හමාස් සංවිධානයට එරෙහිව ගාසා වැසියන් විරෝධතා පවත්වන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර යුද්ධය අවසන් කරන ලෙසත්, එම කණ්ඩායමට බලයෙන් ඉවත් වන ලෙසත් ඉල්ලමින් ගාසාහි සිය ගණනක් ජනතාව වීදි බැස තිබේ.
2023 ඔක්තෝබර් මාසයේදී ඊශ්‍රායලය සමග යුද්ධය ආරම්භ වූ දා සිට, මෙම සතියේ උතුරු ගාසා තීරයේ බෙයිට් ලහියාහි පැවති විරෝධතා, එම ප්‍රදේශයේ පැවති විශාලතම හමාස් විරෝධී විරෝධතා විය.
හමාස් සංවිධානය විවේචනය කරන ක්‍රියාකාරීන් විසින් සමාජ මාධ්‍යවල පළ කරන ලද වීඩියෝ පටවල තරුණයින් "ඉවත් වනු, ඉවත් වනු, ඉවත් වනු, හමාස් ඉවත් වනු" යනුවෙන් හඬ නගන ආකාරය දක්නට ලැබිණි.
මාස දෙකකට ආසන්න කාලයක් පැවති සටන් විරාමයෙන් පසු ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් නැවත ආරම්භ කිරීමෙන් පසුව මෙම විරෝධතා පැවැත්වේ.
මාර්තු 18 වන දින ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමග ඊශ්‍රායල හමුදා මෙහෙයුම් නැවත ආරම්භ වූ දා සිට සිය ගණනක් පලස්තීනුවන් මිය ගොස් දහස් ගණනක් අවතැන් වී ඇත.
සටන් විරාමය දීර්ඝ කිරීම සඳහා එක්සත් ජනපදය ඉදිරිපත් කළ නව යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය හමාස් සංවිධානයට දොස් පවරා ඇති නමුත්, ජනවාරි මාසයේ එකඟ වූ මුල් ගිවිසුම අත්හැර දැමූ බවට හමාස් සංවිධානය ඊශ්‍රායලයට චෝදනා කර තිබේ.
බදාදා නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය, යුද්ධය නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දොස් පැවරීය.
හමාස් හිතවාදී ආධාරකරුවන් විරෝධතාවල අවතක්සේරුවට ලක්කර ඇති අතර ඊට සහභාගී වූවන් ද්‍රෝහීන් බවට චෝදනා කර ඇත.
විරෝධතාකරුවන්ට අවශ්‍ය කුමක් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විරෝධතාකරුවන් බීබීසීයට පවසා ඇත්තේ, යුද්ධයෙන් තමන් "හෙම්බත් වී" සිටින බව ය.
බීබීසී අරාබි සේවයේ Gaza Lifeline වැඩසටහනට අදහස් දක්වමින් ගාසාහි පදිංචි ෆාතිමා රියාඩ් එල් අම්රානි මෙසේ පැවසුවා ය: "අපිට නිදාගන්න බැහැ. අපිට කන්න බැහැ. ඒ විතරක් නෙවෙයි අපිට පිරිසිදු වතුර නැහැ. මේක සාමාන්‍ය ජීවිතයක් නෙවෙයි, නින්දාසහගත ජීවිතයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම අපිට දැන් මහන්සියි."
නම සඳහන් නොකළ ගාසා පදිංචිකරුවෙකු බීබීසීයට පැවසුවේ, හමාස් සංවිධානයට එම ප්‍රදේශය පාලනය කිරීමට තවදුරටත් නොහැකි බව ය: "හමාස් සංවිධානය ගාසා පාලනය අත්හැරිය යුතුයි. ප්‍රචණ්ඩත්වය සහ විනාශ වීම් අපිට දැන් ඇති. මේ මොහොතේ, මුළු ලෝකය ම අපට විරුද්ධයි කියලා හැඟෙන නිසා අපි ඊශ්‍රායලයට හෝ බටහිර ලෝකයට එරෙහිව සටන් කරන්න පුළුවන් තත්ත්වයක නැහැ.
