'පුනර්භවය ලැබූ' බෞද්ධ භික්ෂුවකගේ සිට බටහිර නර්තන ශිල්පියෙකු දක්වා පැමිණි දරුවෙකුගේ අපූරු කතන්දරය

ඡායාරූප මූලාශ්‍රය, Lama Yeshe Wisdom Archive
- Author, බීබීසී අවුට්ලුක්
- Role, බීබීසී ලෝක සේවය
ඔහු ටිබෙට් දේශයේ ආධ්‍යාත්මික නායකයෙකුගේ පුනර්භවයක් බවට දලයි ලාමා හඳුනා ගන්නා විට ඕසෙල් හීතා තෝරස් ළදරුවෙකි.
1985 වසරේදී ඕසෙල් උපත ලැබුවේ, ස්පාඤ්ඤ ජාතික හිපි යුවළකට දාව ය. ඔවුන් දෙදෙනා ම බුදුදහම වැළඳගත්තේ, ස්පාඤ්ඤයේ ඉබීසාහිදී ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වූ ටිබෙට් බෞද්ධ ගුරුවරයෙකු වූ ලාමා යේශේ මුණ ගැසීමෙන් පසුව ය.
ලාමා යේශේ අනෙක් භික්ෂූන්ගෙන් වෙනස් අයෙකු විය. ඔහුගේ හාස්‍යමය සහ සාම්ප්‍රදායික නොවන භාෂා විලාසය හේතුවෙන්, ඔහු 1970 ගණන්වලදී බටහිර රටවලට බුද්ධාගම ව්‍යාප්ත කළ පුද්ගලයන් අතරින් එක් අයෙකු විය.
ඕසෙල් කිසිදිනෙක ලාමා යේශේ මුණ ගැසී නැත. ඇත්ත වශයෙන් ම ඔහු අභාවප්‍රාප්ත වූයේ, ඕසෙල් ඉපදීමට වසරකට පෙර ය. නමුත් ලාමා යේශේගේ ජීවිතය, ඕසෙල්ගේ ජීවිතය වඩාත් සුවිශේෂී ආකාරයකින් හැඩගැස්වූවේ ය.
ටිබෙට් දේශයේ පැවති බුද්ධ ධර්මය තුළ විශ්වාස කරනු ලැබුවේ, ශ්‍රේෂ්ඨ ශාස්තෲවරුන්ට ඔවුන් නැවත පුනර්භවය ලබන්නේ කොහේ ද? කවුරුන් තුළින් ද? යන්න තෝරා ගත හැකි බවත්, එවිට ඔවුන්ට ලෝකයට බුද්ධාගම ඉගැන්වීමේ සේවය දිගට ම කරගෙන යා හැකි බවත් ය.
ලාමා යේශේගේ මරණයෙන් පසුව ඔහුගේ ප්‍රධාන අනුගාමිකයා වන ලාමා සෝපාට සිය ස්වාමියා බටහිර ජාතිකයෙකු ලෙස නැවත ඉපදීමට පෘථිවියට නැවත පැමිණෙන බව පෙනෙන්නට විය.
ඔහුට අසාමාන්‍ය ලෙස නිහඬ සහ සන්සුන් ළාබාල ඕසෙල්ව ස්පාඤ්ඤයේදී මුණ ගැසෙන විට ඔහුගේ වයස මාස 18ක් පමණක් වූ අතර ලාමා සෝපා සිතුවේ ඔහුට සිය ගුරුවරයාගේ පුනර්භවය හමුවූ බව ය.
මේ, ඕසෙල්ගේ කතාවයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
1970 ගණන්වලදී, ලාමා යේශේ සහ ඔහුගේ ප්‍රධාන අනුගාමිකයා වූ ලාමා සෝපා මගේ දෙමව්පියන්ට ඔවුන්ව මුණ ගැසුණු ඉබීසා වෙත පැමිණිය හ.
එම සංචාරය අතරතුරදී මාගේ දෙමව්පියෝ ලාමා යේශේ පිළිබඳව ප්‍රමෝදයට පත් වූ අතර, දකුණු ස්පාඤ්ඤයට ගොස් අල්පුහාරා කඳුකරයේ බෞද්ධ විවේකාශ්‍රමයක් ආරම්භ කිරීමට තීරණය කළ හ.
