මන්නාරම සහ පූනරීන්හි සුළංබල ව්‍යාපෘති දියත්කරන ගෞතම් අදානි කවුද?

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය අදානි සමාගම වෙත ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලපෑම් කළේයැ යි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පසුගිය දා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දී අනාවරණයක් සිදුකළේ ය.

කෙසේ නමුත්, මෙම ප්‍රකාශය සිදුකර දිනක් ගතවීමට ද මත්තෙන් සභාපතිවරයා අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනුණි.

අදානි සමාගම ශ්‍රී ලංකා රජය හා ගිවිසුම්ගතව සිටින්නේ මන්නාරම සහ පූනරීන්හි මෙගාවොට් 500ක සුළංබල ව්‍යාපෘතියක් දියත්කිරීම සඳහා ය.

කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අදානි සමූහයත් සමග ගිවිසුම් අත්සන් කළේ පසුගිය වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා ය.

එමඟින් එහි 51%ක කොටස් අදානි සමූහයට අයත්වූ අතර, අදානි සමූහයේ මෙරට නියෝජිත ජෝන් කීල්ස් සමාගමට කොටස් අයිතියෙන් 34%කුත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%කුත් අයත් විය. මෙය ඩොලර් මිලියන 700ක ආයෝජනයක් මත සිදුකෙරුනකි.

අදානි සමූහ ව්‍යාපාරය යටතේ පාලනය වන සමාගම්වල කොටස් සඳහා සිදුකෙරුණු ඇතැම් විදේශ ආයෝජනයන් මඟින්, ඉන්දියානු කොටස් වෙළඳපොළ තුළ විශාල අර්බුදයක් ඇතිවනු ඇතැ යි හාහෝවක් පසුගිය ජුනි මාසයේ දී පැතිර ගියේ ය.

මෙහි ප්‍රතිඵලයක් වශයෙන් අදානි සමූහ ව්‍යාපාරයට අයත් ඇතැම් සමාගම්හි කොටස්වල මිළ පහත වැටුණි.

පසුගිය දශකය තුළ අදානි සමාගමේ කොටස්වල මිළ සීඝ්‍රයෙන් ඉහළ ගියේ ය. කෙසේ නමුත් ගෞතම් අදානි මෙවන් අසාමාන්‍ය අන්දමේ සීඝ්‍ර ප්‍රගතියක් අත්කර ගත්තේ ඔහුට මෝදි රජය හා සමීප සබඳතා ඇති නිසාවෙන්යැ යි චෝදනා එල්ල වී ඇත.

මෙවන් පසුබිමක් තුළ, කර්මාන්තකරුවෙකු ලෙස අදානිගේ ආරම්භය සිදුවූ අයුරුත්, පසුගිය වසර දහස තුළ ඔහු වඩ වඩාත් සමෘධිය ලැබූ අයුරුත් පිළිබඳ සොයාබැලීම රසවත් තොරතුරු ඉස්මතු කරවනු ඇත.

ඉන්දියාවේ දී පොදුවේ දක්නට ලැබෙන සිදුවීමක් වන්නේ, දශක ගණනාවකට පෙර පිහිටැවූ පවුලේ ව්‍යාපාරයක් හිමි ගුජරාටි පවුලකින් එන තරුණයෙකු 1990 දී ඉන්දියාවේ ආර්ථිකය විවෘත කිරීමත් සමග එම ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්කිරීම යි. මීට බොහෝ උදාහරණ ගුජරාටි පවුල් අතරින් සොයාගත හැකි ය. 2000 වර්ෂයෙන් පසු ලොව පුරා සිය නම රැන්දූ අම්බානිවරුන් ද තවත් එවන් පවුලකි.

