ලිංගික නැමියාව ලොවට හෙළි කිරීමට ජීවිත කාලයක් ගතවෙන්නේ ඇයි?

ඡායාරූප මූලාශ්‍රය, Emmanuel Lafont
සමලිංගික භීතිකාව මුලින්ම මා දිවියට පැමිණියේ මා දස හැවිරිදිව සිටිය දී ය. මගේ පවුල දින කීපයක් නැවතී සිටීම සඳහා වැඩිහිටි ඥාතීන් පිරිසකගේ නිවෙසකට පැමිණ සිටි අතර, මා සොයුරාත් මාත් රූපවාහිනියෙන් විකට ටෙලියක් නරඹමින් සිටි විට දී වැඩිහිටියන්ගේ කතාබහ අතීතයේ එම නිවෙසේ ලැගුම්ගෙන සිටි නේවාසිකයෙකු වෙත හැරෙන අයුරු මට ඇසුනි. ඔහු ඔහුගේ කාමරයට පිරිමින් ගෙන්වාගත් නිසාවෙන් පළවාහරිනු ලැබූබව මගේ ඥාති සීයා ප්‍රකාශ කළේ ය.
"අපි දැනන් හිටියෙ නෑ මිනිහා 'කොලුකාරයෙක්' කියලා," සීයා දිගටම විස්තර කළේ ය. ප්‍රාදේශීය රෝහලේ විකිරණ ශිල්පියෙකු ලෙස සේවයකර ඇති ඔහු එම වදන වෛද්‍යමය නිරවද්‍යතාවකින් උච්චාරණය කළ අතර, එමඟින් ඔහු එම මිනිසාට සිය නිවස තුළ ඉඩක් ලබාදෙනු ලැබීමේ අකමැත්ත කිසිසේත් සැඟවූයේ නැත.
මා ද 'කොලුකාරයෙක්' බව දෙමාපියන්ට වැටහෙනු ඇතැ යි බියක් දැනුණු නිසාවෙන්, ඔවුන්ගේ මුහුණුවල ඉරියව් නිරීක්ෂණය සඳහා හෝ ඔවුන් දෙස හැරී බලන්නට මම එඩිතර නොවීමි. මෑතක දී මට හොලිවුඩ් නළු ඉලයිජා වූඩ් ගැන 'ක්‍රෂ් එකක්' ඇතිවී තිබුණි. නමුත් පිරිමි තාරකාවන් සම්බන්ධයෙන් මා තුළ ඇතිවන ආශාවන් තහනම් මාතෘකාවක්ව පැවතිය යුත්තේ ඇයි ද යන්න ගැන මේ සිදුවීම සාක්ෂි දුන්නේ ය.
මට වයස අවුරුදු 19ක් වන තෙක්ම (මා එවකට දිගුකාලීන පෙම්වතෙකු ද සිටි විශ්වවිද්‍යාල සිසුවෙකි), මම මාගේ ලිංගික නැමියාව යන මාතෘකාව ගැන පවුල සමග කතාබහ නොකළෙමි. එම සාකච්ඡාව සඳහා සූදානම්වන විට මා මටම කියාගත්තේ, එම මොහොත මිනිත්තු කීපයක් පමණක් පවතිනු ඇතිබව යි. මට නැවත කිසිදා ඊට මුහුණපෑමට සිදු නොවේ.
නමුත් මා සිතූ දෙය කෙතරම් වැරදි ද? මට නැවත නැවතත් - මා නව රැකියාවකට යන සැමවිටම, අමුත්තෙකු මට බිරියක් සිටීදැයි විමසන විට හෝ රෝහලට ගිය අවස්ථාවන්හි දී ඔවුන් මාගේ ළඟම ඥාතියා ගැන තොරතුරු විමසූ විට - මගේ සමලිංගිකබව කියාපෑමට සිදුවිය. මා විවෘතභාවය ප්‍රිය කරනමුත්, මට සතුරු ලෙස හෝ චණ්ඩ ලෙස සලකනු ලැබීමට ඇති ඉඩකඩ ගැන යම් අපහසුදායක හැඟීමක් මගේ යටිහිතේ පවතියි. ඇතැම්විට මේ බිය සාධාරණ ය.