ඔවුන්ව බැහැදැකීමට පැමිණෙන ලෙස ඔවුහු ශුද්ධ වූ දළයි ලාමාට ආරාධනා කළ අතර, එම ස්ථානය බොහෝ සෙයින් ටිබෙටයට සමාන වූ නිසා ඔහු එම ස්ථානයේ පදිංචි වූයේ ය.
ඒ අනුව, ඔහු එම ස්ථානය ටිබෙට් බසින් "පැහැදිලි ආලෝකය ඇති තැන" යන අරුත් දෙන ඕ සෙල් ලිං (O Sel Ling) ලෙස නම් කළේ ය.
මට මාගේ නම ලැබුණේ එලෙසිනි. වසර කිහිපයකට පසු මා ඉපදුණු පසු මාහට ඕසෙල් යනුවෙන් ඇමතීමට මාගේ දෙමව්පියෝ තීරණය කළ හ.
මා උපත ලැබුවේ, මාගේ දෙමව්පියන්ගේ ගුරුවරයා වූ ලාමා යේශේගේ මරණයෙන් මාස 1කට පසුව ය.
මා ඉපදෙන කාලය වන විටත් ඔවුහු ඔහුගේ[ලාමා යේශේගේ] පුනර්භවය ගැන සොයමින් සිටිය හ. මා මාස 14 වයසේ සිටියදී ඔහුගේ ප්‍රධාන ශිෂ්‍යයා ලාමා සෝපා විසින් මා දුටු අවස්ථාවේ මා තනිව නිවසින් පිටතට ගෙන ගිය අතර, මා ලාමා යේශේගේ පුනර්භවය යැයි සිතී ය.

ඡායාරූප මූලාශ්‍රය, Lama Yeshe Wisdom Archive
මාස කිහිපයකට පසු පරීක්ෂා කිරීම සඳහා මා ඉන්දියාවට රැගෙන යන ලදී.
ඔවුන් සිදු කළ ප්‍රධාන පරීක්ෂණයක් වූයේ, සීනු, නවගුණ වැල්, බෙර වැනි බොහෝ භාණ්ඩ මාගේ ඉදිරියෙන් තැබීම ය.
ඔවුන් මට ඒවායින් ලාමා යේශේට හිමිව තිබූ දේවල් තෝරා ගන්නා ලෙස පැවසූ අතර, ඒවා කලින් දැක තොතිබුණත් මා විසින් සෑම වෙලාවකදී ම ඒවා නිවැරදිව හඳුනා ගන්නා ලදී.
මා කෙදිනකවත් දැක නොතිබූ මිනිසුන් සහ කිසි දිනෙක නොසිටි ස්ථාන ද මා විසින් හඳුනාගන්නා ලදී.
අවසානයේදී, මා ලාමා යේශේගේ පුනර්භවය ලෙස නිල වශයෙන් හඳුනාගත් ශුද්ධ වූ දලයි ලාමා මුණ ගැසීමට මා රැගෙන ගියේ ය.
එය නිවේදනය කළේ, දහස් ගණනක් ජනතාව සහභාගි වූ දැවැන්ත උත්සවයකදී ය.
ඒ වන විට මට යන්තම් වයස අවුරුදු 2ක් පමණි. උස් අසුනක හිඳගෙන සිය ගණනක් භික්ෂූන්ට සහ මට සහය වූවන්ට ආශීර්වාද ලබා දීමට මා හට සිදුවිය.
පසුව, ලාමා යේශේ විසින් ලොව පුරා ආරම්භ කළ බෞද්ධ මධ්‍යස්ථාන සියල්ල ම නැරඹීම සඳහා වසර තුනක චාරිකාවකට මා රැගෙන යන ලදී.
ඉන්පසු, මා වයස අවුරුදු 6ට එළැඹුණු පසු, යේශේ ලාමා වැනි භික්ෂුවක බවට පත් වීම සඳහා ඉගෙන ගැනීමට මාහට සිදුවූ අතර, දකුණු ඉන්දියාවේ කාර්ණාටක ප්‍රාන්තයේ සේරා ජේ ආශ්‍රමය වෙත මාව රැගෙන ගියේ ය.
