‘හමාස් නායකයාගේ මරණයෙන් ගාසා යුද්ධය අවසන් වන්නේ නැහැ’ ඊශ්‍රායල් අගමැති

ඡායාරූප මූලාශ්‍රය, Reuters
- Author, රීම් අල්ෂෙයික්
- Role, බීබීසී අරාබි සේවය
හමාස් සංවිධානයේ නායක යහ්යා සින්වාර් ගාසා තීරයේදී මරා දැමූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කරයි, ඒ හමාස් විසින් ඔහුව සිය සමස්ත ප්‍රධානියා ලෙස පත් කර මාස දෙකකට පසුවයි.
ඊශ්‍රායල පොලිසිය පවසන්නේ යහ්යා සින්වාර්ගේ සිරුර පළමුව හඳුනාගෙන ඇත්තේ ඔහුගේ දන්ත වෛද්‍ය වාර්තා සහ ඇඟිලි සලකුණු විශ්ලේෂණයෙන් බවයි.
වසර 22ක් ඊශ්‍රායලයේ සිරගත කර සිටීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ DNA වාර්තා සමඟ එම වාර්තා දෙකම ඊශ්‍රායලය සතුව ඇත.
අබු ඉබ්රාහිම් ලෙසින් ප්රකටව සිටි සින්වාර්, ඉකුත් වසරේ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය විසින් දකුණු ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේ මහ මොළකරුවෙකු වූ අතර, ඔහු හඹා ගොස් තුරන් කිරීමට ඊශ්‍රායලය දිගු කලක් තිස්සේ ප්‍රතිඥා දී තිබුණි.
බලාපොරොත්තු සුන්වීම් සහ සුබ පැතුම්
හමාස් සංවිධානයේ දිගු කාලීන ප්‍රතිවාදියෙකු වන ෆාටා කණ්ඩායම ඇතුළු පලස්තීන කණ්ඩායම්වලින්, යෙහ්යා සින්වාර් සිය නායකයා ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් සුබ පැතුම් ලැබී තිබේ.
ෆාටාහි මධ්‍යම කාරක සභාවේ ලේකම් ජිබ්රිල් රාජුබ් පැවසුවේ මෙම තීරණය "ඉස්මයිල් හනියේ ඝාතනයට ප්‍රතිචාර ලෙස ගත් තාර්කික සහ අපේක්ෂිත ප්‍රතිචාරයක්" බවයි.
ඊශ්‍රායල විදේශ ඇමති ඊශ්‍රායෙල් කැට්ස් X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් කියා සිටියේ, සින්වාර්ගේ මෙම පත්වීම "ඔහුව ඉක්මනින් තුරන් කිරීමට තවත් බලගතු හේතුවක්" සපයා දී ඇති බවයි. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) දැන් එම තර්ජනයට මුහුණ දී ඇත.
අගෝස්තු මාසයේදී, ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් හර්සි හලේවි පැවසුවේ " සින්වාර්ගේ නම වෙනස් කිරීම, ඔහුව සෙවීමට සහ ඔහුට පහර දී විනාශ කිරීමට අපට බාධාවක් නොවෙයි" යනුවෙනි.
එකල යුද්ධයෙන් වෙහෙසට පත්ව සිටින පලස්තීනුවන් සින්වාර්ගේ පත්වීමෙන් පසුව ඔවුන්ගේ කනස්සල්ල ප්‍රකාශ කළ හ.
"එයා සටන්කාමියෙක්. ඔහු එක්ක සාම සාකච්ඡා සිදු වෙන්නේ කොහොමද?" යි මේ වනවිට ඩීර් අල්-බාලා හි පදිංචිව සිටින අවතැන් වූ ගාසා වැසියෙකු වන මොහොමඩ් අල්-ෂරීෆ් AFP වෙත පැවසුවේ ය.