බොහෝ සමාජයන්හි ආකල්ප වෙනස්වෙමින් පවතින මුත්, ලොව පුරා තවමත් LGBT+ ප්‍රජාවට එරෙහිව ඇතිපදම් හානිකර පුර්ව විනිශ්චයන් පවතියි. එක්සත් ජනපදයේ විලියම්ස් ආයතනයේ වාර්තාවකට අනුව, එරට තුළ LGBT+ නොවන ප්‍රජාවට සාපේක්ෂව LGBT+ ප්‍රජාව ප්‍රචණ්ඩ වෛරී අපරාධයන්හි වින්දිතයින්වීමේ නව ගුණයක ඉහළ සම්භාවිතාවක් පවතියි. එක්සත් රාජධානියේ ස්ටෝන්වෝල් පුණ්‍යායතනයට අනුව, පසුගිය මාස 12 තුළ එරට LGBT+ ප්‍රජාවෙන් 20%ක් පමණ වෛරී අපරාධයන්ට මුහුණදී ඇත. LGBT+ ප්‍රජාවෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් එදිරිවාදී ප්‍රතික්‍රියාවන්ට ඇති බිය නිසාවෙන් ප්‍රසිද්ධ ස්ථානවල දී සමලිංගික සහකරුවෙකු හා අත් අල්ලාගෙන සිටීමෙන් වැළකීම පුදුමයක් නොවේ.
තම LGBT+ ඥාතීන් මුහුණදෙන සියලු අභියෝගවලින් ඔවුන් ආරක්ෂා කිරීමට පවුල්වලට නොහැකි ය. නමුත් අපේ ඥාතීන්ගෙන් ලැබෙන සහයෝගයේ ගුණාත්මකබව නිසාවෙන් විශාල වෙනසක් ඇතිවිය හැකි ය. ඇත්තෙන්ම, පවුලේ සහයෝගය යනු LGBT+ පුද්ගලයින්ගේ ජීවිතයේ යහපැවැත්ම පිළිබඳ බරපතල අනාවැකියකි. කෙසේ වෙතත්, 'ඉවසීම ප්‍රකාශ කිරීම' සහ 'අර්ථාන්විත සහායක් ලබාදීම' එකිනෙකට මුළුමනින්ම වෙනස් ක්‍රියාවන් ද්විත්වයක් විය හැකි ය.
"දෙමාපියන්ගෙ චේතනාව හොඳ වෙන්න පුළුවන්, නමුත්, තමන්ගේ ළමයින්ට ඔවුන්ගෙ [ලිංගික] අනන්‍යතාව කොච්චර වැදගත් ද කියන එක එයාලට මුළුමනින්ම තේරුම් නොයන්න පුළුවන්," එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ සමාජ විද්‍යාඥයෙකු වන රින් රෙචෙක් පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Emmanuel Lafont
රහසක බර
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
සම්බන්ධ වීමට link එක click කරන්න
End of podcast promotion
මා ප්‍රථමයෙන් මාගේ ලිංගික නැමියාව පිළිබඳව හෙළි කළ අවස්ථාවේ දී, මා මාගේ ලිංගිකත්වය ගැන විවෘතබවක් පෙන්විය යුත්තේ මන්දැ යි එක් ඥාතියෙකු විමසීය. මට ඒබව නොකියාම සිටිනු නොහැකිදැ යි යෝජනා කළ ඔවුන්, එතකොට කොන්වීමේ හෝ හිංසාවන්ට ලක්වීමේ ඉඩකඩ මඟාරින්න පුළුවන් නේදැ යි මගෙන් ඇසීය. "මිනිස්සුන්ට ඔයා ගැන හැමදේම කියන්න ඕන නැහැනෙ." මහා බොරු ගොඩක් කීමෙන් තොරව එසේ සිදුකරන්නේ කෙසේදැ යි මා නොදන්නාබව මම පැවසුවෙමි. මා වෙනුවෙන් ඔවුන් පතන්නේ එවැනි දිවියක් ද?
