'යුද්ධයෙන් වැනසුණු' ගාසා තීරය යළි ගොඩනැගීමට අරාබි ලෝකයේ සැලැස්ම කුමක් ද?

A picture of a severely bombed neighbourhood in Gaza in February.

ඡායාරූප මූලාශ්‍රය, EPA

ඡායාරූප ශීර්ෂ වැකිය, පෙබරවාරි මාසයේ ගාසා තීරයේ තදාසන්න ප්‍රදේශයක සිදු වූ හානියේ ප්‍රමාණය
    • Author, යස්මින් ෂහීන්
    • Role, බීබීසී අරාබි

ඊජිප්තුව සහ අරාබි රටවල් කිහිපයක් ගාසා තීරය යළි ගොඩනැගීමේ සැලසුම් සකස් කරමින් සිටින්නේ, පලස්තීන ජනතාවට අවතැන් නොවී කලාපයේ රැඳී සිටීම සහතික කිරීමට සහ හමාස් සංවිධානයේ මැදිහත්වීමකින් තොරව තීරයේ පාලන යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ය.

මෙය පලස්තීනුවන් ඊජිප්තුව, ජෝර්දානය සහ ඇතැම් විට වෙනත් රටවල පදිංචි කරවීම මෙන් ම ගාසා තීරයේ පාලනය සියතට ගැනීමට සහ එය "මැද පෙරදිග වෙරළ තීරය" ලෙස පරිවර්තනය කිරීමේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යෝජනාවලට ප්‍රතිචාරයකි.

රොයිටර්ස් වාර්තා කර ඇත්තේ, ගාසා තීරය සම්බන්ධයෙන් අවම වශයෙන් යෝජනා හතරක්වත් කෙටුම්පත් කර ඇති නමුත්, ට්‍රම්ප්ගේ සැලැස්මට විකල්පයක් ඉදිරිපත් කිරීමේ අරාබි ප්‍රයත්නයට දැනට ඊජිප්තු යෝජනාවක් පදනම වී ඇති බව පෙනී යන බව ය.

සුන්බුන් ඉවත් කිරීම, ගාසා තීරය යළි ගොඩනැගීම, පලස්තීනුවන් මෙම කාල සීමාව තුළ ජීවත් වන ආකාරය සහ යුද්ධයෙන් පසු පාලන යාන්ත්‍රණය තීරණය කිරීම ඇතුළත් සැලැස්මේ තාක්ෂණික තොරතුරු අවසන් කිරීමට ඊජිප්තුව ආසන්න බව බීබීසී ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත්, ගාසා තීරයේ සන්නද්ධ කල්ලිවල, විශේෂයෙන් හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ්වල අනාගතය කෙබඳු වනු ඇති දැයි යන්න තවමත් සාකච්ඡා මට්ටමේ පවතී.

එක්සත් ජනපද පරිපාලනය සමග සහයෝගයෙන් සැලැස්ම සකස් කරන බව ඊජිප්තුව පවසා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ යුරෝපා සංගමය සැලැස්ම සැකසීමේදී යම් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව ද ඊජිප්තු ආරංචි මාර්ග බීබීසීයට පැවසීය.

පෙබරවාරි 21 වන දින රියාද්හි පැවැත්වෙන කලාපීය හමුවක් සඳහා සූදානම් වීමක් ලෙස සැලැස්මේ විස්තර පිළිබඳව ඊජිප්තුව ජෝර්දානය සහ සවුදි අරාබිය ඇතුළු අරාබි රටවල් ගණනාවක උපදේශනය ලබා ගන්නා අතර එයට පලස්තීන අධිකාරියේ මැදිහත්වීමක් ද තිබිය හැකි වේ.

මෙම හමුවීමෙන් පසුව කයිරෝවේදී හදිසි අරාබි සමුළුවක් පැවැත්වීමට නියමිත අතර එය ප්‍රවාහන හේතූන් මත, නව දිනයක් නියම කිරීමකින් තොරව කල් දැමීමට පෙර පෙබරවාරි 27 පැවැත් වීමට නියමිතව තිබිණි.

A long line of people walking back to their bombed-out homes in northern Gaza in January.

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනවාරි මාසයේදී උතුරු ගාසා තීරයේ ජනතාව තම නිවෙස් වෙත ආපසු පැමිණෙමින්

අවතැන්වීම් විශාල වශයෙන් සිදු නොවන අයුරින් සැලැස්ම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද?

