'අයිස් අමුද්‍රව්‍ය කන්ටේනර්' සිද්ධියට අත්අඩංගුවට ගැනීමට සොයන 'හිටපු බුද්ධි අංශ නිලධාරියා' කවුද?

ඡායාරූප මූලාශ්‍රය, FACEBOOK | SAMPATH MANAMPERI
- Author, බීබීසී සිංහල
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට සැකපිට පසුගිය දා ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් 'කෙහෙල්බද්දර පද්මේ' නමැති පුද්ගලයාට සම්බන්ධ කන්ටේනර් දෙකක් සැඟවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත සම්පත් මනම්පේරි නැමති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මැතිවරණ අපේක්ෂකයෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට එම පක්ෂය පසුගිය දා කටයුතු කළේ ය.
එවැනි පසුබිමක ඔහුගේ සහෝදරිය සැප්තැම්බර් 8 වන දා තම සහෝදරයන් සහ පවුල මෙම සිදුවීම හේතුවෙන් අපහසුතාවට පත්ව ඇතැයි පවසමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබිණි.
එපමණක් නොව, මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සැප්තැම්බර් 9 වන දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද සාකච්ඡාවට ලක් විය.
'රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක්'
අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, මෙම පුද්ගලයා කලකට ඉහත ඝාතනයට ලක්වූ දමිළ ජාතික සන්ධානයේ සාමාජිකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජ් රවිරාජ් ඝාතනයේ සැකකරුවෙකු බව ය.
"මේ සම්පත් මනම්පේරි කියන පුද්ගලයා කාලයක් පොලිස් කොස්තාපල් කෙනෙක් හැටියටත් වැඩ කරලා තියෙනවා. ඒ වගේ ම බුද්ධි අංශ නිලධාරියෙකු හැටියටත් වැඩ කරලා තියෙනවා පොඩි කාලයක්," අමාත්‍යවරයා පැවසුවේ ය.
"රවිරාජ් මන්ත්‍රීවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හැටියටත් ඔහුව හඳුනාගෙන තියෙනවා," ඔහු තවදුරටත් පැවසීය.
'පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක්'
කැබිනට් ප්‍රකාශකවරයා පැවසුවේ, මෙම පුද්ගලයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන්නේ එවැනි පසුබිමක් සහිතව බව ය.
"පක්ෂ සාමාජිකත්වය අහෝසි කරලා පමණක් සීමා වෙන්නේ නෑ. ඔහු තංගල්ල, මිද්දෙණිය, හම්බන්තොට ඇතුළු මේ ප්‍රදේශවල දේශපාලඥයින් නිතර ගියපු ඇසුරු කරපු පවුලක් තමයි මේ මනම්පේරි පවුල. ඉතින් නාමල් රාජපක්ෂ ඇතුළු පොදුජන පෙරමුණේ කට්ටියට කරන්න පුළුවන් ලොකු ම දේ තමයි මේ සම්පත් මනම්පේරිව පොලිසියට භාර දෙන එක," ඔහු පැවසීය.
මේ වන විට මෙම පුද්ගලයාගේ සහෝදරයා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුවීම කුමක් ද?
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය ප්‍රදේශ කිහිපයකින් සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානත්මක අපරාධකරුවන් පිරිසගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ කරුණු අනුව ය.
අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බවට සැක කෙරෙන මෙම රසායනික ද්‍රව්‍ය පළමු වරට පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ, සැප්තැම්බර් 5 වන දා මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ පිහිටි ගෙවත්තක වළ දමා තිබියදී ය.
මෙම රසායනික ද්‍රව්‍ය ජනවාරි මස 29 වන දා කොළඹ සිට කන්ටේනර් දෙකක අසුරා රැගෙනවිත් කලුවගහයාය පාර, තලාව, කාරියමඩිත්ත ප්‍රදේශයේ මාර්ගය අයිනේ ගබඩාකර තිබී පසුව අගෝස්තු මස 31 වන දින ගෙවත්තකට රැගෙනවිත් වළ දමා තිබිණි.
කිලෝ 500ක බරින් යුතු කවර 22ක් පමණ මේ ආකාරයට වළ දැමූ බව ත් ජේසීබී යන්ත්‍රයේ ක්‍රියාකරු පොලිසියට පවසා තිබේ.
මේ අතර තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය බවට සැක කෙරන ද්‍රව්‍ය තොගයක් සැප්තැම්බර් වන දා 7 පොලිසියට හමුවිය.
තව ද සැප්තැම්බර් 8 කඳාන ප්‍රදේශයේ ගෙවත්තක තිබියදී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා බවට සැක කෙරෙන රසායනික ද්‍රව්‍ය තවත් තොගයක් සොයා ගැනීමට පොලිසියට හැකි විය.














