පුටින්ගේ රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළේ ඇයි?

President Putin speaks at a security council meeting in February 2025

ඡායාරූප මූලාශ්‍රය, Reuters

    • Author, පෝල් කර්බි
    • Role, යුරෝපා ඩිජිටල් සංස්කාරක
  • කියවීමේ කාලය: මිනිත්තු 9

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයට සොල්දාදුවන් 200,000ක් දක්වා යවන ලෙස නියෝග කළ විට, ඔහුගේ ඉලක්කය වූයේ දින කිහිපයක් ඇතුළත කියෙව් අගනුවරට ඇතුළුවීම යි.

ඔහුට අවශ්‍ය වූයේ, බටහිර ගැති රජය පෙරළා දමා යුක්‍රේනය රුසියාවේ බලපෑම් යටතට නැවත ගෙන ඒමට ය.

පුටින් අසාර්ථක වූ නමුත්, යුක්‍රේන භූමියෙන් පහෙන් එකක් රුසියාව යටතේ වසර තුනකට වැඩි කාලයක් පවතින අතර, මෑතක් වන තුරු ම යුක්‍රේනයේ ශක්තිමත් ම සගයා වූ ඇමෙරිකා එක්සත් ජනපදය, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ ආධාර අත්හිටුවා තිබේ. එපමණක් නොව යුද්ධය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඔහු යුක්‍රේනයට දොස් පවරා ඇත.

පුටින් යුක්‍රේනය ආක්‍රමණය කළේ ඇයි?

A girl in a pink top stands in an underground station in Kharkiv while others sit around her

ඡායාරූප මූලාශ්‍රය, MARCUS YAM/LOS ANGELES TIMES

ඡායාරූප ශීර්ෂ වැකිය, 2022 පෙබරවාරි 24 වන දින රුසියානු හමුදා ප්‍රහාර එල්ල කරන විට යුක්‍රේන වැසියෝ භූගත ස්ථානවල නවාතැන් පැතූහ.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු යුරෝපය ආශ්‍රිතව සිදුවූ විශාලතම ආක්‍රමණය දියත් කළ අවස්ථාවේ, පුටින් රූපවාහිනියේ උණුසුම් කතාවක් පවත්වමින් තම ඉලක්කය යුක්‍රේනය "හමුදාකරණය සහ නාසිකරණය" වීම වැළැක්වීම බව ප්‍රකාශ කළේ ය.

රුසියාව විසින් නූතන යුක්‍රේනය නාසි රාජ්‍යයක් ලෙස දිගින් දිගට ම අර්ථ දක්වා ඇත්තේ, ඉතිහාසය විකෘති කරමිනි.

විප්ලවයකින් පසුව යුක්‍රේනයේ රුසියානු හිතවාදී ජනාධිපතිවරයා බලයෙන් පහ කර බටහිර හිතවාදී රජයක් බලයට පත්වන විටත්, පුටින් වසර අටකට පෙර යුක්රේනයේ ක්‍රිමියානු අර්ධද්වීපය අත්පත් කරගෙන තිබිණි.

ඉන්පසු පුටින් යුක්‍රේනයේ නැගෙනහිර ඩොන්බාස් කලාපයේ පහළ මට්ටමේ යුද්ධයක් ඇති කළ අතර, රුසියානු හිතවාදී නියෝජිත හමුදා භූමිය අත්පත් කරගෙන මොස්කව්හි සහය ඇති කැරලිකාර ප්‍රාන්ත පිහිටුවීය.

එහෙත් 2022 ආක්‍රමණය සිදුවූයේ, වෙනස් පරිමාණයකිනි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

පුටින් කැරලිකාර ප්‍රාන්ත ස්වාධීන ඒවා ලෙස පිළිගෙන තිබිණි. පසුව, ආක්‍රමණය ආරම්භ වූ විට, ඔහු පැවසුවේ එහි ජනතාවට - ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු රුසියානු භාෂාව කතා කරන අයට - කියෙව් "පාලන තන්ත්‍රයෙන්" ආරක්ෂාව අවශ්‍ය බව ය.