මේ සියලු කාලය අතරතුර මා සිටියේ මාගේ පවුලෙන් දුරස්ව ය. මා භික්ෂූන් වහන්සේලාගේ රැකවරණයේ සිටි නමුත් මාව රැකබලා ගත් පුද්ගලයන් නිතර නිතර වෙනස් විය.
මෙම කාල පරිච්ඡේදය මුළුල්ලෙහි ම මා මාගේ දෙමව්පියන් දුටුවේ සුළු වශයෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස මාහට දැනුණේ, ඔවුන් සමග ශක්තිමත් මානසික සම්බන්ධතාවක් සැබැවින් ම මට නොතිබූ බව ය.
වයසින් වැඩෙද්දී මතු වූ විරෝධය
ක්‍රමයෙන් මා වැඩෙද්දී මාහට තිබූ පීඩනය අතිශය උග්‍ර විය. එය කුඩා ළමයෙකු ලෙස මා හට සැබවින් ම දුෂ්කර විය.
ඇතැම් විට මට වෙනත් ළමුන් සමග සෙල්ලම් කිරීමට අවසර හිමි වූ නමුත් මා ලාමා යේශේගේ පුනර්භවය වූ හෙයින්, මා හට සැලකුවේ වෙනස් ආකාරයකිනි. වෙනත් ළමුන්ට මා ස්පර්ශ කිරීමට හෝ මා අසලට පැමිණීමට ඉඩදීමට ඔවුන් ඉඩ නොතැබුවේ, මා හට බලපෑමක් ඇති නොවන පිණිස ය.
සංගීතයට සවන්දීම, සෙල්ලම් කිරීම හෝ රූපවාහිනී නැරඹීමේදී ද එසේ ම සිදු විය. ඒවා සියල්ල අවධානය වෙනස් කරන ඒවා ලෙස සැලකිණි. ආශ්‍රමයෙහි ගත කළ ජීවිතයේ සියල්ල වූයේ ඉගෙනීම සහ භාවනා කිරීම යි.
මා ලාමා යේශේගේ පුනර්භවය වූ නිසා ආශ්‍රමයට පැමිණ මා දැක ගැනීමට බොහෝ පුද්ගලයන්ට අවශ්‍ය විය. එනිසා සෑම දිනක ම මා මුණගැසීමට මිනිත්තු 40කට ආසන්න කාලයක් වෙන් කර තිබිණි.
එය, එම කාලයේදී බාහිර ලෝකය සමග මගේ පැවති එක ම සම්බන්ධය විය.
ඇතැම් විට මා මුණ ගැසෙන මිනිස්සු ආශ්‍රම යේදී අපට අවසර නොමැති "තහනම් භාණ්ඩ" - බටහිර සංගීතය ඇතුළත් කැසට් පට හෝ සංයුක්ත තැටි (CD) රැගෙන එති.
ට්‍රේසි චැප්මන්ගේ කැසට් පටයක්, ලින්කින් පාර්ක් සංගීත කණ්ඩායමේ සංයුක්ත තැටියක්, ලිම්ප් බිස්කිට්ගේ සංයුක්ත තැටියක් සහ "එස්තෝපා" නමැති ඉතාමත් ජනප්‍රිය ස්පාඤ්ඤ සංගීත කණ්ඩායමේ ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද මා හට ලැබිණි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මා මාගේ කාමරයේ සිට හෝ නාන කාමරයේ සිට ඉයර්ෆෝන් (තවත් තහනම් භාණ්ඩයකි) මගින් ඒවාට සවන් දුන් ආකාරය මට මතක තිබේ. නමුත්, එම සංයුක්ත තැටි සඟවා තබා ගැනීමට මට සිදුවූයේ ඔවුන් ඒවා සොයාගතහොත් ඔවුන්ගේ භාරයට ගන්නා හෙයිනි.
මට එය තේරුම් ගැනීමට කාලයක් ගත විය. මා පළමු වරට ලින්කින් පාක් සංගීතයට සවන් දුන් විට මට සිතුණේ "අයියෝ.. මේ සංගීතය නෙවෙයි, මේ නිකම් සද්ද විතරයි," යනුවෙනි.
