යුක්රේනයේ සාමය සුරක්ෂිත කිරීමට යුරෝපීය හමුදාවන්ට හැකි වේවි ද?

ඡායාරූප මූලාශ්‍රය, PA Media
- Author, ග්රීගෝර් ඇටනීෂියන් ලන්ඩනයේ සිට සහ ලීසා ෆෝක්ට් පැරීසියේ සිට
- Role, බීබීසී රුසියානු සේවය
රුසියාව සහ එක්සත් ජනපදය යුක්රේනයේ යුද්ධය අවසන් කිරීම ගැන සාකච්ඡා ආරම්භ කරන විට, යුරෝපීය නායකයෝ කල්පවත්නා සාමයක් ඇති කර ගැනීම සහතික කිරීම සඳහා ඕනෑ ම ආකාරයක සටන් විරාමයකට එළඹීමේ මාර්ග ගැන සාකච්ඡා කරමින් සිටිති. කෙසේ වෙතත්, පසුගිය වසර 30 තුළ යුරෝපයේ හමුදා මුහුණ දුන් අභියෝග සියල්ලට වඩා සාම සාධක මෙහෙයුමක් අභියෝගාත්මක විය හැකි බව හමුදා විශ්ලේෂකයින් බීබීසීය වෙත පවසා ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වැලැදිමීර් පූටින් සමග සිදු කළ විනාඩි 90ක දුරකතන සංවාදයෙන් අනතුරුව "බොහෝ දුරට සෞදි අරාබියේදී" ඔහු හමුවීමට අදහස් කරන බව ප්‍රකාශ කරනු ලැබීමෙන් පසුව යුක්රේන රජය සහ එහි යුරෝපීය මිත්‍ර රාජ්‍යයන් අතර කනස්සල්ලක් වර්ධනය වී ඇත්තේ, තම මැදිහත්වීමකින් තොරව ඇති කර ගන්නා එකඟතාවක් මහාද්වීපය පුරා නව සටන් හෝ අනාගත ගැටුම් සඳහා දොර විවෘත කළ හැකි බැවිණි.
සාම ගිවිසුමක කොටසක් ලෙස එහි ආරක්ෂාව සහතික කිරීම සඳහා යුක්රේන භූමියට භට පිරිස් යෙදවීමට එක්සත් රාජධානිය "සූදානම් සහ කැමැත්තෙන්" සිටින බව අගමැති ශ්‍රීමත් කියර් ස්ටාමර් ඉරිදා (පෙබ. 16) නිවේදනය කළේ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසින් වසරකට පෙර ප්‍රථම වරට ඉදිරිපත් කළ අදහසක් යළි පණ ගන්වමිනි.
කෙසේ වෙතත්, සඳුදා පැරීසියේ යුරෝපීය සගයන් සමග කඩිමුඩියේ කැඳවන ලද රැස්වීමකින් පසුව, යෝජනාව සම්බන්ධයෙන් බෙදීම් මතු වූ බව වාර්තා වූ විට, ශ්‍රීමත් කියර් අවධාරණය කළේ, යුක්රේනයට තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමෙන් රුසියාව වැළැක්වීමේ ඕනෑ ම සාම ගිවිසුමකට "එක්සත් ජනපදයේ සහය" අවශ්‍ය වනු ඇති බව ය.
එක්සත් ජනපදය තම හමුදා යැවීම ප්‍රතික්ෂේප කර ඇති අතර යුක්රේනයේ ආරක්ෂාව සහතික කිරීමේ වගකීම යුරෝපයට පැවරෙන බව අවධාරණය කරයි. මෙය ඇමෙරිකානු මැදිහත්වීමකින් තොරව සාම සාධක මෙහෙයුමක් පවත්වාගෙන යා හැකි ද යන සැකය මතු කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
"අවශ්‍ය තරම් හමුදාවක් කොහෙන් ද එන්නේ කියන එක මට ප්‍රේහේලිකාවක්. එක්සත් රාජධානියට සෙබළුන් 5,000ක් පමණ වන එක් සේනාංකයක් යොදවන්න සහ පවත්වා ගෙන යන්න පුළුවන් වේවි," බොස්නියාවේ සහ කොසොවෝහි නේටෝ සාම සාධක මෙහෙයුම් සඳහා සහභාගී වූ හිටපු බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි නිලධාරියෙකු වන ආචාර්ය ෆ්රෑන්ක් ලෙඩ්විජ් බීබීසී රුසියානු පුවත් සේවයට පැවසීය.