අනන්‍යතාව හෙළි කිරීමට අකමැති වූ තවත් වැසියෙකු විරෝධතාවලට සහභාගී වීමට හේතුව පැහැදිලි කළේ ය: "බඩගින්න, දුප්පත්කම සහ මරණය තමයි මගේ ළඟට ආවේ. මට මගේ පුතා නැති වුණා, වන්දි ලැබෙන්නේ නැහැ. අපට අලුත් වාස භූමියක් අවශ්‍යයි."
සැලසුම් කළ හෝ නිරායාසයෙන් සිදුවුණු විරෝධතා ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පලස්තීනයේ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අම්මාර් ඩ්වෙයික් පැවසුවේ, ගාසා තීරයේ ජනතාව ජීවත් වන තත්ත්වයන් මධ්‍යයේ වුව ද, විරෝධතා නිරායාසයෙන් සහ සාමකාමීව සිදු වූ බව ය.
"මිනිස්සු බලාපොරොත්තු සුන් වෙන්න ආසන්න තැනකට ඇවිල්ලා ඉන්නේ. හමාස් පාලනය අත්හැරියොත්, ඒක ඒ අය මේ මානුෂීය අර්බුදය නිසා විඳින දුක් වේදනා සමනය කරාවි කියලා ඒ අය විශ්වාස කරනවා," ඔහු පවසයි.
වොෂින්ටනයේ මිඩ්ල් ඊස්ට් ඉන්ස්ටිට්යුට්හි පර්යේෂකයෙකු වන ආචාර්ය හසන් නෙයිම්නේ එකඟ වූයේ, විරෝධතා නිරායාසයෙන් සිදු වූවක් ලෙස පෙනුණ ද, අනාගතයේදී ගාසා තීරය පාලනය කිරීමට විරෝධතාකරුවන්ට අවශ්‍ය වන්නේ කුමන කණ්ඩායමට ද යන්න පැහැදිලි නැති බව ය.
පලස්තීන ක්‍රියාකාරිකයෙකු වන අබ්දුල්හමිඩ් අබ්දෙල්-අට්ටි පැවසුවේ, විරෝධතාකරුවන්ගෙන් සහ පෙළපාලිවල සංවිධායකයින්ගෙන් බහුතරය දේශපාලනික වශයෙන් ස්වාධීන තරුණයින් බවත් ඔවුන් අනිවාර්යයෙන් ම කිසිදු දේශපාලන කණ්ඩායමකට අයත් නොවූ බව ත් ය.
කෙසේ වෙතත්, ගාසාවෙන් පිටත ජීවත් වන බොහෝ දෙනෙකු සමග බීබීසී කතා කර ඇති අතර, ඔවුන් පවසන්නේ විරෝධතා සංවිධානය කිරීමේදී ඔවුන්ගේ දායකත්වය ලැබුණු බව ය.
බෙදී ගිය පලස්තීන දේශපාලනය
පලස්තීන ජනතාවගේ දේශපාලන නායකත්වය වසර ගණනාවක් තිස්සේ බල කඳවුරු දෙකක් අතර ගැඹුරින් බෙදී ගොස් ඇත: ඒ, ගාසාහි හමාස් සහ පලස්තීන අධිකාරිය (PA) හරහා බටහිර ඉවුර පාලනය කරන ෆාටා ව්‍යාපාරයි.
2006දී පලස්තීන පාර්ලිමේන්තු මැතිවරණයෙන් හමාස් සංවිධානය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින් ජනාධිපති මහමුද් අබ්බාස්ගේ ප්‍රතිවාදී ෆාටා ව්‍යාපාරය බලයෙන් පහ කිරීමෙන් පසු හමාස් සහ ෆාටා සංවිධානය අතර විරසකය කැපී පෙනෙන ලෙස පුළුල් විය.
ජයග්‍රහණයෙන් පසු, හමාස් සංවිධානය ඊශ්‍රායලය සමග පෙර පලස්තීන ගිවිසුම්වලට අත්සන් කිරීමට මෙන් ම ඊශ්‍රායලයේ නීත්‍යනුකූලභාවය පිළිගැනීමට සහ ප්‍රචණ්ඩත්වය අත්හැරීමට ගත් සියලු උත්සහයන්ට විරුද්ධ විය.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඊශ්‍රායලය පැවැත්මේ අයිතිය පිළිගන්නා පලස්තීන අධිකාරිය, අතීතයේදී ඊශ්‍රායලය සහ බාහිර ලෝකය පලස්තීනුවන් සමග සාකච්ඡා කළ ප්‍රධාන ආයතනය විය.
