සිරියාව: "ගුවන් ප්‍රහාර මගින් විශාල ජීවිත විනාශයක්"

'රකා' නගරයේ පවතින ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී තිබේ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, 'රකා' නගරයේ පවතින ගැටුම් හේතුවෙන් සාමාන්‍ය වැසියන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී තිබේ

සිරියාවේ 'රකා' (Raqqa) නගරයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් ඉලක්ක කොට එල්ල කරන ලද ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකාබද්ධ ගුවන් ප්‍රහාර හේතුවෙන් "අති විශාල ජීවිත හානියක්" සිදුව ඇති බව යුද අපරාධ සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායමක් පවසයි.

සිරියානු ආණ්ඩුවට එරෙහි 'කුර්දි' සටන්කාමීන් ප්‍රමුඛ සන්නද්ධ කණ්ඩායම් වලට ඇමරිකාව ප්‍රමුඛ යුද සන්ධානයේ ප්‍රහාරක ගුවන් යානා සහාය ලැබෙයි.

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා 'රකා' නගරයේ සාමාන්‍ය වැසියන් සිය ගණනක් මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

ආණ්ඩු විරෝධී සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදා (Syrian Democratic Forces) පසුගිය සතිය තුළ 'රකා 'නගරයේ බටහිර, නැගෙනහිර සහ උතුරු කලාප තුළ ඉදිරියට ඇදෙමින් ඔවුන්ගේ බලය තහවුරු කර ගෙන ඇත.

''රකා' නගරයේ සටන් නිසා සාමාන්‍ය වැසියන් එක් ලක්ෂ හැට දහසකට ආසන්න සංඛ්‍යාවක් සිය නිවාස අතහැර පළා ගොස් ඇත.

සාමාන්‍ය වැසියන්

රකා නගරයේ සාමාන්‍ය වැසියන් පනස් දහසත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් කොටු වී සිටින බව එක්සත් ජාතීන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ තිබේ

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, 'රකා' නගරයේ සාමාන්‍ය වැසියන් පනස් දහසත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් කොටු වී සිටින බව එක්සත් ජාතීන් විසින් ඇස්තමේන්තු කරනු ලැබ තිබේ

එම නගරයේ බලය අහිමිවීම අයිඑස්(IS) කැරලිකරුවන්ට "තීරණාත්මක පහරක්" වනු ඇතැයි ඇමරිකාව ප්‍රමුඛ සන්ධානය පවසයි.

විදේශිකයන් ද ඇතුළු හාරදහසක් පමණ කැරලිකරුවන් 'රකා' නගරය තුළ රැඳී සිටින බවට විශ්වාසයක් පවතී.

නගරය තුළ සාමාන්‍ය වැසියන් කොපමණ සංඛ්‍යාවක් කොටු වී සිටීද යන්න තවම පැහැදිලි නැත.

එහෙත් එහි සාමාන්‍ය වැසියන් පනස් දහසත් - ලක්ෂයත් අතර ප්‍රමාණයක් සිටින බව එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවයි.