ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසු බියෙන් හා මන්දපෝෂණයෙන් පීඩාවට පත් ගාසා තීරයේ දරුවන්ගේ දුක්ඛිත තත්ත්වය

5-month-old Siwar Ashoura, one of hundreds of children diagnosed with malnutrition, is being treated at Nasser Hospital in Khan Yunis, Gaza on May 1, 2025.

ඡායාරූප මූලාශ්‍රය, Doaa Albaz/Anadolu via Getty Images

    • Author, ෆර්ගල් කීන්
    • Role, විශේෂ වාර්තාකරු, අම්මාන් සිට

අවවාදයයි: මෙම ලිපියේ සංවේදී ඡායාරූප ඇතුළත් වේ

යුද්ධ භීෂණය දෙගුණ තෙගුණ වෙමින් පවතී. මළවුන්, මළවුන්ගේ ශරීර කොටස්. පණ ගැහෙමින් සිටිනවුන්, කුසගින්නෙන් පෙළෙන අය. තව තවත් වැඩි වී ඇත. මානව වර්ගයාට අත්විඳිය හැකි සියලු ම ආකාර වේදනා ගාසාහි සිටින මාගේ නිර්භීත සගයින් විසින් දෙනෙතින් දකිනු ලැබ තිබේ.

ඒ දෙස නොබලා සිටීමට හිතට කෙරෙන පෙරැත්ත අතිමහත් ය. නමුත් බීබීසී සඳහා සේවය කරන කැමරා ශිල්පීන්ට එය කළ නොහැක්කක් වන අතර අඟහරුවාදා (මැයි 13) ඔවුන්ගෙන් එක් අයෙකු ද එහි සිටි තුවාලකරුවන් ගොඩට එක් විය. ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අපි ගාසා තීරයේ සිටින අපගේ සගයන්ගේ නම් හෙළි නොකරමු.

අපේ කැමරා ශිල්පියාට බරපතළ තුවාල සිදු නොවුණේ වාසනාවකට මෙනි. ඛාන් යුනිස්හි යුරෝපියන් රෝහලේ රථගාලට එල්ල කරන ලද ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් විශාල ගණනක් මිය ගොස් තුවාල ලැබූහ.

ඊශ්‍රායලය පවසන්නේ, හමාස් නායකයා මෙම රෝහල තුළ භූ ගත අණදෙන සහ පාලන සංකීර්ණයක සැඟවී සිටි බවයි. හමුදාව පැවසුවේ තමන් "නිවැරදි ඉලක්කයට ප්‍රහාරයක්" එල්ල කළ බව ය. එමෙන් ම, "රෝහල තුළ සහ අවට සිවිල් ජනතාව නරුම ලෙස සහ කුරිරු ලෙස වාසිය භාවිත කිරීම" සම්බන්ධයෙන් හමාස් සංවිධානයට ඔවුහු දොස් පැවරූහ. හමාස් සංවිධානය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

ප්‍රහාරය සිදුවන අවස්ථාවේ ප්‍රතිකාර සඳහා ගාසා තීරයෙන් ඉවතට ගෙන යාමට නියමිත රෝගී දරුවන් සිටින පවුල් රෝහල තුළ රැස්ව සිටියහ. විදේශයන්හි ප්‍රතිකාර ලබා ආපසු පැමිණෙන දරුවන් හමුවීමට බලා සිටින පවුල් ද එහි සිටියහ.

අපගේ බීබීසී සගයා සමග සිටි එක් පියෙකු ද බෝම්බ ප්‍රහාරවලින් තුවාල ලැබීය. ඔහු දැන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත. අප මාධ්‍යවේදියා බියට පත්ව සිටි ඔහුගේ දරුවන් සනසාලීමට උත්සහ කරන ආකාරය ඡායාරූපවල සටහන් වී ඇත. ඒවා අතිශය සංවේදී ය.

මෑත දිනවල මගේ සගයාගේ අවධානය මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ දුක්ඛිත තත්ත්වය කෙරෙහි යොමු වී තිබුණි.

"සිවාර්ගේ කතාව අපි හැමෝගෙම හදවත බිඳ දාපු කතාවක්. ඒ කතාව කරන එක මම මගේ ජීවිතයේ කරපු අමාරු ම දේවල්වලින් එකක්. ඒත් මම දන්නවා ඇයගේ මුහුණ, නම සහ කතාව අනිත් අය දකින්න – අහන්න ඕනේ කියලා."

සිවාර් යනු, මාස පහක් වයසැති සහ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බිළිඳියකි. ඇගේ විශාල, දුඹුරු පැහැති ඇස් සිය කෘෂ වූ ශරීරය අභිභවා අධිපත්‍යය ගෙන තිබේ. ඒවා ඇගේ මව නජ්වාගේ සෑම පියවරක් සමග ම එහා මෙහා ගමන් කරයි. අඟහරුවාදා (මැයි 13) නජ්වා දකුණු ගාසාවේ පිහිට ඇති නසාර් රෝහලේ ඇගේ කාමරයේ සිට අපට වීඩියෝ පණිවිඩයක් එවීය.