එහි ප්‍රතිඵලයක් ලෙස, හමාස් නායකත්වයෙන් යුත් නව රජය ඊශ්‍රායලය සහ බටහිර රටවල එහි මිත්‍ර රාජ්‍ය විසින් දැඩි ආර්ථික හා රාජ්‍ය තාන්ත්‍රික සම්බාධකවලට ලක් කෙරිණි.
2007දී, හමාස් සංවිධානය විසින් ෆාටා සංවිධානයට පක්ෂපාතී හමුදා ගාසා තීරයෙන් නෙරපා හරින ලද අතර, ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය සහ එහි බටහිර මිත්‍ර රාජ්‍ය විසින් ගාසා තීරයට දැඩි සම්බාධක පනවන ලදී.
එතැන් සිට හමාස් සහ ෆාටා අතර සංහිඳියාව සඳහා නැවත නැවතත් ගත් උත්සහයන් අසාර්ථක විය.
ගාසාවේ දැන් දේශපාලන වෙනසක් දැකිය හැකි ද?
යුද්ධය ආරම්භ වූ දා සිට ගාසාහි හමාස් සංවිධානයට එරෙහිව වීදි පුරා මෙන් ම ඉන්ටර්නෙට් හරහා සිදුවන විවෘත විවේචන කිරීම් වර්ධනය වී ඇත. කෙසේ වෙතත්, තවමත් ඊට දැඩි ලෙස පක්ෂපාතී අය සිටින අතර එම කණ්ඩායමට ලැබෙන සහයෝගය කෙතරම් දුරට වෙනස් වී ඇත්දැයි නිවැරදිව තක්සේරු කිරීම දුෂ්කර ය.
2023 ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ යුද්ධයට බොහෝ කලකට පෙර සිට ම හමාස් සංවිධානයට විරෝධයක් පැවති බව නිරීක්ෂකයෝ පවසති. නමුත් පළිගැනීම්වලට බියෙන් එයින් වැඩි කොටසක් සැඟවී තිබිණි.
මෑත කාලීන විරෝධතාවලින් පසුව, ගාසාහි ෆාටා ප්‍රකාශකයෙකු වන මුන්තර් අල්-හයෙක්, හමාස් සංවිධානයෙන් ඉල්ලා සිටියේ ඉල්ලා අස්වීමෙන් "ජනතාවගේ හඬට සවන් දෙන" ලෙස ය.
හමාස් සංවිධානයේ පැවැත්ම "පලස්තීන අරමුණට තර්ජනයක්" වී ඇති බව ඔහු පැවසීය.
බීබීසීය විරෝධතා පිළිබඳ හමාස් සංවිධානයේ අදහස විමසීමට උත්සහ කළ ද ඔවුන් ඊට ප්‍රතිචාර දක්වා නැත.
නමුත් ෆේස්බුක් කණ්ඩායමක හමාස් නිලධාරියෙකු වන බාසෙම් නයිම් පැවසුවේ, "අපේ ජනතාවට එරෙහි ආක්‍රමණශීලීත්වයට සහ අපේ ජාතිය පාවාදීමට එරෙහිව හඬ නඟා කතා කිරීම" සෑම කෙනෙකුට ම ඇති අයිතියක් බව ය.
නමුත් ගාසා තීරයේ "දරුණු මානුෂීය තත්ත්වයන්" "ප්‍රශ්නකාරී දේශපාලන න්‍යාය පත්‍ර" සඳහා යොදා නොගත යුතු බව නයිම් තවදුරටත් පැවසීය.
විරෝධතා දිගට ම පවතිනු ඇතැයි තමන් සිතන බව ක්‍රියාකාරීන් කිහිප දෙනෙක් බීබීසීයට පැවසූහ.














