ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විදුලිය බිඳ වැටීම: 'ඇත්ත හේතුව' ලංකා විදුලි බල මණ්ඩලය කියයි
පසුගිය පෙබරවාරි මස 9 වන දින දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය විමර්ශන වාර්තාවක් නිකුත් කර තිබේ.
එදින රට පුරා විදුලිය බිඳ වැටීමෙන් පසුව හඳුනා ගත් දුර්වලතා සැලකිල්ලට ගෙන ජාල ස්ථායිතාව ශක්තිමත් කිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ක්ෂණික හා දිගු කාලීන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන බවට නිවේදනය කර ඇත.
ඉකුත් සතියේදී දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමට හේතුව ද ලංකා විදුලි බල මණ්ඩලය මෙම වාර්තාව මගින් පැහැදිලි කර තිබේ.
රට පුරා සිදුවූ එවැනි විදුලිය විසන්ධි වීමක් නැවත සිදු නොවීමට අවශ්‍ය පියවර ගන්නා බවට මහ ජනතාවට සහතික වන බව ද ලංකා විදුලි බල මණ්ඩලය මෙහිදී සහතික කර සිටියි.
'වඳුරාගේ සිද්ධිය මතක් කරන්න එපා මෙතන'
අද (පෙබ: 18) දින රැස්වූ පාර්ලිමේන්තුවේදී පාර්ලිමෙන්තු මන්ත්‍රී රවී කරුණානායක පානදුර ග්‍රිඩ් උපපොළේ සිදුවූ 'වඳුරු සිදුවීම' සහ සමස්ත දිවයිනට ම බලපෑ විදුලි විසන්ධි වීම මෙන් ම ලංකා විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේ ය.
එහිදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස පිළිතුරු දෙමින් කියා සිටියේ, මේ සම්බන්ධයෙන් විදුලි බල අමාත්‍යවරයා මෙම සතිය ඇතුළතදී පිළිතුරු ලබා දෙන බව ය.
මෙහිදී මන්ත්‍රී රවී කරුණානායක තවදුරටත් ප්‍රකාශ කළේ, වඳුරෙකු නිසා ශ්‍රී ලංකාව ලෝකයේ ම අවධානයට පාත්‍ර වූ බව ය.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට, අමාත්‍ය නලින්ද ජයතිස්ස ලබා දුන්නේ මෙවන් පිළිතුරකි.
''විදුලි පද්ධතියේ ඇති අස්ථාවරභාවය ගැන පිළිතුරක් සොයන්න මණ්ඩලයේ නිලධාරීන් කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා මේ වඳුරාගේ සිද්ධිය ඉවරයි නේ. ඒ නිසා නිතර නිතර වඳුරාගේ සිද්ධිය මතක් කරන්න එපා මෙතන. දැන් අපි මේ ඒ පද්ධතියේ අස්ථාවරත්වයට උත්තරයක් හොයමින් ඉන්නේ,' අමාත්‍යවරයා පැවසුවේ ය.
විදුලිය බිඳවැටීමට හේතුව
කිලෝවෝට් 33ක ධාරිතාවයකින් යුත් පානදුර ග්‍රිඩ් උපපොළේ ඇති වූ දෝෂයක් හේතුවෙන් වෝල්ටීයතාව පහත වැටීම නිසා පද්ධතිය පුරා හදිසි අක්‍රිය වීමක් සිදු වූ බවත්, ඒ වන විට ජාතික විදුලි ඉල්ලුමෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් සපුරන ලද්දේ, මෙගාවොට් 800ක සූර්ය බලයෙන් වන අතර, ලක්විජය බලාගාරයෙන් (මෙගාවෝට් 470) සහ ජල විදුලි බලාගාරවලින් (මෙගාවෝට් 130) අමතර සැපයුමක් ලැබුණ බව විදුලි බල මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.
අවම විදුලි ඉල්ලුමක් ඇති අවස්ථාවක සූර්ය බල ශක්තිය උත්පාදනය ඉහළ යාම මෙම ගැටලුවට හේතුව වූ අතර එමගින් විදුලි බල සැපයුම සහ ඉල්ලුම අතර නොගැලපීමක් ඇති කළ අතර, බහුවිධ විදුලිය ඇණහිටීම් සහ සම්පූර්ණ විදුලිය විසන්ධි වීමට එය හේතු වූ බව විදුලි බල මණ්ඩලය එම වාර්තාවේ සඳහන් කර ඇත.