දිනකට පසු, පුටින් යුක්‍රේන හමුදාවෙන් ඉල්ලා සිටියේ, "බලය ඔබේ අතට ගන්න" සහ රජය පවත්වාගෙන යන "මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ගේ සහ නව-නාසිවාදීන්ගේ කල්ලි" ඉලක්ක කරන ලෙස ය.

ඉන්පසු පුටින් තවත් අරමුණක් එකතු කළේ ය. ඒ, යුක්‍රේනය මධ්‍යස්ථව තබා ගැනීම සහතික කිරීම ය. බටහිර ආරක්ෂක සන්ධානය වන නේටෝ සංවිධානය, සිය හමුදා රුසියානු දේශසීමා වෙත සමීප කරවීම සඳහා යුක්‍රේනයේ අඩිපාරක් ලබා ගැනීමට උත්සහ කරන බවට ඔහු චෝදනා කළේ ය.

1917 කොමියුනිස්ට් විප්ලවයෙන් පසුව "නූතන යුක්‍රේනය සම්පූර්ණයෙන් ම රුසියාව විසින් නිර්මාණය කරන ලද" බව පවසමින් රුසියානු නායකයා දිගු කලක් තිස්සේ යුක්‍රේනයේ පැවැත්මේ අයිතිය පිළිබඳව ප්‍රශ්න කර තිබේ.

2021 දී රචිත දීර්ඝ ලේඛනයක ඔහු 9 වන සියවසේ අග භාගයේ සිට පැවත එන "රුසියානුවන් සහ යුක්‍රේන ජාතිකයින් එක් ජනතාවක්" බව යෝජනා කළේ ය. පසුගිය වසරේ ඔහු US TVහි වැඩසටහන් මෙහෙයවන්නෙකු ලෙස ටකර් කාල්සන්ට පැවසුවේ, යුක්‍රේනය "කෘතිම රාජ්‍යයක්" බව ය.

එම අදහස් දැක්වීම් නිසා බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ, ආක්‍රමණයේ අරමුණ යුක්‍රේන රාජ්‍යය මකා දැමීම බව ය.

රුසියානු රජය විසින් පාලනය කරනු ලබන රියා ප්‍රවෘත්ති ඒජන්සිය පැහැදිලි කළේ, "නාසි ඉවත් කිරීම අනිවාර්යයෙන් ම යුක්‍රේනය ඉවත් කිරීමක්" බව ය. යුක්රේනය මකා දැමීමේ අදහස ආක්‍රමණයේ ප්‍රකාශිත ඉලක්කයට සම්බන්ධ කරන බවක් පෙනේ.

යුක්‍රේන සංස්කෘතිය සහ අනන්‍යතාව ඇත්ත වශයෙන් ම රුසියාවෙන් ස්වාධීනව සියවස් ගණනාවක් තිස්සේ පැවතිණි.

සෙලෙන්ස්කි ඉවත් කිරීමට පුටින්ට අවශ්‍ය වී තිබේ ද?

The president of Ukraine holds his hands out, flanked by two Ukrainian flags

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, යුක්‍රේනයේ ජනාධිපති ධූරයට වොලොඩිමීර් පත්වූයේ, 2019 වසරේදී ය

යුක්‍රේනයේ තේරී පත්වූ බටහිර ගැති ජනාධිපතිවරයා ඉවත් කිරීමට පුටින් දිගු කලක් තිස්සේ උත්සහ කර ඇති අතර, සෙලෙන්ස්කි යුද්ධයේ ආරම්භයේ සිට ම ඉලක්කයක් වූ බව පෙනී යයි.

ආක්‍රමණයෙන් මද කලකට පසු රුසියානු හමුදා, යුක්‍රේන ජනාධිපති සංකීර්ණයට කඩා වැදීමට දෙවරක් උත්සහ කළ බව සෙලෙන්ස්කිගේ උපදේශකවරයා පැවසූ අතර යුක්‍රේනයේ තේරී පත්වූ නායකයා පැවසුවේ, ඔවුන්ට තමන්ව මරා දැමීමට අවශ්‍ය වී ඇති බව ය.