මුකේෂ් අම්බානිට සිය පියා වූ ධිරුබායි අම්බානිගෙන් 'රිලයන්ස් ගෘප් ඔෆ් ඉන්ඩස්ට්‍රීස්' නම් කර්මාන්ත සමූහය උරුම විය. නමුත් ගෞතම් අදානි තමාට උරුම වූ දෙයින් සෑහීමකට පත්වීමට සමත් නොවූ අයෙකි. ඔහු එසේ සෑහීමට පත්වූයේ නම්, අදටත් ඔහු රෙදිපිළි තොග වෙළඳසැලක් පවත්වාගෙන යමින් සිටිනු හෝ නිමි ඇඳුම් වෙළඳසැලක් තුළ හිඳ සිටිනු වන්නට තිබුණි. එහෙත්, තමන් විසි වයස්ව සිටිය දී ගෞතම් අදානි වැදගත් තීරණයන් දෙකක් ගත්තේ ය.

පොතපතින් පාඩම් උගැනීම තමාට වැඩදායී නොවනබව අදානි වටහා ගත්තේ ය. එනිසා ඔහු වාණිජ උපාධියේ දෙවැනි වසරේ සිටිය දී විශ්වවිද්‍යාලයයෙන් ඉවත්විය. ඔහුගේ දෙවැනි තීරණය වූයේ පවුලේ රෙදිපිළි ව්‍යාපාරය සියතට ගැනීම ප්‍රතික්ෂේපකර, දියමන්ති ව්‍යාපාරය තෝරා ගැනීම යි. එනිසා ඔහු මුම්බායි නගරය කරා සංක්‍රමණය වූයේ ය.

ගෞතම්, ශාන්තිලාල් අදානිට දාව උපන් දරුවන් සත්දෙනාගෙන් අයෙකි. ඔවුන්ගේ පවුලේ ව්‍යාපාරය සාර්ථකව සිදුවෙමින් පැවතුන ද, ගෞතම් අදානි සතුවූයේ ඊට වඩා විශාල සිහිනයන් ය. ඔහුගේ අභිලාෂයන්ට සහාය දීමට ඔහුගේ පියා අපොහොසත් විය. එනිසා, ඔහු තම පුත්‍රයාට සිය ආශිර්වාදයත්, රුපියල් සියයකුත්, මුම්බායිහි විසූ ඥාතීන් කිහිප දෙනෙකුගේ ලිපිනයනුත් ලබා දුන්නේ ය.

විසි හැවිරිදි ගෞතම් අහමදාබාද් සිට මුම්බායි කරා පැමිණියේ ය. ඔහු දියමන්ති වෙළඳාම සඳහා ප්‍රසිද්ධ සවේරි මාර්කට්ටුව සම්ප්‍රාප්ත විය.

පළමු වසර දෙක-තුන ඇතුළත ඔහුගේ කාර්යය වූයේ දියමන්ති වර්ගකිරීම යි. ඉන්පසු ඔහු තමාගේම දියමන්ති තැරැව්කාර ව්‍යාපාරයක් ඇරඹී ය. ඊළඟ වසර තුන ඇතුළත ඔහු දියමන්ති ව්‍යාපාරයේ දසලක්ෂපතියන්ගේ ගොන්නට එකතුවිය. එවිට ඔහුගේ වයස අවුරුදු 30ක්වත් නොවීය.

වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේ දක්ෂ අදානි

ඕනෑම ව්‍යාපාරයක තැරැව්කරුවකු ලෙස කටයුතු කරන ඕනෑම අයෙකු චාටු බස් දෙඩීමේත්, පීඩාකාරී අවස්ථාවන්හි දීත් "සිහිබුද්ධියෙන්" යුතුව කටයුතු කිරීමේත් සමතෙකු විය යුතුබව පැවසේ. ඔබට මිනිසුන්ගේ විවිධ ස්වභාවයන් දරාගෙන ගනුදෙනු කිරීමේ හැකියාව ලැබෙන්නේ එවිට ය.