"යුක්රේනයේ ප්‍රමාණයෙන් දහ ගුණයක් පමණ විශාල බොස්නියාවේ, අපට හිටියේ සාම සාධක භටයන් 60,000ක් විතර, ඇමෙරිකානුවන් සහ හොඳින් සන්නද්ධ බ්‍රිතාන්‍ය කණ්ඩායමක් ද ඇතුළුව. බ්‍රිතාන්‍ය හමුදාව එවකට ප්‍රමාණයෙන් අඩක් විතර වගේ වෙන්නේ දැන් සහ ඒ තරම් සන්නද්ධත් නැහැ, ආචාර්ය ලෙඩ්විජ් සඳහන් කළේ ය.
සාම සාධක හමුදාවේ පරිමාණය සහ, තීරණාත්මකව, එක්සත් ජනපදයෙන් ලද ආරක්ෂාව අතීත මෙහෙයුම්වල සාර්ථකත්වය සහතික කළ බව ඔහු පැහැදිලි කළේ ය.
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
"අපේ හැම සාම සාධක මෙහෙයුමකදී ම ඔවුන් අපට බය වුණා මිසක් අපිට බය වෙන්න දෙයක් තිබුණේ නැහැ. ඇමෙරිකානුවන් අපේ සහයට ඉන්නවා කියන සහතිකය අපිට තිබුණා," ආචාර්ය ලෙඩ්විජ් සිහිපත් කළේ, යුගෝස්ලාවියාවේ සේවය කළ අවධිය ගැන සඳහන් කරමිනි.
"මේක බොස්නියාවේ, කොසොවෝහිදී අපිට මුහුණ දෙන්න වුණු දේවල්වලට වඩා සතුරන් ගැටෙන සහ භයානක පරිසරයක් වේවි. මට සැකයි ඉරාකයට, නැත්නම් ඇෆ්ගනිස්ථානයටත් වඩා එහෙම වේවි කියලා," ඔහු අනතුරු ඇඟවීය. "ඩ්‍රෝන යානාවලින් ආරක්ෂා වීමට අපට ශක්තිමත් ක්‍රමවේදයක් නැතුව සහ යොදවා ඇති භට සංඛ්‍යාව අපේ භට පිරිස් ආරක්ෂිතව තබා ගැනීමට ප්‍රමාණවත් කියන සහතියකය නැතුව අපි හමුදා යොදන්න නරකයි."
මෙම උත්සුකයන් තිබුණ ද, ඇතැමෙකු දකින්නේ, එක්සත් රාජධානියේ පියවර ගැනීමට ඇති කැමැත්ත තවත් යුරෝපීය රටවල් සම්බන්ධ වීමට දිරිමත් කිරීමක් විය හැකි බව ය. බ්‍රිතාන්‍ය නායකත්වය එය අන් අය අනුගමනය කිරීමට දිරිමත් කළ හැකි බව මොස්කව්හි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයට අනුයුක්තව සේවය කළ හිටපු හමුදා නිලධාරියෙකු වන ජෝන් ෆෝමන් විශ්වාස කරයි.
"බ්‍රිතාන්‍යයට බොහෝ විට යුක්රේනයට හමුදා භටයන් 10,000ක් පමණ යවන්න පුළුවන් වේවි. දුර්වල යුරෝපීය රටවලටත් සහභාගී වෙන්න පුළුවන් විදිහට අපි මේ කැපවීම කළ යුතුයි," ඔහු පැවසීය.
එක්සත් රාජධානිය සහ ප්‍රංශයෙන් ඔබ්බට, සාම සාධක හමුදාවකට දායක වන්නේ කුමන යුරෝපීය නේටෝ සාමාජිකයින් ද යන්න තවමත් අපැහැදිලි ය.