සින්වාර්ගේ පත්වීම පිළිබඳ පුවත ඊශ්‍රායල ජාතිකයන් තුළ ද කනස්සල්ලක් ඇති කර තිබුණි. ඔහුගේ වාසගම හෙළි නොකිරීමට අදහස් කළ, වෙළඳ කළමණාකරුවෙකු වූ හනන් එකල AFP වෙත පැවසුවේ: "ඔහුව තෝරාගැනීම ඔවුන්ගේ අරමුණ හොඳින්ම පැහැදිලි කරනවා. ඔවුන් සින්වාර් තෝරාගත්තේ, වඩාත් රැඩිකල් බවින් තොර, ලේ පිපාසිතකමින් අඩු අයෙකු අවශ්‍ය යයි නො තැකූ නිසායි."
හමාස් වෙතින් ඊශ්‍රායලයට පණිවිඩ තුනක්
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සින්වාර් තෝරාගැනීමෙන්, හමාස් සංවිධානය ඊශ්‍රායලයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පණිවිඩ කිහිපයක් යවා තිබේ.
හමාස් සංවිධානයේ නිලධාරියෙකු වන ඔසාමා හම්දාන් බීබීසී අරාබි සේවයට පැවසුවේ, සින්වාර් තෝරාගැනීම පිටුපස පණිවිඩ තුනක් තිබූ බවයි.
පළමුවැන්න නම්, දුෂ්කර තත්වයන් යටතේ පවා "සුදුසුම තීරණ" ගැනීමට හමාස් සංවිධානයට තවමත් හැකි බවයි. තම සංවිධානය තවදුරටත් "එක්සත්" යැයි පවසන හම්දාන් කියා සිටියේ සින්වාර් තෝරාගෙන ඇත්තේ "සම්පූර්ණ සංවිධානයේම එකඟත්වයෙන්" බවයි.
හම්දාන් පැවසුව පරිදි දෙවැන්න නම්, සංවිධානය ඉදිරියට යනු ඇති බවත්, "ගමන අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට" හැකි නායකයින් සිටින බව ය.
දේශපාලන හා උපායමාර්ගික අධ්‍යයනය සඳහා වූ අල්-අහ්රම් මධ්‍යස්ථානයේ ලේඛක සහ දේශපාලන පර්යේෂක බෂීර් අබ්දෙල් ෆාටා, සින්වාර්ගේ තේරීම "බරපතල පණිවිඩයක්" යැයි විශ්වාස කළේය.
ඔහු බීබීසී අරාබි සේවයට පැවසුවේ "ඉරානයට සමීප මෙන් ම ඊශ්‍රායලය කෙරෙහි ඉතාම දැඩි ලෙස ක්‍රියා කරන බවට ප්‍රසිද්ධ අයෙකුව මිලිටරි සහ දේශපාලන නායකයා ලෙස තෝරා ගැනීම මගින් හමාස් සංවිධානය, කෙතරම් පීඩනයක් එල්ල වූවත් තම යුදමය අරගලය කිසිසේත් පසු නොබසින ගමනක යෙදී සිටින බවත්" පැහැදිලි වන බව කියා සිටියි.
ගාසා සිට නායකත්වය දීම

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ගාසා තීරයේ වාසය කළ අයෙකු හමාස් නායකත්වයට තේරී පත් වූ පළමු අවස්ථාව මෙය නොවේ.
ඉස්මයිල් හනියේ කටාර් වෙත යාමට පෙර, දෙවසරකට ආසන්න කාලයක් ගාසා හී ගත කළේ ය.
හමාස් පරිපාලනය "එහි නායකයා ගාසා තීරයේ හෝ ඉන් පිටත පදිංචිව සිටියත් ඕනෑම අවස්ථාවක නොසැලී" ඇති බව ඔසාමා හම්දාන් ප්‍රකාශ කළේය.
නමුත් සින්වාර් ඉස්මයිල් හනියේට වඩා වෙනස් ය.
ඔක්තෝම්බර් 7 ප්‍රහාරයට ඔහු වගකිව යුතු බවට ඊශ්‍රායලය විසින් "[සින්වාර්] සොයා යන බවට" තර්ජනය කර තිබූ අතර ඊශ්‍රායල හමුදාව ඔහු අල්ලා ගැනීමට තුඩු දෙන තොරතුරු සඳහා ඩොලර් 400,000 ක ත්‍යාගයක් පිරිනමන බව පැවසීය.