කෙසේ වෙතත්, සෙමින් සෙමින් එම ගීතවලින් කියවෙන්නේ මොනවා දැයි මම අවබෝධ කර ගැනීමට පටන් ගතිමි. උදාහරණයක් ලෙස ඒවා වරදවා වටහා ගෙන ඇති බව අවබෝධ කර ගත්තෙමි. එය මට ද සම්බන්ධයක් තිබිණි. මට ද අවශ්‍ය වූයේ මා කවුදැයි තේරුම් ගෙන, මා හඳුනාගැනීමට සහ ආදරයක් ලැබීමට ය.
නමුත් ආශ්‍රමයේදී මට දැනුණේ මා කවුරුන් වූයේ දැයි දැන ගැනීමට මිනිසුන්ට ඇත්තෙන් ම අවශ්‍ය නොවූ බව ය. මගේ දෙමව්පියන් ඇතුළුව සියලු දෙනාට අවශ්‍ය වූයේ මම මගේ චරිතය රඟ දක්වනු දැකීම පමණකි.
නිදහස රස විඳීම

මා වයසින් සහ විප්ලවකාරී බවින් වැඩෙද්දී, ආශ්‍රමය තුළට තවත් තහනම් භාණ්ඩ හොරෙන් ගෙන්වා ගැනීමට මම පටන් ගතිමි. වයස අවුරුදු 16ක් වන විට, මට පරිගණක දෙකක්, බොක්සින් බෑගයක් සහ ගිටාරයක් තිබිණි. ඉන් මට බාහිර ලෝකයේ කොටසක් ලෙස හැඟීමක් ඇති කළේ ය.
තවත් අයෙකුගේ පුනර්භවයක් වූ මාගේ සමීප මිතුරෙකු සමග මා තහනම් භාණ්ඩ හුවමාරු කර ගත් ආකාරය මට සිහිවෙයි. ඔහු සතුව බ්‍රිට්නි ස්පියර්ස්ගේ ප්‍රසංගයක වීඩියෝවක් තිබූ අතර, ඔහු නර්තන චලනයක් පුහුණු වෙමින් සිටියේ ය. නර්තනයන් යනු කුමක්දැයි අපට වෙනත් කිසිදු මූලාශ්‍රයක් නොතිබූ අතර, අපි බ්‍රිට්නිගේ වීඩියෝව සොයාගත් [අපි] විට පුදුම වීමු. ඔහු මට සතියක කාලයකට වීඩියෝව ලබා දුන් අතර, අප නැවත හමුවූ විට එය [නර්තනය] හොඳින් ම කළේ කවුදැයි සංසන්දනය කළෙමු. එය ඉතා ම විහිළුසහගත වූ අතර අපි එයින් විශාල විනෝදයක් ලැබුවෙමු.
මා හට බටහිර අධ්‍යාපනයක් අවශ්‍ය බව මා ආශ්‍රමයට ඒත්තු ගැන්වූයේ එම වයසේ පසුවෙද්දී ය.
මම ඔවුන්ට මෙසේ පැවසුවෙමි: "මම බටහිර ජාතිකයෙක් වෙලා ඉපදුණු එකට හේතුවක් තියෙන්න ඕනෑ. මම අනුමාන කරනවා ලාමා යේශේට අවශ්‍ය වුණා කියලා බටහිර ජාතිකයන් එක්ක ගැඹුරින් සම්බන්ධ වෙන්න සහ බටහිර මනෝවිද්‍යාව සහ ඔවුන්ගේ ජීවන රටාව තේරුම් ගන්න."
