ඇමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ සහය ලබන මතභේදාත්මක GHF ආධාර ආයතනය යනු කුමක් ද?

GHF

ඡායාරූප මූලාශ්‍රය, Reuters

වෙඩි ප්‍රහාරවලින් හෝ උණ්ඩ කැබලිවලින් ඇති වූ තුවාලවලින් යුත් "පුද්ගලයින් අතිවිශාල පිරිසක්" දකුණු ගාසා තීරයෙහි පිහිටා ඇති රතුකුරුස සංවිධානයට අයත් ක්ෂේත්‍ර රෝහලකට ඇතුළත් කර ගත් බව එම රෝහල පවසයි. ඒ බව වාර්තා වන්නේ, රෆාහි පිහිටි ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ආසන්නයේ ඇති වූ සිද්ධියක් පිළිබඳව පරස්පර විරෝධී වාර්තා ලැබෙමින් තිබෙන අතරවාරයේදී ය.

ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 31 දෙනෙකු මරණයට පත්ව තවත් 200කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙන බව හමාස් සංවිධානයෙහි පාලනය යටතේ පවතින ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය හා ආණ්ඩුවේ මාධ්‍ය කාර්යාලය කියා සිටී. එම මාධ්‍ය කාර්යාලය පසුව නිවේදනය කළේ, වාඩි ගාසා පාලම (Wadi Gaza Bridge) ආසන්නයේ පිහිටි තවත් ආධාර මධ්‍යස්ථානයක් අසලදී තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වූ බව ය.

එහෙත්, ඊශ්‍රායල ආරක්ෂක හමුදා (Israel Defense Forces - IDF) පවසන ආකාරයට "සිවිල් වැසියන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල නොකළ බව මූලික විමර්ශනයකදී හෙළිවී ඇත." පසුව නිකුත් කළ ඩ්‍රෝන කැමරා දර්ශනවලින් සනාථ වන්නේ ඛාන් යුනිස් නගරාසන්නයේ ආධාර ලබා ගනිමින් සිටි සිවිල් වැසියන් වෙත අවිගත්, මුහුණු ආවරණය පැළඳගත් පුද්ගලයින් ගල් හා වෙඩි ප්‍රහාර එල්ල කළ බව යැයි ඊශ්‍රායල ආරක්ෂක හමුදා පැවසීය. එම දර්ශනවල නිරවද්‍යභාවය එසැනින් සනාථ කර ගැනීම බීබීසීයට කළ නොහැක්කක් විය.

ඛාන් යුනිස්හි පිහිටි නසාර් රෝහලෙහි වෛද්‍යවරුන් බීබීසීය වෙත පැවසූයේ, වෙඩි ප්‍රහාරවලින් හෝ උණ්ඩ කැබලිවලින් ඇති වූ තුවාල සහිත පුද්ගලයින් 200 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා භාර ගත් බව ය.

පුද්ගලයින් සමූහයක් ආසන්නයේදී ඊශ්‍රායල හමුදා වෙඩි තැබූ නමුත් ඒ ඔවුන් ඉලක්ක කොටගෙන නොවන බවත්, එහිදී කිසිවෙකුට හෝ තුවාල සිදු නොවූ බවත්, රෆාහි සිටි හමුදා සාමාජිකයෙක් බීබීසී වෙත පැවසීය.

ප්‍රදේශයේ සේවය කරන මාධවේදියෙකු වන මොහොමඩ් ඝරීබ් බීබීසී සමග කියා සිටියේ, ගාසා මානුෂීය පදනම (Gaza Humanitarian Foundation - GHF) විසින් පවත්වාගෙන යන ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් අසලට රැස්වූ පලස්තීන ජාතිකයින් පිරිසක් වෙතට පැමිණි ඊශ්‍රායල් යුද්ධ ටැංකි ඔවුන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කළ බව ය.

GHF යනු ඇමෙරිකානු හා ඊශ්‍රායල සහය ලබන මතභේදාත්මක ආධාර ආයතනයකි. එසේනම්, සත්‍ය වශයෙන් ම GHF යනු කුමක් ද?