අපගේ අනන්‍යතාවයේ වැදගත් අංගයන් සැඟවීම අප බරපතල බරක් ලෙස අත්විඳිනබව මනෝවිද්‍යාත්මක පර්යේෂණවලින් පෙනීයයි. මේ හැඟීම බොහෝවිට සිරුරට බලපානා අතර, ශාරීරික බාධාවක අන්තරංග දැනීමක් ලෙස අප වෙත පැමිණෙයි.
ටෆ්ට්ස් විශ්වවිද්‍යාලයයේ මයිකල් ස්ලෙපියන් හා සගයින් විසින් සිදුකෙරුණු අධ්‍යයනයක දී සොයාගැනුනේ, (ලිංගික නැමියාව ද ඇතුළු) වැදගත් රහස් සඟවාගෙන සිටින පුද්ගලයින් කන්දක බෑවුම හෝ කාමරයක තිබෙන වස්තුවක් වෙතට ඇති දුර වැනි දෑ අධිතක්සේරු කිරීමට පෙළඹෙනබව ය. එසේම ඔවුන් පොත් එහෙ මෙහෙ කිරීම වැනි භෞතික කාර්යයන් සඳහා උපකාර කිරීමට පෙළඹීම අවමබව ද හෙළිවිය. "රහස් [තබාගැනීම] මිනිසුන්ට බරක් වෙනවා," පර්යේෂකයින් තීරණය කළේ ය.
ඔබේ අනන්‍යතාවයේ මූලික අංගයක් සඟවාගැනීම ඔබේ සමාජ සබඳතාවන්ට හානි කළ හැකි ය. සබඳතා වර්ධනයවන්නේ අපේ අභ්‍යන්තර සිතුවිලි සහ හැඟීම් හෙළිදරව් කිරීම මත වන නිසා, විශාල රහස් ඊට ප්‍රධාන බාධකයක්වනු ඇත.
එසේම, යමෙකු සාමාන්‍යයෙන් තම ලිංගික නැමියාව හෙළිකර තිබුණ ද, අනවශ්‍ය එදිරිවාදීකම් හා කලහයන් ඇතිවනු ඇතැ යි බියෙන් ඇතැම් විශේෂ අවස්ථාවන්හි දී තම ලිංගික නැමියාව වසන් කළ හැකි ය. උදාහරණයක් ලෙස, කුලීරථ රියැදුරෙකු සමග කතාබහ කරද්දී, සෘණාත්මක ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැ යි බියෙන් ඇතැමෙකු තම සමලිංගික සහකරු ගැන කතාබහ කිරීමෙන් වැළකීමට ඉඩ තිබේ.
අපගේ ලිංගික නැමියාව හෙළිකිරීම සම්බන්ධයෙන් අපහසුවක් දැනෙයි නම් එය හෙළි කිරීම අනිවාර්යයැ යි හැඟිය යුතු නැතිබව රෙචෙක් අවධාරණය කරයි. "සමලිංගික භීතිකාවෙන් හෝ සංක්‍රාන්තිලිංගික භීතිකාවෙන් පෙළෙනවා වෙන්න ඉඩ තියෙන මිනිස්සු එක්ක සියලු දේ හෙළි කරන්න නොහිතෙන එක තාර්කික යි." අපි කොතරම් විවෘතව ජීවත්වන්නට ප්‍රිය කළ ද, අපගේ ක්‍රියාවන්හි අණිටු විපාක ඒවායේ ප්‍රතිලාභ ඉක්මවා යන්නේදැ යි සළකා බැලීමට අපට සිදුවෙයි.