මෙය ගෞතම් අදානිට සෑම විටම පහසුවූ කටයුත්තක් විය. ඇත්තෙන්ම, ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඔහු ප්‍රසිද්ධව සිටියේ වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීමේ දක්ෂයෙකු ලෙස යි. ව්‍යාපාරික කතිකා අතින් ගත්කල ඔහුට සමකළ හැකි කිසිවෙකුත් නොසිටියේ ය. ඔහු මුම්බායි වෙත පැමිණ වසර තුනක් වැනි කෙටි කාලයක් තුළ දී ඔහුගේ මේ ගතිලක්ෂණ ප්‍රයෝජනවත්බව ඔප්පුවීම ඇරඹුනි.

2015 දී ඔහුගේ 'අදානි පවර් කම්පනි' නම් බලශක්ති සමාගම විසින් උඩුපි ජල විදුලි ව්‍යාපෘතිය ඉන්දියානු රුපියල් කෝටි 6,300කට (ශ්‍රී ලංකා රු. බිලියන 171ක් පමණ) මිලටගත් අවස්ථාවේ දී, පැය 100ක වාර්තාගත කාලයක් තුළ සාකච්ඡා අවසන් කරන්නට ඔහු සමත්විය. සාමාන්‍යයෙන් එවැනි ගනුදෙනුවක් සම්බන්ධයෙන් තීරණයකට පැමිණීමට වසර කීපයක් ගතවේ.

පාසල් කාලයේ පටන්ම අදානි සිහින මැව්වේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා ජල මාර්ග සංවර්ධනය කිරීමට ය. පාසල් විනෝද චාරිකාවක දී දුටු කන්ඩ්ලා වරාය ඔහු වශී කරන්නට සමත්විය.

අදානි එක්ස්පෝට්ස් (අදානි අපනයන) සහ අදානි පෝට්ස් (අදානි වරාය) සමාගම් කර්මාන්ත ලෝකයට අවතීර්ණ වන විට, දුම්රිය මාර්ග හරහා රටේ ප්‍රධාන වරායන් එකිනෙකට සම්බන්ධ කිරීමට අදානි එවක දුම්රිය ඇමති නිතිෂ් කුමාර් පෙලඹවීය. එමඟින් වෙළඳාමට සහ කර්මාන්තයන්ට අනුබල දිය හැකි ආකාරය පෙන්වන ඉදිරිපත් කිරීමක් ඔහු විසින් සිදුකෙරුනි. ඊළඟ දුම්රිය අයවැයේ දී, රටේ වරාය හයක් දුම්රිය මාර්ගයක් හරහා සම්බන්ධ කෙරෙනබව නිතිෂ් කුමාර් නිවේදනය කළේ ය. එය ද අදානි විසින් කෙටි කලකින් අවසන් කළ ගනුදෙනුවකි.

ගෞතම් අදානි බලපුළුවන්කාර පුද්ගලයින් නම්මා ගැනීමෙහිලා ප්‍රවීණයෙකු විය. මෙය ඔහුට, දේශපාලන ප්‍රතිපත්ති සම්පාදනයේ දී බලපෑම් එල්ල කිරීමට සහ තමාට වාසිදායක වන අයුරින් තීරණ ගැනීම මෙහෙයවීමට උපකාරී විය. මෙම ගතිලක්ෂණය ව්‍යාපාරික ලෝකය තුළ දී හැඳින්වුණේ "දැක්ම" යනුවෙනි.

අදානි ව්‍යාපාර අධිරාජ්‍යය

දැන් අපි නැවතත් අදානිගේ මුල් කාලය වෙත හැරෙමු. ඔහු මුම්බායිහි දියමන්ති ව්‍යාපාරය තුළ මුල් විහිදුවමින් සිටි සමයේ, ඔහුගේ වැඩිමහල් සොහොයුරා වන මන්සුක්ලාල් අහමදාබාද්හි ප්ලාස්ටික් ව්‍යාපාරයක් ආරම්භකර තිබුණි. ඔහු ගෞතම්ගෙන් උපකාර පැතුවේ ය.

