රජයේ වැටුප් ගෙවීමට හමාස් සංවිධානය භාවිත කරන 'භයානක' රහස් ක්‍රමවේදය කුමක් ද?

Armed members of Hamas stand in camouflage uniforms in front of a white car. Their faces are covered by balaclavas.

ඡායාරූප මූලාශ්‍රය, EPA

    • Author, රුෂ්ඩි ආබලූෆ්
    • Role, ඉස්තාන්බුල්හි ගාසා වාර්තාකරු

වසර දෙකකට ආසන්න කාලයක් පැවති යුද්ධයකින් පසු, හමාස් සංවිධානයේ හමුදාව බෙහෙවින් දුර්වල වී ඇති අතර, එහි දේශපාලන නායකයෝ දැඩි පීඩනයකට ලක්ව සිටිති.

එහෙත්, යුද්ධය පුරාවට ම හමාස් සංවිධානය රහස්‍ය මුදල් පදනම් කර ගත් ගෙවීම් ක්‍රමයක් භාවිත කරමින් සිවිල් සේවකයින් 30,000කට ඩොලර් මිලියන 7ක් (පවුම් මිලියන 5.3) ගෙවීමට අඛණ්ඩව කටයුතු කර ඇත.

පසුගිය සතියේ ඩොලර් 300 බැගින් ලැබුණු බව පැවසූ සිවිල් සේවකයින් තිදෙනෙකු සමග ඒ පිළිබඳව බීබීසී පුවත් සේවය සාකච්ඡා කර තිබේ.

සෑම සති 10කට වරක් ම යුද්ධයට පෙර පැවති වැටුපෙන් උපරිම වශයෙන් 20%කට වඩා මදක් වැඩි වැටුපක් ලබා ගන්නා දස දහස් ගණනක් සේවකයින් අතර ඔවුන් ද සිටින බව විශ්වාස කෙරේ.

ඉහළ යන ජීවන වියදම හමුවේ, සම්පූර්ණ වැටුපෙන් කොටසක් ලෙස ලබා දෙන මෙම සංකේතාත්මක වැටුප පක්ෂයට හිතවාදී පිරිස් අතර අසතුටට හේතු වී තිබේ.

ගාසා තීරයේ බරපතළ ආහාර හිඟයක් පවතින අතර, ආධාර කණ්ඩායම් පවසන්නේ ඊශ්‍රායලයේ සීමා කිරීම් නිසා එම තත්ත්වය උද්ගත වූ බව ය. දරුණු මන්දපෝෂණ තත්ත්වයන් වැඩි වෙමින් පවතින අතර, මෑතකදී පිටි කිලෝග්‍රෑමයක් සඳහා ඩොලර් 80ක් තරම් ඉහළ මිලක් නියම වී ඇති අතර එය පිටි කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් වාර්තා වූ ඉහළ ම මිලයි.

ගාසා තීරයේ ක්‍රියාකාරී බැංකු පද්ධතියක් නොමැති බැවින්, වැටුප් ලබා ගැනීම පවා සංකීර්ණ වන අතර ඇතැම් විට භයානක ය. ඊශ්‍රායලය නිරන්තරයෙන් හමාස් සාමාජිකයින්ට වැටුප් බෙදාහරින්නන් හඳුනාගෙන ඉලක්ක කරන්නේ, එම කණ්ඩායමේ පාලනයට බාධා කිරීමේ උත්සහයක් ලෙස ය.

පොලිස් නිලධාරීන්, බදු නිලධාරීන් සහ අනෙකුත් සේවකයින්ට බොහෝවිට ඔවුන්ගේ හෝ ඔවුන්ගේ කලත්‍රයන්ගේ දුරකතනවලට ලැබෙන රහසිගත පණිවිඩයකින් කියැවෙන්නේ, "තේ බීමට මිතුරෙකු හමුවීමට" නියමිත වේලාවට නිශ්චිත ස්ථානයකට යන ලෙස පවසමිනි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

හමුවන්නැයි පැවසූ ස්ථානයේදී, පිරිමියෙකු හෝ ඇතැම්විට කාන්තාවක් නිහඬව ම එම සේවකයාට මුදල් සහිත මුද්‍රා තැබූ ලියුම් කවරයක් ලබා දී, කිසිවක් නොකියා එම ස්ථානයෙන් පිටව යයි.

