තිස් වසරක් පුරා සිය වතාවක් උතුරු කොරියාවට වැඩම කළ පෙයෝප්තා හිමි දුටු උතුරු කොරියානු බුදු දහම

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA
- Author, රිචඩ් කිම්
- Role, බීබීසී කොරියානු සේවය
උතුරු කොරියාවේ බෞද්ධ විහාරස්ථාන පිහිටා තිබේ ද සහ එරට භික්ෂූන් වහන්සේලා වාසය කරනවා ද? සත්‍ය වශයෙන් ම උතුරු කොරියානු විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලා දැක ඇති බවක් උතුරු කොරියානු වැසියන්ගෙන් බොහෝ දෙනෙක් නොපවසති.
රට තුළ ආගමික නිදහස සහතික කර ඇති බවට උතුරු කොරියානු රජය ප්‍රකාශ කළ ද යථාර්ථය දෙස බැලීමේදී ආගමික පිළිවෙත්වල නිරත වීම රාජ්‍යය විසින් මර්දනය කරනු ලැබේ. එසේ වුව ද, ක්‍රිස්තියානි හෝ කතෝලික වැනි අනෙකුත් ආගම් හා සසඳන විට උතුරු කොරියාව බුදු දහම සම්බන්ධයෙන් සාපේක්ෂව විවෘත ආකල්පයක් දරයි.
උතුරු සහ දකුණු කොරියානු බෞද්ධ ප්‍රජාවන් අතර සංවාදයක් ගොඩනැගීම සඳහා පසුගිය වසර 30 තුළ උතුරු කොරියාවට 100 වතාවක් පමණ වැඩම කළ අතිපූජනීය බෞද්ධ භික්ෂුවක වන පෙයෝප්තා හිමි මෙසේ පැවසූහ; "උතුරු කොරියාවේ දැනට පන්සල් 60ක් සහ භික්ෂූන් වහන්සේලා 300ක් පමණ වාසය කරනවා."
"ඒ භික්ෂූන් වහන්සේලා අතරින් උතුරු කොරියානු භික්ෂූන් වහන්සේලා 30 දෙනෙකු පමණ මට පෞද්ගලිකව මුණගැසී තිබෙනවා," යැයි උන්වහන්සේ තවදුරටත් පැවසූහ.

කොරියාවේ චෝග්‍ය නිකායේ ජ්‍යෙෂ්ඨ භික්ෂුවක වන පෙයෝප්තා හිමි උතුරු කොරියානු බුදු දහම පිළිබඳ විශේෂඥයෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර, 1989 වසරේදී උතුරු සහ දකුණු කොරියාව ලෙස බෙදීමෙන් පසු උතුරු කොරියාවට වැඩම කළ ප්‍රථම භික්ෂුව බවට පත් විය.
උන්වහන්සේ දෙවරක් උතුරු කොරියානු නායක කිම් ඉල්-සුන් හමුවූහ. එතැන් සිට, උන්වහන්සේ උතුරු කොරියානු බෞද්ධ ප්‍රජාව සමග අන්තර් සබඳතා ගොඩනගා ගැනීම සඳහා පසුගිය වසර 30 පුරාවට කිහිප වතාවක් ම එරට ප්‍යොංයැංහි, කේසොං, ගෙයුම්ගංසං කඳු වැටිය සහ ම්යෝහ්යැංසං කඳු වැටියේ පිහිටා ඇති විහාරස්ථාන වෙත වැඩම කළහ.
පෙයෝප්තා හිමි වැඩ වාසය කරන සෝල්හි සෙයොන්බුක්-ගූහි පිහිටා ඇති විහාරස්ථානයේ උන්වහන්සේ උතුරු කොරියානු විහාරස්ථාන වෙත වැඩම කළ අවස්ථාවලදී ලබා ගත් ඡායාරූප දහස් ගණනක එකතුවක් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA
පෙයෝප්තා හිමි මෙසේ පැවසූහ; "උතුරු සහ දකුණු කොරියාව නිදහසට පෙර එක්ව සිටි අවධියේ උතුරු කොරියාවේ පන්සල් 540ක් පමණ තිබුණා, භික්ෂූන් 1,600ක් පමණ සහ ඇදහිලිවන්තයන් 380,000ක් පමණ සිටියා. කෙසේ වෙතත්, කොරියානු යුද්ධයෙන් පස්සේ නගරයේ තිබුණු විහාරස්ථාන සියල්ල ම පාහේ අතුරුදහන් වුණා. උතුරු කොරියාව හ්වංහේ පළාතේ සැරිවොන්හි සොංබුල්සා විහාරය සහ ම්යෝහ්යැං කන්දේ තිබුණු බෝයොන්සා විහාරය නැවත ගොඩනැගුවා."
විවාහ වී සිටින සහ දිගු කෙස් ඇති උතුරු කොරියානු භික්ෂූන් වහන්සේලා

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
පූජ්‍ය පෙයෝප්තා හිමි තව දුරටත් මෙසේ පැහැදිලි කළහ; "උතුරු කොරියානු භික්ෂූන් වහන්සේලා දකුණු කොරියාවේ සාම්ප්‍රදායික චෝග්‍ය නිකායේ (Jogye Order) භික්ෂූන් වහන්සේලාට වඩා ටිකක් වෙනස්. උතුරු කොරියානු භික්ෂූන් වහන්සේලා අතීතයේ සිට සම්ප්‍රදායික භික්ෂූන් වහන්සේලා කොට්ඨාසයක්. දකුණු කොරියානු චෝග්‍ය නිකායේ භික්ෂූන් වහන්සේලා වැඩි වශයෙන් නව්‍යකරණයක් ලක් වුණු භික්ෂූන් වහන්සේලා පිරිසක්. උතුරු කොරියානු භික්ෂූන් වහන්සේලාගේ සංඛ්‍යාව ඉතා අඩු නිසා උන්වහන්සේලා පැරණි ආකාරයෙන් ම තමයි ඉන්නේ."
උතුරු හා දකුණු කොරියානු බුදු දහම අතර ඇති ප්‍රධානතම වෙනස වන්නේ, දකුණු කොරියානු චෝග්‍ය නිකායට අයත් භික්ෂූන් වහන්සේලා හිස මුඩු කරන විට බොහෝ උතුරු කොරියානු භික්ෂූන් වහන්සේලා හිස මුඩු නොකිරීම ය.
උතුරු කොරියාවේ සහ දකුණු කොරියාවේ භික්ෂූන් වහන්සේලා භාවිත කරන වස්ත්‍රවල ද වෙනස්කම් පවතී. පෙයෝප්තා හිමි පැවසුවේ, "කොරියානු භික්ෂූන් වහන්සේලා තැඹිලි පාට අඳිනවා, නමුත් උතුරු කොරියානු භික්ෂූන් වහන්සේලා සම්ප්‍රදායික රතු වස්ත්‍ර අඳිනවා," යනුවෙනි. සත්‍ය වශයෙන් ම, බෝයොන්සා විහාරස්ථානයේදී පෙයෝප්තා හිමියන් විසින් ගන්නා ලද ඡායාරූපවල, දිගු කෙස් සහිත උතුරු කොරියානු භික්ෂූන් වහන්සේලා පැළඳ සිටියේ රතු පැහැති සිවුරකි.
මොක්ටැක් (moktak) නමැති වාද්‍ය භාණ්ඩය වාදනය කරන උතුරු කොරියානු භික්ෂුවක්

ඡායාරූප මූලාශ්‍රය, PROVIDED BY BEOPTASNIM
උතුරු කොරියාවේ විහාරස්ථාන සහ භික්ෂූන් වහන්සේලා කළමනාකරණය කරනු ලබන්නේ ජොසොන් බෞද්ධ සම්මේලනය විසිනි. ජොසොන් බෞද්ධ සම්මේලනය යනු, 1946 දෙසැම්බර් 26 දින පිහිටුවන ලද උතුරු කොරියානු බෞද්ධ සංවිධානයක් වන අතර එය දකුණු කොරියානු විරෝධී සංවිධානයක් වන ජන්ම භූමිය එක්සත් කිරීම සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (Democratic Front for the Fatherland Unification) විසින් කළමනාකරණය කරනු ලබන බව පැවසේ.
එබැවින්, උතුරු සහ දකුණු කොරියාව අතර බෞද්ධ ආගමික හුවමාරුව සඳහා කවුළුවක් ලෙස කටයුතු කරන ජොසොන් බෞද්ධ සම්මේලනයට උතුරු කොරියාවේ ප්‍රතිරූපය බාහිරව ප්‍රවර්ධනය කිරීමේ අරමුණක් ඇති බව පෙනේ.

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA
ජොසොන් බෞද්ධ සම්මේලනය විසින් ප්‍රථම වරට බුදුන් වහන්සේගේ උපත සමරමින් බෞද්ධ ආගමික උත්සවයක් 1988 වසරේ මැයි මාසයේදී ම්යෝහ්යැං කඳුවැටියේ බෝයොන්සා විහාරස්ථානයේදී පවත්වන ලදී. එතැන් සිට, එය රට පුරා ඇති ප්‍රධාන විහාරස්ථානවල බුදුන් වහන්සේගේ උපත සිහිපත් කරමින් බෞද්ධ ආගමික කටයුතු සංවිධානය කර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA
2000 ගණන්වල මුල් භාගය වන තෙක්, දකුණු සහ උතුරු කොරියාවේ බෞද්ධ කවයන් අතර හුවමාරු සහ සහයෝගීතා ව්‍යාපෘති ක්‍රියාකාරීව සිදු කෙරිණි. කොරියාවේ චෝග්‍ය නිකායට අයත් භික්ෂූන් වහන්සේලා විසින් උතුරු කොරියාවේ ගෙයුම්ගං කඳු වැටියේ පිහිටි සිංයේසා විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කිරීම සහ චන්ටේ නිකාය මගින් ගේසොංහි යොන්ග්ටොංසා විහාරය ප්‍රතිසංස්කරණය කිරීම ඒවාට උදාහරණ වේ.

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA
'උතුරු කොරියාවේ භික්ෂුණීන් වහන්සේලා නොමැත'
පෙයෝප්තා හිමියන් පැවසුවේ, "උතුරු කොරියාවේ ඉන්න සෑම භික්ෂුවක් ම විවාහ වෙලා ඉන්නේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හිසකෙස් වවලා සාමාන්‍ය පිරිමි පුද්ගලයින් අඳින ඇඳුම් අඳිනවා." උන් වහන්සේ තවදුරටත් මෙසේ පැවසූහ; "භික්ෂූන් වහන්සේලා හිස මුඩු කළ යුතු යැයි මම උතුරු කොරියාවට කිහිප වතාවක් ම යෝජනා කළා. ඒකෙන් අවසානයේ උතුරු කොරියාවේ සමහර භික්ෂූන් වහන්සේලා ඒ දේ අනුගමනය කරන්න හේතුවක් වුණා. ඊට පස්සේ මම උතුරු කොරියාවේ භික්ෂූන් වහන්සේලාට සිවුරු කට්ටල 200ක් ලබා දුන්නා."
උතුරු කොරියාවේ විහාරස්ථාන සහ භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කළ ද, දකුණු කොරියාවත් සමග සංසන්දය කිරීමේදී ඇති වැදගත් ම වෙනස වන්නේ භික්ෂුණීන් වහන්සේලා නොමැති වීම බව පෙයෝප්තා හිමි අවධාරණය කළහ.
"මම උතුරු කොරියාවේ බෞද්ධ විහාරස්ථානවලට ගිහින් තියෙනවා. නමුත් මම කිසි දවසක බෞද්ධ භික්ෂුණියක් දැකලා නැහැ. උතුරු කොරියාවේ බුදු දහමේ ආගමික මානයකට වඩා දේශපාලනික පැතිකඩක් ඇති නිසා එහි කාන්තාවකට පැවිදි වීමට අවස්ථාවක් තිබුණේ නැහැ කියලා මම හිතනවා."

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA
ඇතැමෙකු පෙන්වා දෙන්නේ, "උතුරු කොරියාව ප්‍රායෝගිකව ආගමික නිදහසට ඉඩ නොදෙන බැවින් උතුරු කොරියාවේ සියලු ම භික්ෂූන් වහන්සේලා කම්කරු පක්ෂයේ සාමාජිකයන් වන අතර පූජකයන් ලෙස තම රාජකාරිය ඉටු කරන භික්ෂූන් වහන්සේලා සිටින්නේ ඉතා ස්වල්පයක්" බව ය.
සත්‍ය වශයෙන් ම, දකුණු කොරියානු රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද උතුරු කොරියානු මානව හිමිකම් පිළිබඳ ධවල පත්‍රිකාවට අනුව, බොහෝ උතුරු කොරියානු වැසියන් ප්‍රතිචාර දැක්වූයේ, "පන්සලේ සැබෑ භික්ෂූන් වහන්සේලා නැහැ, පන්සල හුදෙක් ඓතිහාසික ස්ථානයක් ලෙස පවතින්නේ," යනුවෙනි.
උතුරු කොරියාවෙන් පළා ගිය අයෙකු මෙම ධවල පත්‍රිකාවේ පවසා තිබුණේ, "උතුරු කොරියාවේ සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගන්නවාට වඩා ආගමික නිදහසක් ඇති බව බාහිර ලෝකයට පෙන්වීමට උතුරු කොරියානු වාර්ෂික බෞද්ධ උත්සවවලදී පවත්වනු ලබන ආගමික කටයුතු ප්‍රධාන වශයෙන් යොදා ගන්නවා."

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA
මෙයට ප්‍රතිචාර දක්වමින් පෙයෝප්තා හිමි මෙසේ පැවසූහ; "සම්ප්‍රදායික භික්ෂුවකට වඩා උතුරු කොරියානු භික්ෂූන් වහන්සේලාට පැවරෙන කාර්යභාරය අඩුයි.
විහාරස්ථාන සංස්කෘතික සම්පතක් වන නිසා විහාරස්ථානය ආරක්ෂා කිරීමේ කාර්යභාරය භික්ෂූන් වහන්සේලා විසින් ඉටු කරනු ලබන අතර ම පවුල් පන්සල් වෙලා ඉන්න භික්ෂූන් වහන්සේලා විහාරස්ථානයේ ඉඳලා වැඩ රාජකාරිවලට යනවා. ඒ අය සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නේ."
උන්වහන්සේ තවදුරටත් මෙසේ පැවසූහ; "මම වරක් බුදුන්ගේ උපත සිද්ධ වුණු දවසේ උතුරු කොරියාවේ ම්යෝහ්යැං කන්දේ තියෙන බෝයොන්සා විහාරස්ථානයට වැඩම කළා. එතන සිද්ධ වුණ මූලික සැමරුම් උත්සවයට අමතරව, ගම්වාසීන් ද විහාරස්ථානයට ඇවිල්ලා මේ උත්සවයට සම්බන්ධ වුණා."
උතුරු කොරියාවට සහය දෙන්න - නූඩ්ල්ස් කර්මාන්ත ශාලාව නැවත විවෘත කිරීම

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA

ඡායාරූප මූලාශ්‍රය, MONK BEOPTA
1992 වසරේදී, පූජ්‍ය පෙයෝප්තා හිමි විසින් ජන්ම භූමිය සාමකාමී ලෙස එක්සත් කිරීම සඳහා වන බෞද්ධ සංගමය (Buddhist Association for the Peaceful Unification of the Fatherland) ආරම්භ කරන ලද අතර 'සහල් යනු එක්සත් කිරීම' යන තේමාව යටතේ උතුරු කොරියාව සඳහා සහය වීමේ ව්‍යාපෘති ආරම්භ කළහ.
මීට අමතරව, උන්වහන්සේ 1997 වසරේදී උතුරු කොරියාවේ හ්වංහේ පළාතේ දකුණු ප්‍රදේශයේ 'ගෙයුම්ගං නූඩ්ල්ස්' කර්මාන්ත ශාලාව සහ 2006 වසරේදී ප්‍යොංයැංහි 'ගෙයුම්ගං පාන්' කර්මාන්ත ශාලාව පිහිටුවීමෙන් ප්‍රදේශවාසීන්ට උපකාර කළහ.
උන්වහන්සේ මෙසේ පැවසූහ; "1998 ඉඳලා, අපි දකුණු කොරියාවේ ඉන්චොන් වරායේ සිට උතුරු කොරියාවේ නම්පෝ වරායට සෑම මසක ම පිටි ටොන් 60ක් යැව්වා. ඒක දිනකට පුද්ගලයින් 7,000ක් පමණ පෝෂණය කිරීමට ප්‍රමාණවත්."
කෙසේ වෙතත්, 2010 වසරේදී දකුණු කොරියානු රජය උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවූ දා සිට පූජ්‍ය පෙයෝප්තා හිමියන්ට උතුරු කොරියාවට වැඩම කිරීමට නොහැකි වී තිබේ. උන්වහන්සේ ප්‍රකාශ කළේ, "අනාගතයේදී අන්තර් කොරියානු සබඳතා යථා තත්ත්වයට පත් වුවහොත් සහ පෞද්ගලික හුවමාරු යම් දුරකට සක්‍රීය වුවහොත්, උතුරු කොරියාවේ බුදු දහම යළි ගොඩනැගීම සඳහා මට කළ හැකි සෑම දෙයක් ම කරන්න මම සැලසුම් කරනවා," යනුවෙනි. තව ද "උතුරු කොරියාවේ සුප්‍රසිද්ධ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කරන්න මම වෙහෙස මහන්සි වෙලා වැඩ කරනවා," යනුවෙන් ද උන්වහන්සේ පැවසූහ.
විශේෂයෙන් ම උන්වහන්සේ අවධාරණය කළේ, "දකුණු සහ උතුරු කොරියාව යුද්ධමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් දරුණු ගැටුමකට සම්බන්ධ වෙන්න ඕන නැහැ," යනුවෙනි. "උතුරු කොරියාවේ ඉන්න අපේ සහෝදර වැසියන් කුසගින්නෙන් පෙළෙන නිසා, අනාගතයේදී ගෙයුම්ගං නූඩ්ල්ස් කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීම වගේ ආහාර ආධාරක ව්‍යාපෘති නැවත ආරම්භ කරන දිනයක් එනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා," යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.

1965 වසරේදී සොංනිසන් කඳුකරයේ බෙයෝප්ජුසා විහාරස්ථානයේදී පැවිදි දිවියට එළඹුණු පෙයෝප්තා හිමි දකුණු කොරියාවේ ඩොංගුක් විශ්වවිද්‍යාලයේ ඉන්දියානු දර්ශන අධ්‍යයනාංශයෙන් සිය ප්‍රථම උපාධිය සහ ශාස්ත්‍රපති උපාධි ලබා ගත්තේ ය. පසුව, උන්වහන්සේ 1996 වසරේදී එක්සත් ජනපදයේ ක්ලේටන් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත්හ.
උන්වහන්සේ වියට්නාම් යුද්ධයට ද සම්බන්ධ වූ අතර සුදු තුරඟ බළකාය (White Horse Army) ආරම්භ කිරීම ඇතුළුව සෑම ප්‍රාන්තයක ම දළ වශයෙන් බෞද්ධ විහාරස්ථාන 10ක් පමණ ස්ථාපනය කළහ.
පැවිදි ජීවිතය පුරාවට ම උන්වහන්සේ චෝග්‍ය නිකායේ පොදු කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, යුනේ විහාරස්ථානයේ විහාරාධිපති සහ ඩොංගුක් විශ්වවිද්‍යාලයේ ජෝන්ග්ගක් මධ්‍යස්ථානයේ (Jeonggak Center) අධ්‍යක්ෂ ලෙස සේවය කිරීම ඇතුළු වැදගත් තනතුරු කිහිපයක් දැරූහ. උන්වහන්සේ චෝග්‍ය නිකායේ වැඩිහිටි භික්ෂු කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ද සේවය කළ අතර "අතිපූජ්‍ය" යන නාමයෙන් පිදුම් ලද හිමිනමක් ලෙස ගෞරවයට පාත්‍ර වෙයි.