විදුලිය ඇණහිටීමට හේතු වූ ප්‍රධාන සාධක
පෙබරවාරි මස 09 වන දා දිවයින පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමට හේතුව ලංකා විදුලි බල මණ්ඩලය කරුණු දක්වා තිබුණේ මේ අයුරිනි.
- සූර්ය බල ශක්තිය අධික ලෙස විදුලි උත්පාදනය වීම සහ අඩු අවස්ථිතිභාවයක් (synchronous generation) ඇති වීම : ප්‍රමාණවත් තරම් ස්ථායී බල ප්‍රභව නොමැති වීමෙන් විදුලි බල පද්ධතියේ වෝල්ටීයතාව සහ සංඛ්‍යාත ගැටලු ඇති විය.
- සූර්ය බලශක්ති උත්පාදනයන් පද්ධතියෙන් විසන්ධි වීම: තියුණු වෝල්ටීයතා පහත වැටීමක් නිසා බහු සූර්ය විදුලි උත්පාදන පද්ධති විසන්ධි වීමෙන් ජාලය තවදුරටත් අස්ථාවරවීම.
- නොරොච්චෝලේ විදුලි බලාගාරය අක්‍රිය වීම: පද්ධතියේ ඇති වන අස්ථාවරත්වයන්ගෙන් බලාගාරය ආරක්ෂා වීම සඳහා සිදුවන ස්වයංක්‍රීය ප්‍රතිචාරයක් ලෙස මෙය සිදුවන අතර එය බලාගාරයේ අසාර්ථක වීමක් නොවේ. මෙමගින් විශාල හානියක් සහ දිගු කාලීන ඇණහිටීම් වළක්වා ගැනීමට හැකි වේ.
'සනී සන්ඩේ' බලපෑම නිසා ද මෙම ඇණහිටීම් සිදු විය. ඉහළ සූර්ය බලශක්ති උත්පාදනය සමග සති අන්තයේ පවතින අඩු විදුලි ඉල්ලුම, විදුලි බල පද්ධතිය අස්ථාවර වීමට හේතුවක් වේ. බොහෝ ව්‍යාපාරික ස්ථාන සහ කම්හල් වසා දැමීමත් සමග විදුලි පද්ධතියේ අඩු ඉල්ලුමක් සහ අඩු ස්ථායීතාවක් පැවතුණු අතර එය ද හදිසි විදුලි බිඳ වැටීමට හේතු වේ.
ක්ෂණික නිවැරදි ක්‍රියාමාර්ග
ජාතික විදුලි බල පද්ධතිය ස්ථාවර කිරීමට සහ එවැනි අසාර්ථකත්වයන් වැළැක්වීමට ලංකා විදුලි බල මණ්ඩලය හදිසි පියවර ගෙන ඇත.
- වැඩි ස්ථායී බලාගාර අඩු නිමැවුමකින් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රධාන ස්ථානවල ජාලක ස්ථායීතාව සහ ආධාරක වෝල්ටීයතාව පවත්වා ගැනීමට උපකාර වන විශේෂ මාදිලියක ගෑස් ටර්බයින භාවිත කිරීම.
- අස්ථාවරත්වයේ අවදානම අවම කිරීම සඳහා අඩු ඉල්ලුමක් පවතින කාලවලදී බිම සවිකර ඇති සූර්ය බලශක්ති උත්පාදනය (අවශ්‍ය විට පමණක්) අඩු කිරීම.
මධ්‍ය කාලීන උපාය මාර්ග
විදුලි පද්ධතියේ ශක්තිය වැඩි දියුණු කිරීම සඳහා, ලංකා විදුලි බල මණ්ඩලය පහත සඳහන් ක්‍රියාමාර්ග මත ක්‍රියා කරමින් සිටි අතර, එය වේගවත් කරන බව සඳහන් කර සිටියි.
