කෙහෙල්බද්දර පද්මෙගේ කන්ටේනර් 2ක් සැඟවූ බව කියන සම්පත් මනම්පේරි භාර වෙන බව අධිකරණයට කියයි

සම්පත් මනම්පේරි

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | SAMPATH MANAMPERI

ඡායාරූප ශීර්ෂ වැකිය, සම්පත් මනම්පේරි
    • Author, බීබීසී සිංහල

මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට යොදාගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සඟවා තිබියදී සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා අද (සැප්: 15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේ ය.

එසේ භාර වීමෙන් පසුව සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියෝග කළ අභියාචනාධිකරණය ඒ පිළිබඳව විමර්ශන නිලධාරීන් දැනුවත් කරන ලෙස නියෝග කළේ ය.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින සම්පත් මනම්පේරි සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීමට භාවිත කරන බව කියන රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයමින් සිටින බව සඳහන් කළේ ය.

මෙම සිද්ධියට අදාළව සිය සේවාදායකයාගේ සහෝදරයා වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා තබා මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර තිබෙන බවත් නීතිඥවරයා පැවසීය.

අත්අඩංගුවේදී තම සේවාදායකයාගේ සොහොයුරා දැඩි වද හිංසනයන්ට භාජනය වී තිබෙන බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

ඉන් අනතුරුව තම සේවාදායකයාගේ 78 හැවිරිදි පියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මේ වන විට ඇප මත මුදාහැර තිබෙන බවත් ඔහු පැවසීය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

තම සේවාදායකයා විමර්ශනවලට අවශ්‍ය පූර්ණ සහය ලබා දීමට සූදානම් බවත්, ඔහු නිසි මහේස්ත්‍රාත් අධිකරණයට භාරවීමට සූදානම් බවත් නීතිඥවරයා පැවසුවේ ය.

කෙසේ වෙතත්, අත්අඩංගුවට පත්වීමෙන් පසුව විමර්ශන නිලධාරීන් අතින් ඔහු වධ හිංසාවන්ට භාජනය කිරීමට හැකියාවක් තිබෙන බවට ඔහු තුළ භීතියක් පවතින බව පෙන්වා දුන් නීතිඥවරයා තම සේවාදායකයා දන්නා සියලු දේ ප්‍රකාශ කිරීමට සූදානම් බවත් සඳහන් කළේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල විමර්ශන අවස්ථාවලදී පෙත්සම්කාර සම්පත් මනම්පේරි නමැත්තාගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියා මාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයාට නියම කළේ ය.

එසේ ම මෙම පෙත්සම්කරුගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් යටතේ සිටින විමර්ශන නිලධාරින් දැනුවත් කරන ලෙසත් පොලිස්පතිවරයාට කළ එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් විය.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම ඔක්තෝබර් මස 16 වන දා කැඳවීමට ද දින නියම විය.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස බස්නාහිර පළාත උතුර විමර්ශන කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා, සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල සහ පොලිස්පතිවරයා නම් කර තිබේ.

අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින තමන්ව වධ හිංසාවන්ට හා හිරිහැරයන්ට භාජනය කිරිම වැළැක්වීමේ නියෝගයක් විමර්ශන නිලධාරීන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා සම්පත් මනම්පේරි සිය නීතිඥවරු මාර්ගයෙන් මෙම පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.