ලාමීය කණ්ඩායමක් වන හයාත් තරිර් අල්-ෂාම් (HTS) විසින් මෙහෙයවන ලද සිරියානු විපක්ෂ කණ්ඩායම් හදිසි ප්‍රහාරයක් දියත් කර රටේ දෙවන නගරය වන ඇලෙප්පෝ ඉක්මනින් අල්ලා ගත්හ.

හමා සහ අනෙකුත් නගර අත්පත් කර ගනිමින් විපක්ෂය වේගයෙන් ඉදිරියට ගිය අතර දකුණු ප්‍රදේශ රජයේ පාලනයෙන් ගිලිහී ‍ගියේය.

අසාද්ගේ තත්වය අවිනිශ්චිත බව පෙනෙන අතර ප්‍රධාන මිත්‍ර රටවල් වන ඉරානයට සහ රුසියාවට ඔහුගේ සහයට පැමිණීමට නොහැකි තත්ත්වයක් පවතී.

සන්නද්ධ විපක්ෂ හමුදා ප්‍රධාන නගර කරා ළඟා වීමත් සමඟ, සිරියාවේ සහ ඉන් ඔබ්බෙහි යළි ප්‍රශ්න මතු විය. ඒ, "අසාද් බේරෙයිද? නැතහොත් ඔහුගේ පාලනය අවසානයට පැමිණ තිබේද?" යන්නයි.