- කුඩා පරිමාණයේ ගැටලු හෝ දෝෂවලදී වහල මත ඇති සූර්ය බල විදුලි ජනන ඉන්වර්ටර්වල සැකසුම් වෙනස් කිරීම. මෙමගින් ජාලය වඩාත් ස්ථායී කිරීමට උපකාරී වේ.
- විදුලි බල පද්ධතියට අඩු ඉල්ලුමක් ඇති කාලවලදී එහි ක්‍රියා කිරීමට දිරිගැන්වීම සඳහා සති අන්තවල සහ නිවාඩු දිනවල කර්මාන්ත සඳහා විශේෂ විදුලි මිලක් නියම කිරීම. බලශක්ති භාවිතය වඩාත් ඒකාකාරව පැතිරවීමෙන් ජාලකය ස්ථාවරව තබා ගැනීමට මෙය උපකාරී වේ.
- හුදෙක් සූර්ය පැනල පමණක් නොව බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems ) ඇතුළත් සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම දිරිමත් කිරීම. සූර්ය පැනල සහ බැටරි ගබඩා පද්ධති දෙක ම ඇති සූර්ය පාරිභෝගිකයින් සඳහා අවශ්‍ය උපකරණ සමග විශේෂ ගාස්තුවක් නිර්මාණය කිරීම ද එයට ඇතුළත් ය. මෙය බලශක්ති ගබඩා කිරීම සහ ජාල ස්ථායිතාව වැඩි දියුණු කිරීමට උපකාරී වේ.
දිගු කාලීන ජාල ස්ථායිතා විසඳුම්
ජාතික විදුලි බල පද්ධතිය යාවත්කාලීන කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා දිගුකාලීන ආයෝජන සිදුකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය කැපවී සිටී. ජාලය ස්ථායීව පවතින බව සහතික කරන අතර ම වඩාත් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඇතුළත් කිරීම ඉලක්කය වන අතර ඊට මෙම ආයෝජන ඇතුළත් බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කර සිටියි.
- ජාලය ස්ථාවරව පවත්වාගෙන යාමට උපකාර කිරීම සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති (Battery Energy Storage Systems) සමග ඒකාබද්ධ වූ විශේෂ ඉන්වර්ටර් භාවිතා කිරීම. මෙය ජාල පද්ධතිය ස්ථායී සංඛ්‍යාතයක් පවත්වා ගැනීමට උපකාරී වේ.
- අනාගතයේදී විදුලිය ඇණහිටීම් හෝ විසන්ධිවීම් සිදුවුවහොත් ඉක්මනින් විදුලිය යථාතත්ත්වයට පත් කිරීමට සහ වැදගත් පද්ධති ක්‍රියාත්මකව තබා ගැනීම සඳහා නොරොච්චෝලේ බලාගාරයේ උපස්ථ උත්පාදක යන්ත්‍ර සවි කිරීම.
- මෙගාවොට් 600ක බලශක්ති පහසුකමක් ලබාදෙන මහඔය පොම්ප කරන ලද ජල ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු වේගවත් කිරීම. එය ජාලය වඩාත් නම්‍යශීලී කිරීමට සහ පසුකාලීන භාවිතය සඳහා බලශක්තිය ගබඩා කිරීමෙන් බලශක්ති සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
- තත්‍ය කාලීනව පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීම අධීක්ෂණය කිරීමේ සහ පාලනය කිරීමේ හැකියාව වැඩිදියුණු කිරීම සඳහා ස්මාර්ට් ජාල තාක්‍ෂණය සඳහා ආයෝජනය කිරීම. මෙමගින් ජාල පද්ධතිය වඩාත් කාර්යක්ෂම කරයි.
යන විසඳුම් කෙරෙහි අවධානය යොමු කර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
පානදුර උපපොළේ සිදුවූයේ කුමක් ද? තවමත් අභිරහසක්
පෙබරවාරි 09 වන දා රට පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමට පානදුර උපපොළේ සිදුවූ බව කියන බාධාවක් හේතු වූ බව (triggered by a disturbance) ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර ඇතත්, අදාළ බිඳ වැටීමට හේතුව කුමක් ද? යන්න විමර්ශන වාර්තාවෙන් ද පැහැදිලි කිරීමක් කර නොමැත.