"සතුරා මාව පළමු ඉලක්කය ලෙස නම් කර තිබෙනවා; මගේ පවුල දෙවන ඉලක්කය යි."

"ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ රටේ නායකයා විනාශ කරලා, යුක්‍රේනය දේශපාලනිකව විනාශ කිරීමට යි."

සෙලෙන්ස්කි පසුව පැවසුවේ, පුටින් මුලින් තමා වෙනුවට රුසියානු හිතවාදී පක්ෂයක ධනවත් ප්‍රධානියා වන වික්ටර් මෙඩ්වෙඩ්චුක් පත් කිරීමට උත්සහ කළ බවත්, ඔහු යුක්‍රේනයේ රාජද්‍රෝහී චෝදනාවට ලක්ව දැන් රුසියාවේ සිටින බවත් ය.

දැන් වසර තුනකට පසුවත්, පුටින් සෙලෙන්ස්කි සමග සෘජු සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරන්නේ, "ඔහුගේ අනීතිකභාවය නිසා" ය. එය ජනාධිපති ට්‍රම්ප් විසින් පුනරුච්චාරණය කරන ලද ව්‍යාජ කතාවකි.

ඊට සාක්ෂි ලෙස පුටින් උපුටා දක්වන්නේ, යුක්‍රේනයේ 2024 මාර්තු ජනාධිපතිවරණය කල් දැමීම ය. නමුත් රුසියාව සමග පවතින යුද්ධය නිසා යුක්‍රේනය යුද්ධ නීතිය යටතේ පවතින අතර එරට ව්‍යවස්ථාව යටතේ මැතිවරණ පැවැත්වීම තහනම් කර ඇත.

රුසියාවේ විපක්ෂ නායකයින් පිටුවහල් කර හෝ මිය ගොස් සිටින බැවින්, 2024 දී පුටින් නැවත තේරී පත්වීම බෙහෙවින් ප්‍රශ්නසහගත ය.

යුද්ධයට වගකිව යුත්තේ නේටෝ ව්‍යාප්තිය ද?

නේටෝ සංවිධානයේ නැගෙනහිර ව්‍යාප්තිය ආරක්ෂක තර්ජනයක් ලෙස පුටින් වසර ගණනාවක් තිස්සේ පැමිණිලි කර ඇති අතර, යුක්‍රේනය බටහිර සන්ධානයට එක්වීමේ ඕනෑ ම හැකියාවක් දැවැන්ත රතු රේඛාවක් ලෙස දකී.

2022 වසරේ රුසියාව විසින් කරන ලද ආක්‍රමණයට පෙර ඔහු නේටෝවෙන් ඉල්ලා සිටියේ, 1997 න් පසු බටහිර සන්ධානයට එක්වූ මධ්‍යම හා නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන්ගෙන් බහුජාතික හමුදා යෙදවීම් ඉවත් කරන ලෙස ය.

එහෙත්, 2008 දී ජෝර්ජියාව සහ, පසුව 2014 දී ක්‍රිමියාව ආක්‍රමණය කළ විට නැගෙනහිර යුරෝපයේ හමුදා ක්‍රියාමාර්ග දියත් කළේ රුසියාව යි.

ක්‍රිමියා ආක්‍රමණයෙන් පසුව, නේටෝ සංවිධානය රුසියාවට ආසන්නතම නැගෙනහිර කලාපයේ අඛණ්ඩ පැවැත්මක් ස්ථාපනය කළේ ය.

නේටෝ සංවිධානය සැමවිටම අවධාරණය කර ඇත්තේ, සන්ධානයේ සම්පූර්ණ අරමුණ "ආක්‍රමණශීලී අභිප්‍රායන් නොමැතිව" භූමි ප්‍රදේශ ආරක්ෂා කිරීම බව ය. පසුගිය වසර දෙක තුළ ස්වීඩනය සහ ෆින්ලන්තය නේටෝ සංවිධානයට එක් වූයේ, රුසියානු තර්ජනය නිසා බවට සැලකේ.

