ඔන්ලයින් ණය දෙන ආයතනයක සේවිකාවක් මුල්වරට කරන හෙළිදරව්ව

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
"එන්න එපා, සාධාරණ විධියට නෙවෙයි හම්බ කරන්නේ. යා දෙන්නේ නැහැ. ඒගොල්ලොන්ට යා දෙන්නෙත් නැහැ. අපිට යා දෙන්නෙත් නැහැ. මොක ද අපි තව කෙනෙකුට ගින්දරක් දීලානේ හම්බ කරන්නේ,"යි බීබීසී සිංහල සේවය හා පැවසුවේ, කොළඹ නගර මධ්‍යයේ පිහිටා ඇති ඔන්ලයින් ණය ලබා දෙන මූල්‍ය ආයතයනයක සේවය කළ 23 හැවිරිදි සමාධි ය.
සමාධි යනු ඇගේ සත්‍ය නම නොව ඇගේ අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා අප භාවිත කරන අන්වර්ථ නාමයකි.
එය ඇගේ ජීවිතයේ පළමු රැකියාව විය. මිතුරියක මාර්ගයෙන් ඇය මෙම රැකියාව පිළිබඳව තොරතුරු දැනගෙන ඒ හා සම්බන්ධ වන්නේ 2022 වසරේදී ය. කෙසේ වෙතත්, මාස පහක කාලයකට වඩා ඇය එහි රැඳී සිටීමට අපොහොසත් වන්නේ ඇගේ වරදක් නිසා නොව, රැකියාවේ වූ "පීඩාකාරී ස්වභාවය" නිසා ය.
"දවසකට කෝල්ස් 300ක් විතර ගන්නවා. ගෙදර එද්දී මගේ උගුර නෑ. දවස පටන් ගන්න වෙන්නේ ම කුණුහරුප අහගෙන, එක ම කෙනෙකුට දවසකට කෝල්ස් 10ක් විතර ගනිද්දී," ඇය මීට මාස 10කට පමණ තිත තැබූ රැකියාවේ "අප්‍රසන්න" ස්වභාවය ගැන නොනවත්වා පැවසුවා ය.
බීබීසී සිංහල සේවය ඔස්සේ මීට පෙර ඔන්ලයින් ණය ලබා දෙන මූල්‍ය ආයතයනවල වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් පිළිබඳව සාකච්ඡා කළ ද, එවැනි ආයතනයක සේවය කළ වෘත්තිකයෙකු හා සම්මුඛ සාකච්ඡාවක යෙදුණු පළමු අවස්ථාව මෙය වේ.
බහුතරයක් තරුණියන්
සමාධි සමග තවත් 50ත් 60ත් අතර පිරිසක් ඇගේ අංශයේ රාජකාරි කළහ. ඉන් බහුතරයක් තරුණියන් වූ බව ඇය පැවසුවා ය.
ඇය සඳහන් කළේ, රැකියාවට ඇතුළත් කර ගැනීම සඳහා මිතුරිය මාර්ගයෙන් තම ජීව දත්ත පත්‍රිකාව අදාළ ආයතනය වෙත යොමු කළ පසු දුරකතනය ඔස්සේ සම්මුඛ පරීක්ෂණයක් පැවැත් වූ බව ය. ඉන් අනතුරුව ඇයට රැකියාව හිමි වූ බව ඇය පැවසුවා ය.
"විස්තර අහනවා, නම, ගම, ඒ ලෙවල් කරලා ද, අනිත් සුදුසුකම්. ඊට පස්සේ කියනවා මේ දවසට එන්න ඉන්ටර්වීව්, ඔයාව මේකට තමයි සිලෙක්ට් කරලා තියෙන්නේ කියලා. හැබැයි මට කියපු එක නෙමෙයි, රිකවරි දුන්නේ.”
