පුනර්ජනනීය විදුලිය: 2030වන විට සුළං බල ඉලක්ක සපුරන්න මන්නාරමට හැකිද?

2030 වසර වන විට මෙරට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය විදුලියෙන් උත්පාදනය කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්කයයි.

ශ්‍රී ලංකාවට එම ඉලක්කයට සාර්ථකව ළඟා විය හැකිද? ඒ සඳහා වන සැලසුම් මොනවාද?

විදුලි උත්පාදන ඉලක්කය සපුරා ගැනීමේදී සාම්ප්‍රදායික ධීවර කර්මාන්තයට ප්‍රසිද්ධියක් උසුලන මන්නාරම මේවන විට පුනර්ජනනීය විදුලි උත්පාදනයේ කෙන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබේ.

පුනර්ජනනීය විදුලි උත්පාදනය සඳහා දැනට වැඩිම විදේශීය ආයෝජනය කර ඇති ඉන්දීය අදානි සමාගම මන්නාරම සහ පුනරීන් ප්‍රදේශ ආශ්‍රිතව මෙගාවොට් 480ක විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මන්නාරමේ ඉදිකර ඇති මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය වන තම්බපවනි විදුලි බලාගාරය මේවන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතියි.

මෙගාවොට් 103.5ක ධාරිතාවයෙන් යුත් එම බලාගාරයෙන් වාර්ෂිකව ජනනය කළ යුතු ගිගාවොට් පැය 404ක ධාරිතාව ඉක්මවමින් මේවන විට විදුලිබලය උත්පාදනය කරමින් තිබේ.