ඒ අනුව, මා ස්පාඤ්ඤයට ගොස් සාමාන්‍ය ළමුන් සමග ද්විතියික පාසලක අධ්‍යපනය ලබමින් මගේ පවුල සමග සිටිය යුතු බවට මම ඔවුන් සමග කතිකා කර ගත්තෙමි. මා කාවුරුන් දැයි කිසිවෙකුටත් සොයාගත නොහැකි වන ලෙස මගේ නම නිකලස් ලෙස මම වෙනස් කර ගත්තෙමි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සංස්කෘතික කම්පනය විශාල විය. පාසලේදී මා කම්පනයට පත් කළ පළමු දෙය වූයේ වැඩිහිටියන්ට දක්වන අඩු සැලකිල්ල යි. ටිබෙට් සංස්කෘතියේ දෙමව්පියන් සහ ගුරුවරුන් පූජනීය විය. දෙමව්පියන් අපට ජීවිතය දෙන අතර, ගුරුවරු අපට නුවණ ලබා දෙති. යමක් ලියූ කඩදාසි කැබැල්ලක් පවා පූජනීය වූයේ එය අපට ඉගෙන ගත හැකි යමක් සන්නිවේදනය කරන බැවිනි.
සමාජයීය වශයෙන් ද එය විශාල වශයෙන් ගැලපිණි. පාසලේ ගෙවුණු පළමු සති තුනේදී මම සෑම දිනක ම සමච්චලයට ලක් වූයෙමි. නමුත්, මා ඒ ගැන තැකීමක් නොකළෙමි. සැබැවින් ම මා විසින් අනෙක් ළමුන්ව සතුටට පත් කරනු ලබන බව සිතා සතුටු වූයෙමි. සමච්චලයට ලක් කිරීම යනු කුමක් දැයි මට අදහසක් තිබුණේ නැත. මානව සම්බන්ධතා ලැබීම නිසා මම සතුටට පත් වී සිටියෙමි.
නමුත් හදිසියේ ම, මා රඟපාන්නේ නැති බවත්, මා අව්‍යාජ බවත් ඔවුන් තේරුම් ගත් නිසා අනෙක් ළමයි මට බෙහෙවින් ආදරය කිරීමට පටන් ගත්හ. ඒ අතින් මා පිවිතුරු හා අහිංසක වූයෙමි.
එම මාස දෙක තුළ මම බොහෝ දේ පළමු වරට අත්හදා බැලුවෙමි.
මගේ පළමු දැනගැනීම්වලින් එකක් වූයේ යතුරු පැදිය යි. මා හට එය පූර්ණ නිදහසක් විය. මුළු දිවයින පුරා තනිව මට කැමති තැනක යාමට මට හැකි විය.
මම පළමු වරට ගැහැනු ළමයෙකු සිපගත් අතර එය අපූරු දෙයක් විය. ඇය මිතුරියක වූ අතර, එය සිදුවන විට මම සති දෙකක් තිස්සේ පාරාදීසයක පාවෙමින් සිටියෙමි. මම බෙහෙවින් සතුටට පත් ව සිටියෙමි.
හැරවුම් ලක්ෂයක්
මාගේ පවුලේ සාමාජිකයින් සමග ස්පාඤ්ඤයේ කාලය ගත කිරීම මගින් මා වටහා ගත්තේ, මාගේ ආශ්‍රමික අධ්‍යාපනය නිසා මා තරමක් මා ගැන ම සිතන සහ ආත්මාර්ථකාමී බවට පත්ව ඇති බව ය.
මගේ සැබෑ ස්වරූපය හඳුනාගැනීමටත්, අනෙකුන් සමග සම්බන්ධ වීමට ඉගෙන ගැනීමටත් අවශ්‍ය බව මම වටහා ගත්තෙමි.
එබැවින්, මම ඉබීසා සිට ආපසු පැමිණි පසු ආශ්‍රමයේ දිගට ම රැඳී නොසිටින බව තීරණය කළෙමි. මම මට ම මෙසේ කියා ගත්තෙමි: "මට වයස 18 වුණා ම කාටවත් මාව නවත්වන්න බෑ. මම නිදහස් වෙනවා."
මගේ 18 වන උපන් දිනය වෙනුවෙන් මා ස්පාඤ්ඤයට යා යුතු බව ඔවුන් සමග සාකච්ඡා කළ අතර, ඔවුහු එය අනුමත කළ හ.
මට වයස අවුරුදු 18 සම්පූර්ණ වී නීත්‍යනුකූලව වැඩිහිටියෙකු වූ පසු මම නැවත නොපැමිණෙන බව ඔවුන්ට පැවසුවෙමි.