1981 දී ගෞතම් සංවිහිත කර්මාන්ත අංශයකට නිල වශයෙන් ඇතුළු වූයේ සිය සොහොයුරාට උපකාර කිරීමේ ඒකායන අරමුණෙනි.

එහෙත් ඔහු කර්මාන්තශාලාව හසුරවමින් සිටි අවධියේ දී එම ව්‍යාපාරයේ අනාගතය දුටුවේ ය. එනිසා ඔහු ප්ලාස්ටික් ව්‍යාපාරය පොලිමර් සහ PVC ප්ලාස්ටික් ආනයනය කරන සමාගමක් බවට හැරවීය.

සමාගම කුඩා ව්‍යාපාරයන් සඳහා ආනයනිත PVC සැපයුවේ ය. අදානි අධිරාජ්‍යයේ ප්‍රථම ඒකාබද්ධ වෙළඳ සමාගම වූ 'අදානි එක්ස්පෝට්ස්'හි ගමන එසේ ඇරඹිණි. මෙම සමාගම අද වන විට "අදානි එන්ටර්ප්‍රයිසස්" යනුවෙන් හැඳින්වේ. එය අදානි සමූහ ව්‍යාපාරයේ ප්‍රමුඛතම සමාගම යි.

1991 දී ඉන්දියාවට විවෘත ආර්ථිකයත්, පුද්ගලීකරණයත් පැමිණි පසු, අදානි තම ව්‍යාපාරය පුළුල් කිරීමට සිහින මැව්වේ ය. සැබැවින් සිදුවූයේ ඔහුගේ සිහින සැබෑවීමට පටන් ගැනීමබව ද යමෙකුට පැවසිය හැකි ය.

පුද්ගලික ජැටියක් ඉදි කිරීමේ ඔහුගේ සිහිනය ගුජරාට් ප්‍රාන්ත රජය විසින් සැබෑ කෙරිණි. මුන්ද්‍රා වරායේ කළමනාකාරීත්වය සඳහා කොන්ත්‍රාත් ලබාදීමට ලංසු කැඳවූ අවස්ථාවේ, එම ලංසුව දිනාගත් තැනැත්තා වූයේ ගෞතම් අදානි ය. ඔහු වරාය කළමනාකරණ ව්‍යාපාරය පිළිබඳ නිරන්තර අවධානයෙන් පසුවිය.

මේ වන විට ඉන්දියාවේ විශාලතම පුද්ගලික වරාය කළමනාකරණ සමාගම වන්නේ අදානි පෝට්ස් සමාගම යි. මුන්ද්‍රා වරාය පුද්ගලික කළමනාකරණය යටතේ පවතින අතර, සෑම වසරකම ටොන් 21කට ආසන්න භාණ්ඩ ප්‍රමාණයක් මේ හරහා ප්‍රවාහනය කෙරේ. 1996 දී ස්ථාපිත අදානි පවර් සමාගම ඉන්දියාවේ විශාලතම පුද්ගලික බලශක්ති සමාගම යි.

1991 සිට විසි වසරක් තුළ, ඇමරිකානු ඩොලර් බිලියන 78ක් වටිනා ව්‍යාපාරික අධිරාජ්‍යයක් ගොඩනංවන්නට ගෞතම් අදානි සමත් වී තිබේ. මෙය, පසුගිය ජුනි 14 වන දා ඔහුගේ කොටස්වල මිළ පහත වැටීමට පෙර, ඔහුගේ ව්‍යාපාර සමූහයේ වටිනාකම යි. ෆෝබ්ස් සඟරාවට අනුව ඔහු ආසියාවේ දෙවැනියට ධනවත්ම තැනැත්තා ද, මුළු ලෝකයෙන්ම දහතුන් වැනියට ධනවත්ම තැනැත්තා ද වන්නේ ය.

