ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'අපි මේ විරෝධතාව නවත්වන්නේ නෑ': කැබිනට් තීන්දුව ලැබුණත් මන්නාරම ජනතාව තවත් ඉල්ලීම් තුනක් වෙනුවෙන් අඛණ්ඩව විරෝධතාවයේ
- Author, බීබීසී සිංහල
මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙසට හා මන්නාරම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැණීම් සිදු කිරීමට අවසර නොදෙන ලෙසට ඉල්ලීම් කරමින් ක්‍රියාත්මක විරෝධතාව නොනවත්වා පවත්වන බව මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුව පවසයි.
එහි කැඳවුම්කරු දේවගැති අරුන්තන්දෙයි මාර්කස් පියතුමන් මේ බව ප්‍රකාශ කළේ, "මහ ජනතාවගේ කැමැත්තකින් තොරව මන්නාරම දූපත ආශ්‍රිතව සුළං බලාගාර ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන බවට" කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇති පසුබිමක ය.
"ඒත් අපි කියනවා මේ විරෝධතාව නවත්වන්නේ නෑ," ඔහු අවධාරණය කළේ ය.
මෙම අඛණ්ඩ විරෝධතාවයේ 97 වැනි දිනය අදට (නොවැම්බර් 7) යෙදී ඇති අතර 100 වැනි දිනය ලබන සඳුදා ට යෙදී ඇත.
'ඉතිරි ඉල්ලීම් තුන දිනා ගැනීම වෙනුවෙන් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වෙනවා'
"දැනට ඉදිකිරීමට නියමිත සුළං බලාගාර 14ක් නවත්වනවා වගේ ම දැනට ඉදි කරලා තියෙන සුළං විදුලි බලාගාර හේතුවෙන් ජනතාවට ඇතිවෙලා තියෙන ගැටලු සඳහා නිසි පිළිතුරු ලබා දීලා, ඒ වගේ ම මන්නාරම දූපත ආශ්‍රිතව සිදු කිරීමට නියමිත ඛනිජ වැලි කැණීම් නවත්වන බවට පොරොන්දු වුණොත් තමයි අපි මේ විරෝධතාව නවත්වන්නේ," පියතුමා ඔවුන්ගේ තීරණය පිළිබඳව පැහැදිලි කළේ ය.
ඔහු පැවසුවේ, "මේ අඛණ්ඩ විරෝධතාවයේ 100 වන දවසේ මන්නාරම නගරයේ පමණක් නෙවෙයි මන්නාරමේ සෑම ගමක ම, අපේ උරුමය වෙනුවෙන්, අපේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් විරෝධතා පවත්වන්න තීරණය කරලා තියෙනවා," යනුවෙනි.
මන්නාරම් දූපත් වැසියන් විසින් ඉදිරිපත් කරන ලද එක් ඉල්ලීමක් වෙනුවෙන් මැදිහත් වීම පිළිබඳව "ජනාධිපතිවරයාට ස්තූතිවන්ත" වන බව කී ඔහු පැවසුවේ, "ඉතිරි ඉල්ලීම් තුන දිනා ගැනීම වෙනුවෙන් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බව ය.
"ඒ වෙනුවෙන් යහපත් මැදිහත්වීමක් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. සුළං බලාගාර නැවත්වීමට ගත් තීරණය ගැන මන්නාරම ජනතාව ජනාධිපතිට ස්තූතිවන්ත වෙනවා. එතුමාගේ දැනුම් දීම අපි පිළිගන්නවා. ඒත් තවත් දේවල් රැසක් එතුමා විසින් සිදුකළ යුතුව තිබෙනවා. ඒ දේවල් සිදුකරයි කියලා අපි විශ්වාස කරනවා."
අනෙක් ඉල්ලීම් තුන මොනවා ද?
මන්නාරම දිස්ත්‍රික් සිවිල් සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු දේවගැති අරුන්තන්දෙයි මාර්කස් පියතුමා මෙසේ ද පැවසීය.
"අපි ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ප්‍රධාන ඉල්ලීම් තුන තමයි, පළමු කාරණය මන්නාරම නගරයේ ඉදි කිරීමට නියමිත සුළං බලාගාර මන්නාරම දූපතෙන් ඉවත් කළ යුතුයි.
"අපේ දෙවැනි ඉල්ලීම තමයි දැනට මන්නාරම දූපතේ ඉදි කරලා තිබෙන සුළං විදුලි ජනක සුළං මෝල් 36 හේතුවෙන් මන්නාරම නගරයේ ජනතාවට ඇතිවෙලා තිබෙන ගැටලු වෙනුවෙන් ස්ථිර විසදුම් ලබා දිය යුතුයි. අදාළ විසඳුම් ලිඛිතව අප වෙත දැනුම් දිය යුතුයි.
"අපේ තුන්වන ඉල්ලීම තමයි කුමන හෝ ආකාරයක ඛනිජ වැලි කැණීමකට මන්නාරම දූපත ආශ්‍රිතව අනුමැතිය ලබා නොදිය යුතුයි යන්න."
100 වන දිනයේ විරෝධතා පැවැත්වෙන ආකාරය
100 වන දිනයේදී "දැඩි උත්සහයකින් යුතුව ජනතාවගේ ඒකාබද්ධතාවයෙන් මහා විරෝධතාවක් පවත්වන බව දේවගැති අරුන්තන්දෙයි මාර්කස් පියතුමා පැවසීය.