“ඇත්ත ම කිව්වොත් මොනවත් සුදුසුකම් හරියට බලන්නේ නැහැ. ඕන ම කෙනෙකුට යන්න පුළුවන්, කතා කරන්න පුළුවන් නම්. කතා කරලා පේමන්ට් එක ගන්න නේ තියෙන්නේ," සමාධි ඇය රැකියාවට ඇතුළත් වුණු ආකාරය පිළිඳව සහ ඒ සඳහා එම ආයතනය ඇගෙන් බලාපොරොත්තු වූ සුදුසුකම් පිළිබඳව පැවසුවේ එලෙසිනි.
රැකියාවට බඳවා ගැනීමෙන් අනතුරුව මුල් දිනයේ රාජකාරි කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද තවත් දින දෙකක් පරිගණක පද්ධතිය සම්බන්ධයෙන් ද පුහුණුවක් ලබා දුන් බව ඇය පැවසුවා ය.
එලෙස බඳවා ගන්නා තරුණ තරුණියන් වෙත රුපියල් 30,000ත් 40,000ත් අතර මූලික වැටුපක් ගෙවූ බව ඇය සඳහන් කළා ය. එම මුදල තමන් වෙත ලබා දෙන ඉලක්ක සපුරා ගැනීමෙන් ආසන්න වශයෙන් 100,000ක් දක්වා ඉහළ දමාගත හැකි බව ඇය පෙන්වා දුන්නා ය.
රැකියාවේ ස්වභාවය

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
සමාධි බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් සඳහන් කළේ, කොළඹ නගර මධ්‍යයේ ඇති ගොඩනැගිල්ලක පවත්වාගෙන යන මෙම ආයතනයේ, විවෘත ශාලාවක ඇය අයත් අංශය ඇතුළු තවත් අංශ දෙකක සේවක සේවිකාවන් රාජකාරියේ නිරතව සිටි බව ය.
ඉන් තමන්ට පැවරී තිබුණේ, ලබා දුන් ණය නැවත පියවා ගැනීම සඳහා ගනුදෙනුකරුවන් දිනපතා දුරකතනය ඔස්සේ ඇමතීම බව ඇය පැවසුවා ය.
"ටීම් විධියට ඉන්නේ. එක ටීම් එකක ලීඩර් කෙනෙක් එක්ක පහක් ඉන්නවා."
සේවා මුර තුනක් යටතේ රාජකාරි කටයුතු කළ යුතුව තිබුණු බව ඇය පැවසුවා ය. සමාධි පෙන්වා දුන්නේ, දිනකට කාණ්ඩ කිහිපයක් යටතේ ගනුදෙනුකරුවන් වෙත දුරකතන ඇමතුම් ලබා දීමට තමන්ට පැවරී තිබුණු බව ය.
"උදේ 10:00 විතර වෙනකම් කස්ටමර් කෝල්ස් ගන්නවා. මොක ද කස්ටමර්ස්ලා වැඩට යනවනේ. ඊට පස්සේ දෙක විතර වෙනකම් වර්ක්ප්ලේස් කෝල්ස් ගන්නවා. ඒ අය වැඩ කරන තැන්වලට. පස්සේ කන්ටැක්ට් පර්සන්ට. ආයෙත් පහ විතර වෙනකම් කස්ටමර්ට ගන්නවා."
ඇය සඳහන් කළේ, දිනකට අවම වශයෙන් දුරකතන ඇමතුම් 300ක් පමණ ඇය ලබාගත් බව ය. එක් දිනක දී ඇතැම් ගනුදෙනුකරුවන් වෙත දුරකතන ඇමතුම් 10කට ආසන්න සංඛ්‍යාව ලබා ගත් බව ද ඇය පැවසුවා ය.
දහවල් ආහාරය සඳහා සහ රාජකාරි කරන පැය නවයක [දිනක] කාලය තුළ ලැබෙන කෙටි විවේකය හැරුණුකොට ආසනයෙන් නැගිට යාමට අවසර හිමි වන්නේ අත්‍යවශ්‍ය ම කාරණයකට පමණක් බව ද සමාධි සඳහන් කළා ය.