ඊජිප්තු මූලාශ්‍රයක් බීබීසීයට පැවසුවේ, පුළුල් යුරෝපීය සහභාගීත්වයෙන් ගාසා තීරය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ අනාගත සමුළුවක් සඳහා අරාබිය දැනටමත් සූදානම් වීම ආරම්භ කර ඇති බව ය. ඊජිප්තු සැලැස්මේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර ඇත්තේ, ගාසා තීරය නැවත ගොඩ නැගීම සහ එම තීරය මානුෂීය කලාප තුනකට බෙදීමට බව ත්, ඒ සෑම කලාපයක ම පදිංචිකරුවන්ට ජීවත් වීමට ජලය සහ විදුලිය වැනි මූලික අවශ්‍යතා සැපයීම ඇතුළුව විශාල කඳවුරු 20ක් ඇති බව ත් එම මූලාශ්‍රය වැඩිදුරටත් පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

සැලැස්මට අනුව, යුද්ධය නිසා ඇති වූ සුන්බුන් ඉවත් කිරීමත් සමග ජංගම නිවාස සහ කූඩාරම් වැනි ව්‍යුහයන් දස දහස් ගණනක් මාස හයක කාලයක් සඳහා නවාතැන් වෙනුවෙන් ආරක්ෂිත ප්‍රදේශවල ස්ථාපනය කෙරෙනු ඇත. කෙසේ වෙතත්, සටන් විරාමයේ ආරම්භක අදියරේදී මෙය දැනට ඊශ්‍රායල ජාතිකයින් විසින් අවසර දෙනු ලැබ නොමැත.

මෙම සැලැස්ම මගින් ගාසා තීරයට ඉන්ධන සහ ගොඩනැගිලි ද්‍රව්‍ය නිතිපතා ලබා ඉඩ දීමේ අවශ්‍යතාව ද අවධාරණය කරනු ඇත.

ඊජිප්තු සැලැස්මට අනුව, ප්‍රතිසංස්කරණ සඳහා අරාබි සහ ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන් විසින් අරමුදල් සපයනු ලබන අතර, ගාසා තීරයේ යෝජිත කලාප තුනේ මාස 18ක් ඇතුළත ආරක්ෂිත නිවාස ඒකක සපයන ඉදිකිරීම් සඳහා විශේෂඥ බහුජාතික සමාගම් 50ක් පමණ සම්බන්ධ වනු ඇත. එමෙන් ම, අරාබි සහ ජාත්‍යන්තර නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් අරමුදල් කළමනාකරණය කරනු ඇත.

ඊජිප්තුව සමග ගාසා තීරයේ මායිම දිගේ උමං සෑදීම අවහිර කිරීම සඳහා ස්වාරක්ෂක කලාපයක් සහ බාධකයක් නිර්මාණය කිරීම, සුන්බුන් ඉවත් කිරීම සහ තීරයේ උතුරු, මධ්‍යම සහ දකුණු ප්‍රදේශවල තාවකාලික නිවාස ප්‍රදේශ 20ක් පිහිටුවීම ද යෝජනාවට ඇතුළත් ය.

ඊජිප්තු ඉන්ජිනේරු සංගමයේ සභාපති ආචාර්ය ටරීක් අල්-නබරාවි බීබීසීයට පැවසුවේ, සැලැස්මට කොපමණ පාර්ශ්වයන් සම්බන්ධ වී ඇත් ද යන්න සහ පිරිවැය අනුව මෙම සැලැස්මට වසර තුනේ සිට පහ දක්වා ගත විය හැකි බව ය.

කෙසේ වෙතත්, සෙනසුරාදා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු නිවේදනය කළේ, මෑතකාලීන සටන් විරාම ගිවිසුමේ විධිවිධානයක් වුව ද ආරක්ෂක ගැටලු හේතුවෙන් ගාසා තීරයේ ජංගම නිවාස සහ ඒ තුළට ඉදිකිරීම් උපකරණ ඇතුළු කිරීමට ඉඩ නොදෙන බව ය.

Pictures of a number of large lorries carrying container houses and heavy construction equipment sent from Egypt to Gaza line up waiting on the Egyptian side of the Rafah border crossing to enter Gaza

ඡායාරූප මූලාශ්‍රය, Getty

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊජිප්තුවේ සිට ගාසා තීරයට යවන ලද කන්ටේනර් නිවාස සහ ඉදිකිරීම් උපකරණ රැගත් ලොරි විශාල ගණනක් දේශසීමාවේ ඊජිප්තු ප්‍රදේශයේ රැඳී සිටින අයුරු

හමාස් සංවිධානයේ අනාගතය

ඊජිප්තු මූලාශ්‍රයක් බීබීසීයට පැවසුවේ, වඩාත් ම කැපී පෙනෙන ප්‍රශ්නය හමාස් සංවිධානය සහ ගාසා තීරයේ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම්වල අනාගතය බව ය.