"ඒ වගේ ම එදින සවස මන්නාරමේ සෑම ගමක ම පන්දම් දල්වා විරෝධතාවක් පවත්වන්න ජනතාව සූදානම් වෙලා ඉන්නවා. මින් ඉදිරියට මේ විරෝධතාව සෑම ගමක ම සුළු වශයෙන්, මහා පරිමාණ වශයෙන් පවත්වන්න අපේ විරෝධතාවට එක්වෙලා ඉන්න සහෝදර සහෝදරියන් කටයුතු සිදු කරලා තිබෙනවා," ඔහු පැහැදිලි කළේ ය.
පියතුමන් පැවසුවේ, මෙය නීති විරෝධී ක්‍රියාවලින් තොර රජයට හෝ කිසිදු පක්ෂයකට එරෙහිව පවත්වන විරෝධතාවක් නොවන බව ය.
"අපි මේ සුළං විදුලි බලාගාර හෝ ඇතිවෙන වෙනත් සංවර්ධන ව්‍යාපෘති පිළිගන්නවා. ඒත් ඒවා අපේ ජනතාවගේ මානව හිමිකම් කඩ නොකර, අපේ අයිතීන් කඩ නොකර, අපේ ජීවනෝපායන්ට බාධා නොවන ආකාරයට පවත්වන්න ඕනේ කියලා පැහැදිලිව අපි කියන්න ඕනේ. අපි සුළං බලාගාර වෙනුවෙන් විරුද්ධ අය නොවෙයි කියලත් කියන්න ඕනේ," ඔහු තවදුරටත් පැවසීය.
බලාගාර නිසා ඇති වන ගැටලු මොනවා ද?
විරෝධතාවයේ නිරත ජී.එම්. සීලන් අදහස් දක්වමින් පැවසුවේ, "සුළං මෝල් 36ක් හින්දා මන්නාරමේ ජනතාවට නොසෑහෙන්න කරදර ඇතිවෙලා තිබෙනවා," යනුවෙනි.
"ප්‍රධාන වශයෙන් වැසි කාලයේදී මුහුදට වතුර ගලාගෙන ගියපු ඇළ මාර්ග මේ සුළං මෝල් ඇති කිරීමත් එක්ක වැහිලා තිබෙනවා. දැන් පොඩි වැස්සකටත් මන්නාරමේ වෙරළ සීමාවේ ගම්මාන ජලයෙන් යටවෙනවා.
මේ සුළං විදුලි මෝල් හින්දා මන්නාරමේ වෙරළ සීමාවේ මසුන් ඇල්ලීමේ කටයුතුවලට බාධා එල්ලවෙලා තිබෙනවා. සුළං බලාගාරවල සද්දෙට වෙරළ සීමාවේ මසුන් රැඳෙන්නේ නෑ කියලා තමයි ධීවරයින් අතර මතයක් තිබෙන්නේ," ඔහු තවදුරටත් පැවසීය.
සීලන් පෙන්වා දුන්නේ, සංචාරක පක්ෂීන් පැමිණෙන වෙරළ සීමාවේ මෙම බලාගාර ඉදි කිරීම හේතුවෙන් එම පක්ෂීන්ගේ පැමිණීම අඩු වී ඇති බව ත් එය මන්නාරම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයට බලපෑම් එල්ල කරන බව ත් ය.
"සුළං මෝල් හින්දා තිබෙන ගැටලුවට අමතරව මන්නාරමේ ධීවර කර්මාන්තයට ඇතිවෙලා තිබෙන අනෙක් බාධාව තමයි දැන් මන්නාරම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැණීමට අවසර දෙන්න යනවා කියන ගැටලුව," ඔහු පැවසීය.
ඔහු අවධාරණය කළේ, එය ක්‍රියාත්මක කළහොත් මසුන් ඇල්ලීම කළ නොහැකි තත්ත්වයට පත්වන බව ය.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍ය හමුවේදී පැවසුවේ කුමක් ද?
"දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාපෘති සැලැස්මට අනුව, ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් හඳුනා ගනු ලැබ ඇති මන්නාරම දූපත සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් සැලසුම් කරලා තියෙනවා.
එම ව්‍යාපෘති අතරින් එක් ව්‍යාපෘතියක් වන තම්බපවනි සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කරනු ලැබුවා. අනෙක් ව්‍යාපෘති දෙක වන Windscape mannar (PVT) Ltd මෙගාවොට් 20ක සුළං විදුලි ව්‍යාපෘතිය හා Heyles Fentons මෙගාවොට් 50ක සුළං ව්‍යාපෘතිය යන සුළං ව්‍යාපෘතිවල මෙහෙයුම් කටයුතු පිළිවෙළින් 2025 දෙසැම්බර් මස හා 2026 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කරලා තිබෙනවා.
ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජයීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දූපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපතිතුමා අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට දැනුවත් කරනු ලදුව, ඒ අනුව කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලයට එකඟතාව ලබා දීමට තීරණය කළා.
ඒ අනුව මේ සුළං විදුලි ව්‍යාපෘති තුනට අමතරව මෙතනින් එහාට මන්නාරම දූපත ආශ්‍රිතව මහ ජනතාවගේ කැමැත්තකින් තොරව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළා," යනුවෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.