රාජකාරී වේලාව තුළ ජංගම දුරකතන භාවිතාව තහනම් ය. යම් හෙයකින් රාජකාරි වේලාව තුළ ආසනයෙන් නැගිට ගියහොත් අධීක්ෂකවරයාගේ දෝෂාරෝපණයට ලක්වන බව ඇය පැවසුවා ය.
ඇය සඳහන් කළේ, ණය පියවා ගැනීමට ලබා දෙන ඇමතුම් හැරුණුකොට තවත් ණය ලබා ගැනීමට ගනුදෙනුකරුවන් පොළඹවන ප්‍රවර්ධන ඇමතුම් පවා ඇය ලබා දුන් බව ය. කෙසේ වෙතත් එම ඇමතුම් තුළින් සිදුවන්නේ ද ගනුදෙනුකරුවන් "රැවටීම" බව ඇය පෙන්වා දුන්නා ය.
"සතියට නිවාඩු දවස් දෙකක් ලැබෙනවා. එකක් සතියෙන් දවසක. අනිත් එක සති අන්තයේ එක දවසක."
ණය ලබාදීමේ දී රැස්කර ගන්නා තොරතුරු හා ණය ලබාදෙන ආකාරය
ණය ලබාදීමේ දී ගනුදෙනුකරුවන්ගේ තොරතුරු රැස්කර ගැනීම ඇය සතු කාර්යයක් නොවුණ ද ඒ පිළිබඳව ඇයට අවබෝධයක් ඇති බව සමාධි අප හා පැවසුවා ය.
ඇය සඳහන් කළේ, නම, ලිපිනය, ජාතික හැඳුනුම්පත් අංකය, රැකියාව, රැකියා ස්ථානයේ දුරකතන අංකය සහ තවත් ගනුදෙනුකරුට හිතවත් පුද්ගලයෙකුගේ දුරකතන අංකයක් ලබා ගන්නා බව ය.
ඊට අමතරව ජාතික හැඳුනුම්පතේ දෙපස පෙනන පරිදි එය අතැතිව සෙල්ෆි ඡායාරූපයක් යොමු කරන ලෙසට ද ගනුදෙනුකරුවන් වෙත දැනුම් දෙන බව ඇය පැවසුවා ය.
"සමහර වෙලාවට බොරු විස්තර දෙනවා. වැඩකරන තැන එහෙම බොරු නම්බර්ස් දෙනවා. එයාව දන්නෙවත් නැති අයගේ නම්බර්ස් දීලා තියෙන්නේ. කෝල් කළා ම තමයි ඒක දැන ගන්නේ," තොරතුරුවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ඇය අදහස් දැක්වූවා ය.
ඇය සඳහන් කළේ, ඉන් අනතුරුව ආයතන ප්‍රධානීන් එම තොරතුරු පිරික්සා බලා ණය මුදල අනුමත කරන බව ය.
ණය මුදල ලබාදීම ඉතා කෙටි කාලයක දී වුව ද සිදුවිය හැකි බව ඇය පැවසුවා ය.
එම ආයතනයේ ණය ප්‍රතිපත්තිය අනුව, මුල් වරට ලබා දෙන්නේ රුපියල් 5000ක ණය මුදලක් පමණක් බව ඇය පැවසුවා ය. එය දින පහක් ඇතුළත පියවිය යුතු බව ත් නැතහොත් ප්‍රමාද ගාස්තුවක් සමග රුපියල් 1,000ක මුදලක් ඊට එකතු වන බව ත් ඇය පෙන්වා දුන්නා ය.
ඉන් අනතුරුව ලබා ගන්නා ණය සඳහා පොලී අය කරගන්නා ආකාරය බීබීසී සිංහල සේවයට නිරීක්ෂණය කිරීමට හැකි විය.