කයිරෝ සැලැස්මේ එක් යෝජනාවක්, 'දින හයේ යුද්ධයට' පෙර පැවති දේශසීමා තුළ පලස්තීන රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ පසු මෙම කණ්ඩායම් නිරායුධ කිරීමට අදාළ බව මූලාශ්‍රය පැහැදිලි කළේ ය. නැගෙනහිර ජෙරුසලම එවැනි රාජ්‍යයක අගනුවර වනු ඇති අතර ගාසා තීරයෙන් කිසිදු තර්ජනයක් එල්ල නොවන බවට ඊශ්‍රායලයට සහතික කිරීම සඳහා ආරක්ෂක කලාපයක් ද පිහිටුවනු ඇත. (එහි පිහිටීම තවමත් තීරණය කර නොමැත).

අතුරු කාලසීමාවේදී හමාස්ගේ සහභාගීත්වයෙන් තොරව ගාසා තීරය පාලනය කිරීම සඳහා පලස්තීන කමිටුවක් පිහිටුවීම ද යෝජනාවට ඇතුළත් වේ. ගාසා තීරය කළමනාකරණය කිරීමේදී අරාබි සහ ජාත්‍යන්තර හමුදා කමිටුවට තාවකාලිකව සහය වනු ඇත.

හමාස් සංවිධානය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, ගාසා තීරයේ පාලනය ජාතික කමිටුවකට පැවරීමට තමන් කැමති නමුත් එහි සාමාජිකයින් තෝරා ගැනීමේදී තමන්ට ද යම් කාර්යභාරයක් අවශ්‍ය බව ත් තම අනුමැතියකින් තොරව භූමිය සඳහා කිසිදු හමුදාවක් යෙදවීම පිළිනොගන්නා බවත් ය.

මෙම සැලැස්මට අනුව, අරාබි රටවල් යුරෝපා සංගමය සමග සහයෝගීතාවයෙන් එහි පිරිස් පුහුණු කිරීම සඳහා පලස්තීන අධිකාරියට සහය දක්වනු ඇති බව ද ඊජිප්තු මූලාශ්‍රය අවධාරණය කළේ ය.

A series of maps of Gaza showing damage to the territory since the start of the war between Hamas and Israel in October 2023

ට්‍රම්ප්ගේ සැලැස්ම ගැන කුමක් කිව හැකි ද?

එක්සත් ජනපද ජනාධිපතිවරයා ගාසා තීරයෙන් පලස්තීනුවන් ඉවත් කර නැවත පදිංචි කිරීමේ ඔහුගේ සැලැස්ම ගැන නැවත නැවතත් ප්‍රකාශ කර ඇති අතර, ඔහු මෙය භූමිය සංචාරක ආයෝජන ප්‍රදේශයක් බවට පත් කිරීමේ අවස්ථාවක් ඇති බවත්, සුන්බුන් මැද ජීවත් නොවන බැවින් පලස්තීනුවන්ට එය ප්‍රතිලාභයක් වනු ඇති බවත් පවසමින් එය සාධාරණීකරණය කරයි. පලස්තීනුවන් භාර නොගතහොත් ඊජිප්තුවට සහ ජෝර්දානයට ලබා දෙන ආධාර නතර කරන බවට ද ට්‍රම්ප් තර්ජනය කළේ ය.

කයිරෝවේ ඇසෝසියේටඩ් ප්‍රෙස්හි හිටපු මැද පෙරදිග කර්තෘ ඩෑන් පෙරී ඊශ්‍රායලයේ ජෙරුසලම් පෝස්ට් පුවත්පතට ලිපියක් සම්පාදනය කරමින් සඳහන් කළේ, පලස්තීනුවන් ගාසා තීරයෙන් ඉවත් කර නැවත පදිංචි කිරීමේ ට්‍රම්ප්ගේ සැලසුම අරාබි රටවලට සහ ගාසාවේ සිටින පලස්තීනුවන්ට හමාස් සංවිධානය බලයෙන් ඉවත් කිරීමට බලපෑම් කිරීමක් බව ය. හමාස් සංවිධානයට අරාබි රටවලින්, විශේෂයෙන් කටාර් රාජ්‍යයෙන් ලැබෙන මූල්‍ය ආධාර නැවැත්වීම ද එහි අරමුණකි.

