ඇමෙරිකාවේ ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ සේවකයින් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කෙරෙති

Israel

ඡායාරූප මූලාශ්‍රය, EMBASSY OF ISRAEL TO THE USA

ඇමෙරිකාවේ පිහිටි ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ සේවය කළ දෙදෙනෙකු වොෂින්ටන් නගරයේදී වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඇමෙරිකාවේ අභ්‍යන්තර ආරක්ෂක ලේකම් ක්‍රිස්ටි නොඑම් පැවසුවේ, වොෂින්ටන්හි යුදෙව් කෞතුකාගාරය අසලදී මෙම ඝාතනය සිදු කර ඇති බව ය.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, යාරොන් ලිෂින්ස්කි සහ සාරා මිල්ග්‍රෑම් නමැති ඊශ්‍රායල් තානාපති කාර්යාලයේ සේවකයින් දෙදෙනෙකි.

කැපිටල් යුදෙව් කෞතුකාගාරයේ පැවති උත්සවයකින් පසුව ඉන් පිටව යමින් සිටියදී ඔවුන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කර ඇති බව ඇමෙරිකාවේ බීබීසී ප්‍රවෘත්ති සහකරු CBS වෙත පැවසූ අතර, වෙඩි තැබීම සැලසුම්සහගත එකක් බව පැවසේ.

චිකාගෝහි පදිංචි එලියාස් රොඩ්‍රිගේ නමැත්තෙකු සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ "free Palestine" යනුවෙන් කෑගැසූ බව පොලිසිය පවසයි.

මේ අතර, ලෝකය පුරා සිටින ඊශ්‍රායල් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ආරක්ෂාව තර කරන බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නේතන්යාහු පවසා තිබේ.

gaza

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගාසාහි තත්ත්වය "දිනෙන් දින දුෂ්කර වෙමින් පවතින" බව එහි ජනතාව බීබීසීයට පවසති. ගෝලීය විශේෂඥයින් අනතුරු අඟවන්නේ සාගතයක් අත ළඟ ඇති බව ය.

සති 11ක අවහිරය අවසන් වීමෙන් පසු සැපයුම් ඇතුළු වුව ද, ගාසා වැසියන් වෙත ආධාර තවමත් බෙදා හැර නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

ඊශ්‍රායල නිලධාරීන්ට අනුව, "සම්පූර්ණ ආරක්ෂක පරීක්ෂාවකින් පසු" අඟහරුවාදා (මැයි 20) ආධාර ට්‍රක් රථ 93ක් ගාසා තීරයට ඇතුළු විය.

නමුත් එක්සත් ජාතීන්ගේ මානුෂීය කාර්යාලය පවසන්නේ, ඒවා හරස් මාර්ගයේ පලස්තීන පැත්තට පමණක් ප්‍රවාහනය කර ඇති බව ය.

ගාසාහි සිටින තම කණ්ඩායම අඟහරුවාදා පැය ගණනක් හරස් මාර්ගයට පිවිසීමට සහ සැපයුම් එකතු කිරීමට බලා සිටි බව පවසන ඔවුහු, එසේ වුව ද ඊශ්‍රායල හමුදාව තවමත් අවසර ලබා දී නොමැති බව ද පවසති.

ගාසාහි සිවිල් වැසියන්ට ආධාර ලබා දෙන ලෙසට ජාත්‍යන්තරව එල්ල වන පීඩනය ඉහළ යමින් පවතින අවස්ථාවක මෙය සිදුවෙමින් පවතින අතර, සාගතයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවීම් ද නිකුත් වෙමින් පවතී.

ආධාර සම්බන්ධයෙන් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස සඳහන් කර තිබිණි: "ගාසා වෙත මානුෂීය ආධාර ලබා දීම සඳහා ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව අඛණ්ඩව පහසුකම් සපයන අතර, හමාස් ත්‍රස්තවාදී සංවිධානයේ අතට ආධාර නොලැබෙන බවට සහතික වීමට සෑම උත්සහයක් ම දරනු ඇත."

ගාසා වැසියන් අමතමින් සමාජ මාධ්‍ය ඔස්සේ නිකුත් කරන ලද තවත් පණිවුඩයක ඊශ්‍රායල් හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් ආයල් සමීර් මෙසේ පවසයි: "ඔබට ආහාර, නිවාස සහ මුදල් අහිමි කළේ අපි නොවේ."