නමුත්, ස්වල්ප මොහොතකට පමණක් හෝ තමන්ගේ ලිංගික අනන්‍යතාව සැඟවීම එක්තරා ආකාරයක මානසික විඩාවක් ඇතිකරයි. කැලිෆෝනියා විශ්වවිද්‍යාලයයේ අලෙවිකරණය, ඥානන විද්‍යාව හා මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ක්ලේටන් ක්‍රිචර් හා මේ වන විට යේල් විශ්වවිද්‍යාලයයේ මනෝවිද්‍යා මහාචාර්යවරියක් වන මෙලිසා ෆර්ගසන් එක්ව, තම අනන්‍යතාව සඟවාගෙන සිටින LGBT+ තැනැත්තෙකුගේ අත්දැකීම ලිහිල්ව අනුකරණය කරන පරීක්ෂණයක් දියත් කළහ. ඔවුහු, පරීක්ෂණයට සහභාගී වූ විෂමලිංගික පුද්ගලයින් 10 දෙනෙකුගෙන් ඔවුන්ගේ ලිංගික නැමියාව පිළිබඳ කිසිදු හෝඩුවාවක් හෙළිනොකර, ප්‍රේම කිරීම සහ පවුල් ජීවිතය පිළිබඳ විනාඩි 10ක සංවාදයක් පවත්වන ලෙස ඉල්ලා සිටියහ. උදාහරණයක් ලෙස, ඔවුන් ඔවුන්ගේ ප්‍රේම ජීවිතයේ කැමැති අකැමැතිකම් ගැන කතාබහ කරන්නේ නම්, සිය සහකරු හෝ සහකාරියගේ ලිංගය කුමක්දැ යි හෙළි නොවන සර්වනාමයන් යොදාගෙන එම කතාබහ ගෙනයෑමට ඔවුනට සිදුවෙයි.
පැහැදිලිව පවසන්නේ නම්, මෙය LGBT+ තැනැත්තන් ලබන අත්දැකීමෙහි ඉතා මෘදු ආභාසනයකි. මන්ද, යම් හෙයකින් කටින් වචනයක් ලිස්සා ගියහොත් එදිරිවාදීකම්වලට ලක්වීමේ අවදානමක් මෙහිදී නොපවතින අතර, සැබෑ ජීවිතය හා බැඳි දිගුකාලීන සැඟවීම හා සසඳන විට මෙය එක් මිනිත්තු 10ක සංවාදයකි. එනමුදු, පරීක්ෂණයට සහභාගීවූ විෂමලිංගික තැනැත්තන් එම මානසික සුපරීක්ෂාකාරීත්වය සහ ඥානන 'ජිම්නාස්ටික් රංගනය' සැලකිය යුතු තරම් වෙහෙසකරබව පැවසූ අතර, ඉන් අනතුරුව ඔවුන් මුහුණදුන් තර්කනය පිළිබඳ වාචික නොවන ආකාරයේ බුද්ධි පරීක්ෂණවල දී අඩු ලකුණු පෙන්වීය.

ඡායාරූප මූලාශ්‍රය, Emmanuel Lafont
සුළුතරයක්වීමේ ආතතිය
මෙවැනි අන්තර්ක්‍රියාවන් හසුරුවාගැනීමේ අභියෝගයන් ද, ව්‍යංග හෝ පැහැදිලි අගතිය පිළිබඳ නිරන්තර දැනුවත්බව ද එක්ව "සුළුතර ආතතිය" ලෙස හැඳින්වෙන මානසික බරකට දායකවෙයි. වෙනස්කොට සැලකීමෙන් ඇතිකෙරෙන පීඩනය නිසා ඇතිවෙන මෙයාකාර ආතතීන් මඟින් මානසික යහපැවැත්මට දිගුකාලීන ප්‍රතිවිපාක ගෙනදිය හැකි ය. විෂමලිංගික තැනැත්තන්ට සාපේක්ෂව LGBT+ තැනැත්තන් අතර පවතින විෂාදය වැළඳීමේ හා සියදිවි නසාගැනීමේ ඉහළ සම්භාවිතාව ද මීට ඇතුළත් ය. සමාජයේ ආකල්ප වෙනස්වෙද්දී සුළුතර ආතතිය ද අඩුවී යනු ඇතැ යි ඔබ අපේක්ෂා කරනවා විය හැකිවුව ද, 2022 දී සිදුකළ අධ්‍යයනයක් මඟින් එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, කැනඩාව හෝ නවසීලන්තය වැනි රටවල මෙම සෞඛ්‍යමය පරතරය අඩුවී ඇතිබවට කිසිදු සාක්ෂියක් හමුනොවී ය. (ඇත්තෙන්ම, රින් රෙචෙක් හා මිෂිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයයේ හුයි ලියු විසින් සිදුකළ අධ්‍යයනයකින් යෝජනා කෙරෙන්නේ නව පරම්පරාවන්හි මෙම සෞඛ්‍යමය පරතරය වඩාත් ඉහළ යනු හැකිබව යි.)