ඇයට අවශ්‍ය වූයේ, ඇය තම දරුවාට කොතරම් ආදරය කරනවා ද යන්න ලෝකය දැන ගැනීමට සැලැස්වීමයි. "ඇයට අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වගේ ම, සම්පූර්ණයෙන් ම සුවය ලබා ගැනීමට, අනෙක් දරුවන් වගේ සෙල්ලම් කරන්න, අනෙක් දරුවන් වගේ වැඩෙන්න, බර වැඩි කර ගන්නත් ඇයට නැවත පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. එයා මගේ පළවෙනි දරුවා. එයාගේ අම්මා විදිහට මට එයා ගැන පුදුම දුකක් දැනෙන්නේ."

A malnourished, frightened baby with enormous eyes stares at the camera and cries.

පසුගිය දින කිහිපය තුළ සිවාර්ට සමේ ආසාදනයක් ද ඇති විය. ඇගේ අත්වල තුවාල මතු වී තිබේ. ඇයට දරුණු ආන්ත්‍රික රෝගයක් ද තිබේ. සටන ඇය තුළ පෝෂණය පවත්වා ගැනීමයි. ඇගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඊශ්‍රායල අවහිර කිරීම නිසා ඇති වූ පෝෂණ ඌණතාවට එරෙහිව සටන් කරයි.

බිළිඳාගේ හැඬීම දුර්වල වුවත්, එය හදිසි බවකින් පිරී ඇත. පැවැත්ම සඳහා අරගල කරන ජීවිතයක ශබ්දයක් ඉන් නැගෙයි. දරුණු අසාත්මිකතාවක් නිසා සිවාර්ට පානය කළ හැක්කේ විශේෂ කිරි වර්ගයක් පමණි.

අඟහරුවාදා තරමක් සුබ ආරංචියක් ලැබිණි. අසල පිහිටි ජෝර්දාන ක්ෂේත්‍ර රෝහලේ වෛද්‍යවරුන් ඇයට අවශ්‍ය කිරි යම් ප්‍රමාණක් සොයා ගැනීමට සමත් වූහ. එය කුඩා ප්‍රමාණයක් වුණත් ඔවුන් තවත් ලබා දීමට සැලසුම් කර තිබේ.

A woman has closed her eyes and looks on the verge of tears. A child can be seen in the background.

අද සිට රෝගී දරුවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ ජෝර්දානයට ගෙන ඒමට සැලසුම් කර ඇත. අම්මාන්හි දැනටමත් ගාසා පවුල් කිහිපයක් සිටින අතර, ඔවුන්ගේ දරුවෝ රෝගාබාධ හෝ යුද්ධයෙන් සිදුවූ තුවාල සඳහා ප්‍රාදේශීය රෝහල්වල ප්‍රතිකාර ලබති. මෙලෙස රෝගී දරුවන් සහ ඔවුන්ගේ පවුල් ගාසාවෙන් ඉවත් කිරීම ඊශ්‍රායලය සමග සම්බන්ධීකරණයෙන් කරනු ලබන අතර ඔවුහු තම දරුවන් සමග ගමන් කරන දෙමාපියන්ගේ පසුබිම් පරීක්ෂාවන් සිදු කරති.

ජනවාරි මාසයේදී අපි අබ්දෙල්රහ්මාන් අල්-නෂාෂ් සහ ඔහුගේ මව අස්මාගේ පැමිණීම රූගත කළෙමු. ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් අබ්දෙල්රහ්මාන්ට පාදයක් අහිමි විය.

මාස හතරක් පුරා ඔවුන් ජීවත් වුණේ ආහාර සහ නවාතැන් පහසුකම් සහිත ආරක්ෂිත ස්ථානයක ය.

අඟහරුවාදා අපි ඔවුන් බැලීමට ගිය විට අස්මා ගාසාවේ සිටින ඇගේ දරුවන් සහ ඔවුන්ගේ මිත්තණියට දුරකතනයෙන් කතා කළා ය.

Three children look at a phone next to their grandmother, sitting against a wall

නජ්වා මිත්තණිය ඔවුන් වටා සිදුවන යුද්ධය ගැන කතා කළා ය. "හැම තැනම රොකට් ප්‍රහාර එල්ල වෙනවා. අපේ ඔළු උඩින්. කෑම. ජීවිතය ගන්න දෙයක් නැහැ. පාන් පිටි නැහැ. මිල ගණන් හරි ම වැඩියි"

දරුවෝ අත වනමින් අම්මාට හාදු දුන්හ.

පසුව, අස්මා අපට මෙසේ පැවසුවා ය: "කියන්නේ මොකක් ද කියලා මම දන්නේ නැහැ. මම වෙනුවෙන් කරන හැම දෙයකට ම මම මගේ අම්මාට ණය ගැතියි. මම ප්‍රාර්ථනා කරනවා මම ආපහු යද්දී එයාලා ආරක්‍ෂිතව ලෙඩක් දුකක් නැතිව ඉඳීවි කියලා," දුක දරාගත නොහැකිව ඇය නිහඬ වූවා ය.

ගාසාවේ සිරවී සිටින තම දරුවන් බියෙන් හා කුසගින්නෙන් පෙළෙන බව දන්නා ඔවුන්ගෙන් දුර ඈත දිවිගෙවන මවකට පමණක්, යමෙකුට නැවත එහි යාමට අවශ්‍ය වන්නේ මන්දැයි සැබවින් ම තේරුම් ගත හැකි ය.

අතිරේක වාර්තාකරණය ඇලිස් ඩොයාර්ඩ්, සුහා කාවර් සහ නික් මිලාර්ඩ්.