ඔහු මෙසේ ද පැවසීය: "යුද්ධය ආරම්භ කිරීමට හමාස් සංවිධානය වගකිව යුතු යි. සිවිල් ජනතාව ඉන්න දුෂ්කර තත්ත්වයට ඔවුන් වගකිව යුතු යි. විනාශය ගෙනාවේ හමාස්. ඒක ආපහු ගොඩනගන්න පුළුවන් එකක් නෙවෙයි."

Palestinians wait in queues to receive food from the charity organization that distributes hot meals, as the food crisis is deepening due to the closed border crossings amid Israeli attacks at the al-Mawasi area in Khan Yunis, Gaza on May 21, 2025.

ඡායාරූප මූලාශ්‍රය, Hani Alshaer/Anadolu via Getty Images

ඊශ්‍රායලයට එරෙහිව එක්සත් රාජධානිය පියවර ගනී

ඊයේ (මැයි 20), එක්සත් රාජධානිය ඊශ්‍රායලය සමග පැවති වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා අත්හිටුවා, එරට තානාපතිවරයා කැඳවා බටහිර ඉවුරේ පදිංචිකරුවන්ට නව සම්බාධක පැනවීය.

විදේශ ලේකම් ඩේවිඩ් ලැමී, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්, ගාසාහි ගැටුම් උත්සන්න වීම "සදාචාරාත්මකව අසාධාරණ" ලෙස විස්තර කළ අතර ගැටුම "නව අඳුරු අවධියකට පිවිසෙමින් පවතින" බව ද පැවසීය.

අගමැති කියර් ස්ටාර්මර්, එම භූමි ප්‍රදේශයේ තත්ත්වය "අතිශයින් ම නරක" යැයි හැඳින්වූ අතර, "මානුෂීය ආධාර වේගයෙන් ලබා දිය යුතු" බව පැවසීය.

සති අන්තයේ ඊශ්‍රායලය නව හමුදා මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් පසු ගාසාහි සාගතයක් ඇති වන බවට නිකුත් වූ අනතුරු ඇඟවීම්වලින් පසුව මෙම පියවර ගෙන තිබේ.

Xහි ලැමීගේ ​​ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල විදේශ ප්‍රකාශක ඔරෙන් මාර්මෝර්ස්ටයින්, සම්බාධක පිළිබඳ තීරණ "අසාධාරණ" බව පැවසීය.

"බාහිරින් එල්ල වන පීඩනය, ඊශ්‍රායලය තමන් ආරක්ෂා කර ගැනීමට සහ තමන් විනාශ කිරීමට කැමති සතුරන්ට එරෙහිව තම පැවැත්ම සහතික කිරීමට යන ගමන් මාර්ගයෙන් ඉවතට හරවන්නේ නැහැ," ඔහු පැවසීය.

ගාසාහි තත්ත්වය විනාශකාරී යි

ගාසා තීරයේ මිලියන දෙකක ජනතාවක් කුසගින්නේ පසුවෙති.

සියලු දෙනාගේ ම ඇස් යොමු වී ඇත්තේ ට්‍රක් රථ මගින් ජනතාවට ආහාර රැගෙන යා යුතු හෝ ගෙන යා යුතු ස්ථානය වෙත ය. එය සිදු නොවේ.

ඊයේ සිට ඊට ඇතුළු වීමට ට්‍රක් රථ බලා සිටි නමුත් අද උදෑසන වන විට ද එහි වෙනසක් නොවිණි.

ගාසාව සති 11ක් තිස්සේ ආහාර නොමැතිව සිටි නිසා ට්‍රක් රථ 100ක් ඒ වෙත ගිය ද විශාල වෙනසක් සිදු නොවේ.

ඔබ මිනිසුන් වෙළෙඳපොළවල්වල සිට පළ කර ඇති ඡායාරූප දෙස බැලුවහොත්, ඒවා මුළුමනින් ම පාහේ හිස් බව නිරීක්ෂණය වනු ඇත. ගාසාහි පලතුරු, එළවළු, ප්‍රෝටීන්, මස්, කුකුළු මස් නැත.