යුරෝපා සංගමයට සහ නේටෝ සංවිධානයට සම්බන්ධ වීම යුක්‍රේන ව්‍යවස්ථාවේ කොටසක් වන නමුත් පූර්ණ යුද්ධය ආරම්භ වූ විට ඒ සඳහා සැබෑ අපේක්ෂාවක් නොතිබිණි.

ආක්‍රමණයෙන් සති දෙකකට පමණ පසු සෙලෙන්ස්කි මෙසේ පැවසීය: "නේටෝව යුක්‍රේනය පිළිගැනීමට සූදානම් නැහැ."

නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා සලකා බලන බව ඔහු එතැන් සිට පවසා ඇත, නමුත් ට්‍රම්ප් පවසන්නේ, යුක්‍රේනය බටහිර සන්ධානයට එක්වීම "අමතක කළ යුතු" බව ය.

නේටෝවේ සාමාජික රටවල් යුක්‍රේනයට යුද්ධ ටැංකි සහ ප්‍රහාරක ජෙට් යානා, ගුවන් ආරක්ෂක පද්ධති, මිසයිල පද්ධති, කාලතුවක්කු සහ ඩ්‍රෝන යානා ඇතුළු හමුදා දෘඩාංග වැඩි වැඩියෙන් යවා ඇති බැවින්, පුටින් නේටෝ සංවිධානයට චෝදනා කර තිබේ.

නේටෝ සංවිධානය යුක්‍රේනයට ආරක්ෂක ආධාර සහ පුහුණුව ලබා දී ඇතත්, එය යුද්ධයේ පාර්ශවකරුවෙකු බවට පත් නොවන බව එම සංවිධානය අවධාරණය කරයි.

නේටෝ සංවිධානයට එරෙහිව පුටින්ගේ මැසිවිලි නැගීම 1990 දක්වා දිව යයි. ඒ, බටහිර රටවල් "නැගෙනහිරට අඟලක්වත්" ව්‍යාප්ත නොකරන බවට පොරොන්දු වූ බව ඔහු කළ ප්‍රකාශයත් සමග ය.

කෙසේ වෙතත්, එය සෝවියට් සංගමය බිඳවැටීමට පෙර සිදුවූ අතර, එය එවකට සෝවියට් ජනාධිපති මිහායිල් ගොර්බචොෆ් කරන ලද සීමිත කැපවීමක් මත පදනම් විය.

"නේටෝ ව්‍යාප්තිය පිළිබඳ මාතෘකාව කිසි විටෙකත් සාකච්ඡා නොකළ" බව ගොර්බචොෆ් පැවසීය.

නාසිවරුන් සහ ජන සංහාරය පිළිබඳ පුටින්ගේ චෝදනා ඒකාබද්ධ වී තිබේ ද?

Vladimir Putin remembering Russia's victory over Nazi Germany wears a long coat as soldiers pass him by carrying swords

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ව්ලැඩිමීර් පුටින් යුක්‍රේනයට එරෙහිව, ජන සංහාරය සහ නාසි ප්‍රකෝප කරවීම් පිළිබඳ දිගින් දිගට ම අසත්‍ය චෝදනා එල්ල කර තිබේ.

2022 ආක්‍රමණය ආරම්භයේදී, නැගෙනහිර යුක්‍රේනයේ යුද්ධය අතරතුර, අට වසරක යුක්‍රේන "හිරිහැර කිරීම් සහ ජන සංහාරයන්ගෙන්" නැගෙනහිර යුක්‍රේනයේ රැඳී සිටි ජනතාව ආරක්ෂා කිරීමට පුටින් ප්‍රතිඥා දුන්නේ ය.