ආරක්ෂක හේතු මත තම නම හෙළි කිරීමට අකමැති වූ හමාස් ආගමික කටයුතු අමාත්‍යාංශයේ සේවකයෙකු තම වැටුප් එකතු කිරීමේදී ඇති විය හැකි අනතුරු පැහැදිලි කළේ ය.

"මම මගේ වැටුප ගන්න යන හැම අවස්ථාවක ම, මගේ බිරිඳට සහ දරුවන්ට සමු දෙනවා, මොක ද මම ආපහු එන්නෙ නැති වෙන්න පුළුවන්. වැටුප් ලබා දෙන ස්ථානවලට අවස්ථා කිහිපයකදී ම ඊශ්‍රායලය පහර දී තිබෙනවා. ගාසා නගරයේ ජනාකීර්ණ වෙළෙඳපොළකට එල්ල වූ එවැනි ප්‍රහාරයකින් මම බේරුණා," ඔහු පැවසීය.

අලා (ඔහුගේ සැබෑ නම නොවේ) හමාස් පාලනය යටතේ රජය වෙනුවෙන් සේවය කරන පාසල් ගුරුවරයෙකු වන අතර හය දෙනෙකුගෙන් යුත් පවුලක් ඔහු තනිව ම නඩත්තු කරයි.

"මට ෂෙකෙල් 1,000ක් (ඩොලර් 300ක් පමණ) ලැබුණා. ඒ අතර පැරණි වගේ ම හානි වූ නෝට්ටු තිබුණා. කිසි ම සාප්පුවක් ඒවා ගන්නේ නැහැ. පාවිච්චි කරන්න පුළුවන් වුණේ ෂෙකෙල් 200ක් විතර යි. ඉතුරු සල්ලි ටිකට මොකක් කරන්න ද කියලා මට හිතා ගන්න බැහැ," ඔහු බීබීසීයට පැවසීය.

"මාස දෙක හමාරක් බඩගින්නේ ඉන්න අපිට එයාලා පාවිච්චි කරන්න බැරි නෝට්ටු දෙනවා," ඔහු පැවසීය.

"මගේ දරුවන්ට කන්න දෙන්න පිටි ටිකක් ගන්න බලාපොරොත්තුවෙන් මට ගොඩක් වෙලාවට ආධාර බෙදන තැන්වලට යන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට මට ගෙදරට පිටි ටිකක් ගෙනියන්න පුළුවන් වෙනවා, නමුත් ගොඩක් වෙලාවට මට ඒක කරන්න බැරි වුණා."

මාර්තු මාසයේදී, ඛාන් යුනිස්හි නසාර් රෝහලට එල්ල කළ ප්‍රහාරයකින් හමාස් මූල්‍ය ප්‍රධානී ඉස්මයිල් බර්හූම් ඝාතනය කළ බව ඊශ්‍රායලය පැවසීය. හමාස් සටන්කරුවන්ට මුදල් යැවූ බවට ඔවුහු ඔහුට චෝදනා කළහ.

හමාස් සංවිධානයේ පරිපාලන හා මූල්‍ය යටිතල පහසුකම් බොහොමයක් විනාශ වී ඇති බැවින් වැටුප් ගෙවීම් සඳහා අරමුදල් සැපයීම අඛණ්ඩව සිදු කිරීමට සමත් වූයේ කෙසේ ද යන්න තවමත් පැහැදිලි නැත.

2023 ඔක්තෝබර් 7 වන දින දකුණු ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරයට පෙර, හමාස් සංවිධානය ඩොලර් මිලියන 700ක් පමණ මුදල් සහ භූගත උමං මාර්ගවල ෂෙකෙල් මිලියන සිය ගණනක් ගබඩා කර තිබූ බව හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් බීබීසීයට පැවසුවේය.