වඩාත් ම වැදගත් දෙය නම්, රෝහල්වල ඇති ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට ඉන්ධන නොමැති වීමයි. ගාසා තීරයේ ජලයෙන් 25%ක් අපිරිසිදු වී ඇති අතර පානය කිරීමට නුසුදුසු ය.

එබැවින් තත්ත්වය ඉතා විනාශකාරී ය.

ගාසා තීරයේ 'සමස්ත ජනගහනය ම සාගින්නක් අබියස' - ලෝක ආහාර වැඩසටහන අනතුරු අඟවයි

ගාසා වෙත "තාවකාලිකව ආධාර විවෘත කිරීම" එහි පවතින "උග්‍ර ආහාර අවශ්‍යතා" සඳහා "කිසිසේත් ම ප්‍රමාණවත් නොවන" බව නැගෙනහිර ජෙරුසලමේ එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත ඇන්ටොයින් රෙනාඩ් පවසයි.

"මේ දක්වා, කෙරෙම් ෂලෝම් [දේශසීමා හරස් මාර්ගය] සහ ගාසා තීරයේ ආධාර රැස් කර ඇති වේදිකාවෙන් තීරය දෙසට පිටත් වීමට හැකි වූයේ ඉතා සුළු ට්‍රක් රථ කිහිපයකට පමණයි," ඔහු බීබීසී ලෝක සේවයේ නිව්ස්ඩේ වැඩසටහනට පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මත යැපීමෙන් තොරව ගාසා තීරයේ ආධාර බෙදා හරින ආකාරය වෙනස් කිරීමේ ඊශ්‍රායලයේ සැලැස්ම ගැන විමසූ විට, පවතින ආහාර ජාලය එලෙස ම පැවතීමට ඉඩ දීම වැදගත් බව රෙනාඩ් පවසයි.

අඛණ්ඩ මහා පරිමාණ ආධාර අවශ්‍ය යි, එසේ නොවුණහොත්, "වර්තමානයේ මුළු ජනගහනයක් ම සාගින්නෙන් පෙළෙන තත්ත්වය වළක්වා ගැනීමට අපට නොහැකි වනු ඇත", ඔහු පවසයි.

ගාසාහි මිය ගිය සංඛ්‍යාව 53,655 දක්වා ඉහළට

ගාසාහි හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, පසුගිය දිනය තුළ පමණක් පුද්ගලයින් 82 දෙනෙකු මිය ගොස් 262 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඔවුන් පවසන්නේ, තවමත් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් ගණනාවක් සිටින බවත් ගිලන් රථ සහ සිවිල් ආරක්ෂක කණ්ඩායම්වලට ඔවුන් වෙත ළඟා විය නොහැකි බවත් ය.

ඔවුන් ජීවතුන් අතර සිටිනවා ද නැතිනම් මිය ගොස් තිබේ ද යන්න පැහැදිලි නැත.

නවතම සංඛ්‍යාලේඛනවලට අනුව 2023 ඔක්තෝබර් 7 වන දින සිට ගාසාහි මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 53,655ක් දක්වා ඉහළ ගොස් ඇති බව අමාත්‍යංශය පවසයි.

එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාවේ ඒකාබද්ධ ප්‍රකාශය

මේ අතර, පලස්තීනය සම්බන්ධයෙන් සිය ගමන් මග වෙනස් කරන ලෙස එක්සත් රාජධානිය, ප්‍රංශය සහ කැනඩාව ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒකාබද්ධ ප්‍රකාශයකින් කියර් ස්ටාර්මර්, එමානුවෙල් මැක්‍රොන් සහ මාර්ක් කාර්නි මෙසේ පැවසූහ: "ඊශ්‍රායලය අලුතින් අරඹන ලද මිලිටරි ප්‍රහාරය නතර කර මානුෂීය ආධාර සඳහා එහි සීමාවන් ඉවත් නොකළහොත්, අපි ඊට ප්‍රතිචාර වශයෙන් තවදුරටත් ස්ථිර දැඩි ක්‍රියාමාර්ග ගන්නෙමු."

ඊට අමතරව, ඔක්තෝබර් 7 වන දින "දරුණු ප්‍රහාරයේදී" අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ද එම නායකයෝ හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටියහ.