අපගේ ඥාතීන්ට උපරිම වශයෙන් සිදුකළ හැකිවන්නේ අපගේ කාංසාවන්ට බෆරයක් වශයෙන් ක්‍රියා කරමින්, අප ඉදිරියට පැමිණෙන අභියෝගයන්ට මුහුණපෑම පහසු කරවීම පමණි. අවාසනාවට, පවුලේ සබඳතාවන් නිසාවෙන් ද වැඩි වැඩියෙන් ආතතිය ඇතිවිය හැකි ය. මින් නරකම අවස්ථාව වනු ඇත්තේ එළිපිට එදිරිවාදීකම් සිදුකිරීම හා විවිධ ලිංගික නැමියාවන් කෙරෙහි දක්වන භීතිකාව (queerphobia/ක්වියර්ෆෝබියා) විය හැකි නමුදු, ඥාතීන් විසින් මේ බර වැඩි කරනු ඇති තවත් ක්‍රම තිබේ.
රෙචෙක් හා ඔහුගේ සගයෙකු වන එමා බෝස්ලි-ස්මිත් විසින් LGBT+ වැඩිහිටියන් 75 දෙනෙකු සමග සිදුකළ ගැඹුරු සාකච්ඡාවන්හි දී නිරන්තරයෙන් මතුවූ එක් කරුණක්වූයේ, ලිංගික නැමියාව "හෙළි කිරීමේ" කතාබහ බැරෑරුම්කොට සැලකීමට පවුලේ සාමාජිකයින් දක්වන නොහැකියාව යි. ඇතැම් ඥාතීන් අදාළ පුද්ගලයාගේ අනන්‍යතාව [කාලෙකින් මඟහැරී යනු ඇති] එක් 'අවධියක්' ලෙස විස්තර කරන අතර, ඇතැම්විට ඔවුන් හුදෙක් 'ව්‍යාකූලවී සිටිනබව' පවසයි. අනෙකුන් එම මාතෘකාව මඟහැරගොස්, ඒ ගැන වැඩිදුර සාකච්ඡා කිරීමෙන් ද වළකියි.
"අපි කතාබහ කළ වැඩිහිටියන්ගෙන් සමහරකගෙ දෙමාපියො කිසිම කුතුහලයක් හෝ උනන්දුවක් පෙන්නන්නෙ නැහැ," බෝස්ලි-ස්මිත් පවසයි. එවැනි අවස්ථාවන්හි දී, තම දෙමාපියන්ට තමා කියූ දෙය සැබැවින්ම ඇසුනේ ද, වැටහුණේ ද යන්න පිරික්සීම සඳහා එම මාතෘකාව නැවතත් සාකච්ඡාවට ගැනීමට දරුවන්ට සිදුවෙයි. එවිට, "එකම කට්ටිය ඉදිරියේ කීප වාරයක් [ලිංගික නැමියාව] හෙළිකරන්න ඔබට සිද්ධවෙනවා," බෝස්ලි-ස්මිත් කියයි.