පැරිස් සමුළුවෙන් පසුව අදහස් දැක්වූ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂොල්ට්ස් පැවසුවේ, "මේ සාකච්ඡාව පවත්වන්න සුදුසු කාලය නෙවෙයි මේක," යනුවෙනි. නමුත් කාල නිර්ණය පිළිබඳ ෂොල්ට්ස්ගේ දෙගිඩියාවට හේතුව ඉරිදා ජර්මනියේ පැවැත්වීමට නියමිත මැතිවරණය සහ සාම සාකච්ඡාවල අවිනිශ්චිත තත්ත්වය විය හැක.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
එක්සත් ජනපදයට පසුව දෙවන විශාලතම හමුදාව සහිත නේටෝ සාමාජික තුර්කිය, මෙහෙයුමක් සම්බන්ධයෙන් තවමත් සිය ස්ථාවරය පැහැදිලි කර නොමැත. තුන්වන විශාලතම නේටෝ හමුදාව ඇති යුක්රේනයට අසල්වැසි පෝලන්තය දැනටමත් සිය හමුදා යැවීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙම ප්‍රධාන රාජ්‍යයන් නොමැතිව, ඉතිරි නේටෝ සාමාජිකයින්ට සාමූහිකව උපරිම වශයෙන් 30,000 භට පිරිසක් යැවිය හැකි බව විශ්ලේෂකයෝ ඇස්තමේන්තු කරති. එය යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇති සිය දහස් ගණනකට වඩා බෙහෙවින් අඩු ගණනකි. යුක්රේන හමුදා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කරමින් ඉදිරි ආරක්ෂක වළල්ලේ ප්‍රධාන කොටස් සුරක්ෂිත කිරීම එම අවශ්‍යතාව අඩු කළ හැකි බවට ඇතැමෙක් තර්ක කරති.
ස්ටාමර් ට්‍රම්ප් හමුවීමට එළඹෙන සතියේ වොෂින්ටනයට යාමට සූදානම් වන අතර එහිදී ඔහු ඔහුගේ සැලැස්මට සහය ලබා ගැනීමට අපේක්ෂා කරයි. එක්සත් ජනපද ජනාධිපතිවරයාට සමීප විදේශ ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකයෙකු වන ෆ්‍රෙඩ් ෆ්ලීට්ස් බීබීසී රේඩියෝ 4හි 'ටුඩේ' වැඩසටහනට පැවසුවේ, එය "ඔබේ අගමැතිතුමාගේ ඇදහිය නොහැකි යෝජනාවක් වේවි" සහ "ඇදහිය නොහැකි දායකත්වයක් වේවි," යනුවෙනි.
එවැනි පියවරක් රුසියාව ඉවසා සිටින්නේ ද යන්න වෙන ම කාරණයකි. විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොෆ් ප්‍රකාශ කර ඇත්තේ, නේටෝ රටවල විදේශ හමුදා යුක්රේනයේ යෙදවීම "පිළිගත නොහැකි" බව ත්, ඔවුන් විවිධ ධජ යටතේ ක්‍රියාත්මක වුව ද, රුසියානු රජය එය සන්ධානයේ ව්‍යාප්තියක් ලෙස සලකනු ඇති බව ත් අනතුරු අඟවමිනි. පූටින්ගේ පූර්ණ පරිමාණයේ ආක්‍රමණය සඳහා වූ සාධාරණීකරණය ප්රතිරාවය කරමින් ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත.
මේ අතර, යුරෝපීය රටවල් සාම සාකච්ඡාවලින් බැහැරව සිටින අතර රුසියානු සහ එක්සත් ජනපද නිලධාරීන් දැනටමත් ඔවුන් නොමැතිව හමුවී ඇත. සෞදි අරාබියේ සටන් විරාමයක් තහවුරු වුවහොත් යුක්රේනයට සාම සාධක භටයන් යැවීමේ අවශ්‍යතාව එක්සත් ජනපදයට ඒත්තු ගැන්වීමට යුරෝපයට ප්‍රමාණවත් බලයක් තිබේ ද යන්න දැන් ප්‍රධාන ප්රශ්නයයි. මේ දක්වා රුසියාව යුරෝපයේ භූමිකාව දකින්නේ, යුද්ධය විසඳීමට වඩා එය දිගු කිරීමක් ලෙස ය.














