රුසියාවේ සිරියානු පිළිවෙත පිළිබඳව ඇමරිකාවේ කණස්සල්ල

ඡායාරූප මූලාශ්‍රය, AFP
සිරියානු ආණ්ඩුවේ ගුවන් කඳවුරකට එල්ල කළ ඇමෙරිකානු මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියාව කරන විවේචන ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි.
සාමාන්‍ය වැසියන් රැසක් මරා දැමුණ රසායනික අවි ප්‍රහාරයෙන් පසු එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන සිරියානු ගුවන් හමුදා කඳවුර ඉලක්ක කර ගනිමින් ඇමරිකාව ඊයේ (අප්‍රේල් 07) මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
එම ඇමෙරිකානු මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයන් හය දෙනෙකුවත් මරුමුවට පත්ව ඇති බව වාර්තාවේ.
ඇමරිකානු මිසයිල ප්‍රහාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කළ මොස්කව් පාලනය විසින් එම ක්‍රියාව හඳුන්වනු ලැබුවේ 'ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක්' ලෙසය.
සිය අභිමතය පරිදි කටයුතු කරමින් ඇමරිකාව "ත්‍රස්තවාදීන්ට" අනුබල ලබා දෙන බවට රුසියාව චෝදනා කරයි.
රුසියාවේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් තමන් කණස්සල්ලට පත් වූ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ටෙක්ස් ටිලර්සන් කියා සිටියේය.
අසාද් පාලනයට තවදුරටත් සහාය දක්වන බව රුසියාවේ ක්‍රියාකලාපයෙන් පිළිබිඹු වන බව කියාසිටි ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා තමා 'රුසියාවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පුදුමයට පත් නොවන' බවත් සඳහන් කළේය.
'ළමුන් තිස් තුන් දෙනෙකු මරුට'

මේ අතර සිරියානු ආණ්ඩුවේ ගුවන් ආරක්ෂක පද්ධතිය ශක්තිමත් කිරීමට මොස්කව් පාලනය ප්‍රතිඥා දී තිබේ.
රසායන ප්‍රහාර දියත් කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙස සිරියාවේ මිත්‍ර පාර්ශවයක් වන ඉරානයේ ජනාධිපති හසන් රවුහානි ඉල්ලා සිටියි.
සිරියානු ආණ්ඩුවට එරෙහි විපක්ෂ කණ්ඩායම් අත පවතින 'ඉඩ්ලිබ්' ප්‍රාන්තයේ සෞඛ්‍ය බලධාරීන්ට අනුව කැරලිකරුවන් අත පවතින 'ඛාන් සෙයිඛෝන්' නගරයට එල්ල වූ සැක කටයුතු විෂ රසායන ප්‍රහාරයෙන් දරුවන් තිස් තුන්දෙනෙකු ඇතුළු අසූ නව දෙනෙකු මරුමුවට පත් වී තිබේ.
විෂ රසායන ප්‍රහාර එල්ල කළ බවට එල්ල වන චෝදනා සිරියානු ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.
සිරියානු යුද්ධය

සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මරුමුවට පත් පිරිස දෙලක්ෂ පනස්දහසකට අධිකය.
ගැටුම්වලට මැදි වී දස ලක්ෂයක් තුවාල ලබා ඇති අතර එක් කෝටි දස ලක්ෂයකට උන්හිටි තැන් අහිමි වී තිබේ.
ජීවිත ආරක්ෂාව පතා යුරෝපය ඇතුළු වෙනත් රට වලට පළා ගොස් සිටින පිරිස හතළිස් ලක්ෂයකට ආසන්නය.
ඉරානය, රුසියාව සහ ලෙබනනයේ හිස්බුල්ලා ව්‍යාපාරය සිරියානු ජනපති අසාද්ට සහාය පළ කරති.
ඇමරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය සමග තුර්කිය, සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය සුන්නි බහුතරයක් වන අසාද් පාලනයට එරෙහි විරුද්ධ කණ්ඩායම්වලට සහාය ලබා දෙති.