2014-2022 අතර කාලය තුළ ඉදිරි පෙළේ දෙපාර්ශවයේ ම 14,000කට වැඩි පිරිසක් මිය ගිය නමුත්, යුක්‍රේන නාසීන් විසින් අත්පත් කර ගත් ප්‍රදේශවල ජන සංහාරයක් සිදු කළ බවට ඉදිරිපත් වූ රුසියානු ප්‍රකාශ කිසි විටෙකත් එකතු නොවූ අතර, කිසිදු ජාත්‍යන්තර ආයතනයක් ජන සංහාරයක් ගැන කතා කර නොමැත. ජර්මනියේ චාන්සලර්වරිය මෙම චෝදනාව "හාස්‍යජනක" බවට හැඳින්වීය.

කීව් නගරය භාරව සිටින නාසිවරුන් සම්බන්ධයෙන් රුසියාව කරන ප්‍රකෝපකාරී ප්‍රකාශ ද නිවැරදි නැත.

නූතන යුක්‍රේන පාර්ලිමේන්තුවේ අන්ත දක්ෂිණාංශික පක්ෂ නොමැත - ඔවුන්ට 2019 මැතිවරණයේදී ප්‍රමාණවත් ඡන්ද ලබා ගැනීමට නොහැකි විය. ඊට අමතරව, සෙලෙන්ස්කි යුදෙව්වෙකු වන අතර ඔහුගේ ඥාතීන් බොහෝ දෙනෙක් දෙවන ලෝක යුද්ධයේදී නාසීන් විසින් ඝාතනය කරනු ලැබූහ.

පුටින් ඔහුව "යුදෙව් ජනතාවට කරන නින්දාවක්" ලෙස හෙළා දකින නමුත්, ඇමෙරිකානු හොලොකෝස්ට් අනුස්මරණ කෞතුකාගාරය ඔහුගේ ප්‍රකාශ සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කරන්නේ, ඔහු "හොලොකෝස්ට් ඉතිහාසය වැරදි ලෙස නිරූපණය කර වැරදි ලෙස අත්පත් කර ගත්" බව පවසමිනි.

2024 දී ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් පුටින්ට යුද අපරාධ චෝදනා එල්ල කරන ලද නමුත් ක්‍රෙම්ලිනය එය ප්‍රතික්ෂේප කර ඇත.

රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කළේ කවදා ද?

යුක්‍රේනට තම බලපෑම් කලාපයෙන් ඉවත් වීම වැළැක්වීමට රුසියාව ගත් උත්සහය වසර ගණනාවක් පැරණි එකක් වන අතර, එහි ආරම්භක ආක්‍රමණය ආරම්භ වූයේ 2014 දී රුසියානු හිතවාදී ජනාධිපති වික්ටර් යනුකොවිච් මාස ගණනක මහජන විරෝධතාවලින් පසුව බලයෙන් පහ කිරීමත් සමග ය.

පුටින්ගේ පීඩනය යටතේ යනුකොවිච් යුරෝපා සංගම් ගිවිසුමක් අත්හැර දැමූ අතර, ස්නයිෆර්වරුන් විසින් විරෝධතාකරුවන් විශාල ගණනක් වෙඩි තබා ඝාතනය කිරීමත් සමග විරෝධතා අවසන් විය. යනුකොවිච් ඉක්මනින් ම රුසියාවට පලා ගියේ ය.

පුටින් ඉක්මනින් ම යුක්‍රේනයේ ක්‍රිමියානු අර්ධද්වීපය අල්ලා ගත් අතර රුසියානු හිතවාදීහු රජයට එරෙහිව ආයුධ අතට ගෙන නැගෙනහිර ලුහාන්ස්ක් සහ ඩොනෙට්ස්ක් ප්‍රදේශවල කොටස් අත්පත් කර ගත්හ.

යුද්ධය නැවැත්වීමට ගත් උත්සාහයන් දෙකක් අසාර්ථක විය.