නමුත් මෙම කතාවේ වැදගත්ම කොටස වන්නේ එය නොවේ. අදානි මේ මහා ධනය සහ කාර්මික සමෘද්ධිය අත්කර ගත්තේ පසුගිය වසර දහය ඇතුළත ය. ඔහු ඉදිරිගාමී කර්මාන්තකරුවෙකි. නමුත් 2012 වසරේ සිට ඔහුගේ සමාගම්වල කොටස්වල මිල ආශ්චර්යවත් අයුරින් ඉහළ නැගුනේ ය. මෙම කාලසීමාව තුළ අදානි සමූහ ව්‍යාපාරයේ කොටස්වල අගය 400%කින් පමණ ඉහළගොස් තිබේ. අදානිට ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග තිබූ සමීප සබඳතා නිසා, ඉතා වැදගත් ජාතික මට්ටමේ ව්‍යාපෘතීන් කීපයක සහභාගීත්වය හිමිකර ගැනීමට ඔහුට හැකිවූයේයැ යි චෝදනා එල්ල වී ඇත.

අගමැති මෝදි සමග ගෞතම් අදානිගේ සබඳතා

මේ මිතුරුදම ඇරඹුණේ 2001 වසරේ දී ය. ගුජරාට් ප්‍රාන්තයේ ඇතිවූ කෝලාහලයෙන් පසු, එකල ගුජරාට්හි මහා ඇමැතිවරයා වූ නරේන්ද්‍ර මෝදි ජනතා වෛරයට පාත්‍ර විය. 2002 වසරේ මෙම පසුබිම තුළ, මෝදි තම ප්‍රාන්තයට ව්‍යාපාර ආකර්ෂණයකර ගැනීම සඳහා කර්මාන්ත ප්‍රදර්ශනයක් සංවිධානය කළ විට ප්‍රමුඛ පෙළේ කර්මාන්ත සංවිධානයක් වූ FICCI එම උත්සවය වර්ජනය කළේ ය.

එය එක්තරා ආකාරයකින් මෝදි පාලනය වෙත පෑ විරෝධයක් විය. අනෙක් අතට, මෑතක දී කලකෝලාහලයන්ට උපත දුන් ප්‍රාන්තයක සිය මුදල් ආයෝජනය කිරීමෙන් එතරම් ප්‍රතිඵලයක් ලැබෙනු නැතැ යි ව්‍යාපාරයන් ද සිතන්නට ඇත.

මේ තීරණාත්මක කාලයේ දී ගෞතම් අදානි නරේන්ද්‍ර මෝදි අත්නොහැර සිටියේ ය. ඔහු ගුජරාටයේ ආයෝජනය කිරීම සඳහා කර්මාන්තකරුවන් පිරිසක් පොළඹවා ගත්තේ ය. මෙහිදීත්, ඔහුගේ ගනුදෙනු කතිකා කිරීමේ හැකියාව පිහිටට පැමිණියේ ය. අදානි ද සැලකිය යුතු තරමක් ප්‍රාන්තය තුළ ආයෝජනය කළේ ය.

නරේන්ද්‍ර මෝදි මහා ඇමැතිව සිටිය දී, මුන්ද්‍රා වරායේ කළමනාකරණ කොන්ත්‍රාත්තුව අදානිට ලැබුණි. ඔහු බලශක්ති ක්ෂේත්‍රය තුළ ද ශක්තිමත් පදනමක් නිර්මාණයකර ගත්තේ ය. මෙය නරේන්ද්‍ර මෝදිගේ කාර්මික උපායමාර්ගය කෙරෙහි අදානි දැක්වූ විශ්වාසය වෙනුවෙන් සිදුකළ ප්‍රත්‍යුපකාරයක් විය.

නරේන්ද්‍ර මෝදි අගමැති ලෙස නව දිල්ලියට පැමිණි පසු මෝදි-අදානි බැඳීම තවත් ශක්තිමත් විය. 2014 දී මෝදි බලයට පත්වූ පසු අදානිගේ ධනය අහසට උසට නැගෙන්නට වුණි.