ඔවුහු තවදුරටත් මෙසේ පැවසූහ: "ත්‍රස්තවාදයට එරෙහිව ඊශ්‍රායල ජාතිකයන් ආරක්ෂා කිරීමට ඊශ්‍රායලයට ඇති අයිතියට අපි සැමවිට ම සහය දී ඇත්තෙමු. නමුත් මෙලෙස ප්‍රහාර දැඩි කිරීම සම්පූර්ණයෙන් ම අසමානුපාතික යි."

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

මේ අතර, එම නායකයින්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානී ටොම් ෆ්ලෙචර් බීබීසී රේඩියෝ 4 සමග අද ප්‍රකාශ කළේ, එක්සත් රාජධානියේ, ප්‍රංශයේ සහ කැනඩාවේ ඒකාබද්ධ ප්‍රකාශය "ශක්තිමත්" එකක් බව ය.

"එය සාමූහික මානුෂීය තත්ත්වය පිළිබඳ ඇමතීමක්" බව ඔහු පවසයි.

නමුත් "සැබෑ පරීක්ෂණය" වන්නේ සති 11ක අවහිර කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට තවත් ආධාර ලබා ගත හැකි ද යන්න යි.

ඊශ්‍රායලයට තවත් ආධාර ලබා දීමට සහ "කුසගින්නෙන් පෙළෙන" ජනතාව වෙත ළඟා වීමට ගන්නා උත්සහයේදී "සහය දෙන" ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය.

'ආහාර නොලැබුණොත් ඉදිරි පැය 48 තුළදී පලස්තීන දරුවන් 14,000ක් මිය යනු ඇති'

tom

ඡායාරූප මූලාශ්‍රය, EPA

මේ අතර, ඉදිරි පැය 48 තුළදී ළදරු ආහාර සහ පෝෂණීය ආහාර ගාසා තීරයේ වෙසෙන දරුවන් වෙත ළඟා නොවුණහොත් දරුවන් 14,000කට අධික පිරිසක් මිය යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානී ටොම් ෆ්ලෙචර් බිය පළ කරයි.

බීබීසී රේඩියෝ 4 වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, ආහාර හා අධාර රැගත් ලොරි ගාසා දේශ සීමා පසු කළ බව පැවසුව ද, ඒවා තවමත් අවශ්‍ය පුද්ගලයින් වෙත ළඟා වී නොමැති බව ය.

ඔහු ප්‍රකාශ කළේ, ආධාර රැගත් ලොරි 100ක් අද දිනයේදී ගාසා වෙත ළඟා වීමට නියමිත බව ය.

ගාසාහි වෙසෙන දරුවන් සහ පලස්තීන වැසියන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා මානුෂීය ආධාර විශාල ප්‍රමාණයක් අවශ්‍ය වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.

Gaza

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

බ්‍රහස්පතින්දා ගුවන් ප්‍රහාරවලින් 114ක් මරුට

Gaza

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපදය කනස්සල්ලට පත්ව සිටින බව එරට රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ පැවසීය.

ඔහුගේ එම ප්‍රකාශය නිකුත් වූයේ, සෞඛ්‍ය බලධාරීන්ට අනුව බ්‍රහස්පතින්දා ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් පලස්තීන ජාතිකයන් 114 දෙනෙකු මියගොස් තිබියදී ය.

මෑතකාලීන ප්‍රහාර සහ රෝහල්වලට එල්ල කරන බෝම්බ ප්‍රහාර නොතකා, ට්‍රම්ප් පරිපාලනය තවමත් ඊශ්‍රායලයේ ක්‍රියාවන්ට සහය දක්වන්නේ දැයි බීබීසීය විමසූ විට, හමාස් පවතින තාක් සාමයක් පැවතිය නොහැකි බවත්, හමාස් සංවිධානය යටත් වී ප්‍රාණ ඇපකරුවන් නිදහස් කළ යුතු බවත් ඔහු පැවසීය.

"ගාසා තීරයේ ජනතාවගේ දුක් වේදනා ගැන සැලකිලිමත් වන අතර ම, එහි ජනතාවට උපකාර කරන්න ක්‍රම තිබෙනවා," ඔහු පැවසුවේ ය.

