මැක්‍රෝන් -පුතින් සාකච්ඡා ආරම්භ වෙයි.

මැක්‍රෝන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් රුසියාවෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවටත් චෝදනා එල්ල කෙරිණ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, මැක්‍රෝන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් රුසියාවෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවට චෝදනා එල්ල කෙරිණ.

ප්‍රංශයේ නව ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) සහ රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පුතින් අතර පළමු සාකච්ඡාවට ආරම්භ විය.

පැරිස් නගරය අසළ 'වෙයර්සායි' (Versailles ) Trianon මාලිගයේ දී දිවා භෝජනයක් ද සමඟ ආරම්භ වූ සාකච්ඡාව පෙරට යමින් තිබුණේ සිරියාව සහ යුක්රේනය සම්බන්ධයෙන් දෙරට විසින් අනුගමනය කරනු ලබන පිළිවෙත් මුල්කර ගනිමින් උත්සන්න වී ඇති මතභේද මැදයි.

එම සාකච්ඡා 'ඉතා දුෂ්කර මුහුණුවරක්' ගනු ඇතැයි පැරිස් නගරයේ සිටින BBC වාර්තාකාරිනී ලුසී විලියම්සන් ප්‍රකාශ කළාය.

පසුගියදා පැවැත්වුන ප්‍රංශ ජනාධිපතිවරණය සමයේ එමානුවෙල් මැක්‍රෝන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය ඉලක්ක කර ගනිමින් රුසියාවෙන් සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බවටත් චෝදනා එල්ල කෙරිණ.

ඉතාලියට අයත් සිසිලි දූපතේ පැවැත්වුන දියුණු කාර්මික රටවල් හතේ(G 7) නායක සමුළුවේදී ප්‍රකාශයක් කළ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් (Emmanuel Macron) "රුසියාවත් සමඟ සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව" ඇතැයි කියා සිටියේය.

"මොකද? ජාත්‍යන්තර කාරණා ගණනාවක් මතුවෙලා තියෙනව.රුසියාවත් සමඟ දැඩි සාකච්ඡාවකට නොගොහින් ඒ ගැටළු නිරාකරණය කර ගැනීම කරන්න බැරි දෙයක්" ප්‍රංශයේ නව නායකයා පැවසීය.

සිරියානු ජනාධිපති බශාර් අල් අසාද් ට එරෙහිව සටන් වැදී සිටින සුන්නි අරාබි සහ කුර්දි සන්නද්ධ කණ්ඩායම්වලට ප්‍රංශය සහයෝගය දෙන අතර රුසියාව සහ ඉරානය අල් අසාද් පාලනයට සහයෝගය දෙති.

සාකච්ඡා පැවැත්වෙන Trianon මාලිගය

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය, සාකච්ඡා පැවැත්වෙන Trianon මාලිගය

රුසියාව යුක්රේනයට මැදිහත් වීම සම්බන්ධයෙන් ද ප්‍රංශය දැඩි විරෝධය පළකරයි.

ජනාධිපති පුතින් 2014 වසරේ ක්‍රිමියාව රුසියාවට ඈඳාගනු ලැබීමත් සමඟ බටහිර යුරෝපා රටවල් විසින් රුසියාවට එරෙහිව සම්බාධක පනවනු ලැබීමේ දී ප්‍රංශයත් ඊට එක්විය.

ඒ හැර පසුගියදා පැවැත්වුන ප්‍රංශ ජනාධිපතිවරණයේ දී රුසියාව සහයෝගය දෙන ලද්දේ එමානුවෙල් මැක්‍රෝන් ගේ ප්‍රතිවාදී ජාතිකවාදී අපේක්ෂිකා මරීන් ල පෙන්(Marine Le Pen )වෙනුවෙනි.

එම ජනාධිපතිවරණයේ පළමු වටය ආරම්භ වීමට මාසයකට පෙර ජනාධිපති පුතින් විසින් මරීන් ල පෙන්ට ක්‍රෙම්ලිනයට අරාධනා කරනු ලැබිණි.

පරාජිත අපේක්ෂිකාව රුසියාවේ බැංකු වලින් එසේත් නැත්නම් රුසියාවේ ආයෝජකයන්ගෙන් විශාල ප්‍රමාණයේ ණය ලබාගෙන ඇති බවත් වාර්තා වෙයි.

ප්‍රංශ ජනාධිපතිවරණයේ දී ජනාධිපති පුතින්ගේ සහාය ලැබුනේ ජාතිකවාදී අපේක්ෂිකාවටයි

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රංශ ජනාධිපතිවරණයේ දී ජනාධිපති පුතින්ගේ සහාය ලැබුනේ ජාතිකවාදී අපේක්ෂිකාවටයි

ප්‍රංශයේ දේශීය බැංකු තම දේශපාලන ව්‍යාපාරයට එවැනි ණය නොදෙන බව ඇය කියා සිටින්නීය.

ප්‍රංශ ජනාධිපතිවරණ සටන ජය ගැනීමට පෙර ප්‍රකාශයක් කළ එමානුවෙල් මැක්‍රෝන් "යුදමය බිය ගැන්වීම් සහ තොරතුරු යුද්ධයක් මිශ්‍ර වූ දෙමුහුන් උපාය මාර්ගයක්(a hybrid strategy )ඔස්සේ කටයුතු කරන බවට රුසියාවට චෝදනා කළේය.

මැක්‍රෝන් -පුතින් හමුව සඳහා 'වෙයර්සායි'(Versailles )නගරය තෝරාගෙන තිබෙන්නේ මහා පීටර් රුසියානු අධිරාජයා වෙනුවෙන් එහි ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ හේතුවෙනි.

මහා පීටර් අධිරාජයා මෙයින් වසර තුන්සීයකට පෙර 'වෙයර්සායි'(Versailles ) නගරයට පැමිණ ඇත.