'එයාලට ඕන වුණේ වෛද්‍යවරුන්, ගුරුවරුන් වෙන්න': ඊශ්‍රායල් ප්‍රහාරවලින් මිය ගිය ගාසා දරුවන්ගේ දෙමාපියන් නගන ශෝකාලාප

Alaa Abu Hihal, a bearded man with tears in his eyes, pictured at Nasser Hospital in Khan Yunis
ඡායාරූප ශීර්ෂ වැකිය, අලා අබු හිහාල්ගේ ගැබිනි බිරිඳ සහ දරුවා ඊශ්‍රායල් බෝම්බ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූහ.
    • Author, යොන් ඩොනිසන්
    • Role, ජෙරුසලමේ සිට වාර්තා කරයි

ගාසාහි, පලස්තීන වැසියෝ ඔවුන්ගේ මරණයට පත් ආදරණීයයන් භූමදාන කරමින් සිටිති.

දකුණු දිග ගාසා තීරයේ පිහිටි ඛාන් යුනිස්හි නසර් රෝහලේ, අලා අබු හිහාල් තම කුඩා පුතු මොහොමඩ්ව දෑතින් වඩාගෙන සිටියි.

සුදු පැහැති ආවරණයක් තුළින් ළදරුවාගෙ මුහුණ පෙනෙයි.

පසුගිය මාස දෙක තුළ ක්‍රියාත්මක වූ සටන් විරාම ගිවිසුම උල්ලංඝණය කරමින් ඊශ්‍රායලය අඟහරුවාදා ගාසා වෙත එල්ල කළ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය ළමුන් 170කට වැඩි පිරිස අතරින් මොහොමඩ් ද එක් අයෙකි.

අලාගේ බිරිඳ ඔහුගේ පාමුල ඇති මළ සිරුරු බහාලන බෑගයක් තුළ වැතිර සිටී. ඇයගේ වයස යන්තම් අවුරුදු 20කි.

"අපි විවාහ වුණේ අවුරුදු දෙකකට කලින්, මැරෙනකොට ඇය මාස හතක ගැබිනියක්," අලා පවසයි.

හමාස් සංවිධානය ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම ප්‍රමාද කළ නිසා සටන් විරාමය කඩ කළ බව ඊශ්‍රායලය පවසයි. හමාස් සංවිධානය සිවිල් වැසියන් පළිහක් ලෙස යොදා ගනිමින් යළි පහර දීමට සූදානම් වන බවට ද ඊශ්‍රායලය චෝදනා කරයි.

ඊශ්‍රායල් හමුදාව, විදේශීය මාධ්‍යවේදීන්ට අවසරයකින් තොරව ගාසා තීරයට ඇතුළු වීමට ඉඩ දෙන්නේ නැත. ජෙරුසලමේ සිට මම ගාසා තීරයේ නසර් රෝහලේ ස්වේච්ඡා සේවයේ නිරත අයර්ලන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු වන වෛද්‍ය මෝගන් මැක්මොනගල් සමග කතා කළෙමි.

ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භ වූ අඟහරුවාදා අලුයම 02:30 සිට එදින මධ්‍යම රාත්‍රිය වන තුරු ම එක දිගට වැඩ කළ බව වෛද්‍යවරයා පවසයි. ඔහු දුටු මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් 40%ක් ළමුන් සහ කාන්තාවන් බව ඔහු අනුමාන කරයි.

"මට කරන්න පුළුවන් එක ම දේ තමයි, සරල මානුෂීය ශල්‍ය වෛද්‍යවරයෙකු විදිහට මගේ සේවය ලබා දෙන එක. තුවාල ලබපු, මිය යන ළමයින් සහ කාන්තාවන් විශාල පිරිසක් හිටියා," ඔහු පවසයි.

"මං හිතන්නෙ ඕන ම කෙනෙකුට තේරෙනවා මිය ගිය දරුවන් ගණන ගොඩක් වැඩි යි කියලා."

අඟහරුවාදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් කරම් ටෆීක් හමයිඩ්ට ඔහුගේ පිරිමි දරුවන් තිදෙනා වූ නව හැවිරිදි හසන්, අට හැවිරිදි මොහොමඩ් සහ පස් හැවිරිදි අසීස් අහිමි විය.

"එයාලා සෙල්ලම් කළා, විනෝද වුණා, ඒ වගේ ම ගොඩක් ම ආස කළේ මාත් එක්ක මගේ ටුක්ටුක් එකේ යන්න," කරම් කඳුළු පිරි දෙනෙතින් පවසයි.

"ඒගොල්ලන්ට ඕන වුණේ වෛද්‍යවරුන්, ගුරුවරුන් වීමට."

Karam is pictured with a sombre expression, his head and shoulders facing the camera.
ඡායාරූප ශීර්ෂ වැකිය, ඊශ්‍රායල ප්‍රහාරවලින් කරම්ගේ පුතුන් තිදෙනා ම ජීවිතක්ෂයට පත්වූහ.

ඊශ්‍රායලය පවසන්නේ, හමාස් සංවිධානය, මිය ගිය සහ තුවාල ලැබූ පලස්තීනුවන්ගේ සංඛ්‍යාව අතිශයෝක්තියෙන් ඉහළ නංවන බව ය. එහෙත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් මෙහෙයවනු ලබන සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන විශ්වාස කළ හැකි දත්ත ලෙස සලකයි. පසුගිය මාස 18ක යුද්ධය තුළ ගාසා තීරයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව ඇත්ත වශයෙන් ම අවතක්සේරු කර ඇති බව සමහර විශේෂඥයෝ විශ්වාස කරති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන වැරදි බව විශ්වාස කිරීමට තමාට කිසිදු හේතුවක් නොමැති බව වෛද්‍ය මැක්මොනගල් පවසයි.

"ප්‍රචාරණයෙන් යුද්ධයක් ඇති වන නිසා මම ප්‍රචාරණයෙන් වැළකී සිටීමට උත්සහ කරනවා... නමුත් මට කියන්න පුළුවන් (නසාර් රෝහලේ) 70කට වැඩි පිරිසක් ඊයේ කෙලින් ම මෘත ශරීරාගාරයට රැගෙන ගියා, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ළමයින්. මම ඔවුන්ව දැක්කා."

"මට නිල සංඛ්‍යා ලේඛන නැහැ, නමුත් රෝහලේ ජ්‍යෙෂ්ඨ කාර්ය මණ්ඩලය මට කිව්වා මිය ගිය සහ තුවාල ලැබූවන්ගෙන් 40%ක් කාන්තාවන් සහ ළමයින් කියලා."

Three young Gazan boys are pictured together, facing the camera, in a photo being held up on a mobile phone.
ඡායාරූප ශීර්ෂ වැකිය, කරම් පවසන්නේ, ඔහුගේ පුතුන් "වෛද්‍යවරුන් හා ගුරුවරුන් වීමට" අපේක්ෂාවෙන් පසුවූ බව ය.

හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා නොදෙන්නේ නම්, අඟහරුවාදා එල්ල කළ ප්‍රහාරය ආරම්භය පමණක් බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පැවසීය.

"ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකළොත්, ඒ වගේ ම හමාස් සංවිධානය ගාසාවලින් ඉවත් නොවුණොත්, මීට පෙර කවදාවත් දැක නැති ආකාරයේ බලයක් ඊශ්‍රායලය පාවිච්චි කරාවි," යැයි කැට්ස් පැවසීය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කර ඇති පරිදි ගාසා වැසියන් අසල්වැසි රටවලට සංක්‍රමණය විය යුතු යැයි ඔහු නැවතත් පවසයි. එය පලස්තීනුවන් සහ අරාබි රටවල් බොහෝමයක් සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන ලද අදහසකි.