'පොලිය තීරණය වෙන්නේ දෙන ණය කොච්චර ද කියන එක මත'
රුපියල් 50,000ක් දක්වා ණය ලබා ගත හැකි බව ත් එම මුදල මාසයක් ඇතුළත පියවිය යුතු බව ත් ඇය සඳහන් කළා ය.
එලෙස ණය ලබා ගන්නා වැඩි දෙනෙකු ආරක්ෂක අංශවල රැකියාවල නිරත පිරිස් බව ඇය පැවසුවා ය. ඊට අමතරවර ත්‍රිරෝද රථ රියැදුරන් ද වැඩි වශයෙන් ණය ලබා ගන්නා බව ඇය සඳහන් කළා ය.
එම පිරිස් අතරින් බොහෝ දෙනෙකු වයස අවුරුදු 40ක් පමණ වන පිරිස් බව ත් ඔවුන් සතුව ණය ලබා ගැනීම සඳහා භාවිත කෙරෙන යෙදුම (app) පරිශීලනය කිරීමට අවශ්‍ය දැනුම ඇති බව ත් ඇය පැවසුවා ය.
ණය නැවත පියවා ගන්නා ආකාරය
ණය නැවත පියවා ගැනීමේ ක්‍රියාවලිය තරමක් දුෂ්කර බව සමාධි බීබීසී සිංහල සේවය හා පැවසුවාය.
ඇය සඳහන් කළේ, දුරකතන ඇමතුම් 300කට ආසන්න ගණනක් ගත්ත ද ඒ අතරින් ණය නැවත පියවන්නේ 10-15ත් අතර පිරිසක් බව ය.
ණය මුදල පියවිය යුතු දිනට දින කිහිපයකට පෙර සිට ඒ පිළිබඳව ගනුදෙනුකරු දැනුවත් කරන බව ත්, එම මුදල අදාළ පුද්ගලයා නියමිත දිනට පියවීම සිදු නොකරන්නේ නම් දිගින් දිගට ම ඔහු වෙත දුරකතන ඇමතුම් ලබා දෙන බවත් ඇය පැවසුවා ය.
යම් ගනුදෙනුකරුවෙකුට ණය නැවත පියවීමේ හැකියාව ඇතැ යි හැඟුණහොත් එම මුදල නැවත ගෙවන තුරු අදාළ ගනුදෙනුකරු වෙත ඇමතුම් ලබා ගන්නා බව සමාධි පැවසීය.
ඉන් අනතුරුව අදාළ පුද්ගලයාගේ රැකියා ස්ථානය වෙත සහ ඔහු ලබාදුන් අනෙක් හිතවතාගේ අංකය ද අමතන බව ඇය සඳහන් කළා ය.
ඒ බොහෝ අවස්ථාවල දී ගනුදෙනුකරුවන් ඇය වෙත "පරුෂ වචනයෙන්" බැණ වදින බව ඇය පැවසීය. ඇතැම් විට "පරිගණක පද්ධතියේ දෝෂ හේතුවෙන්" ණය පියවූ පුද්ගලයින් වෙත ද නැවත නැවතත් දුරකතන ඇමතුම් යොමු වන බව ඇය පැවසුවා ය.
තමන් ද ඇතැම් අවස්ථාවල දී ගනුදෙනුකරුවන් වෙත බැණ වැදී ඇතැ යි සමාධි සඳහන් කළා ය.
"කස්ටමර් කතා කරන විධියත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ."
ඇය පැවසුවේ, දිගින් දිගට ම ගනුදෙනුකරුවන් ප්‍රතිචාර නොදක්වන්නේ නම්, ඔවුන් ලබා දුන් ලිපිනය වෙත, නඩු පවරන බව දන්වමින් ලිපි යොමු කරන බව ය.
කෙසේ වෙතත් එවැනි නඩු පැවරීමක් සිදු වූ බවට තමන්ට දැන ගන්නට ලැබී නොමැති බව ඇය සඳහන් කළා ය.
