විනය කඩන භික්ෂූන්:'මහ නාහිමිවරුන් නිසි පියවර ගන්නා බවක් පේන්නේ නෑ'

මාගල්කන්දේ සුදත්ත හිමි , පල්ලේගම සුමන හිමි

ඡායාරූප මූලාශ්‍රය, Ranjan Ramanayake|Facebook

භික්ෂූන් ඇතුළු පූජ්‍ය පක්ෂයේ විනය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලාංකික සමාජය තුළ දැඩි අවධානයක් යොමු වී තිබේ.

ඊට හේතු වූයේ, මාගල්කන්දේ සුදත්ත හිමි සම්බන්ධයෙන් ජපානයේදී ත්, පල්ලේගම සුමන හිමි සම්බන්ධයෙන් කඩුවෙල, බෝමිරියේදී ත් වාර්තා වූ සිද්ධීන් ය.

මෙම සිද්ධි සම්බන්ධයෙන් බෞද්ධ ධර්මය අනුව මහා සමාජය ලෙස සැලකෙන ගිහි සමාජයේ දැඩි කතාබහක් ඇති වුණ ද, භික්ෂු සමාජය තුළ වැඩි අවධානයක් යොමු වූ බවක් දක්නට නොලැබුණු බව සමාජ මාධ්‍යවල පළ වූ අදහස්වලින් පැහැදිලි වෙයි.

විශේෂයෙන්, විනය උල්ලංඝණය කරන භික්ෂූන් සම්බන්ධයෙන් ප්‍රධාන නිකායවල මහ නායක හිමිවරුන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ද ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

පල්ලේගම සුමන හිමි

පසුගිය දා පල්ලේගම සුමන හිමි කඩුවෙල, බෝමිරිය, වෑකේවත්ත ප්‍රදේශයේ සුමනාරාමය නම් පන්සලකදී කාන්තාවන් දෙදෙනෙකු සමග සිටියදී ගිහි පිරිසකගේ ග්‍රහණයට ලක්වී සිටි අයුරු ත් ගිහි පිරිස කාන්තාවන්ට සහ භික්ෂුවට පහර දෙන අයුරු ත් සමාජ මාධ්‍යවල පළ කර තිබූ වීඩියෝ දර්ශනවල දැක්විණි.

පල්ලේගම සුමන හිමි 'වනවාසී නිකායේ' හිමිනමක් බව ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන විහාරස්ථානයක විහාරාධිකාරී හිමියෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.

ඔහු අයත් නිකාය දැන ගැනීම සඳහා නිකායන් කිහිපයක ජ්‍යෙෂ්ඨ නාහිමිවරුන් ඇමතුව ද ඔවුන් පැවසුවේ, සුමන හිමියන් සිය නිකායට අයත් නොවන බව ය.

පල්ලේගම සුමන හිමියන් ගනේවත්ත පුරාණ විහාරයේ වසර 20ක් පමණ වැඩ වාසය කර ඇති අතර, විහාරාධිපති ධූරය සම්බන්ධයෙන් ඇති වූ විරසකයක් මත නඩු තීන්දුවක් අනුව විහාරයෙන් ඉවත්ව යාමට සිදුව තිබේ.

පසුව, සුමන හිමි වෑකේවත්ත ප්‍රදේශයේ ඉඩමක් මිල දී ගෙන ශ්‍රී සුමනාරාමය යනුවෙන් පන්සලක් ඉදිකර එහි වාසය කර තිබිණි.

මාගල්කන්දේ සුදත්ත හිමි

පසුගිය දා ජපානයේ සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දර්ශන පෙළක් සංසරණය වීම ත් සමග මාගල්කන්දේ සුදත්ත හිමියන් සම්බන්ධයෙන් ද දැඩි ආන්දෝලනයක් නිර්මාණය විය.

මාගල්කන්දේ සුදත්ත හිමි යනු, මරණ දඬුවමට නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දිය යුතු බවට සමාජ මතයක් නිර්මාණය කිරීම සඳහා ත්, රන්ජන් රාමනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට මතයක් ඇති කිරීම සඳහා ත් ප්‍රබල දායකත්වයක් දුන් භික්ෂුවකි.‍‍

ඔහු වරක් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, පන්සල් තුළ කුඩා දරුවන් අපයෝජනය වන බවට රන්ජන් රාමනායක කරන චෝදනා අසත්‍ය බව ය.

පහළගම සෝමරතන හිමි

පහළගම සෝමරතන හිමියන් ළමා ලිංගික අපයෝජකයෙකු ලෙස අධිකරණයෙන් වරදකරු වූ අයෙකු වන අතර ඒ හිමියන් දරුවන් සමග කටයුතු කිරීමට එරෙහිව 'ළමා හිංසනයට තිත' සංවිධානයේ සභාපතිනි වෛද්‍ය තුෂ් වික්‍රමනායක ජනාධිපතිවරයා වෙත පැමිණිල්ලක් යොමු කර තිබේ.

"ළමා ලිංගික අපයෝජකයෙකුගේ ආගමික වරප්‍රසාදවලට පෙර අනාගතයේ සැබෑ ප්‍රතිලාභීන් වන අපේ දරුවන් ආරක්ෂා කිරීම ඔබගේ මූලික වගකීම වේ," යනුවෙන් ඇය සඳහන් කර තිබේ.

Skip Facebook post
Facebook අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ Facebook විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Facebook කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බාහිර වෙබ් අඩවිවල අන්තර්ගතය සඳහා BBCය වගකියනු නොලැබේ.

End of Facebook post

සමන්ත භද්‍ර හිමි

සමන්ත භද්‍ර හිමියන්ගේ භික්ෂූත්වය පිළිබඳව ද සමාජය තුළ විරෝධයක් මතුව තිබේ.

බෞද්ධ දර්ශනය පිළිබඳ විද්වතුන් පෙන්වා දෙන්නේ, තමන්ට නොමැති රහත්භාවයක් ඇතැයි පැවසීම විනය පිටකය අනුව භික්ෂූත්වය අහිමි වන වරදක් බව ය.

සමන්ත භද්‍ර හිමි

ඡායාරූප මූලාශ්‍රය, Siri Samanthabhadra Arhat Maha Thero‍|Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, සමන්ත භද්‍ර හිමි

මහ නාහිමිවරුන්ගේ කාර්ය භාරය

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

විනය කඩ කරන භික්ෂූන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීම අදාළ නිකායයන්හි නාහිමිවරුන්ගේ වගකීමක් බව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

"බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා, ජ්‍යෙෂ්ඨයින් නිසි ලෙස වගකීම් ඉෂ්ට කරන්නේ නැතිව බලා සිටීම වැරදි යි කියලා," ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පැවසීය.

"ඒත්, ඔවුන් තමන්ගේ වගකීම ඉටු කරන බවක් පේන්නේ නෑ. දුශ්ශීල භික්ෂූන් ගැන පියවර ගත යුත්තේ මහ නාහිමිවරුන් තමයි. ඒක නිසි විදිහට වෙන්නෙ නැති නිසා තමයි මේ සියල්ල අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ."

මේ අතර, “සසුන වනසන හිමිවරුන්ට විනය පියවරක්වත් ගන්න බැරි අධිකරණ සංඝ නායක හිමිවරු පදවි අත්හළ යුතු,” බව වනවාසී රාහුල හිමියෝ කියති.

“අවසානයේදී සිදුවන්නේ භික්ෂුවකට අඩු ම තරමේ බසයකවත් යාමට නොහැකි තත්වයක් උදාවීම යි. අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය පියවර නොගත් මහ නාහිමිවරුන් හා සංඝ නායක හිමිවරුන් ඊට සම්පූර්ණයෙන් ම වගකිව යුතු යි,” නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ වැඩිදුරට ත් පෙන්වා දෙති.

නිකායවල හිමිවරුන්ගේ අදහස්‍

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් බීබීසී සිංහල සේවයට පැවසුවේ, භික්ෂු සමාජය තුළ ඇති ගැටලු අවම කර ගැනීමට නම් සංඝ සභාවට වෙන්වූ වෙන ම "සංඝාධිකරණයක්" පිහිටුවිය යුතු බව ය.

"මහ නාහිමිවරුන්ට ත් කරන්න පුළුවන් එක ම දේ තමයි, තනතුරුවලින් නෙරපන එක. ඊට එහා දෙයක් ඒ නාහිමිවරුන්ට කරන්න බෑ. සංඝ සභාවේ ප්‍රශ්න විසඳන්න නම් රජය මැදිහත් වෙලා සංඝාධිකරණයක් පිහිටුවන්න ඕන. ඒ සංඝාධිකරණයේ සාමාජිකයින් සියලු නිකායයන් නියෝජනය කළ යුතු යි. එහෙම ක්‍රමයක් ඇති කළොත් විතර යි මේ අවාසනාවන්ත තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ."

“මිනිසුන් අතර, දේව, මනුෂ්‍ය, යක්ෂ, රාක්ෂ, ප්‍රේත ස්වභාවයන් දක්නට ලැබෙන අතර, ඇතැමුන් රාගී චේතනාවන් මත සිදු කරන වැරදි සම්බන්ධයෙන් යථාර්ථවාදීවව තේරුම් ගෙන කටයුතු කළ යුතු බව ත්,” මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි නාහිමියෝ පවසති.

“සංඝ සමාජය තුළ අතීතයේ පටන් මේ ආකාරයට කටයුතු කළ භික්ෂූන් වහන්සේලා සිටි අතර, බුදුන් වහන්සේට වරින් වර විනය නීති පැනවීමට සිදු වූයේ මේ හේතුවෙන්,” බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වේඬරුවේ උපාලි නාහිමියෝ පවසති.

මේ අතර, සියම් නිකායේ කල්‍යාණි පාර්ශවයේ මහ නාහිමි මල්වානේ පඤ්ඤාසාර හිමියන් පැවසුවේ, විනය කඩන භික්ෂූන් පිළිබඳව සංඝ සභාවේ අනුදැනුමකින් තොරව අදහසක් ප්‍රකාශ කළ නොහැකි බව ය.

විනය පිටකය

වල්පොළ රාහුල ආයතනයේ සභාපති හිමියන් වන පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමියන් බීබීසී සිංහල සේවයට පැවසුවේ, බුදුන් වහන්සේගේ කාලයේ පවා විනය විරෝධී ක්‍රියා සිදුවූ බව ත්, විනය පිටකය අනුදැන වදාළේ එහෙයින් බව ත් ය.

"ඒ කාලේ ත් කාමයේ හැසිරීම් ආදී විවිධ විනය කඩ කිරීම් සිදු වුණා‍. ඒ වැරදි සැලකිල්ලට අරගෙන තම යි, බුදුන් වහන්සේ වරින් වර විනය ශික්ෂා පද හඳුන්වා දුන්න විනය ශික්ෂා පද ආරක්ෂා කරන්න භික්ෂූන් වහන්සේලාට හෘද සාක්ෂියක් පැවතිය යුතු යි."

විනය පිටකය අනුව මෛථුනය, අදින්නාදානය, මනුස්සවිග්ගහය, උත්තරීමනුස්සධම්මය යන සතර පාරාජිකාවන්ට හසු වන භික්ෂූන්ට සිවුරක් ඇඳ සිටීමට අයිතියක් නැතැයි බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතික අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පවසයි.

"කාමයේ හැසිරීම, තමන්ට නැති ඵලයන් ඇති බව කීම, සොරකම් කිරීම ආදී පාරාජිකාවන්ට හසුවූ භික්ෂූන් තවදුරට ත් භික්ෂූන් නොවන බව සමාජය වටහා ගත යුතු යි. ඇත්තට ම ගිහි සමාජයට විනය පිටකය ගැන නිසි අවබෝධයක් නෑ. විනය කඩ වන අවස්ථා 220ක් තියෙනවා. ඒවා ගැන ගිහියන් දැනුවත් විය යුතු යි.‍ එහෙම දැනුවත් වුණොත් ගිහියන්ට අවබෝධ කර ගන්න පුළුවන් වැඳුම් පිදුම් කළ යුත්තේ කාට ද? නොකළ යුත්තේ කාට ද? කියලා"

විනය පිටකයේ සතර පාරාජිකා මෙසේ නම් කර තිබේ.

"එහි උද්දානය මෙසේයි: මෙථුනය, අදින්නාදානය, මනුස්සවිග්ගහය, උත්තරිමනුස්සධම්මය යන පරිජි සතරකි. ඔවුහු නිසැකයෙන් ඡෙද්‍යවස්තූහු ය." (විනය පිටකය - පාරාජිකා කාණ්ඩය)

"තාල වර්ගයේ ගහක මුදුන කඩා දැමීමට සමාන යි"

විනය පිටකයේ සඳහන් පාරාජිකා සතරෙන් එකකට හෝ හසුවීම "තාල වර්ගයේ ගසක මුදුන කඩා දැමීමක් හා සමාන බව බුදුන් වහන්සේ දේශනා කර ඇතැයි," ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහ පෙන්වා දෙයි.

"තාල වර්ගයේ ගහක මුදුන කඩා දැම්මා ම ගහට වැඩීමක් නෑ. ඒ වගේ තමයි පාරාජිකාවන්ට හසු වීම. එවැනි භික්ෂුවකට ආයෙත් භික්ෂූත්වයක් නෑ."

"සමස්ත භික්ෂු සමාජය ම පුනරුත්ථාපනය කළ යුතු යි"

ශ්‍රී ලංකාවේ බෞද්ධ ශාසනය නිසි පරිදි පවත්වාගෙන යාමට නම් සමස්ත භික්ෂු සමාජය පුනරුත්ථාපනය කළ යුතු බව ත්, භික්ෂූත්වයට නොගැලපෙන හිමිවරුන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව ත් ආචාර්ය චන්ද්‍රාණි මුණසිංහගේ අදහස යි.

"සමහර භික්ෂූන් වහන්සේලාගේ ජීවන රටාව ගැන හිතුවා ම ගිහියන්ට වඩා උන් වහන්සේලා පරිබෝජකවාදී ජීවිත ගත කරනවා. අල්පේච්ඡතාව මූලික කර ගත් දර්ශනයක සාමාජිකයින් එහි හරය රැකගෙන ජීවත් වෙන්න ඕන. ඒ ගැන අවබෝධ කරගෙන තමයි ගිහියනුත් වැඩ කළ යුත්තේ."

"මේ තත්ත්වය පාලනය කර ගන්න නම් අශෝක රජතුමාගේ කාලේ වගේ කරන්න බැරි වුණ ත් සංඝ සභාව තුළ ධර්ම සංගායනාවක් පවත්වන්න ම වෙනවා."

භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත

මේ අතර, ඉදිරි මාස 2 ඇතුළත භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

"භික්ෂු කතිකාවත් පනත් කෙටුම්පත ඉදිරි මාස දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේ වෙනකොට අවසන් කෙටුම්පත මහ නාහිමිවරුන්ට ඉදිරිපත් කරලා තියෙනවා. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් තුමා ඒ ගැන කටයුතු කරමින් ඉන්නවා," කැබිනට් ප්‍රකාශකවරයා කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සඳහන් කළේ ය.

'මාරවිල කතෝලික මීසමක ළමා අපයෝජනයක්'

මේ අතර, හලාවත, මාරවිල ප්‍රදේශයේදී වසරක් තිස්සේ 15 හැවිරිදි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ කතෝලික පූජකවරයෙකු පිළිබඳ පුවතක් ද පුවත්පත්වල පළ වී තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන බව කතෝලික ජනමාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා බීබීසී සිංහල සේවයට පැවසීය.

පියතුමන් ප්‍රකාශ කළේ, එවැනි චෝදනාවක් එල්ල වුවහොත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට වැඩපිළිවෙළක් කතෝලික සභාව තුළ පවතින බව ය.

"මුලින් ම අගරදගුරු තුමාගේ මැදිහත් වීමෙන් කමිටුවක් පත් කරලා ඒක සත්‍යයක් ද කියලා හොයලා බලනවා. ඊට පස්සේ, වැරදිකරු වුණොත් අගරදගුරු තුමාගේ නිර්දේශය මත අවශ්‍ය දඬුවම් ක්‍රියාත්මක කරනවා."