ගාසා වෙත ආධාර සැපයීමට GHF සැලසුම් කරන්නේ කෙසේ ද?

GHF ආයතනය කරගෙන යන වැඩසටහන විවේචනයට හා සියුම් නිරීක්ෂණයට භාජනය වී තිබේ.

ආයුධ සන්නද්ධ ඇමෙරිකානු ආරක්ෂක කොන්ත්‍රාත්කරුවන් සේවයෙහි යොදා ගන්නා මෙම කණ්ඩායමෙහි ඉලක්කය වන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගහරිමින් ගාසාහි වෙසෙන මිලියන 2.1ක් වන ජනගහනයට ආධාර ලබා දෙන ප්‍රමුඛතම සැපයුම්කරුවා බවට පත්වීමට ය. සති 11ක කාලයක් තිස්සේ පැවති ඊශ්‍රායල් අවහිරතා මෑතකදී ඉවත් කරනු ලැබුව ද, මෙම තීරයෙහි සාගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බව විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

GHF යාන්ත්‍රණයට අනුව, දකුණු හා මධ්‍යම ගාසා ප්‍රදේශවල පිහිටි එහි බෙදාහැරීමේ මධ්‍යස්ථාන හතරකදී තම පවුල් සඳහා පලස්තීනුවන් විසින් ආහාර හා මූලික සනීපාරක්ෂක භාණ්ඩ අඩංගු පෙට්ටි ලබා ගත යුතු වෙයි.

ඇමෙරිකානු කොන්ත්‍රාත්කරුවන්ගේ පාලනය යටතේ පවතින මෙම බෙදාහැරීමේ මධ්‍යස්ථාන අවට ඊශ්‍රායල හමුදා මුර සංචාරයෙහි නියැලී සිටී. ඒවාට ප්‍රවේශ වීම සඳහා පලස්තීන ජාතිකයින් විසින් ජෛවමිතික හා මුහුණු හඳුනාගැනීමේ පරීක්ෂණවලට ලක්විය යුත්තේ, හමාස් සංවිධානය සමග ඔවුන්ගේ සම්බන්ධතා තිබේ දැයි යන්න සනාථ කර ගැනීමට ය.

කෙසේ වෙතත්, බොහෝ සැපයුම් තොරතුරු මේ වන තෙක් පැහැදිලි කර නොමැත.

මෙම සැලසුමට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ආධාර ආයතන හා හමාස් සංවිධානය විරුද්ධ ඇයි?

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආධාර කණ්ඩායම් ගණනාවක් GHF සැලසුම් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ, ඒවා මානුෂීය මූලධර්මවලට එරෙහිව යන බවත්, "ආධාර යුද අවියක් බවට පත් කරගෙන තිබෙන බවත්" පවසමිනි.

GHF මෙහෙයුම "තම සංවිධානයට සත්‍ය වශයෙන් ම අවශ්‍ය වන දෙයට එකඟත්වයක් පළ නොකළ" බව කියා සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රකාශකයෙකු ඊශ්‍රායලයට අවධාරණය කළේ, සියලු ම ප්‍රවේශ මාර්ග නැවතත් විවෘත කරන ලෙසට ය.

මූලික මානුෂීය මූලධර්මවලට ගරු කිරීමට අසමත් වන කිසිදු ක්‍රියාවලියක් සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආධාර කණ්ඩායම් ප්‍රතික්ෂේප කර ඇත.

GHF සැලසුම් නිසා තැනින් තැනට යාමට නොහැකි තුවාලකරුවන්, ශාරීරික ආබාධයන්ගෙන් යුත් පුද්ගලයින් හා වැඩිහිටියන් තවදුරටත් දූරස්ථ වන බවත්, ඒ හේතුවෙන් අවතැන්වීම් තවදුරටත් උත්සන්න වී පුද්ගලයින් දහස් ගණනාවක් දෙනා පීඩාවන්ට නිරාවරණය වී, දේශපාලනික හා හමුදාමය කොන්දේසි මත ආධාර ලබා දීමෙන්, ලොව පුරා ආධාර බෙදාහැරීම සම්බන්ධයෙන් පිළිගත නොහැකි ආකාරයේ පූර්වාදර්ශයක් ලබා දෙන බවට ඔවුන් අනතුරු අඟවා ඇත.