මීට පෙර බීබීසී සිංහල වාර්තා කළ පරිදි, ණය ගෙවීමට අපොහොසත් වන ගනුදෙනුකරුවන්ගේ පෞද්ගලික තොරතුරු ලබා ගෙන ඔවුන් "බ්ලැක්මේල්" කිරීමක් සිදු වුණු අවස්ථා තිබුණේ ද යන්න අපි ඇයගෙන් විමසුවෙමු.
එහිදී ඇය සඳහන් කළේ, "දැන් කස්ටමර් අපිට වෙන කෙනෙකුගේ නම්බර් එකක් දෙනව නේ. එයාට අපි දිගට ම කතා කරද්දී එයා අපිට වෙන කෙනෙක්ගේ නම්බර් එකක් දෙනවා 'මිස් මේ නම්බර් එකට කතා කරන්න,' කියලා. එහෙම අපිට හම්බ වෙන නම්බර්ස්වලට අපි ඊට පස්සේ කෝල් කරනවා."
කෙසේ වෙතත්, එවැනි "බ්ලැක්මේල්" කිරීමක් සිදු වුණු බවට තමන්ට ප්‍රකාශ කළ නොහැකි බව ඇය පැවසුවා ය.
ණය ඉල්ලන "ඕනෑ ම කෙනෙකුට" ආයතනය ණය ලබා දෙන බව ඇය සඳහන් කළේ "අපිට ඕනේ කස්ටමර්ස්ලා නේ," යනුවෙන් ද පවසමිනි.
"සමහර කෝල්ස් ගත්තා ම කියනවා, 'මිස් මගේ පුතා ලෝන් එක අරන් තියෙන්නේ, ඌ කුඩු ගහන්නේ, ඌට මොකට ද ඔයාලා ලෝන් දෙන්නේ, ඕගොල්ලෝ දන්නේ නැද්ද?' කියලා," ඇතැම් ගනුදෙනුකරුවන් ලබාදුන් දුරකතන අංක ඇමතීමේදී ප්‍රතිචාර ලැබෙන බව ඇය පැවසුවා ය.
"ගොඩක් වෙලාවට රිකවරි එක වෙන්නේ නැහැ. ඩේලි ගනුදෙනු කරන අය තමයි පේමන්ට් එක කරන්නේ."
එලෙස සිදුවන අලාභය පියවා ගැනීමට නැවත ප්‍රවර්ධන කටයුතු සිදුකර කෙසේ හෝ මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ඇය පැවසීය.
දිනකට සමස්ත කණ්ඩායම රුපියල් ලක්ෂ 10-15ත් අතර මුදලක් නැවත පියවා ගන්නා බව ඇය පෙන්වා දුන්නා ය.
රැකියාවෙන් ඉවත් වුණේ ඇයි?
"මම නම් ආස ම නැති එක්ස්පීරියන්ස් එකක් ඒක. පුදුම ප්‍රෙෂර් එකක්. උදේ පාන්දර සමහර කෝල් කුණුහරුපෙන් පටන් ගන්නේ කස්ටමර්. දවස ම මූසලයි. එපා වෙනවා," සමාධි තමන් රැකියාවට තිත තැබීමට හේතුව පැහැදිලි කළා ය.
ඊට අමතරව ගනුදෙනුකරුවන් පීඩාවට ලක් කිරීමට ඇයට සිදුවීම ද රැකියාවට සමුදීමට හේතු වූ බව ඇය පැවසුවා ය.
ඇය පෙන්වා දුන්නේ, ඇතැම් පිරිස් ඉතා දුර බැහැර ප්‍රදේශවල සිට ණය සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට කොළඹ පිහිටි ඇගේ ආයතනය වෙත පැමිණි බව ය.
"අසරණ කස්ටමර්ස්ලා ඉන්නවා. මෙහෙම වධ දෙන එක පව්..." ඇය සඳහන් කළේ, ඇය සමග රැකියාවේ නිරත වූ බොහෝ දෙනෙකු ද දැන් එම ආයතනයෙන් ඉවත් වී ඇති බව පවසමිනි.