ගාසා තීරය සති 10ක සිට සියලු ම ආහාර සහ අනෙකුත් මානුෂීය සැපයුම් ඊශ්‍රායලයෙන් සම්පූර්ණයෙන් ම අවහිර කර ඇත. ඊශ්‍රායල හමුදා ඔවුන්ගේ ගොඩබිම් ආක්‍රමණය පුළුල් කිරීමට පෙර හමාස් ඉලක්ක ලෙස ඔවුන් හඳුන්වන ස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කරමින් සිටියි.

තුර්කියේ නේටෝ විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමකින් පසුව රුබියෝ කළ ප්‍රකාශය, ගාසා තීරයේ ආධාර එකතු කිරීමේ ස්ථාන පිහිටුවීම සඳහා පෞද්ගලික සැපයුම්කරුවන් යොදා ගැනීමේ මතභේදාත්මක ඊශ්‍රායල-ඇමෙරිකානු යෝජනාවක් ගැන සඳහන් කිරීමක් ලෙස පෙනෙන්නට තිබිණි. එම සැලසුම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සදාචාර විරෝධී සහ ක්‍රියාත්මක කළ නොහැකි බව පවසමින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

මෙම සියල්ල සිදුවන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් කලාපයේ සිදු කරන සංචාරය අතරතුර සහ හමාස් සහ ඊශ්‍රායලය අතර නව සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් පිළිබඳ වක්‍ර සාකච්ඡා දිගට ම පවතින අතරතුරදී ය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු හිතාමතා ම හමුදා ප්‍රහාර උත්සන්න කිරීමෙන් සාම උත්සහයන්ට හානි කරන බවට හමාස් සංවිධානය චෝදනා කර තිබේ.

ඊශ්‍රායල් ප්‍රකාශකයෙකු පැවසුවේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා අවශ්‍ය බව ය. නමුත් හමාස් සංවිධානයට ඊශ්‍රායලයෙන් හමුදාමය පීඩනයක් එල්ල වෙමින් පවතින අතරතුර එම සාකච්ඡා සිදුවේ.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසාහි අද (මැයි 15) මියගිය සංඛ්‍යාව 103 දක්වා ඉහළ ගොස් ඇති බව හමාස් සංවිධානය මෙහෙයවන සිවිල් ආරක්ෂක ඒජන්සිය පවසයි.

ජබාලියා සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරයකින් මියගිය 13 දෙනෙකු ද මිය ගිය සංඛ්‍යාවට අයත් ය. ප්‍රහාරයෙන් යාච්ඥා ශාලාවක් සහ පුණ්‍යායතන සායනයක් පිහිටි ගොඩනැගිල්ලකට හානි සිදුවිය.

ගාසා තීරයට ආධාර ඇතුළු වීම ඊශ්‍රායල විසින් අවහිර කරනු ලැබීම අඛණ්ඩව පවතින අතරතුර මෙම ගුවන් ප්‍රහාර එල්ල විය. එහි මානුෂීය තත්ත්වය නරක අතට හැරෙමින් පවතින බව විවිධ ආධාර ආයතන 10ක් ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායලය මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ඇතුළු වීමට ඉඩ නොදෙන බැවින්, එහි වෙසෙන ජනතාවගෙන් අප වාර්තාකරුවන් වෙත කෙටි පණිවිඩ, හඬ සටහන් සහ ඡායාරූප ලැබෙමින් ඇත.

යුද්ධ කලාපයේ දියණියන් දෙදෙනෙකු ඇති දැඩි කිරීමේදී මුහුණ දෙන අර්බුදය ගැන එක් කාන්තාවක කෙටි පණිවිඩයක් එවන අතර සහන සේවිකාවක මෙසේ පවසයි: "අපිට තව කොච්චර කාලයක් අල්ලගෙන ඉන්න පුළුවන් වෙයි ද කියලා අපි දන්නේ නැහැ."

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහර දුන් අතර, එහිදී අවම වශයෙන් පුද්ගලයින් 1,200 දෙනෙකු මිය ගොස් 251 දෙනෙකු ප්‍රාණ ඇපයට ගැනිණි.

ඊශ්‍රායලයේ පළිගැනීමේ අදහසින් ක්‍රියාත්මක කරන ලද හමුදා මෙහෙයුමෙන් ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයින් 52,829 දෙනෙකු මිය ගොස් ඇති බව හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙම වසරේ ජනවාරි මාසයේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන විට, යුද්ධය ආරම්භයේ සිට ගාසා තීරය පුරා ගොඩනැගිලිවලින් 59.8%කට ආසන්න ප්‍රමාණයක් හානි වී හෝ විනාශ වී ඇති බවට විශ්ලේෂකයින් පවසා ඇත.