ඔවුහු කළකිරීමට පත් වූහ. ඉන්පසු වසරක් ගත වන තෙක් ආපසු පැමිණෙන ලෙස මා හට බලකරමින් ලිපි රාශියක් ලැබිණි.
ඒ සමග ගනුදෙනු කිරීම තරමක් අමාරු වූයේ, මා හට මිනිසුන් සතුටින් තැබීම අවශ්‍ය වූ නිසා ය. නමුත් සම්පූර්ණ ක්‍රියාවලියේ ම කොටසක් ලෙස මා වටහා ගත්තේ අනෙක් මිනිසුන්ගේ සතුට මගේ වගකීමක් නොවන බව ය.
ඒ නිසා, මම මට ම කියා ගත්තෙමි: "මගේ ජීවිතය කියන්නේ මගේ ජීවිතය. මම මගේ ජීවිතයේ ජීවත් වෙන්න ඕනෑ වගේ ම ඒක මගේ අයිතිය."
රැඩිකල් වෙනසක්
ආශ්‍රමයෙන් පිටවීමෙන් පසු එය මහත් කම්පනයක් විය. මා ලෝකය ගැන කිසිවක් දැන සිටියේ නැත.
මා ඊට පෙර නිරුවත් ගැහැනියක දැක තිබුණේ නැත. එනිසා ඉබීසාහි මගේ පළමු දින කිහිපයේදී මගේ මව සිතුවේ මා නිරුවතින් සිටින වෙරළකට (nudist beach) ගෙන යාම සතුටක් වනු ඇති බව ය.
ඇය එහි මා පැය භාගයක් තැබුවා ය. මා සම්පූර්ණයෙන් ම කම්පනයට පත් වී කරන්නේ කුමක් දැයි නොදැන සිටියෙමි. මට නිරුවතින් සිටීම කළ නොහැකි දෙයක් වූ අතර, මා පැමිණ සිටියේ, වැසුණු මනසක් සහිත සංස්කෘතියක සිට ය. මා බැලිය යුත්තේ කොහේ දැයි නොදැන සිටි අතර, පොළොව දෙස පමණක් බලා සිටියෙමි. ඇය මා යළි රැගෙන යන විට මම ඉතා අසීරුවට පත්ව සිටියෙමි.
ඉන්පසුව එදින රාත්‍රියේ ඇය මා ඉබීසාහි සමාජ ශාලාවකට රැගෙන ගියා ය. ඇය මගේ ප්‍රවේශ ගාස්තුව ගෙවා මට තනිව ඇතුළට යාමට ඉඩ හැරියා ය.
එය ශබ්දයෙන් පිරී තුබූ අතර, මට එහාමෙහා යාමටවත් නොහැකි වූයේ, එය සම්පූර්ණයෙන් ම පිරීගොස් තිබූ නිසා ය. ඒ, 2003 වසර වූ අතර, මිනිස්සු ඒ තුළ දුම් පානය කරමින් සිටිය හ. මට හුස්ම ගැනීම අපහසු විය.
මානසික ආතතිය අඩු කර ගැනීම සඳහා මා මත්පැන් උගුරක් පානය කළ අතර, ඉන් මා මරණයට ආසන්න වූවාක් මෙන් දැනිණි. එය අපායක් මෙන් විය.
අවසානයේදී නිවසට පැමිණි පසු, නිරුවත් වෙරළකට හෝ සමාජ ශාලාවකට යළි මා රැගෙන නොයන ලෙස මවට පැවසුවෙමි.

ඡායාරූප මූලාශ්‍රය, Wikimedia Commons
නමුත්, සෙමින් සෙමින් ජීවන රටාවට හුරුවීමට පටන් ගත්තෙමි. මඳ කලකට පසු, මා වැඩි වශයෙන් සාදවලට සහභාගි වීම ආරම්භ කළ අතර, අවසානයේ රේව් නමැති නර්තන සාද සංවිධායකයන් පිරිසක් සමග සම්බන්ධ වී ඉබීසාහි ට්‍රාන්ස් රේව් නර්තන ප්‍රසංග සංවිධානය කිරීමට පටන් ගත්තෙමි. මම තරමක් අකීකරු, "නරක පිරිමි ළමයෙකු" බවට පත් විය.
