ගාසා සටන් විරාමයට හනියේ ඝාතනය කෙසේ බලපාවි ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, තෝමස් මැකින්ටොෂ්, පෝල් ඇඩම්ස්
- Role, බීබීසී පුවත්
ඉස්මයිල් හනියේ ඝාතනය කළ ආකාරය පිළිබඳව අපි යම් අදහසක් ලබා ගනිමින් සිටින්නෙමු. මුල් වාර්තා අනුව පෙනී ගියේ, ටෙහෙරානයේ ඔහු නවාතැන් ගෙන සිටි නිවසට රොකට් ප්‍රහාරයක් එල්ල වීමෙන් ඔහු සහ ඔහුගේ ආරක්ෂකයින් මිය ගිය බව ය.
ඒත් සමග, ඔක්තෝබර් 7 වන දා ඊශ්‍රායල ජාතිකයන් සහ විදේශිකයන් 1,200ක් පමණ ඝාතනය කළ ම්ලේච්ඡ ප්‍රහාරවලින් පසු සියලු හමාස් නායකයන් හඹා ගොස් දඬුවම් කරන බවට දිවුරුම් දුන් ඊශ්‍රායලය දෙස අනිවාර්යයෙන් ම සෑම කෙනෙකුගෙ ම පාහේ දෑස් යොමු වනු ඇත.
ඊශ්‍රායලය සාමාන්‍යයෙන් විදේශයන්හි සිය මෙහෙයුම් පිළිබඳව අදහස් නොදක්වන නමුත් මෙම ප්‍රහාරයේදී අප්‍රේල් 19 වන දින නටාන්ස්හි න්‍යෂ්ටික බලාගාරය වටා ඉරාන ගුවන් ආරක්ෂක ඉලක්ක කරගත් ඊශ්‍රායල මෙහෙයුමක් හා සමාන රටාවක් අනුගමනය කරන්නට ඇත.
ඊශ්‍රායල ජෙට් යානා ඉරාන ගුවන් සීමාවෙන් පිටත සිට රොකට් ප්‍රහාර එල්ල කර ඇතැයි විශ්වාස කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
නමුත් ප්‍රහාරයේ තොරතුරු ක්‍රමයෙන් මතුවන අතර ම, එහි දේශපාලන ප්‍රතිවිපාක පිළිබඳව ද අවධානයට ලක්වෙමින් තිබේ.
වඩා ත් ම පැහැදිලිව පෙනෙන දෙය නම්, ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ගන්නා දුර්වල උත්සහයන්ට ඇති විය හැකි හානිය යි.
ඉස්මයිල් හනියේ ගාසා භූමියේ එදිනෙදා සිදුවීම් භාරව නොසිටින්නට ඇති නමුත් [එය හමුදාපති යෙහ්යා සින්වර්ගේ විෂය යි] ඔහු රටින් පිටුවහල්ව සිටින හමාස් නායකයා ලෙස කටාර්, එක්සත් ජනපදය සහ ඊජිප්තුව විසින් මැදිහත් වන ලද සාකච්ඡාවලදී ප්‍රබල මැදිහත්කරුවෙකු විය.
පසුගිය සති අන්තයේ රෝමයේ පැවති රැස්වීමකින් ප්‍රගතියක් අත්කර නොගත්ත ද සටන් විරාම සාකච්ඡා ඉක්මනින් සාර්ථක විය හැකි බවට ඇමෙරිකානු නිලධාරීන් මෑතකදී අඟවා තිබිණි.
නමුත් ඉස්මයිල් හනියේ ඝාතනයෙන් ඉක්බිතිව ක්ෂණිකව කිසියම් ප්‍රගතියක් අත්කර ගත හැකි ආකාරයක් ගැන සිතීම අතිශයින් දුෂ්කර ය.
ඇයි දැන්?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මේ සියල්ල මෙම ප්‍රශ්නය ඉතිරි කරයි: සෑම කෙනෙකු ම උපකල්පනය කරන පරිදි මෙය ඊශ්‍රායල මෙහෙයුමක් නම් එය සිදු කළේ ඇයි?
හමාස් සංවිධානයට සම්බන්ධ ඕනෑ ම අයෙකුගෙන් පළිගැනීමේ ආශාව හැරුණු කොට, ඊශ්‍රායලයේ අනෙක් බලාපොරොත්තු මොනවා ද?