'කෙනෙකුට දවසකට එක කෑම වේලක් හරි ලැබෙනවා කියන්නේ, එයා වාසනාවන්තයි'

Gazans in struggle to get food.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ගාසා තීරයේ උතුරේ බෙයිට් ලහියාහි ජනාකීර්ණ බෙදාහැරීමේ මධ්‍යස්ථානයක ආහාර ලබා ගැනීමට පලස්තීනුවන් අරගල කරන ආකාරය දැක්වෙන ඡායාරූප නිකුත් වී තිබේ.

නෝර්වීජියානු සරණාගත කවුන්සිලයේ පුණ්‍යායතනයේ සහය කළමනාකාරිනී සල්මා අල්ටාවීල් ගාසා නගරයේ සිට නිකුත් කළ හඬ සටහනක මෙසේ පවසයි: "බඩගින්න කොච්චර මාව දුර්වල කරල ද කියලා කියනවා නම්, මට මගේ ඔළුවවත් උස්සගෙන ඉන්න බැහැ දැන්."

"කෙනෙකුට දවසකට එක කෑම වේලක් හරි ලැබෙනවා කියන්නේ, එයා වාසනාවන්තයි. මේක මේ මිනිස්සු කීප දෙනෙකුට වෙන දෙයක් නෙවෙයි. ඒක ගාසාවේ ඉන්න හැමෝම අත්විඳින දෙයක්," ඇය පවසයි.

බොහෝ පවුල්වලට තවදුරටත් නිවෙස්වල ආහාර නොමැති අතර ඉතිරිව ඇති ඉතා මිල අධික කුඩා ආහාර මිල දී ගැනීමට පවා බොහෝ දෙනෙකුට මුදල් නොමැති බව ඇය පවසයි.

අද වන විට පිටි කිලෝවක් (බොහෝ මලු කෘමීන්ගෙන් පිරී ඇත) ඇ.ඩොලර් 12ක් පමණ වන අතර සහල් කිලෝවක් ඇ. ඩොලර් 20ක් සහ පිසීම සඳහා භාවිත කරන තෙල් ලීටරයක් ​ඇ. ​ඩොලර් 30ක් පමණ වේ.

ඉවුම් පිහුම් කටයුතු සඳහා ගෑස් නොමැති අතර, කුඩා ආහාර වේලක් පිසීමට මිනිසුන් ගෘහ භාණ්ඩ සහ ඇඳුම් පුළුස්සා දමමින් සිටින බව ඇය පවසයි.

"දරුවෝ බඩගින්නට අඬනවා. අම්මලත් අඬනවා, මොක ද දරුවොන්ට කන්න දෙන්න දෙයක් නැති නිසා."

'අපිට හෙට කෑම හදන්න දේවල් නැහැ'

අද දිනයේ ආහාර වේල් 4,500කට වඩා බෙදා හැරි ෂබාබ් ගාසා (Gaza Youth) පුණ්‍යායතනය පවත්වාගෙන යනු ලබන මොහොමඩ් අබු රිජිලේ සමග අපි දුරකතනයෙන් කතා කළෙමු.

අපරාධ කල්ලි සහ මංමුලාසහගත සිවිල් වැසියන් විසින් සිදුකරන ලද කොල්ලකෑම්වලට අමතරව, ඊශ්‍රායල අවහිර කිරීම හේතුවෙන් ඇතිවූ සැපයුම් හිඟයක් නිසා පුණ්‍යායතනයට එහි මුළුතැන්ගෙයි තුනක් හෝ හතරක් වසා දැමීමට සිදුවී තිබේ.

"මේ මොහොතේ අපි යැපෙන්නේ බත් සහ පැස්ටා මත. තවදුරටත් පාන් නැහැ," ඔහු පවසයි.

ඔහු පවසන්නේ ඔහුගේ සංවිධානය "දවස ගැටගහගනිමින්" කටයුතු කරන බවත් හෙට දිනයේ ආහාර සැකසීම සඳහා ද්‍රව්‍ය නොමැති බවත් ය.