එම කාලය අතරතුරත් මා හට බෞද්ධ සාමාජය සමග සම්බන්ධතා තිබූ නමුත් මා ඒවායින් ඈත්ව සිටීමට උත්සාහ කළේ මාහට මාගේ ම මාර්ගයක් සොයා ගැනීමට අවශ්‍ය වූ නිසා ය. මට මගේ ම පෞරුෂත්වයක් සොයා ගැනීමට අවශ්‍ය වූයේ මට පෞරුෂත්වයක් නැතැයි දැනුණු බැවිනි. මම මා යනු කවුදැයි දැන නොසිටියෙමි.
අවසානයේදී මා චිත්‍රපට අධ්‍යයනය සඳහා කැනඩාවට ගිය අතර, පසුව මම මැඩ්‍රිඩ්හි චිත්‍රපට නිර්මාණය කිරීම පිළිබඳව උපාධියක් ලබා ගත්තෙමි. එයින්, ඊළඟ වසර 10ට පසු මම බොහෝ වික්‍රමාන්විතයන් කළෙමි. සංචාරවල නිරත වෙමින්, බොහෝ මිනිසුන් මුණ ගැසී බොහෝ උමතු දේවල් කළෙමි. මම එක් කාලයක පාරවල්වල පවා ජීවත් වූයෙමි.
මිනිසුන් සෑම විට ම මාහට කරුණාවන්ත වූ නිසා මම වාසනාවන්ත වූයෙමි. නමුත් මා විසින් මාව ම ඇතැම් අවදානම්සහගත අවස්ථාවලට ඇද දමා තිබේ.
මා ආදරය කිරීමට පටන් ගත් අතර, අවසානයේදී වයස 32 දී පියෙකු බවට පත් වූයෙමි. පියෙකු වීමට මම කැමැත්තෙන් සිටියෙමි. මට තිබූ දේවල්වලට වඩා හොඳ සහ වෙනස් දේ මගේ පුතාට ලබා දීම මට වැදගත් විය. ඒ, ඔහු සමග හොඳ සම්බන්ධතාවක් පවත්වා ගැනීමට ය.
වාසනාවකට මගේ පුතා ප්‍රීතිමත්, හොඳින් අනුවර්තනය විය හැකි තරුණ පිරිමි ළමයෙකු විය.
වසර ගණනාවක් පුරා, මම ලාමා යේශේගේ පුනර්භවය බවට මම විශ්වාස නොකළෙමි. මට මා කවුදැයි සොයා ගැනීමට අවශ්‍ය වූ නිසා ඔහුගේ පොත් කියවීමෙන් හෝ ඔහුගේ ඉගැන්වීම් නැරඹීමෙන් වැළකී සිටියෙමි.
නමුත් අවසානයේදී මම ඔහුගේ ස්වයං චරිතාපදානය කියවා කල්පනා කර බලන විට මා දැඩි කම්පනයට පත් වූයේ, මා ඔහු පිළිබඳව බොහෝ දේ හඳුනාගත් හෙයිනි.
වසර ගණනාවක සැකයකින් පසු, අද මම විශ්වාස කරන්නේ අප අතර අඛණ්ඩ චින්තන ධාරාවක් ඇති බව ය.
දැන් මම මට ම ඉගැන්වීමට පටන්ගෙන ඇත්තෙමි. මම ලොව පුරා ධර්ම මධ්‍යස්ථානවල කතා කරන අතර, විවේකාශ්‍රම පවත්වමි. නමුත් මෙවර එය මාගේ ම කොන්දේසිවලට අනුව, මගේ අයිතීන්ට අනුව මා කවුදැයි දැනගෙන සිදුකරමි.
මෙම ලිපිය BBC ලෝක සේවා ගුවන් විදුලි වැඩසටහනක් මත පදනම්ව සකස් කරන ලද්දකි. ඔබට එය ඉංග්‍රීසි බසින් BBC Sound තුළින් සවන් දිය හැකි ය.














