ශ්‍රී මහා බෝධියේ උඩ මළුව "ඇති හැකි අයට" පමණද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, දැහැමි රණවීර
- Role, BBC සිංහල සේවය
"මම පැවිදි වෙලා වසර 50ක් වෙනවා. ඒ කාලය ඇතුළත ජය ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට යන්න ලැබී තිබෙන්නේ දෙවරක් පමණයි. නමුත් දැන් යන්න දෙන්නේ නැහැ,"
ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම්, කොත්මලේ සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේ ඒ බව පැවසූවේ ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට කාන්තාවන්ට අකැපද යන්න පිළිබඳ සමාජ ජාල තුළ මේ දිනවල මතුව ඇති සංවාදය පිළිබඳ විමසීමේදීය.
අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකික බෞද්ධ ප්‍රජාව පූජනීයත්වයෙන් වන්දනාමාන කරන ශ්‍රී මහා බෝධිය ලොව පැරණිතම වෘක්ෂයන්ගෙන් එකක් ලෙස සැලකේ.
බුදු රජාණන්වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී සෙවන දුන් බව පැවසෙන ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටා ඇති මහ බෝධියේ දක්ෂිණ ශාඛාවක් වන ශ්‍රී මහා බෝධිය ක්‍රි.පූ 288 දී පමණ ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ විසින් යැයි බෞද්ධ සාහිතයේ දැක්වේ.
ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය පිළිබඳ බොහෝ දෙනෙකු දැනුවත් නමුත්, ඒ හා බැඳුණු පිළිවෙත්, චාරිත්‍ර සහ සීමා කිරීම් ගැන සමාජය තුළ විවිධ මතවාද සහ සංවාද වරින්වර මතු වෙයි.
'ශිරන්ති රාජපක්ෂ උඩමළුවට පිවිසීම'

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කරනු ලැබීමෙන් දෙදිනකට පසු මහින්ද, ගෝඨාභය ඇතුළු රාජපක්ෂවරු පිරිසක් ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගත් ආකාරය මාධ්‍ය ඔස්සේ වාර්තා විය.
ඒ අතර, ශිරන්ති රාජපක්ෂ ද ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට පිවිසීම ගැන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ දැඩි කතා බහක් ඇති වී තිබේ.
ශ්‍රී මහා බෝධියේ උඩ මළුව කාන්තාවන්ට "තහනම් කලාපයක්" ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය ජාල තුළ ඡායාරූප සහ අදහස් පළ වෙයි.
එමෙන්ම, සාමාන්‍ය කාන්තාවන්ට උඩ මළුව තහනම් වුවත්, මුදල් සහ බලය ඇති කාන්තාවන්ට එය විවෘත වන බව සඳහන් කරමින් ද අදහස් පළ වී තිබිණි.
එවැනි තහංචියක් නොමැති බවට කාන්තාවන් ද ඇතුළුව තවත් පිරිසක් තර්ක කරති. ඒ අතර සිටින කාන්තාවන් බොහෝ දෙනෙකු ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට යෑම සම්බන්ධයෙන් සිය පෞද්ගලික අත්දැකීම් ද හෙළි කර තිබිණි.
"මගේ එකම දරුවා පිළිකාවක් නිසා මරණාසන්න වෙලා හිටිය මොහොතේ වෛද්‍ය ප්‍රතිකාර තවදුරටත් ලබා දීම වැඩක් වුණේ නැහැ. අපි ආගමෙන් යම් සහනයක් ලබා ගන්න ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගන්න ගියා. "
"ඒ වෙලාවේ මටයි මගේ මහත්තයටයි උඩ මළුවට යන්න දුන්නා. හැබැයි ඒ පන්සලට තිබුණ දැන හැඳුනුම්කමක් හරහා," කෝට්ටේ පදිංචිකාරියක වන දිස්නා කොඩිකාර ආරච්චි පැවසීය.
භික්ෂුණී වහන්සේට තහනම් ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ශ්‍රී මහා බෝධිය වැඩම කරවීමත් සමග ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනයේ ආරම්භය සිදු වී ඇති බව ඉතිහාසයේ දැක්වේ.
මිහිඳු මහරහතන් වහන්සේගේ නැගණිය වූ සංඝමිත්තා මහ රහත් තෙරණිය ශ්‍රී ලංකාවට වැඩමවීමේ පරමාර්ථය වී ඇත්තේ කාන්තාවන්ට පැවිදි දිවියට ඇතුළත් වීම සඳහා අවස්ථාවක් සැලසීමට යැයි ද කියැවේ.
සංඝමිත්තා මහ රහත් තෙරණිය වැඩමවීමෙන් පසු දේවානම්පියතිස්ස රජුගේ සොහොයුරා වූ මහානාග යුව රජුගේ බිසව වන අනුලා දේවිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙකු බුදු සසුනේ පැවිදි වූ බව පැවසේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කාන්තාවක් සිය දෝතේ තබාගෙන ශ්‍රී ලංකාවට වැඩම කළ ශ්‍රී මහා බෝධිය නිදහසේ වන්දනාමාන කිරීමට සාමාන්‍යය කාන්තාවන්ට වර්තමානයේ ඉඩ නොදෙන බව සිරි සුමේධා භික්ෂුණීන් වහන්සේගේ අදහසය.
"බොහෝ මහන්සි වෙලා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවට රැගෙන එන්න කාන්තාවක්, භික්ෂුණියක් වගේම රහත් තෙරණියක් හැටියට සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේට පුළුවන් වුණා. කාන්තාවකට රැගෙන එන්න පුළුවන්, හැබැයි කාන්තාවන්ට ජය ශ්‍රී මහා බෝධියට යන්න දෙන්නේ නැහැ."
"මාසික ශුද්ධිය කාලයේ දී මේ ස්ථානයට යෑමෙන් කිලි අහුවෙනවා කියනවානේ. ඉතින් මේ බෝධීන් වහන්සේ වැඩම කරපු කාන්තාවටත්, අනෙක් කාන්තාවන්ට වගේම එය හැදෙන්න ඇති. නමුත් ඒ දවස්වල මේ වගේ වෙනස්කම් පැවතුණේ නැහැ."
"ජය ශ්‍රී මහා බෝධියට සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බැහැ. භික්ෂුණියක් වන මට යන්න දෙන්නෙත් නැහැ. නමුත් සමාජයේ ලොකු යැයි පිළිගත්ත අයට යන්න පුළුවන්. විශේෂයෙන්ම සල්ලි තියෙන, සල්ලි දෙන, රජ සහ සිටු පෙළපතේ කාන්තාවන්ට යන්න දෙනවා. මෙය ඉතා කණගාටුදායක සිද්ධියක්," යැයි භික්ෂුණීන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
"කාන්තාවන්ට තහංචියක් නැහැ"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කිසිදු දිනක ශ්‍රී මහා බෝධියේ උඩ මළුවට කාන්තාවන් ඇතුළු වීම සම්බන්ධයෙන් තහංචි නොපැවතුණු බව බීබීසී සිංහල සිදු කළ විමසීමක දී ජය ශ්‍රී මහා බෝධිය විහාරස්ථානයයේ හිමිනමක් පැවසූහ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමසීම සඳහා විහාරස්ථානයේ පරිපාලනය සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවක් උත්සහ කළ ද එය සාර්ථක නොවුනි.
වර්තමානයේ රන් වැටකින් ආරක්ෂා කර ඇති ශ්‍රී මහා බෝධිය වටා පරිවාර බෝධීන් කීපයක් පිහිටා තිබේ. විහාරස්ථානයට යන සාමාන්‍යය පුද්ගලයෙකුට ශ්‍රී මහා බෝධිය පිටතින් දැක ගැනීම ඉතා අපහසුය.
"ශ්‍රී මහා බෝධිය සියැසින් දැක ගන්න අපි හරි කැමතියි. නමුත් හරි බෝධීන් වහන්සේ මොකක්ද කියලා අපිට හිතා ගන්න බැහැ. එතන පරිවාර බෝධීන් වහන්සේලා තමයි පිටට පෙන්නේ. දුර ගෙවාගෙන ආවත් අඩුම ගානේ බෝධිය හරියට දකින්නේවත් නැතුව යන්න වෙන එක අවාසනාවන්ත කාරණයක්," වසරක් පාසා සිය පවුලේ සාමාජිකයන් සමග කොළඹ සිට ශ්‍රී මහා බෝධිය වන්දනාමාන කිරීමට යන කාන්තාවක් පැවසුවාය.
මේ තොරතුරුද කියවන්න:

ඡායාරූප මූලාශ්‍රය, Facebook/MahindaChandrasekara
අනුරාධපුරයේ පදිංචි ප්‍රවීණ ගේය පද රචක මහින්ද චන්ද්‍රසේකර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් යෝජනාවක් ඉදිරිපත් කළේය.
"අපි බෞද්ධයන්ට අතිශය වැදගත් දළදා වහන්සේ වැඩම කළෙත් කාන්තාවක්, ඒ වගේම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කළෙත් කාන්තාවක්. එතැනින්ම කාන්තාවන්ට මේ ගැන ලොකු අයිතිවාසිකමක් ලැබෙනවා," ඔහු පැවසීය.
"පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උද්භිත විද්‍යා අංශයෙන් තමයි මේ බෝධීන් වහන්සේ බලා ගන්නේ. අදාළ අංශවලින් කැමති නැහැ මෙය විශාල ජනකායකට නිරාවරණය කරන්න. එයින් ශාකයට හානි සිදුවන්න පුළුවන්. මෙය හොඳින් රැකගත යුතු ලෝක උරුමයක්."
"මේ හේතු නිසා ප්‍රභූවරුන්ට මෙය සීමා වෙලා තිබෙනවා. නමුත් මම දන්නා ආකාරයට කාන්තාවන්ට පමණක් උඩ මළුවට යන්න දෙන්නේ නැහැ කියලා දෙයක් නැහැ. කාන්තා, පිරිමි අපි කාටත් උඩ මළුවට යෑමේ යම් සීමා තිබෙනවා."
"නමුත්, මගේ යෝජනාවක් තිබෙනවා මෙහි එන ඕනෑම පුද්ගලයෙකුට ඈතින් සිට හෝ ශ්‍රී මහා බෝධිය දැක ගන්න පුළුවන් ආකාරයේ ටිකක් උස වේදිකාවක් නිර්මාණය කළා නම්, මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ, විශේෂයෙන්ම ඉතා දුර බැහැර සිට පැමිණෙන පිරිස මෙයින් සතුටට පත් වෙනවා," ඔහු තවදුරටත් පැවසුවේය.
සමාජ මාධ්‍ය ජාල අදහස් කීපයක්

ඡායාරූප මූලාශ්‍රය, Facebook/Sooriyawewa Sumedha Thero

ඡායාරූප මූලාශ්‍රය, Facebook/IsuruPerera

ඡායාරූප මූලාශ්‍රය, Facebook/RukshilaKumari