"සින්වාර් තෝරා ගනු ලැබුවේ ප්‍රායෝගික සලකා බැලීම් සඳහා බව අන්-නාජා ජාතික විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය හසන් ආයුබ් පැවසීය.
"ඊශ්‍රායලය හනියාව ඉලක්ක කළා සේම, ගාසා තීරයෙන් පිටත වෙසෙන ඕනෑම නායකයෙකු ඉලක්ක කළ හැකිය."ඇත්ත වශයෙන්ම, සින්වාර් ගාසා තීරයේ සිටි බව පවසමින් අයුබ් සඳහන් කළේ ඊශ්‍රායලය "දිගු කලක සිට ඔහුව තුරන් කිරීමට උත්සාහ කරමින් සිටි" බව ය.
සින්වාර් පත් කරන විට, ඔහු ඔක්තෝබර් 7 සිට ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැත.
අනපේක්ෂිත තේරීමක්
ඉස්මයිල් හනියේ ඝාතනයෙන් පසු, ඇතැම් විශ්ලේෂකයින් තර්ක කළේ හමාස් හි නව නායකයා තෝරා ගැනීමේදී සින්වාර් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති බවයි, මන්ද ඔහුගේ නම මාධ්‍යවල සංසරණය විය හැකි නම් අතර නොතිබූ බැවිනි.
කෙසේ වෙතත්, යාහ්යා අල්-සින්වාර් තෝරා ගැනීම හමාස් සිය තීරණය ඉක්මන් කළේද යන්න පිළිබඳව ප්‍රශ්න මතු කළේය.
ඇතැම් විශ්ලේෂකයින් යෝජනා කර තිබුනේ ඔහුගේ ජනාධිපති ධූරය "තාවකාලික" වන අතර අවසානයේ ගාසාවේ යුද්ධය අවසන් වීමෙන් පසු ඔහු වෙනුවට වෙනත් අයෙකු පත් කරනු ඇති බවයි.
හමාස් නිලධාරි ඔසාමා හම්දාන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් "සියලු දෙනාම සින්වාර් වෙතා පක්ෂපාතී බවට ප්‍රතිඥා දීමෙන් පසුව මෙම තීරණය ගත් බව" කියා සිටියේ ය.
දේශපාලන ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු වන බෂීර් අබ්දෙල් ෆාටා බීබීසී ප්රවෘත්ති අරාබියට සේවයට පැවසුවේ හමාස් සංවිධානයට "හැකි ඉක්මනින් නායකත්ව අඩුව පිරවීමට හැකි" බවට සංඥාවක් දීමට අවශ්‍ය වූ බවයි.
සින්වාර්ගේ පත්වීම ගැන රැකවල් ලාගෙන සිටින බටහිර ඉවුරේ ද අවධානය යොමු වී ඇති බව මහාචාර්ය අයුබ් පැවසීය.
ඔහු පවසන අයුරින්, "ඔහුට සියලුම පලස්තීන කණ්ඩායම් සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව තියෙනවා. ෆාටා ප්රමුඛ පලස්තීන අධිකාරිය සහ හමාස් සංවිධානය අතර සබඳතා අලුත්වැඩියා කිරීමට ඔහු දැනටමත් උත්සාහ කර තිබෙනවා."
විශේෂඥයන් විශ්වාස කරන්නේ ගාසා තීරයේ හමාස් කාර්යාලයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ කාලය තුළ සින්වාර් අභ්‍යන්තර හා කලාපීය මට්ටමින් "ශූන්‍ය වෙනස්කම්" ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ඊජිප්තුව සමඟ සංහිඳියාව ඇති කර ගැනීමට සමත් වූ බවයි. ඔහු හමාස් සංවිධානය සහ සිරියානු තන්ත්රය අතර වසර ගණනාවක් පැවති විරසකය අවසන් කළ අතර, සෞදි අරාබිය සමඟ සහයෝගීතාවයකට හමාස් සංවිධානය යොමු කිරීමට උත්සාහ කළේය.