නෝර්වීජියානු සරණාගත කවුන්සිලයේ මහ ලේකම් හා හිටපු එක්සත් ජාතීන්ගේ මානුෂීය ප්‍රධානී යාන් ඊගලන්ඩ් පවසන ආකාරයට GHF යනු "හමුදාකරණය, පෞද්ගලීකරණය හා දේශපාලනීකරණය වූ" කණ්ඩායමකි.

"ඒක පිටුපස ඉන්නේ හමුදාව. CIA සහ හමුදාවේ හිටපු සාමජිකයින් ඒකෙ ඉන්නවා. ඒක සන්නද්ධ අරගලයක එක පාර්ශ්වයක් වෙන ඊශ්‍රායල ආරක්ෂක හමුදා එක්ක ළඟින් කටයුතු කරන්න යන ආරක්ෂක සමාගමක්," යැයි ඔහු බීබීසී වෙත කියා සිටියේ ය. "ඒ අයට මධ්‍යස්ථාන තියෙනවා. ඒවායේදී මිනිස්සු පරීක්ෂාවට ලක්වෙන්නේ අරගලයේ එක් පාර්ශ්වයක් වෙන ඊශ්‍රායලයට ඕනෑ විදියට යි."

"යුද්ධයේ එක පාර්ශ්වකරුවෙකුට බැහැ ආධාර ලැබෙන්නේ කොහේදී ද? කොහොම ද? කාට ද? කියලා තීරණය කරන්න", යැයි ඔහු වැඩිදුරටත් කීය.

GHF සැලසුම් සමග සහයෝගයෙන් ක්‍රියා නොකරන ලෙසට හමාස් සංවිධානය පලස්තීන ජාතිකයින්ට අනතුරු අඟවා ඇත. ඒවාට අනුගත වුවහොත් "ක්‍රමවත් බව වෙනුවට ව්‍යාකූලත්වය ඇති වී, පලස්තීන සිවිල් වැසියන් සැලසුම්සහගතව හාමත් කිරීමේ ප්‍රතිපත්තියක් බලාත්මක කිරීම හා යුද සමයකදී ආහාර යනු අවියක් ලෙසින් භාවිතා කිරීම," සිදුවනු ඇතැයි එම සංවිධානය කියා සිටී.

GHF නිකුත් කළ නිවේදනයකින් චෝදනා කර ඇත්තේ, එහි ආරක්ෂිත බෙදාහැරීමේ ස්ථානවලදී සිදු කෙරෙන මානුෂීය මෙහෙයුම්වලට සහාය ලබාදෙන සහන කණ්ඩායම්වලට එරෙහිව හමාස් සංවිධානය විසින් මරණීය තර්ජන එල්ල කර ඇති බවත්, ගාසා වැසියන්ට ඒවාට ප්‍රවේශ වීමට බාධා ඇති කරන බවත් ය.

එම සංවිධානය ආධාර සොරා ගැනීම වැළැක්වීම සඳහා පවතින ආධාර සැපයීමේ ක්‍රියාවලියට විකල්පයක් අවශ්‍ය වන්නේ යැයි ඊශ්‍රායලය කියා සිටී. තමන් ආධාර සොරා නොගන්නා බව හමාස් අවධාරණය කරයි.

මේ අතර, GHF තවදුරටත් පරීක්ෂාවට ලක්වන සිදුවීමක් ලෙසින් එහි අධ්‍යක්ෂ ජේක් වුඩ් ඉරිදා රාත්‍රියේදී තම ධූරයෙන් ඉල්ලා අස්වූයේ එය භාවිත කරන ක්‍රමවිධිවලට විරෝධය දක්වමිනි.

ජේක් වුඩ් යනු කවුද? ඔහු ඉල්ලා අස්වූයේ ඇයි?