දෙමාපියන් දැක්වූ සුළු හෝ කුතුහලය දරුවන් විසින් බොහෝ සේ අගය කළ ද, LGBT+ සාමාජිකයින් මුහුණදෙන ගැටලු තේරුම් ගැනීමෙහිලා බොහෝවිට දෙමාපියන් දරන්නේ සුළු උත්සාහයකි. "ගොඩක් වැඩිහිටි දරුවන්ට මේ දේවල් [දෙමාපියන් වෙත] උගන්නන්න සිද්ධවෙනවා, ඒක තරමක අභියෝගයක්වෙන්න පුළුවන්," රෙචෙක් පවසයි.
ළාබාල වයසේ දී ඇගේ ස්වයං අනාවරණය ගැන වැඩිදුර තොරතුරු ඇගේ පවුල සමග බෙදාගැනීමට නොහැකිවීම ගැන ඇයට 'උකටලීබවක්' දැනුණු වග අයර්ලන්තයේ මනෝවෛද්‍යවරියක ද, කතුවරියක ද, LGBT+ ප්‍රජාවේ සාමාජිකාවක ද වන වෛද්‍ය ශුභංගි කරම්කාර් වාර්තා කරයි. "විශේෂයෙන්ම ඒ හැදෙන වැඩෙන වයසේ දී, ඔබ කුමන ආකාරයක හෝ අනන්‍යතාවක් ගොඩනගා ගනිද්දී, ඔබට උදව් අවශ්‍ය යි," වෛද්‍ය කරම්කාර් පවසයි. අනෙක් අයට "සතුටත්, හිත් බිඳීම් හා ඉතිරි සියල්ලත් ගමනක් ලෙස, එක්ව ලබා ගැනීමට හැකිවනු ඇතැ"යි කරම්කාර් අපේක්ෂා කරයි. නමුත්, පවුලේ සංවාදයන්හි යම් දියුණුවක් ඇය පුද්ගලිකව නිරීක්ෂණයකර ඇතැ යි ද ඇය පවසයි.
බෝස්ලි-ස්මිත් සහ රෙචෙක් අනාවරණයකර ගත් පරිදි, තව දරුවන්ගේ අනන්‍යතාව "පිළිගත්" ඇතැම් දෙමාපියන් පවා ඔවුන් උනන්දු රහිතබවක් හා 'ගාණක් නැතිබවක්' පෙන්වූබව අසා පුදුමයට පත්විය. බොහෝ LGBT+ පුද්ගලයින්, ඔවුන්ගේ අත්දැකීම් ගැන විවෘතව කතාබහ කිරීම සඳහා තවත් වැඩි දිරිගැන්වීමක් බලාපොරොත්තු වෙයි.

ඡායාරූප මූලාශ්‍රය, Emmanuel Lafont
වඩාත් සතුටින් සිටින පවුල්
සෑම පවුලකටම අනන්‍ය වූ පවුල් ගතිකත්වයක් තිබේ. එනිසා, LGBT+ සාමාජිකයින්ට සැළකිය යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව නිශ්චිත නීති නැතත්, ඔවුන්ගේ පර්යේෂණ මත පදනම්ව බෝස්ලි-ස්මිත් හා රෙචෙක් යෝජනා කීපයක් ඉදිරිපත් කරයි.
දෙමාපියන් සහ භාරකරුවන් සඳහා වන පළමු පියවරවන්නේ, පවුලේ සාමාජිකයා තම ලිංගික නැමියාව හෙළි කිරීමට පෙර, ස්ත්‍රී-පුරුෂභාවය සහ ලිංගිකත්වය වැනි මාතෘකා අගතියෙන් තොරව නිදහසේ සාකච්ඡා කළ හැකි පරිසරයක් පවුල තුළ නිර්මාණය කිරීම යි. හානිකර නැති විහිළුවක් ලෙස පෙනෙන දෙයකින්, තවමත් තම ලිංගිකත්වය හෝ ලිංගභේදය ගැන කතාබහකර නැති අයෙකුට කල්පවතින අණිටු ප්‍රතිවිපාක ඇතිවිය හැකි ය.
