මාගල්කන්දේ සුදත්ත හිමි:ඔබ දත්, නොදත් සහ දැනගත යුතු කරුණු

Magalkande Sudaththa

ඡායාරූප මූලාශ්‍රය, Magalkande Sudaththa Himi|Facebook

පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි මෙරට ප්‍රධාන ධාරාවේ මාධ්‍ය කිහිපයක් ඔස්සේ කරළියට පැමිණි භික්ෂුවකි.

ඒ හිමියන් මෑත කාලීනව දේශපාලනික කාරණා සම්බන්ධයෙන් මෙන් ම ඇතැම් පුද්ගලයින්ගේ පෞද්ගලික කාරණා සම්බන්ධයෙන් ද මාධ්‍ය හරහා යම් බලපෑමක් කිරීමට උත්සහ කළ අයෙකු බව සමාජයේ පිළිගැනීම යි.

කෙසේ වෙත ත්, පසුගිය දා ජපානයේ සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ දර්ශන පෙළක් සංසරණය වීම ත් සමග මේ වන විට දැඩි ආන්දෝලනයක් නිර්මාණය වී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාගල්කන්දේ සුදත්ත හිමි මෙතෙක් නිල ප්‍රතිචාරයක් දක්වා නැත.

කෙසේ වෙත ත්, ඒ හිමියන්ට පක්ෂ ඇතැම් පාර්ශව පවසන්නේ, මෙය උන් වහන්සේට "මඩ ගැසීම" සඳහා ක්‍රියාත්මක වූ සිද්ධියක් බව ය.

මාගල්කන්දේ සුදත්ත හිමි යනු කවුද?

සුදත්ත හිමි පිළිබඳ වැඩි තොරතුරක් සොයා ගැනීම අපහසු වුව ද, ඒ හිමියන් බේරුවල, මාගල්කන්ද ප්‍රදේශයේ උපත ලබා ඇති බව සඳහන් වෙයි.

එහිදී පැවිදි බිමට පිවිසි සුදත්ත හිමි, ග්‍රාමාරක්ෂක සේවයේ යෙදී සිට ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ‍

රියැදුරෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක්

මාගල්කන්දේ සුදත්ත හිමි පැවිදි වීමට පෙර රියැදුරෙකු ලෙස සේවය කළේ ය.

ඒ, විද්වත් සංඝ සභාවේ විධායක සභික පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන්ගේ රියැදුරා ලෙස ය.

පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් පැවසූ පරිදි 2008 - 2009 අතර කාලයේදී, වසරකට අඩු කාලයක් උන් වහන්සේගේ රියැදුරා ලෙස ඔහු සේවය කර තිබිණි.

ඊට පෙර ඔහු ශ්‍රී ලංකා පොලිසියේ සේවය කර ඇතැයි ද විමලසාර හිමියෝ පැවසූහ.

"උන් වහන්සේ මහණ වුණේ මගේ අනුදැනුමකින් නෙවෙයි. මගේ රියැදුරු රස්සාවෙන් අස් වෙලා ටික කාලයකට පස්සෙ මහණ වෙලා තිබුණා," පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ පැවසූහ.

ඔහුට පැවිදි වීමට බලපෑ කරුණු මොනවා ද යන්න පිළිබදව ද තමන්ට අවබෝධයක් නැතැයි පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියෝ ප්‍රකාශ කළහ.

ඔහු බේරුවල, මාගල්කන්ද ප්‍රදේශයේ උපත ලැබූවෙකි.

ඒ අනුව, ඔහු පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත නමින් පැවිදි බිමට පිවිස ඇත්තේ, බේරුවල, දෙණිය ප්‍රදේශයේ පිහිටි පරමරමණීයාරාම විහාරස්ථානයේදී ය.

මේ වන විට මාගල්කන්දේ සුදත්ත හිමියන් වැඩ වාසය කරන්නේ, දකුණු කළුතර, පන්නිල ප්‍රදේශයේ විහාරස්ථානයක බව දකුණු කළුතර පොලිසිය තහවුරු කළේ ය.

දේශපාලනික නැඹුරුව

මාගල්කන්දේ සුදත්ත හිමියන් වැඩි වශයෙන් කතාබහට ලක්වූයේ, මරණ දඬුවමට නියම වී සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දිය යුතු බවට සමාජ මතයක් නිර්මාණය කිරීම සඳහා දැක්වූ ප්‍රබල ක්‍රියාකාරීත්වය හේතුවෙනි.

උන් වහන්සේ සිංහල රාවය නමැති සංවිධානයේ මහ ලේකම් ලෙස කටයුතු කළ අතර, පසුව 2021 වසරේදී ඉන් ඉවත් කළ බව වාර්තා විය.

පසුව නව සිංහල රාවය නමින් වෙනත් සංවිධානයක් ආරම්භ කළේ ය.

දේශපාලනයට පිවිසි සිනමා නළු රන්ජන් රාමනායක අධිකරණයට අපහාසයක් කරන ලදැයි චෝදනා කරමින් ඔහු බන්ධනාගාරගත කිරීමේ ක්‍රියාවලියට ද දායක වෙමින් උන් වහන්සේ අධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කළහ.

අලියාගේ පොලු පහර

මේ අතර, මියන් කුමාර නමැති අලි පැටවෙකු මාගල්කන්දේ සුදත්ත හිමි දෙසට මුගුරකින් දමා ගසන ආකාරය දැක්වෙන වීඩියෝවකට ද මීට ටික කලකට පෙර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයක් යොමු විය.

මේ වන විට එම වීඩියෝව නැවත ත් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.

සුදත්ත හිමියන් 2019 වසරේ අප්‍රේල් මාසයේදී ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව නමැති සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින්, බුර්කාවක් ඇඳ පෙන්වීය.

ඡායාරූප මූලාශ්‍රය, Magalkande Sudaththa Himi‍|Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, සුදත්ත හිමියන් 2019 වසරේ අප්‍රේල් මාසයේදී ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව නමැති සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින්, බුර්කාවක් ඇඳ පෙන්වීය.

ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී බුර්කාවක් ඇඳීම

පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ බුර්කාව සම්බන්ධයෙන් ඇති වූ විරෝධයට ද මාගල්කන්දේ සුදත්ත හිමි ප්‍රබල දායකත්වයක් සැපයීය.

ඒ හිමියන් 2019 වසරේ අප්‍රේල් මාසයේදී ත්‍රස්ත විරෝධී ජාතික එකමුතුව නමැති සංවිධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක් වෙමින්, බුර්කාවක් ඇඳ පෙන්වීය.

"දැන් මං මේක දාගන්නවා ඔළුවට. මාව කවුද කියල දන්න හින්දා දන්නවා. දැන් මේ රෙද්ද අස්සෙ ඉන්නෙ ගෑනියෙක් ද පිරිමියෙක් ද කියල කියන්න පුළුවන් ද? එක්කො කොහෙට හරි ගියා ම රෙද්ද උස්සලා බලන්න ඕන. රෙද්ද උස්සලා බලන්න බයයි, ආරක්ෂක හමුදාව. මානව හිමිකම්වලට බයයි නේ. ඇයි මේ රෙද්දට බය දැන් ආණ්ඩුව? ආණ්ඩුව දැන් කරන්න ඕන මේක තහනම් කරන එක," යනුවෙන් එහිදී මාගල්කන්දේ සුදත්ත හිමි පැවසීය.