හමාස් දේශපාලන අංශයේ ප්‍රධානියා එම ව්‍යාපාරයේ ඉහළම සංවිධානාත්මක නිලය ලෙස සැලකේ. හමාස් සංවිධානය සෑම වසර හතරකට වරක්ම මහ මැතිවරණයක් පවත්වන අතර, එම කාලය තුළ එහි දේශපාලන කාර්යාංශයේ සාමාජිකයින් ඇතුළත් ෂුරා කවුන්සිලය තෝරා පත් කර ගැනේ. සංවිධානයේ ප්‍රධානියා සහ නියෝජ්‍ය ප්‍රධානියා තෝරා පත් කර ගන්නේ ඔවුන් විසිනි.
එතරම් යහපත් නොවන සිදුවීමක්
ඊශ්‍රායලය සින්වාර් විස්තර කළේ "වඩාත් දුෂ්කර හා රැඩිකල්" නායකයා ලෙසයි.
වොෂින්ටන් පෝස්ට් පුවත්පත පවසන්නේ, සිරකරුවෙකුව සිටියදී සින්වාර්ගෙන් පැය 150 කට වැඩි කාලයක් ප්‍රශ්න කළ හිටපු අභ්‍යන්තර ආරක්ෂක ඒජන්සියේ නිලධාරි මිචා කෝබිට අනුව ඔහු, “දැඩි” සහ හැඟීම් විරහිත නමුත් මනෝ වියාධිකයෙකු නොවන අයෙකි.
ඊශ්‍රායල කටයුතු පිළිබඳ විශේෂඥ ලේඛකයෙකු වන ඉහාබ් ජබරින්ට අනුව, මධ්‍යස්ථ මතධාරී ඉස්මයිල් හනියේ ඝාතනයත් සමඟ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඊශ්‍රායලය සිතන ආකාරය ගැන හොඳ අවබෝධයක් ඇති සින්වාර් සමඟ "මුහුණට මුහුණ ගැටුමක" යෙදී සිටින අතර ඊශ්‍රායලයට තම සම ප්‍රතිවාදියාව දරාගැනීමට සිදුවනු ඇත.
"මෙම යුද්ධයට හේතුව සින්වාර් සහ නෙතන්යාහු බව ඊශ්‍රායලයේ විපක්ෂ මාධ්‍ය බොහෝ කලක සිට ප්‍රචාරය කර ඇත" ජබරින් බීබීසීයට පැවසීය.
සින්වාර්ගේ පත්වීම "පුදුමයක්" බවත් ඔහු ජීවතුන් අතර සිටින බවත් ගාසා තීරයේ හමාස් නායකත්වය ශක්තිමත් බවත් ඊශ්‍රායලයට පණිවිඩයක් දුන් බවත් ඊශ්‍රායල ගුවන්විදුලි සංස්ථාව වාර්තා කළේය.
ඊශ්‍රායලයේ සිදුවන ඇතැම් සංවාද උපුටා දක්වමින් ජබරින් පවසන්නේ "නෙතන්යාහුට මුලින්ම දොස් පැවරිය යුත්තේ 2011 දී සින්වාර් නිදහස් කිරීම ගැන . ඉන් පසුව ඔක්තෝබර් 7 ප්‍රහාරයට සහ පසුව සින්වාර්ට නායකත්වය පැවරීමට හේතු වූ හනියාගේ ඝාතනය සම්බන්ධයෙන් ."
ඊශ්‍රායල කටයුතු පිළිබඳ විශේෂඥ ලේඛකයෙකු වන ඉහබ් ජබරින් පවසන්නේ, ගාසා තීරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සඳහා, සින්වාර්ගේ පත්වීම "මාරාන්තික පහරක්" බවයි.
