රුසියාව සිරියාවට මනාප ඇයි?

Bashar al-Assad and Vladimir Putin shaking hands

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති බෂාර් අල් අසාද් (වම් පසින්) සහ ජනාධිපති ව්ලැද්මීර් පූතින්

සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයෙන් ඈත් වී සිටීම සඳහා රුසියාවට බලපෑම් කිරීමේ උත්සාහයක ඇමරිකාව ඇතුළු මිත්‍ර රටවල් ගණනාවක් යෙදී සිටිති.

ට්‍රම්ප් පාලනය ඇතුළු බටහිර රටවල් එවැනි උත්සාහයක යෙදී සිටින්නේ ජනාධිපති අසාද්ට එරෙහි කැරලිකරුවන් අත පවතින නගරයකට පසුගිය සතියේ සැක කටයුතු විෂ රසායනික ප්‍රහාරයක් එල්ල වීමත් සමගය.

එම ප්‍රහාරයෙන් දරුවන්, කාන්තාවන් ඇතුළු අසූ දෙනෙක් මරුමුවට පත්වූහ.

කෙසේ නමුත් අසාද් හිතවාදී හමුදා වෙත තවදුරටත් සහාය ලබා දෙන බව රුසියාව ඊයේ (අප්‍රේල් 12) යළි තහවුරු කළේය.

වසර හයක් පුරා පවතින සිරියානු යුද්ධයට රුසියාව සම්බන්ධ වූයේ කෙසේද? රුසියාවට සිරියාව මෙතරම් වැදගත් වන්නේ ඇයි?

සිරියානු ගැටුමේ ප්‍රධාන පාර්ශ්ව

  • ජනාධිපති අසාද් යටතේ පවතින සිරියාවේ නිල හමුදාව (ඊට රුසියාවේ හමුදා සහාය හිමි වේ)
  • 'ඉස්ලාමීය රාජ්‍ය' සංවිධානය
  • සෙසු සිරියානු කැරලි කණ්ඩායම්: වෙනස් අරමුණු සහිත විවිධ කැරලි කණ්ඩායම් ඒ අතර සිටිති. ඇතැම් කණ්ඩායම්වලට අල් ඛයිඩා සංවිධානයේ සහාය හිමිවන අතර සමහර කැරලි කණ්ඩායම්වලට බටහිර සහාය හිමි වේ.
Members of the Russian military police walk past a Syrian regime soldier in Homs, Syria

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හෝම්ස් නගරයේ සිරියානු හමුදා භටයෙකු පසු කරමින් යන රුසියානු හමුදා පොලිසියේ (Military Police) භටයන් දෙදෙනෙක්

අයිඑස් කැරලිකරුවන්ට එරෙහි සටනට සහාය ලබා දෙන බව රුසියාව පවසන නමුත් අසාද් පාලනයට එරෙහි බටහිර සහාය ලබන ඇතැම් කැරලි කණ්ඩායම් ද රුසියාවේ ඉලක්ක බවට පත්වන බවට චෝදනා එල්ල වේ.

රුසියාවේ සහ සිරියාවේ දේශපාලනික සබඳතා සීතල යුද සමය (නිරවි යුද සමය) දක්වා දිවයයි.

සිරියාවට බලපෑම් කිරීමේ හැකියාව එවක පැවති සෝවියට් සමුහාණ්ඩුව (සෝවියට් සංගමය) සතු විය.

සෝවියට් රුසියාව සිරියාවට ආයුධ සහ ආධාර ලබා දුණි.

සෝවියට් දේශයේ බිඳ වැටීම

Leonid Brezhnev, leader of the Soviet Union in the 1970s

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හැත්තෑව දශකයේ සෝවියට් රුසියාවේ නායකයා වූ ලියොනිඩ් බ්‍රෙෂ්නෙෆ්

නමුත් අනූව දශකයේ දී සෝවියට් සමුහාණ්ඩුවේ බිඳ වැටීමත් සමග සිරියාව සම්බන්ධයෙන් වූ රුසියාවේ බලපෑම හීන විය.

2000 වසරේ දී ව්ලැද්මීර් පූතින් රුසියාවේ ජනාධිපති ධුරයට පත් වූ අතර බෂාර් අල් අසාද් සිරියාවේ ජනාධිපති ධුරයට පත් විණි.

එවක නායකයන් දෙපළ අතර සමීප සබඳතාවක් නොපැවති නමුත් ජනාධිපති පූතින් රුසියාවේ හමුදා ශක්තිය පුළුල් කිරීම ආරම්භ කිරීමත් සමග රුසියාවේ සහ සිරියාවේ පැරණි මිත්‍රත්වය යළි ශක්තිමත් වීම ආරම්භ විය.

අරාබි වසන්තය

Muammar Gaddafi

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2011 වසර දක්වා ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි

2011 වසරේ මැදපෙරදිග කලාපය පුරා පැතිරුණු අරාබි වසන්තයත් සමග සිරියාවට ලබා දෙන සහාය ඉහළ නැංවීමට රුසියාව කටයුතු කළේය.

එම වසරේදී දීර්ඝ කලක් ලිබියාව පාලනය කළ මුවම්මර් ගඩාෆි බලයෙන් පහ කෙරිණි.

"රුසියාව ගඩාෆි සමග දීර්ඝ කාලයක් සබඳතා පැවැත්වූවා. ඒ වගේම රුසියාව ලිබියාවට ඩොලර් බිලියන ගණනාවක ආයුද විකිණීමට නියමිතව තිබුණා" යනුවෙන් ආරක්ෂක කටයුතු පිළිබඳ විද්වත් මණ්ඩලයක් වන ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායමේ තිරසර ආරක්ෂණ වැඩසටහනේ අධ්‍යක්ෂ රිචර්ඩ් රීව් පැවසීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මැදපෙරදිග කලාපය තුළ වෙනත් මිත්‍ර පාර්ශ්ව සොයා යාමට ජනාධිපති පූතින් කටයුතු කළේය.