ට්‍රම්ප් සහ ජෝර්දානයේ II වන අබ්දුල්ලා රජු අතර පසුගිය දා වොෂින්ටනයේ පැවති හමුවකින් පසු, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ ප්‍රකාශිකා කැරොලයින් ලෙවිට් පැවසුවේ, නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේදී පලස්තීනුවන් ගාසා තීරයේ රැඳී සිටිනු දැකීමට තමන් කැමති බව අබ්දුල්ලා රජු ට්‍රම්ප්ට පැහැදිලි කළ බව ය. නිල වශයෙන්, තවමත් ට්‍රම්ප්ගේ කැමැත්ත වන්නේ පලස්තීනුවන් ගාසා තීරයෙන් පිටතට ගෙන යාමට ය.

ගාසා තීරය ප්‍රතිනිර්මාණය කිරීමට ඩොලර් බිලියන ගණනක් සැපයීම සහ හමාස් සංවිධානය ඉවත් කරන්නේ නම් ඒ වෙනුවෙන් පලස්තීනුවන් ගාසා තීරයේ රැඳී සිටීමට ට්‍රම්ප් එකඟ විය හැකි බව පෙරී විශ්වාස කරයි.

A picture of Saudi Crown Prince Mohammed bin Salman

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු

ට්‍රම්ප්ට එරෙහි වීමට අරාබි ලෝකය සතු බලය කෙතරම් ද?

සෞදි දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය මුබාරක් අල්-අති විශ්වාස කරන්නේ, ඕනෑ ම එක්සත් ජනපද මැදිහත්වීමකදී කලාපය තුළ, විශේෂයෙන් සෞදි අරාබියේ සහ ඊජිප්තුව තුළ ඔවුන්ගේ සැලකිය යුතු අවශ්‍යතා සැලකිල්ලට ගනු ඇති බව ය. ඊජිප්තුවේ, එක්සත් ජනපදයේ සහ සෞදි අරාබියේ පාලකයන් අතර පෞද්ගලික සබඳතා, පොදු පදනමක් සොයා ගැනීමට ඔවුන්ට උපකාරී වනු ඇති බවත්, විශේෂයෙන් ට්‍රම්ප්ගේ ඉදිරි සෞදි අරාබි සංචාරයත් සමග අනාගත අරාබි-ඇමෙරිකානු සබඳතා හැඩගස්වනු ඇති බවත් ඔහු පැවසීය.

වොෂින්ටනයේ දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය හසන් නයිම්නේ විශ්වාස කරන්නේ, කිසියම් අරාබි සැලැස්මකට ප්‍රතිචාර වශයෙන් ට්‍රම්ප් ඊජිප්තුව වෙත සහ ජෝර්දානය වෙත ලබා දෙන මිලිටරි සහ ආර්ථික ආධාර කපා හරින්නේ නම්, මෙම රටවල් ප්‍රතිචාර දැක්විය යුතු බව ය. නිදසුනක් වශයෙන්, සෞදි රජය එක්සත් ජනපදයේ සිය ආයෝජන නැවැත්විය යුතු අතර එමගින් චීනය, රුසියාව, යුරෝපා සංගමය, අප්‍රිකාව සහ දකුණු ඇමෙරිකාව සමග ආර්ථික කටයුතු සඳහා දොර විවර කළ යුතු ය.

1967 දේශසීමා මත පදනම්ව පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට තල්ලු කිරීම සඳහා සෞදි රජය විසින් සාකච්ඡා උපක්‍රමයක් ලෙස භාවිත කරනු ලැබ ඇති ඊශ්‍රායලය සමග සබඳතා සාමාන්‍යකරණය කිරීම එක්සත් ජනපදය වාසි දායක ලෙස දකින බව අල්-අති පෙන්වා දුන්නේ ය.

1979දී අත්සන් කරන ලද ඊශ්‍රායලය සමග කැම්ප් ඩේවිඩ් සාම ගිවිසුම අවලංගු කිරීමේ කයිරෝවේ මෑත කාලීන ඉඟිය ට්‍රම්ප් අනාගත අරාබි සැලැස්මක් ප්‍රතික්ෂේප කළහොත් වොෂින්ටනයට එරෙහිව ද ක්‍රියාත්මක විය හැකි බව නම සඳහන් නොකළ ඊජිප්තු මූලාශ්‍රය සඳහන් කළේ ය.