"ප්‍රමෝෂන් කරද්දී, වෙලාවට ණය ගෙව්වොත් වැඩි ගාණක් ආපහු ගන්න පුළුවන් කිව්වට එහෙම දෙන්නේ නෑ. බොරු කරන්නේ."
රැකියාවේ තමන්ට අනාගතයක් ඇතැ යි නොදුටු බව ද ඇය පැවසුවා ය.
ආයතනය හා සම්බන්ධ වීමේ දී පත්වීමේ ලිපියක් නොදුන්න ද ඉවත් වීමට පෙර මසකට කලින් ඒ පිළිබඳව ආයතනය දැනුවත් කිරීමට සිදු වූ බව ඇය සඳහන් කළා ය.
"EPF, ETF කැපෙනවා. ඒ උණාට එහෙම බී කාඩ් එකකට අපි අත්සන් කළේ නෑ. වෙන ම ඉන්ෂුවරන්ස් එකක් ආවා. හැබැයි මම ගත්තේ නෑ," යනුවෙන් ද ඇය ආයතනය තුළ තම අත්දැකීම විස්තර කළා ය.
සමාධි සඳහන් කළේ, ආයත ප්‍රධානීන් හා ලැදි සේවකයින්ට නිවාඩු ලබා ගැනීම පහසුවුවත් එසේ නොවන සේවකයින්ට එය අපහසු කාර්යයක් වූ බව ය.
"'ඇයි මෙයාලට හැමදා ම ලෙඩ, මෙහෙම අයව අස් කරලා දාන්න,' ඒ වගේ කියනවා."
සමාධි තවදුරටත් සඳහන් කළේ, "[බැංකුවලින් ණයක් ගන්න අමාරු වුණත්] මේ වගේ මිනිස්සුන්ට වධ දෙන ආයතන ඕනේ නෑනේ," යනුවෙනි.
ආයතනය තුළ නීතිඥවරුන් ලෙස 'ව්‍යාජව' පෙනී සිටින පිරිස් සිටින බව ද ඇය පැවසුවා ය.
"ලෝ කිව්වට ඒ ගොල්ලෝ ලෝ කරන්නේ නෑ, ඒත් ලෝයර්ස්ලා කියලා තමයි ඒ ගොල්ලෝ කස්ටමර්ස්ලාගේ සල්ලි එකතු කරන්නේ. දවස් 120-30 පැනපු ලෝන්වලට එයාලා තමයි කෝල් කරන්නේ. ලෝයර්ස්ලා වගේ ඉන්නවා. කස්ටමර්ස්ලා එද්දී ලෝයර් කෝට් එකක් වගේ මොකක් හරි එකක් අඳිනවා. අපි එතනින් යනවා නම් සර්, මිස් කියලා තමයි කතා කරන්න ඕනේ. පහක් හයක් වගේ ඉන්නවා. ලෝ ඩිග්‍රියක් තියෙන කෙනෙක් ඇයි එතන ඇවිල්ලා වැඩ කරන්නේ?"
ඇතැම් ඇමතුම්වල දී තමන් වෙත අයුතු යෝජනා පැමිණ ඇති බව ද ඇය සඳහන් කළා ය.
"එන්න මාව හම්බ වෙන්න. මං කියලා දෙන්නම් මම කවුද කියලා," යනුවෙන් ඇතැම් ගනුදෙනුකරුවන් එවැනි යෝජනා කළ ආකාරය ඇය සිහිපත් කළා ය.
සමාධි සඳහන් කළේ, තම රැකියාව හැඟීම් දැනීම් නොමැති "රෝබෝවරු" ආකාරයේ වූ බැවින් තමන් අවසානයේ ඊට තිත තැබූ බව ය.
නීත්‍යනුකූල, බලයලත් බැංකුවලින් පමණක් ජනතාවට ණය ලබා ගන්නා ලෙස ඇය "ඉතා කාරුණිකව" ඉල්ලා සිටින බව ඇය වැඩිදුරටත් බීබීසී සිංහල සමග පැවසුවා ය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිචාරය
බීබීසී සිංහල සේවය මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළේ ය.