තුර්කියේ විදේශ අමාත්‍යංශය දැනටමත් කලාපයේ බොහෝ දෙනෙකුගේ ද ප්‍රතිචාරය විය හැකි ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
"(ඊශ්‍රායල් අගමැති බෙන්ජමින්) නෙතන්යාහුගේ රජයට සාමය ළඟා කර ගැනීමේ කිසිදු අදහසක් නැති බව නැවත වරක් හෙළිදරව් වී ඇත," තුර්කි විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
කාලය අනුව හැඟෙන්නේ, මෙය ඊශ්‍රායලය විසින් අත්පත් කරගනු ලැබ සිටි ගෝලාන් කඳුකරයේ ඩෲස් දරුවන් සහ තරුණයින් 12 දෙනෙකු මරා දමමින් සෙනසුරාදා හිස්බුල්ලා සංවිධානය එල්ල කළ රොකට් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය තර්ජනය කර තිබූ පරිදි සිදු කළ පුළුල් පළිගැනීම්වල කොටසක් බව ය. ඊයේ රාත්‍රියේ බේරූට්හි ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා අණදෙන නිලධාරියෙකු ඝාතනය කිරීම ද එම පළිගැනීමට ඇතුළත් විය.
තම ප්‍රතිචාරය දරුණු විය හැකි බවට ඊශ්‍රායලය අනතුරු අඟවා තිබිණි.
නිලධාරීන් මෙහිදී නිරන්තරයෙන් පෙන්වා දෙන්නේ, ලෙබනනයේ හිස්බුල්ලා, ගාසා තීරයේ හා බටහිර ඉවුරේ හමාස් සහ යේමනයේ හූති කැරලිකරුවන් ඇතුළු මැද පෙරදිග ප්‍රතිරෝධ කණ්ඩායම්වල කේන්ද්‍රීය ඊනියා "ප්‍රතිරෝධයේ චාපය" ඉරානය බව ය.
බේරූට්හි හිස්බුල්ලා සංවිධානයට (සහ මෑතකදී හෝඩෙයිඩාහි හූති කැරලිකරුවන්ට) එරෙහිව එල්ල කළ ප්‍රහාරවලින් සහ ඉරානයේදී හමාස් නායකයා මරා දැමීමෙන් පසු, සටන්කාමී කණ්ඩායම්වලට සහ ඔවුන්ගේ ඉරාන ආධාරකරුවන් වෙත අවධාරණාත්මක මෙන් ම, භයංකර පණිවිඩයක් ලබා දෙයි: ඔබ කොතැනක සිටියත් ඊශ්‍රායලයට ඔබ පසුපස පැමිණිය හැකි යි සහ ඔවුන් පැමිණෙනු ඇත.
හමාස් දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේදී ඝාතනය කෙරේ
හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉස්මයිල් හනියේ ඉරානයේදී ඝාතනය කර ඇති බව එම සංවිධානය ප්‍රකාශ කළේය.
බදාදා දින ප්‍රකාශයක් නිකුත් කරමින් හමාස් කියා සිටියේ ඊශ්‍රායලය විසින් ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවස වැටලීමෙන් හනියේ මිය ගිය බව ය.
කණ්ඩායමට අනුව, අඟහරුවාදා දිවුරුම් දුන් ඉරාන නව ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන්ගේ පදවිප්‍රාප්ත උත්සවයට සහභාගී වීමෙන් පසුව හනියේ මිය ගොස් තිබේ.
කිසිවෙකු තවමත් මෙහි වගකීම භාරගෙන නොමැත.
ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ සේපා ප්‍රවෘත්ති වෙබ් අඩවිය පැවසුවේ “සිද්ධියට” හේතුව ක්ෂණිකව පැහැදිලි නැති නමුත් එය “පරීක්‍ෂා කරමින් පවතින” බව ය.
62 හැවිරිදි හනියේ 1980 අග භාගයේ හමාස් ව්‍යාපාරයේ ප්‍රමුඛ පෙළ සාමාජිකයෙකු විය.
පලස්තීන කැරැල්ල මැඩලීමත් සමඟ 1989 දී ඊශ්‍රායලය විසින් හනියේ වසර තුනක් සිරගත කරනු ලැබීය. ඉන්පසුව 1992 දී ඔහුව හමාස් නායකයින් ගණනාවක් සමඟ ඊශ්‍රායලය සහ ලෙබනනය අතර මිනිසුන් රහිත ප්‍රදේශයකට පිටුවහල් කරන ලදී.