ඇමෙරිකානු නාවික හමුදාවේ හිටපු සාමාජිකයෙකු වන වුඩ් පවසන්නේ, මානුෂීය මෙහෙයුම් සම්බන්ධයෙන් තමන් සතුව ඇති පළපුරුද්ද හේතුවෙන් GHF ප්‍රධානියා ලෙසින් කටයුතු කරන්නැයි දෙමසකට පෙර ඉල්ලීමක් ඉදිරිපත් වූ බව ය. නමුත්, සතියකට පෙර ඔහු කියා සිටියේ, ඊශ්‍රායලයේ සහය ලැබෙන එහි සැලසුම් නිසා තමන්ට ඇති වූ අපහසුතා නිසා ධූරයෙන් ඉල්ලා අස්වන බව ය.

"ලෝකය පුරා ඉන්න ගොඩක් අය වගේ මමත් ගාසාවල පවතින කුසගින්නේ අර්බුදයෙන් බියට පත් වෙලා මගේ හිත කඩා වැටුණා. මානුෂීය ප්‍රධානියෙකු හැටියට ඒ පීඩාව සැහැල්ලු කරන්න මට කරන්න පුළුවන් දේ කිරීමට මම යොමු වුණා," යැයි තම ඉල්ලා අස්වීමේ ලිපියෙන් ඔහු කියා සිටී.

"මගෙ යටතෙ කෙරුණ වැඩ ගැන මම ආඩම්බර වුණා. බඩගින්නේ ඉන්න අයට ආහාර දෙන්න පුළුවන් වෙන ප්‍රායෝගික සැලැස්මක්, පුද්ගලයින් වෙනත් තැන්වලට ගෙන යද්දී ඇති වෙන්න පුළුවන් ආරක්ෂක ගැටලු වගේ ම කාලයක් තිස්සේ ගාසාවල ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවන සංවිධානවල අඩුපාඩු සම්පූර්ණ කිරීමත් ඒකෙන් සිද්ධ වුණා."

නමුත්, "මම අත හරින්නෙ නැති දයාව, මධ්‍යස්ථභාවය, අපක්ෂපාතීත්වය, ස්වාධීනත්වය වගේ මානුෂීය මූලධර්මවල දැඩිව බැඳිලා ඉන්න ගමන් ඔවුන්ගේ සැලසුම ක්‍රියාවට නංවන්න බැරි බව මට පැහැදිලි වුණා," ඔහු පවසයි.

GHF ආයතනයේ ප්‍රතිචාරය වූයේ, වුඩ්ගේ ඉල්ලා අස්වීමෙන් තම කටයුතුවලට බාධා නොවන බවත්, සතිය අවසන් වන විට පලස්තීනුවන් මිලියනයක් ඉලක්ක කොට ආධාර සැපයීම සඳුදා ආරම්භ කරන බවත් අවධාරණය කිරීම යි.

"පවතින තත්ත්වයෙන් ප්‍රයෝජන ලබන විවේචකයින් ආධාර සැපයීම කෙරෙහි යොමු වීමට වඩා එය කඩාකප්පල් කිරීමට පෙළඹී සිටින්නේ, දරාගත නොහැකි ආකාරයේ ගැටලුවලට ලබා දෙන අලුත් සහ නිර්මාණාත්මක විසඳුම් සාර්ථක වේ යැයි යන බිය නිසා ය," යනුවෙන් GHF වැඩිදුරටත් පැවසීය.

විදේශ ආධාර පාලනය කරන එක්සත් ජනපද රාජ්‍ය ආයතනය වන USAID හි හිටපු ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වන ජෝන් ඇක්රී එහි තාවකාලික විධායක අධ්‍යක්ෂවරයා ලෙස නම් කර තිබේ.

භූමියේ පවතින තත්ත්වය කෙතරම් දරුණු ද?

ගාසා තීරයට මානුෂීය ආධාර ලැබීම මාර්තු 2 වන දා සම්පූර්ණයෙන් ම නවතා දැමූ ඊශ්‍රායලය ඊට දෙසතියකට පසුව හමුදා මෙහෙයුම් නැවත ආරම්භ කළේ හමාස් සංවිධානය සමග දෙමසක් පුරා පැවති සටන් විරාමය ද අවසන් කරමිනි.