ඒවා මින්ස්ක් ගිවිසුම් ලෙස හැඳින්වූ අතර ප්‍රංශය, ජර්මනිය සහ රුසියාව මැදිහත් වී ක්‍රියාත්මක කළේ ය. ඒවා ප්‍රචණ්ඩත්වයේ පරිමාණය අඩු කළ නමුත්, සෙලෙන්ස්කි ඒවා හැඳින්වූයේ රුසියාවේ කොන්දේසි මත සැඟවුණු ගැටුමක් නිර්මාණය කළ උගුලක් ලෙස ය.

දෙපාර්ශවය ම ගිවිසුම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා එල්ල කර ගත් අතර, අවසානයේ අසාර්ථක වූ ගිවිසුම් මොස්කව්හි පූර්ණ පරිමාණ ආක්‍රමණයකට පූර්වගාමී වූ බව ක්‍රෙම්ලිනය පැවසීය.

යුක්‍රේන නායකයා ට්‍රම්ප් පරිපාලනයට අනතුරු අඟවා ඇත්තේ, පුටින් විශ්වාස නොකරන ලෙසට ය: "ඔහු සටන් විරාමය කඩ කළා, අපේ ජනතාව මැරුවා."

යුද්ධය ජය ගනිමින් සිටින්නේ කවුද?

වසර තුනක ප්‍රහාර සහ ප්‍රති-ප්‍රහාරවලින් පසු, රුසියානු සහ යුක්‍රේන හමුදා කිලෝමීටර් 1,000 (සැතපුම් 629)කට වඩා ක්‍රියාකාරී ඉදිරි පෙළක සටන් වදින යුද්ධයක යෙදී සිටිති.

මෙම යුද්ධය ජයග්‍රහණය කිරීමේ යථාර්ථවාදී අපේක්ෂාවක් දෙපාර්ශ්වයට ම නොමැත.

2022 දී ව්‍යාජ ජනමත විචාරණයකින් පසු රුසියාව නැගෙනහිර සහ දකුණු යුක්‍රේනයේ කලාප හතරක් ඈඳා ගත් නමුත්, ඔවුන්ට සැබවින් ම පැවසිය හැක්කේ, ඉන් එකක් වන ලුහාන්ස්ක්හි පූර්ණ පාලනය ඇති බව පමණි.

2022 දී යුක්‍රේන හමුදාවන්ට උතුරේ සහ දකුණේ විශාල ප්‍රදේශ මුදා ගැනීමට හැකි වූ නමුත් මෑත කාලීන ප්‍රති-ප්‍රහාරවලට එම සාර්ථකත්වය ලැබී නැත. 2024 අගෝස්තු මාසයේදී රුසියාවේ කර්ස්ක් කලාපයේ ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසුවත් ඔවුන් තවමත් එහි කොටසක් පාලනය කරන නමුත් නැගෙනහිරින් භූමිය අහිමි වී ඇත.

නගර සහ ගම්මාන සෙමින් හා තියුණු ලෙස විනාශ වන විට, රුසියාවේ අවි බලයෙන් වැඩි කොටසක් ඩොනෙට්ස්ක් කලාපය දෙසට යොමු කර ඇත.

යුද්ධය රුසියාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින අතර, ඉහළ පොළී අනුපාත සහ උද්ධමනය මෙන් ම මෙම වසරේ ආරක්ෂක වියදම් ෆෙඩරල් අයවැයෙන් අවම වශයෙන් 33% ක් විය.

යුක්‍රේනයේ නැගෙනහිර කාර්මික ප්‍රදේශයේ රුසියානු ආක්‍රමණය සහ විනාශය හේතුවෙන් එහි ආර්ථික ධනයෙන් විශාල කොටසක් අහිමි වී ඇත. එහි බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ආර්ථික වර්ධනයට බාධා එල්ල වී තිබේ.

උද්ධමනය සහ පොළී අනුපාත ඉහළ මට්ටමක පැවතුණ ද, යුක්‍රේනය සිය අයවැය හිඟය පියවා ගැනීම සඳහා බටහිර ආධාර ලබාගෙන ඇත.