පවුලේ සාමාජිකයෙකු LGBT+ ප්‍රජාවට අයත්වන්නෙකුයැ යි ඔබට සැක සිතේ නම්, ඒ සම්බන්ධයෙන් කතාබහක් සිදුකිරීම සඳහා ඔබට පෙළඹවීමක් ඇතිවනු ඇත. ලන්ඩනයේ වෙළඳ ප්‍රචාරණ වෘත්තියේ නියැලෙන ක්‍රිස් ඩන් මට පවසන පරිදි මෙය ඇතැම්විට අත්‍යවශ්‍ය හා හොඳින් පිළිගනු ලබනු ඇති හැසිරීමක් වෙයි. වසර ගණනක් තිස්සේ සිය ලිංගික අනන්‍යතාව සඟවමින්, තමා නොවන චරිතයක් රඟපාමින් සිටි ඔහු "චිත්තවේගීය කඩාවැටීමක් ඇතිවන තැනට" පත්ව තිබුණි. පුත්‍රයාගේ දොම්නස දුටු ඩන්ගේ පියා, තමාම ඉදිරිපත්ව එම කතාබහ අරඹා තිබුණි. "අපි හැමෝම දන්නවා ඔයා සමලිංගික යි කියලා. ඔයා ඒකත් එක්ක ජීවත්වෙන්න ඉගෙනගන්න ඕන," ඩන් සිය පියාගේ වදන් සිහිපත් කරයි. "මොකද මේක, ඔයා මේ විඳවන වේදනාව [මානසික සෞඛ්‍යයට] එච්චර හොඳ නැහැ." ඩන් එය විස්තර කරන්නේ, අවසානයේ ඔහුට වඩාත් විවෘතව දිවි ගෙවීමට ඉඩ සැලසූ කොළ එළියක් ලෙසිනි.
දෙමාපියන් හා පවුලේ අනිත් සාමාජිකයින් ඉතා ප්‍රවේසම්ව කටයුතු කළ යුතුයැ යි රෙචෙක් උපදෙස් දෙයි. පූර්ණ උනන්දු රහිතබව හානිකරවනවා සේම, යහපත් චේතනාවෙන් යුත් ඥාතීන් විසින් LGBT+ තැනැත්තන් ඔවුන්ගේ අනන්‍යතාව ගැන කතාබහ කෙරුමට පොළඹවාගැනීමට අනවශ්‍ය උත්සාහයක් දැරීම ද, ඔවුන්ගේ "පුද්ගලික නිදහසට යම් තරමකට අතපෙවීමක්" ලෙස හැඟුණේයැ යි LGBT+ තැනැත්තන් පවසයි. එනිසා, LGBT+ පුද්ගලයාට පහසු විටෙක මෙම සංවාදය ඇරඹීම සඳහා ආරක්ෂිත ඉඩක් නිර්මාණය කිරීම වඩාත් උචිතවිය හැකි ය.
පවුලේ සාමාජිකයා එම මාතෘකාව සම්බන්ධයෙන් කතා කිරීමට සූදානම්වූ විට, ඔවුන් කොපමණ දුරට එම සාකච්ඡාව පවත්වාගෙනයෑමට කැමති ද යන්න විමසන ලෙසත්, නැවත එම විෂයය ගැන සාකච්ඡා කිරීමට අවශ්‍යයැ යි ඔවුනට හැඟෙන සෑමවිටම ඔබ ද ඒ ගැන කතාබස් කිරීමට කැමතිබව පැහැදිලිව පවසන ලෙසත් බෝස්ලි-ස්මිත් යෝජනා කරයි. මෙමඟින්, ලිංගික අනන්‍යතාව හෙළි කිරීමේ ක්‍රියාවලිය ඔවුන්ගේම වේගයකින් සිදුකිරීමට ඉඩ සැලසෙයි.