එහිදී එහි නිලධාරියෙකු සඳහන් කළේ, දැනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි විය යුත්තේ තැන්පතු ලබා ගන්නා ආයතන පමණක් බව ය.
"මහජනතාවගෙන් තැන්පතු ලබා ගන්නා ආයතන තියෙන්නේ බැංකු සහ මූල්‍ය ආයතන පමණයි. ඒගොල්ලෝ විතරයි අපි ළඟ ලියාපදිංචි වෙන්න ඕනේ." කෙසේ වෙතත්, "පෞද්ගලික මුදල් පාවිච්චි කරලා ණය දෙන ආයතන කරන අයට දැනට ලියාපදිංචි වීමේ අවශ්‍යතාවක් නැහැ ශ්‍රී ලංකා මහ බැංකුවේ," යනුවෙන් අදාළ නිලධාරියා සඳහන් කළේ ය.
"නමුත් මේ වගේ ව්‍යාපාර කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයවල, සමාගම් රෙස්ජිට්‍රාර් කාර්යාලවල ලියාපදිංචි වෙන්න ඕනේ. මහ බැංකුවේ ලියාපදිංචි වීමක් අවශ්‍ය නැහැ."
එසේ වුව ද ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත නමින් පනතක් කෙටුම්පත් කර ඇති බව ත්, එය මේ වන විට පළමු වර කියවූ බව ත් එම නිලධාරීයා පැවසීය.
"සෙකන්ඩ්, තර්ඩ් රීඩින්ග්වලට ටේබල්වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට ලබන වසරේ මුල් භාගයේ දී පනත බලාත්මක වේවි. එහෙම වුණොත්, සියලු ම ණය දෙන ආයතන ඒ අධිකාරියේ ලියාපදිංචි වෙන්න ඕනේ. ඒක ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ නෙවෙයි එන්නේ, මුදල් අමාත්‍යංශය යටතේ හදන තවත් අධිකාරියක් විධියට."
සමාධි හා බීබීසී සිංහල සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී අනාවරණය වූයේ, ඇය රැකියාවේ නිරත වූ ආයතනය වෙත විදෙස් රටක් හරහා මුදල් පැමිණෙන බව ය. එම මුදල් භාවිත කර, ණය ලබා දෙන බවට එහිදී කරුණු හෙළි විය.
මෙවැනි ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිචි වීම අනවශ්‍ය වුව ද එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි ආයතනයක් බවට එහි ප්‍රධානීන් සමාධිව දැනුවත් කර තිබේ.
එමෙන් ම, බීබීසී සිංහල වෙත තවදුරටත් අනාවරණය වූයේ, ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිදු කරන විමසීමක් අනුව, ණය ලබා දෙන ව්‍යාපාර වෙත එම ආයතනයවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරනු ලබන පැහැදිලි කිරීමේ ලිපිය, එම ආයතනය එය බලයලත් ආයතනය බවට පෙන්වීමට යොදා ගන්නා බව ය.
මේ අතර, ශ්‍රී ලංකා මහ බැංකු අනුමැතියකින් තොරව විවිධ නම්වලින් පවතින ඔන්ලයින් ණය යෝජනා ක්‍රමවල අපරාධ ඉහළ යමින් බැංකු වැනි ආයතන ද අනතුරට ලක්වන බව පවසා දූෂණ විරෝධී හඬ සංවිධානය සියලු බැංකුවලට ලිපියක් නිකුත් කර තිබේ.
දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ ප්‍රකාශ කර ඇත්තේ, මෙම නීති විරෝධී ඔන්ලයින් ණය ක්‍රම හරහා දැඩි ලෙස ජනතාව පීඩාවට පත්ව ඇති බව ය.