2008 දී අදානිගේ ව්‍යාපාරික අධිරාජ්‍යයේ වටිනාකම ඇ.ඩො. බිලියන අටක් වූ අතර, 2021 වන විට එය ඇ.ඩො. බිලියන 78 දක්වා ඉහළගොස් තිබුණි. ගෙවුණු වසර දහය තුළ, වැඩි වශයෙන්ම පසුගිය වසර සය තුළ, ගෞතම් අදානි ලැබූ මේ අධික ප්‍රගතිය බොහෝ විවේචනයන් ද ආකර්ෂණයකර ගන්නට සමත්විය.

ගෞතම් අදානි වටා බැඳි මතභේදයන්

ව්‍යාපාර සඳහා රාජ්‍ය සබඳතා යොදා ගැනීම

ඉන්දියාවේ මධ්‍යම රජය සිය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හයක් පෞද්ගලීකරණය කිරීමට 2018 වසරේ දී තීරණය කළේ ය. ඒ සඳහා ටෙන්ඩර කැඳවුණි. නමුත්, 'උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ගුවන්තොටුපොළ ව්‍යාපාරයේ පෙර පළපුරුද්ද තිබිය යුතුයැ'යි කියැවෙන කොන්දේසිය ඉවත් කෙරුණේ ය.

මෙහි කොන්ත්‍රාත්තු ප්‍රසිද්ධියට පත් කිරීමේ දී, ත්‍රිවේන්ද්‍රම් ගුවන්තොටුපොළ කළමනාකරණය කිරීමේ කොන්ත්‍රාත්තුව අදානි සමූහය ජයගෙන තිබුණි. මාධ්‍ය විසින් චෝදනා කෙරුනේ, ලංසු තැබීමේ දී අදානිට වාසි වනු පිණිස කොන්දේසි ලිහිල් කෙරුණුබව යි. ත්‍රිවේන්ද්‍රම්හි වාමාංශික පක්ෂ මෙම තීරණයට එරෙහිව විරුද්ධත්වය පළකළේ ය. නමුත් ත්‍රිවේන්ද්‍රම් හැරුණුකොට, අනෙකුත් ගුවන්තොටුපොළ පහ කළමනාකරණය කිරීමේ කොන්ත්‍රාත්තු ද අදානි දිනාගත්තේ ය.

මතභේදාත්මක 'ජාතිය ගොඩනැගීමේ' ව්‍යාපෘතිය

අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් පසු නරේන්ද්‍ර මෝදි අහමදාබාද් සිට නව දිල්ලිය බලා පියාසර කළේ පුද්ගලික ගුවන්යානයකිනි. මෙම යානය මත අදානි එන්ටර්ප්‍රයිසස්හි නිල ලාංඡනය කැපී පෙනෙන ලෙස සලකුණුකර තිබුණේ ය. මෝදි දිල්ලියට පැමිණ තිබුණේ අදානිගේ ගුවන්යානයකින්බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණි. විපක්ෂය චෝදනා කළේ මෙය මෝදි සහ අදානි අතර පැවැති මිත්‍රත්වය ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමයක්බව යි.

එක්තරා ආකාරයකට, මෙය ඔවුන්ගේ සබඳතාවල අනාගත ගමන පෙන්නුම් කළේ ය. එතැන් පටන් අදානි සමූහය සිය ආදර්ශ වාක්‍යය 'බිල්ඩින් නේෂන්' (ජාතිය ගොඩනගමින්) ලෙස වෙනස් කළේ ය. සමූහය ඉදිකිරීම් ක්ෂේත්‍රයට ද පිවිස, සිය ක්‍රියාකාරීත්වය පුළුල්කර ගත්තේ ය.