LGBT+ සාමාජිකයා විසින් ඒ පිළිබඳ අධ්‍යාපනය ලබාදෙනු ඇතැ යි බලාපොරොත්තුවනවා වෙනුවට, LGBT+ පුද්ගලයෙකුගේ අත්දැකීම් ගැන වෙනත් මූලාශ්‍ර හරහා අවබෝධයක් ලබාගැනීම සඳහා පවුලේ සාමාජිකයින්ට සවිඥානික උත්සාහයක් දැරිය හැකි ය. ඥාතීන්ට තොරතුරු ලබාගැනීම සඳහා, ඔවුන්ගේ ආශ්‍රයේ සිටින වඩාත් හොඳ දැනුමක් ඇති තැනැත්තන් හෝ, අන්තර්ජාලයේ සම්පත් සහ පර්යේෂණ පත්‍රිකා හෝ, LGBT+ පුද්ගලයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට සේවා සපයන පුණ්‍යායතනවල සිටින පුහුණුවූ වෘත්තිකයන් වෙත හෝ යොමුවීමට හැකිවේ.
මේ සම්බන්ධයෙන් යහපත් වර්ධනයක් පෙන්වීමට ඔබ කිසිදා ප්‍රමාද නැත. මා සම්මුඛ සාකච්ඡාවට බඳුන් කළ එක් පුද්ගලයෙකු (ඔහු ඔහුගේ නම පවසනවාට අකමැතිවිය) පැවසුවේ, ඔහු තම අනන්‍යතාව ඔහුගේ මව වෙත හෙළිකළ අවස්ථාවේ දී ඇගේ ප්‍රතිචාරය යම්තාක් දුරට අසතුටුදායකවූබව යි. "එයා ටික වෙලාවක් මොකුත් නොකිය හිටියා. ඊට පස්සෙ එයා කියපු පළවෙනි දේ තමයි, 'එහෙනම් මං හිතන්නෙ මට මුණුබුරු මිණිබිරියො කවුරුවත් ලැබෙන එකක් නෑ' කියන එක," ඔහු මා හා පැවසීය. කාලයත් සමග ඇය ඔහුගේ අනන්‍යතාව පිළිබඳව වඩාත් පිළිගන්නාසුළු වූ නමුත්, එම මාතෘකාව සාකච්ඡාවට අපහසු මාතෘකාවක් ලෙස තවදුරටත් රැඳී තිබුණි. කෙසේ නමුත් මෑතක දී ඔහු දිගුකාලීන සම්බන්ධයක් අරඹා තිබූ අතර, එනිසාවෙන්, ඇය මුල දී ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන සමාව අයැදීමට ඇය පෙළඹී තිබුණි. එම සමාව අයැදීම, ඔහු කලින් සිතා සිටියාටත් වඩා වැඩි වටිනාකමක් ගෙනදුන්බව ඔහු පවසයි. "යටි හිතෙන් මට උවමනාව තිබ්බා එයා එහෙම කියනවා අහන්න. අනික, මම ඒ මාතෘකාව ඇදගන්නෙවත්, එයාගෙන් අහන්නෙවත් නැතුව එයාම හිතලා ඒක කියපු එකෙන් මට මහා සහනයක් දැනුණා."
පුද්ගලිකව, සීයාට එරෙහිව කතා නොකිරීම ගැන මගේ දෙමාපියන්ට දොස් පැවරීමට මට අපහසු ය. එය, LGBT+ ගැටලු පිළිබඳ දැනුවත්බව අදට වඩා බෙහෙවින් අඩු 1990 ගණන්වල අගභාගය වූ අතර, අවසානයේ මා මාගේ ලිංගික නැමියාව හෙළිකළ විට ඔවුහු මාගේ සහකරු සාදරයෙන් පිළිගත්තෝ ය. නමුත්, මා විශ්වාස කරන පරිදි, මා හැදී වැඩෙන්නේ මේ කාලයේ වූයේ නම්, ඒ හැදී වැඩෙන වසරවල දී මට මා ම වීමට වැඩි සහයෝගයක් දැනෙන්නට ඉඩ තිබුණි. එය මාගේ ළාබාල උරහිස් මතින් මහා බරක් ඉවත්කර දමන්නට ඉඩ තිබුණි.