එම සංවිධානය ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි පුද්ගලයින් 58 දෙනාගෙන් 23 දෙනෙකු තවමත් ජීවත්ව සිටින බව පැවසූ ඊශ්‍රායලය, තම මෙහෙයුමේ අරමුණ වන්නේ ඔවුන් නිදහස් කර ගැනීම සඳහා පීඩනයක් යෙදවීම යැයි අවධාරණය කළේ ය.

මැයි 19 වන දා එම මෙහෙයුම් තවදුරටත් පුළුල් කෙරුණේ, අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසූ ආකාරයට "සමස්ත ගාසා ප්‍රදේශයේ ම පාලනය තම" හමුදා යටතට ගැනීමේ පරමාර්ථය ඇතිව ය. එම සැලසුමට අනුව, උතුරු ප්‍රදේශය සිවිල් වැසියන්ගෙන් සම්පූර්ණයෙන් ම තොර කොට ඔවුන් බලහත්කාරයෙන් දකුණුදිගට පළවා හැරීහ අරමුණු කෙරෙන බව වාර්තා වේ.

එක්සත් ජනපදයේ සිටින තම මිතුරු පාර්ශ්වකරුවන්ගෙන් එල්ල වූ පීඩනයත් සමග නෙතන්යාහු කියා සිටියේ, බාධක තාවකාලිකව ඉවත් කොට සාගතයක් ඇති වීම වැළැක්වීම සඳහා ආහාර යම් ප්‍රමාණයක් ගාසා වෙත ලැබීමට ඉඩ ලබා දෙන බව ය.

එතැන් සිට මේ දක්වා තිරිඟු පිටි, ළදරු ආහාර හා වෛද්‍ය සැපයුම් වැනි මානුෂීය ආධාර රැගත් ලොරි රථ 665කට අධික සංඛ්‍යාවක් ගාසා ප්‍රදේශයට යැවීමට ඉඩ ලබා දුන් බව ඊශ්‍රායල බලධාරීහු කියා සිටිති.

එහෙත් ලෝක ආහාර වැඩසටහනෙහි ප්‍රධානියා අනතුරු අඟවා ඇත්තේ, එම ආධාර "පනිට්ටුවකට දමන ජල බිඳුවක්" වැනි කිසිදු ලෙසකින් හෝ ප්‍රමාණවත් නොවන, මූලික ආහාර ද්‍රව්‍යවල හිඟයක් හා ඉතා ඉහළ මිල ගණන් පවතින තත්ත්වයක් මධ්‍යයේ ව්‍යසනකාරී මට්ටමේ ආහාර අර්බුදයක් වළක්වා ගැනීමට අවශ්‍ය ආහාර ප්‍රමාණයක් ලෙස සැලකිය නොහැකි බව ය.

එක්සත් ජාතීන්ගේ සහයෙන් පවත්වාගෙන යන ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණය (Integrated Food Security Phase Classification - IPC) අනුව, ඉදිරි මාස කිහිපයේදී පුද්ගලයින් 500,000ක් දෙනා හාමත් වීමේ අවදානමට ලක්ව සිටී.

හමාස් සංවිධානය දේශ සීමා හරහා එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙසින් ඊශ්‍රායලය 2023 ඔක්තෝබර් 07 වන දා ගාසාහි හමුදා මෙහෙයුමක් ආරම්භ කළේ ය. එහිදී පුද්ගලයින් 1,200 දෙනෙකු මරුමුවට පත්ව තවත් 251 දෙනෙක් ප්‍රාණ ඇපයට ගනු ලැබූහ.

මේ වන විට මිය ගිය සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 54,056ක් ලෙසින් ගණනය කොට ඇති අතර, ඉන් 3,901 දෙනෙකු මරුමුවට පත්ව ඇත්තේ, පසුගිය සති 10ක කාලය තුළ බව හමාස් සංවිධානයෙහි පාලනය යටතේ පවතින ගාසාහි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.