හමාස් නායක යහ්යා සින්වාර් සහ ඔහුගේ සහෝදර මොහොමඩ් මුදල් කළමනාකරණය කළ බව වාර්තා වන නමුත් ඔවුන් දෙදෙනා ම ඊශ්‍රායල හමුදා විසින් ඝාතනය කරනු ලැබූහ.

'හමාස් ආධාරකරුවන්ට පමණක් ආධාර දීම' ගැන මහජන කෝපය

ගාසාහි ජනතාව මත පනවා ඇති අධික බදු සහ කටාර් රාජ්‍යයෙන් ලැබෙන මූල්‍ය ආධාර මගින් හමාස් සංවිධානය ප්‍රධාන වශයෙන් මුදල් උපයාගෙන ඇත.

හමාස් සංවිධානයේ හමුදා අංශය වන කසාම් බ්‍රිගේඩ්ස් සතුව තමන්ගේ ම මූල්‍ය පද්ධතියක් ඇති අතර එහි මූල්‍ය සැපයුම් ඉරානය විසින් දරනු ලැබේ.

ලෝකයේ වඩාත් ම බලගතු ඉස්ලාමීය සංවිධානයක් වන තහනම් කරන ලද ඊජිප්තුව පදනම් කර ගත් Muslim Brotherhoodහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා ඇත්තේ, ඔවුන්ගේ ආදායම්වලින් 10%ක් පමණ හමාස් සංවිධානයට යොමු කර ඇති බව ය.

යුද්ධය අතරතුර, හමාස් සංවිධානය වෙළෙඳුන්ගෙන් බදු අය කිරීම අඛණ්ඩව කරගෙන ගොස් ඇති අතර ඉතා ඉහළ මිලකට දුම්වැටි අලෙවි කර ඇති අතර ඒවා පෙරට වඩා 100 ගුණයක් ඉහළ අගයක් ගනියි. ඩොලර් 5ක් වැය වූ දුම්වැටි පෙට්ටියක මිල දැන් ඩොලර් 170 ඉක්මවයි.

මුදල් ගෙවීම්වලට අමතරව, හමාස් සංවිධානය තම සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට ආහාර පාර්සල් බෙදා දී ඇත්තේ නැවත නැවතත් ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් නායකත්වය නිතර මාරු වන ප්‍රාදේශීය කමිටු හරහා ය.

එය මහජන කෝපයට හේතු වී ඇති අතර, ගාසාහි බොහෝ පදිංචිකරුවෝ හමාස් සංවිධානය තම ආධාරකරුවන්ට පමණක් ආධාර බෙදා දෙන බවත්, සෙසු ජනතාව බැහැර කරන බවත් චෝදනා නගති.

මෙම වසර මුලදී සටන් විරාමය අතරතුර ගාසා තීරයට යවන ලද ආධාර හමාස් සංවිධානය සොරකම් කළ බව ඊශ්‍රායලය පවසයි. හමාස් සංවිධානය මෙය ප්‍රතික්ෂේප කරයි, නමුත් ගාසා තීරයේ බීබීසී ආරංචි මාර්ග පවසන්නේ, හමාස් සංවිධානය සැලකිය යුතු ආධාර විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති බව ය.

"කුසගින්න වැඩි වෙන කොට, මගේ දරුවන් කුසගින්නෙන් වේදනා විඳිනවා විතරක් නෙමෙයි, හමාස් සංවිධානයට සම්බන්ධ අසල්වැසියන්ට ආහාර පාර්සල් සහ පිටි ලැබෙනවා දකින කොට ඔවුන් අඬා වැටෙනවා," වසර පහකට පෙර තම සැමියා මිය ගිය පසු දරුවන් තිදෙනෙකු ඇති දැඩි කරන වැන්දඹුවක වන නිස්රීන් ඛලීඩ් බීබීසීයට පැවසුවා ය.

"අපි දුක් විඳින්නෙ ඔවුන් හින්දා නෙවෙයි ද? ඔක්තෝබර් 7 ප්‍රහාරය ආරම්භ කිරීමට පෙර අපට ආහාර, ජලය සහ ඖෂධ ඇති බවට ඔවුන් සහතික කළේ නැත්තේ ඇයි?"