රිමාන්ඩ් භාරයේ පසුවන 'බැකෝ සමන්ගේ' බිරිඳගෙන් ප්‍රශ්න කිරීමට CID යට අවසර: අධිකරණයේදී හෙළිවූ කරුණු මොනවා ද?

Statue symbolizing blindess of justice holds scales against the shining light.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, බීබීසී සිංහල

පසුගියදා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන බැකෝ සමන් සහ තැඹිලි ලහිරු යන පුද්ගලයින් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය අද (සැප්තැම්බර් 9 වැනිදා) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් එම පොලිස් කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඒ අනුව අදාළ සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියෝග කළේය.

අධිකරණයේදී හෙළිදරව් වුණේ මොනවා ද?

මේ අතර මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්තැම්බර් 9 වැනිදා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මෝසමක් ඉදිරිපත් කරමින් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳවන ශාධිකා ලක්ෂානී නමැත්තියගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව අධිකරණයට දැනුම් දී සිටියේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක. එස්. බෝදරගම අදාළ සැකකාරියගෙන් ලබන සඳුදා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සලසා දෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.

මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කර තිබිණි.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මීට පෙර අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත්දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගන්නා ලද පාතාල කල්ලි සාමාජිකයින් පස් දෙනා අතර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ ලෙස මෙම සැකකාරිය හඳුනාගෙන ඇතැයි පැවසූහ.

පසුව මෙම සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කළ බවත් පොලීසිය සඳහන් කර සිටියේ ය.

මෙහිදී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම සැකකාරියට එල්ල වන චෝදනා කවරේ දැයි ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දෙමින් පොලිස් නිලධාරීන් පැවසුවේ, මෙම සැකකාරිය පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදු කරන බව ය.

මෙම සැකකාරියගේ සැමියා වන බැකෝ සමන් නමැත්තා මිද්දෙණිය ප්‍රදේශයේ දරුවන් දෙදෙනෙකු සහ පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී ඇති බවට සැක කරන කරුණු අනාවරණය වී ඇති බවත් පොලිස් නිලධාරීහු සඳහන් කළහ.

එම ඝාතනයට මෙම සැකකාරියගේ සම්බන්ධයක් තිබේ දැයි මෙහිදී මහේස්ත්‍රාත්වරයා විමසුවේ ය.

ඊට පිළිතුර දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, එම අපරාධයට මෙම සැකකාරිය සම්බන්ධ දැයි සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බව ය.

මෙම සැකකාරිය සන්තකයේ තිබී පවුම් 40ක් පමණ බරැති රන් ආලේපිත භාණ්ඩ සොයා ගත් බවට ද අධිකරණයට කරුණු වාර්තා කෙරිණි.

ඒවා සත්‍ය වශයෙන් රන් භාණ්ඩ දැයි පරීක්ෂා කිරීම සඳහා රාජ්‍ය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට නියෝග නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඊට අමතරව මෙම සැකකාරිය සම්බන්ධ විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඇය රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ද ඉල්ලීමක් ඉදිරිපත් විය.

ඉන් අනතුරුව මෙම සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය සඳහන් කළේ, සිය සේවාදායිකාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඇය "බැකෝ සමන්" නමැත්තාගේ බිරිඳ වීම නිසා පමණක් බව ය.

මෙම සැකකාරිය කලක් බැකෝ සමන් නමැත්තාගෙන් වෙන්ව සිට පසුව ඔහු සමග ජීවත් ව තිබෙන බවත් ඔහුගේ ඉල්ලීම මත විදේශගත වී තිබෙන බවත් ඇය පැවසුවා ය.

ඇයට අවුරුදු වයස තුනක දරුවකු සිටින අතර ඇය මෙම අපරාධ කිසිවකට සම්බන්ධ බවට සාක්ෂි අනාවරණය වී නොමැති බවට නීතිඥවරිය තවදුරටත් කරුණු දක්වමින් පැවසුවා ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සැකකාරිය ලබන 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේ ය.

එදින මෙම සැකකාරිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කළ විමර්ශන වලට අදාළ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

මෙහිදී අධිකරණය කළ විමසීමකදී සැකකාරිය සඳහන් කළේ, තම දරුවා රැක බලා ගැනීම සඳහා සිය දෙමව්පියන්ට භාර දෙන බව ය.

ඉදිරියේදී අවශ්‍යතාවක් මතු වුවහොත් දරුවා සැකකාරිය භාරයට ගැනීමට හැකියාව තිබෙන බවත්, ඒ සඳහා විධිමත් ලෙස ඉල්ලීමක් සිදුකළ හැකි බවත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ය.