ඒඑෆ්පි පුවත් සේවයට අනුව, ඔක්තෝබර් 7 වන දින, හමාස් සටන්කාමීන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 251 දෙනෙකු පැහැර ගනු ලැබූහ.
ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලය ඊට ප්‍රතිචාර දැක්වූයේ ප්‍රහාර එල්ල කර, කාන්තාවන් සහ ළමුන් ද ඇතුළුව අවම වශයෙන් මිනිසුන් 42,000 ක් මරා දැමීමෙනි.
සින්වාර් යටතේ සටන් විරාම සාකච්ඡාවලට කුමක් වේවිද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හිටපු හමාස් ප්‍රධානී ඉස්මයිල් හනියේ, මාස ගණනාවක් පුරා ගාසා තීරයේ සටන් විරාමයකට එළැඹීම පිළිබඳ වූ සාකච්ඡාවල ප්‍රධාන භූමිකාවක් ඉටු කළේ ය.
සින්වාර් සම්බන්ධයෙන් ගත් කළ, "ඔහු මෙම සාකච්ඡා මඟහැර තිබුණේ නැහැ. ඔහුද ඒ සඳහා පැමිණ සිටියා..." හම්දාන් බීබීසී වෙත පැවසුවේ ය.
"සාකච්ඡා දිගටම පවතියි, සාකච්ඡාවලට නොපැමිණීම සහ කල් දැමීම සිදු වන්නේ ඊශ්‍රායල පාර්ශ්වයෙන්" යි හම්දාන් වැඩිදුරටත් කියා සිටියේ ය.
ඊශ්‍රායල කටයුතු පිළිබඳ විශේෂඥ ලේඛකයෙකු වන ඉහබ් ජබරින් පවසා තිබුණේ, ඔක්තෝබර් 7 වන දා ප්‍රහාරයේ පළමු සංවත්සරය ළං වෙමින් පවතින සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් තවදුරටත් ගාසා තීරයේ රැඳී සිටින තත්ත්වයක් යටතේ, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට කුමන හෝ මොහොතක සාකච්ඡා මේසයට පැමිණ සින්වාර්ට මුහුණ දෙනු දීමට සිදු වනු ඇති බවයි.
එක්සත් ජනපදය විසින් ඊශ්‍රායල නායකයාට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ පීඩනයක් ද එල්ල කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.
හමාස් සංවිධානය මිලිටරිමය හා දේශපාලනික වශයෙන් පරාජය කිරීම සහ ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය විසින් අල්ලාගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරගැනීම ඇතුළුව තම සියලු යුද අරමුණු ඉටු වන තුරු සටන් නතර නොකරන බව ඊශ්‍රායලය අවධාරණය කර තිබේ.
ටෙහෙරානයේදී ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමෙන් පසුව, නුදුරේදී ඇතිවිය හැකි කලාපීය යුද්ධයක් පිළිබඳ බිය නොතකා, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ගිවිසුමක් සඳහා තවමත් ඉඩ ඇති බවට ධවල මන්දිරය ඉකුත් බදාදා ප්‍රකාශ කළේ ය.
ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ බාලවයස්කරුවන් 150 දෙනෙකු නිදහස් කිරීම වෙනුවෙන්, හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටි කාන්තාවන් සහ වයස අවුරුදු 19ට අඩු පුද්ගලයින් 50 දෙනෙකු නිදහස් කිරීමට හැකි වන පරිදි තාවකාලික සිව් දින මානුෂීය සටන් විරාමයකට දෙපාර්ශ්වය එකඟ වීමත් සමඟ (පසුව මෙය තවත් දින දෙකකින් දීර්ඝ කරන ලදී) 2023 නොවැම්බරයේදී ගැටලුව සමථයකට පත් කිරීමේ ප්රයත්නයන් එක් වතාවක් ජය අත්කරගන තිබේ.
මේ අතර, හමාස් නායකයාගේ මරණයෙන් ගාසා යුද්ධයේ අවසානයක් අදහස් නොවන බව ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කළේය.