යුක්‍රේන් යුද්ධයේදී මිය ගිය ගණන කොපමණ ද?

2022 වසරේදී පුටින් හමුදා යැවූ දා සිට දස දහස් ගණනක් මිය ගොස් තිබේ.

යුක්‍රේන ජනාධිපතිවරයා යුක්‍රේන හමුදා මරණ 43,000ක් ගැන කතා කර ඇතත්, විවෘත මූලාශ්‍ර වෙබ් අඩවියක් වන ualosses.org අනුමාන කරන්නේ, එම සංඛ්‍යාව 70,000කට වඩා වැඩි බව ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යුක්‍රේනයේ සිවිල් වැසියන් 12,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

රුසියාව හමුදාවට සිදුවූ අලාභ පිළිගන්නේ කලාතුරකිනි. නමුත් බීබීසී විශ්ලේෂණය ඇස්තමේන්තු කරන්නේ රුසියානු මරණ 146,194 සිට 211,169 දක්වා විය හැකි බව ය.

යුද්ධය හේතුවෙන් යුක්‍රේන වැසියන් මිලියන 6.9ක් විදේශයන්හි රැකවරණය පතා ඇති අතර තවත් මිලියන 3.7ක් යුක්‍රේනය තුළ තම නිවෙස්වලින් පලා ගොස් ඇත.

ආරම්භයේදී ම පුටින් එය යුද්ධයක් ලෙස හැඳින්වූයේ නැති ,අතර, එය හැඳින්වූයේ, "විශේෂ මිලිටරි මෙහෙයුමක්" ලෙස ය. අවසානයේ 2024 දී ඔහු එය පිළිගත් නමුත් එය කීව් හෝ එහි "බටහිර හසුරුවන්නන්" විසින් උසිගන්වන ලද බව කියා සිටියේ ය.

යුක්‍රේනය සහ රුසියාව අතර පැවති ඓතිහාසික සබඳතා මොනවා ද?

දෙරට අතර ඓතිහාසික සබඳතා නිසා යුක්‍රේනය රුසියාවේ බලපෑම් ක්ෂේත්‍රයේ රැඳී සිටිය යුතු බව පුටින් විශ්වාස කරන බව පෙනේ.

1922-91 දක්වා යුක්‍රේනය සෝවියට් සංගමයේ කොටසක් වූ අතර, බොහෝ යුක්‍රේන ජනයා විශේෂයෙන් නැගෙනහිර ජනයා රුසියානු භාෂාව කතා කරන අතර, ස්වදේශික කථිකයෙකු වන වොලොඩිමියර් සෙලෙන්ස්කි ද ඒ අතර වේ.

බොහෝ රුසියානුවෝ ක්‍රිමියාව තමන්ට අයත් බව සලකති. එය 1783 දී මහා කැතරින් විසින් ඈඳා ගන්නා ලද අතර 1954 දී සෝවියට් නායක කෘෂ්චෙව් විසින් යුක්රේනයට භාර දෙන ලදී. වසර දහයකට පෙර, ඔහුගේ පූර්වගාමියා වූ ස්ටාලින්, ක්‍රිමියාවේ ටාටාර් ජනගහනය පිටුවහල් කර තිබ්ණි, එබැවින් බහුතර ජනගහනය වාර්ගික රුසියානුවෝ වූහ.

1991 සිට යුක්‍රේනය ස්වාධීන රාජ්‍යයක් බවට පත් වී ඇත. රුසියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් ලැබෙන ආරක්ෂාව සහතික කිරීම සඳහා 1994 දී එය සිය න්‍යෂ්ටික අවි අත්හැරියේ ය, නමුත් මොස්කව් එයට ගරු කිරීමට අපොහොසත් විය.

යුද්ධයෙන් පසු, බොහෝ යුක්‍රේන වැසියන් රුසියානු භාෂාවට පිටුපා ඇති අතර, සෙලෙන්ස්කි විසින් ම ප්‍රසිද්ධියේ භාෂාව භාවිත කිරීමෙන් වැළකී සිටී.