භික්ෂූන් පාලනය මහා නාහිමිවරුන් සතුයි-අධිකරණ ඇමති

ඡායාරූප මූලාශ්‍රය, AFP

ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ හැසිරීම සහ විනය කරුණු සම්බන්ධ විධිවිධාන සහ ඒවා කඩ කිරීමේ දී පනවන දණ්ඩන ඇතුළත් 'ථෙරවාදී භික්ෂූ කතිකාවත් ලියාපදිංචි කිරීම' නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගේ අනුමැතිය ඇතිව යයි රජය පවසයි.

බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ එම අදහස පළ කළේ අද(14) අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.

භික්ෂූන් වහන්සේලා පාලනයට නීති පැනවීමට රජය උත්සාහ කරන බවට එල්ල වෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ.

'ථෙරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීම' නමැති පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීම ශ්‍රී ලංකා රජය සිදු කළේ භික්ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි භික්ෂූ කතිකාවත්වලට අවශ්‍ය නීතිමය බලය ලබා දීම පමණක් බවයි අමාත්‍යවරයා අවධාරණයෙන් සඳහන් කළේ.

නෛතික බලය

‘ඒ ඒ නිකායන් මගින් සම්මත කර ගෙන තිබෙන කතිකාවත් වල කොන්දේසි උල්ලංඝණය කරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් විනය තීන්දු ගැනීමේ බලයක් මහා නායක ස්වාමින් වහන්සේලාට සහ කාරක සංඝ සභාවලට තියෙනවා. එවැනි තීන්දු තීරණ ගත්තත් ප්‍රශ්නය ඒවා ක්‍රියාත්මක කිරීමේ බලයක් දැනට මහා සංඝරත්නයට නොමැති කම’ අධිකරණ ඇමතිවරයා පෙන්වා දෙයි.

අවශ්‍ය නීති සම්පාදනයට දායක වන නමුත් භික්ෂූ කතිකාවත් සකස් කිරීමට හෝ විනය නීති උල්ලංඝනය කරන භික්ෂූන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට රජය කිසිදු ආකාරයකින් සම්බන්ධ නොවන බවත් අමාත්‍යවරයා කියා සිටියි.

‘අදාළ නිකායේ හෝ පාර්ශවයේ නායක භික්ෂූන් වහන්සේලා පමණයි තීරණ ගන්නේ. මේ පනත මගින් අපි කරන්නේ ඒ කතිකාවත් ලියාපදිංචිය සහ කතිකාවත් යටතේ නායක භික්ෂූන් වහන්සේලා ගන්නා තීන්දු ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීතිමය බලය ලබා දීම පමණයි’ බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩි දුරටත් තහවුරු කරයි. සංශෝධන වලට ඉඩ

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ත්‍රෛනිකායක මහා නාහිමිවරුන්ගේ අනුමැතිය ඇතිව යයි සඳහන් කළ විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා ‘සාකච්ඡා වට ගණනාවකින් අනතුරුව ලද අනුමැතිය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් තවත් සංශෝධන තිබෙනවා නම් කාරක සභා අවස්ථාවේ දී ඒවා ඉදිරිපත් කළ හැකි’ බවත් සඳහන් කළේය. භූත විද්‍යාවන් සහ ගුරුකම් කිරීම, අනවින සිදු කිරීම, රියදුරු බලපත්‍ර ලබා ගැනීම ආදී විනය විරෝධී ක්‍රියා පිළිබඳව ගත යුතු ක්‍රියාමාර්ග අදාළ නිකායට හෝ පාර්ශවයට අවශ්‍ය පරිදි සිය කතිකාවත්වලට ඇතුළත් කළ හැකි බව සඳහන් කළ ඇමතිවරයා ඒවා ඇතුළත් කරනවාද නැද්ද යන්න ඒ ඒ පාර්ශ්වයේ අභිමතය පරිදි තීන්දු කළ හැකි බවත් පෙන්වා දෙයි.

භූත විද්‍යා අනවින කොඩිවින

ඡායාරූප මූලාශ්‍රය, Reuters

යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඇතැම් භික්ෂූන් වහන්සේලා දැනටමත් දක්වන විරෝධය ගැන යොමු වූ අමාත්‍යවරයා ‘මෙම පනත් කෙටුම්පත සකස් කර තිබුණේ පසුගිය රජය සමයේ’ බවයි කියා සිටියේ. එහි ඇති අඩුපාඩු සකස් කරමින් නව රජය එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි ඇමතිවරයා පවසන්නේ.

‘මේ ආණ්ඩුවට විතරක් නොවෙයි, පසු ගිය ආණ්ඩුවටත් භික්ෂූ සමාජයෙන්ම දෝෂාරෝපණ එල්ල වුණා - අවශ්‍ය අණපනත් ගෙන ඒමට පියවර නොගන්නා බවට. දැන් අපි ඒ දෝෂයෙන් නිදහස් වෙමින් මහා නායක හිමිවරුන්ගේත් උපදෙස් අනුවයි මේ පනත ගෙනාවේ’ බුද්ධ ශාසන හා අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කළේය.