ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
2026 අප්‍රේල් 01 සිට විදුලි බිල වැඩි කිරීමේ ඉල්ලීම අනුමත වුවහොත් ඔබේ ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි
- Author, බීබීසී සිංහල
- කියවීමේ කාලය: මිනිත්තු 3
මෙම වසරේ අප්‍රේල් සිට ජූනි දක්වා විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
2026 වසරේ පළමු කාර්තුව සඳහා ද විදුලිබල මණ්ඩලය ගාස්තු සංශෝධන යෝජනාවක් ඉදිරිපත් කළ නමුත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව එය ප්‍රතික්ෂේප කිරීමට තීරණය කරනු ලැබුවේ නිසි කාලය තුළ විධිමත් ගාස්තු සංශෝධන යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපත් නොකිරීම හේතුවෙන් ය.
පළමු මාස 3 සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටි ගාස්තු වැඩිවීම 11.57%කි.
ඉදිරි මාස තුන සඳහා බලශක්ති ඉල්ලුම
ඉදිරි මාස තුන සඳහා ගිගා වොට් පැය 4,578ක විදුලිය නිපදවීමට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි.
අප්‍රේල් මාසයේදී ගිගා වොට් පැය 1,468ක්, මැයි මාසයේදී ගිගා වොට් පැය 1,573ක්, ජූනි මාසයේදී ගිගා වොට් පැය 1,537ක් ලෙස විදුලිය නිපදවීමට ඒ අනුව බලාපොරොත්තු වේ.
2026 දෙවැනි කාර්තුවේදී ගිගා වොට් පැය 1,218ක් ජල විදුලියෙන් උත්පාදනය කිරීමට බලාපොරොත්තු වන අතර, තාප බලාගාරවලින් ගිගා වොට් පැය1,957ක් නිපදවීමට අපේක්ෂා කරයි.
එමෙන් ම පුනර්ජනනීය බලශක්තියෙන් නිපදවීමට බලාපොරොත්තු වන ගිගා වොට් පැය ප්‍රමාණය 1,402කි.
මෙලෙස නිපදවන විදුලියෙන් ගිගා වොට් පැය 4,230.3ක් අලෙවි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි.
බලාගාර කිහිපයක නඩත්තු කටයුතු
මේ අතර බලාගාර කිහිපයක නඩත්තු කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවේ දැක්වේ.
අප්‍රේල් මාසයේදී රන්දෙණිගල බලාගාරයේ වාර්ෂික අලුත්වැඩියාව සඳහා සති 4ක කාලයක් ගත වන බව එහි දැක්වේ.
එමෙන් ම මැයි මාසයේ ද වික්ටෝරියා බලාගාරයේ කොටසක සති 5ක වාර්ෂික නඩත්තු කටයුත්තක් සිදු කිරීමට ද ලංකා විදුලිබල මණ්ඩලය බලාපොරොත්තු වේ.
මීට අමතරව සමනලවැව බලාගාරයේ කොටසක් ද සති හතරක් නඩත්තු කටයුතු සඳහා යොදාගනු ඇත.
වියදම රු. බිලියන136.5ක්
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවට අනුව, 2026 දෙවන කාර්තුව සඳහා අපේක්ෂිත වියදම රු. මිලියන 136,531කි.
මෙයට විදුලි උත්පාදනයේ සිට බෙදාහැරීම දක්වා එන වියදම් ඇතුළත් අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත කිරීමට අදාලව ඉවත්වන සේවකයන් සඳහා ගෙවන වන්දි මුදල්, දැනට සේවය කරන සේවකයන්ගේ ගෙවීම් සඳහා වන මූල්‍යමය වියදම් ද ඇතුළත් වේ.
2026 දෙවන කාර්තුව සඳහා රු. මිලියන 3,795ක ඉදිරියට ගෙන යන අතිරික්තයක් ද පවතින අතර, ඉදිරි මාස තුන සඳහා අපේක්ෂිත ආදායම රු. මිලියන 116,889කි.
ආදායම් සහ වියදම් අතර හිඟය රු. මිලියන 15,847ක් ලෙස පුරෝකථනය කර ඇති අතර එම හිඟය පියවා ගැනීම සඳහා 13.56%ක ගාස්තු වැඩිවීමක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් අපේක්ෂා කරයි.
ඔබේ විදුලි බිලට මෙය බලපාන්නේ කොහොම ද?
මේ අනුව ඔබට ගෙවීමට සිදුවන විදුලි බිල වෙනස් වන්නේ මේ ආකාරයට ය.
ඔබ මසකට විදුලි ඒකක 30ක් පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයෙකු නම්, ඔබ මෙතෙක් විදුලි ඒකකයකට ගෙවූ රු. 4.50ක ගාස්තුව රු. 5.11ක් දක්වා ඉහළ යන අතර, ස්ථාවර ගාස්තුව රු. 80ක සිට රු. 90.85ක් දක්වා ඉහළ යනු ඇත.
විදුලි ඒකක 30 සිට 60 දක්වා විදුලි ඒකකයක මිල රු. 8.00ක සිට රු. 9.08ක් දක්වා ඉහළ යන අතර ස්ථාවර ගාස්තුව රු. 210.00 සිට රු. 238.00ක් දක්වා ඉහළ යයි.
විදුලි ඒකක 60ත් 90ත් අතර භාවිත කරන විදුලි පාරිභෝගිකයන් හට විදුලි ඒකකයක මිල රු. 18.50 සිට රු. 21.01ක් දක්වා ඉහළ යන අතර, ස්ථාවර ගාස්තුව රු. 400.00 සිට රු. 454.24ක් දක්වා ඉහළ යනු ඇත.
මේවා තවමත් යෝජිත විදුලි ගාස්තු වන අතර, මෙම යෝජනාව සලකා බලා එහි අවසන් තීරණය ලබා දෙනු ලබන්නේ මහජන උපයෝගීතා කොමිසම විසිනි.