අදානි පසුගිය වසර දහය තුළ දී ඩොලර් බිලියන 30ක වටිනාකමකින් යුත් ණය බැඳුම්කර සහ වෙනත් ආකාරවලින් ලබාගෙන ඇත. ණය මත යැපෙන කර්මාන්ත පද්ධතියක වටිනාකම කෙටි කලකට විශාල ලෙස ඉහළ යා හැකි අතර, එය බරපතල අවදානම් මතුකරයි.

එසේම, ණය ලබාදෙන බැංකුවලට මුදල් ලැබෙන්නේ තම තැන්පතු ආරක්ෂා කිරීමට බැංකු කෙරෙහි විශ්වාසය තබන මධ්‍යම පාන්තිකයින්ගෙනි. නමුත් කර්මාන්තකරුවෝ සිය පුද්ගලික ලාභය උදෙසා මෙම මුදල් පරිහරණයට ගනිති. නීරව් මෝදි, මේහුල් චොක්සි සහ තවත් බොහෝ ව්‍යාපාරිකයින් විශාල ණය සම්බන්ධ කාරණාවල දී බැංකුවලට වංචාකර ඇත. බැංකු ණය ලබාදීමේ සදාචාරාත්මක පැතිකඩ පිළිබඳ විවාදයක් ආරම්භ කිරීමට ද මෙය සමත්ව තිබේ.

පාරිසරික නීති බිඳ දැමීම ගැන චෝදනා

ගෞතම් අදානි සම්ප්‍රදායික බලශක්ති ක්ෂේත්‍රය තුළ දැවැන්තයෙකු වනවා හාම, පුනර්ජනනීය බලශක්තිය සහ තිරසර බලශක්ති ව්‍යාපෘති කෙරෙහි ද අවධානය යොමුකර ඇත. නමුත් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ඔහුගේ උනන්දුව කොළයකට පමණක් සීමා වී තිබෙන අතර, පරිසර විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේයැ යි ඔහුගේ බලශක්ති සහ පතල් කැණීම් සමාගම්වලට චෝදනා එල්ලවී තිබේ.

විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රදේශයේ පතල් කැණීම සඳහා කොන්ත්‍රාත්තුව අදානි විසින් දිනාගැනීම විශාල ආන්දෝලනයක් ඇති කළේ ය. අදානි එහි ප්‍රාදේශීය පරිසර නියාමන ආයතනයට වංචාකර, අදාල ඉඩම පතල් කැණීම සඳහා සුදුසුයැ යි වැරදි ලෙස සඳහන් වූ බලපත්‍රය ලබාගෙන ඇතිබැව් පසුව හෙළි විය. මේ වංචාව නිසා අදානිගේ සමාගමට ඩොලර් 20 000ක දඩයක් නියම කෙරුණි.

තරුණ පරිසර ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තූන්බර්ග් මෙම ආන්දෝලනය අතරතුර #StopAdani යන හෑෂ්ටැග් එක හඳුන්වා දුන්නා ය.

ඉන්දියාවේ ජාර්කන්ඩ් ප්‍රාන්තයේ අදානි ගල් අඟුරු පතල සම්බන්ධ මතභේදය ද අධිකරණය දක්වා පැමිණ තිබේ.

ගෞතම් අදානි ඉන්දියාවේ දෙවැනියට ඉහළතම ව්‍යාපාරිකයා බව සත්‍යයකි. නමුත් ඔහුගේ දියුණුවෙන් වැඩි කොටසක් සිදුවුණේ පසුගිය වසර සය තුළබව ද නැවත නැවතත් ඉස්මතු වේ. එනිසා, ඔහුගේ දේශපාලන මිත්‍රකම කෙසේ හෝ බිඳ වැටුණහොත් හෝ, 2024 මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමට නරේන්ද්‍ර මෝදි අපොහොසත් වුවහොත්, අදානි අධිරාජ්‍යයේ අනාගතයට කුමක් සිදුවේදැ යි යමෙකුට කල්පනා වීම වැළැක්විය හැකි නොවේ.