කාන්තා අයිතිවාසිකම්: "අපි විතරද? බැරල් සයිස් පිරිමි නැද්ද?"

"අපි විතරද? බැරල් සයිස් පිරිමි නැද්ද?"

ඡායාරූප මූලාශ්‍රය, Harsha de Silva

ඡායාරූප ශීර්ෂ වැකිය, "මෙය කාන්තාවකට සුදුසු හැඩයක් නොවේ": ඉවත් කරන ලද දැන්වීම
    • Author, සුනෙත් පෙරේරා
    • Role, BBC සිංහල සේවය

ශ්‍රී ලාංකික කාන්තාවගේ සම අයිතිවාසිකම් (Equal Rights) සහ ලිංගිකත්වය මත වෙනස් ලෙස සැලකීම (Gender based discrimination) පිළිබඳ පෙර කවරදාටත් වඩා අවධානය පළ වෙමින් පවතී.

කාන්තාවන්ට මත්පැන් මිල දී ගැනීම සඳහා පනවන ලද තහනම ඉවත් කර දින කිහිපයකට පසු එකී තහනම යළි ක්‍රියාත්මක කිරීමත් ඉහත කී සංවාදයට මූලික වශයෙන් බලපා තිබේ.

කායික පුහුණු ආයතනයක් (Gym) විසින් කාන්තාවන්ගේ තරබාරුභාවය 'බැරලයකට' සමාන කරමින් අතුරුගිරිය ප්‍රදේශයේ ප්‍රදර්ශනය කරන ලද දැන්වීම් පුවරුවක් ඉවත් කර ගැනීමට සිදු වන්නේ ට්විටර් ඇතුළු සමාජ ජාල තුළ ඒ සම්බන්ධයෙන් විශාල විරෝධයක් පළවීමත් සමගය.

OSMO ෆිට්නස් නමැති ආයතනය විසින් ප්‍රදර්ශනය කරන ලද ඉහත කී ප්‍රචාරක දැන්වීම් පුවරුව තුළ බැරලයක් දැක්වෙන අතර එහි සඳහන් කර තිබුණේ "මෙය කාන්තාවකට සුදුසු හැඩයක් නොවේ" යනුවෙනි.

ඊට විරෝධය පළ කරමින් ඉහත කී කායික පුහුණු ආයතනයේ ෆේස්බුක් පිටුව තුළ අදහස් පළ කළ ඇතැම් තරුණියන් පවසා තිබුණේ කාන්තාවන්ට වඩා බැරලයක හැඩයට සමාන හැඩරුවක් සහිත පිරිමින් ශ්‍රී ලංකවේ වැඩි වශයෙන් දැකිය හැකි බවය.

OSMO ෆිට්නස් ආයතනය ෆේස්බුක් තුළ පළ කළ ඡායාරූපය

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඡායාරූප ශීර්ෂ වැකිය, OSMO ෆිට්නස් ආයතනය ෆේස්බුක් තුළ පළ කළ ඡායාරූපය

"සමාවෙන්න, නමුත් කාන්තාවන්ට වඩා බැරල් හැඩති පිරිමි ශ්‍රී ලංකාව තුළ සිටින බව මා කිව යුතුයි," යනුවෙන් ෆේස්බුක් සමාජ ජාලය තුළ සටහනක් තබා ඇති මිනාල් වික්‍රමතුංග එකී ප්‍රචාරණ අදහස පිරිමියෙකුගේ විය හැකි බවට විශ්වාසය පළ කරයි.

Facebook

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඒ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් නිසල් සුබසිංහ පවසා ඇත්තේ "මේ වසරේ මේ දක්වා ශ්‍රී ලංකික කාන්තාවන්ට හොඳ කාලයක් වී නොමැති" බවය.

Facebook

ඡායාරූප මූලාශ්‍රය, Facebook

තරබාරු කාන්තාවන් 'බැරලයකට' සමාන කිරීම පිළිකුල් සහගත පුරුෂාධිපතිවාදී ක්‍රියාවක් ලෙස හඳුන්වන අමලිනි ද සයිරා කාන්තාවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ දේශපාලනඥයන් පසුගිය දින කිහිපය තුළ පළ කළ අදහස් සහ එකී ක්‍රියාව සමාන බව කියා සිටී.

Facebook

ඡායාරූප මූලාශ්‍රය, Facebook

ඉහත කී ප්‍රචාරක දැන්වීම මගින් ශ්‍රී ලංකාවේ සදාචාරාත්මක වටිනාකම් පිළිබිඹු වන බව පවසන යසස් ආර් රත්නායක ලිංගිකත්වය මත පදනම්ව වෙනස් ලෙස සැලකීම සහ ශරීරයේ හැඩය පිළිබඳ ලජ්ජා වීමට සැලසීම වත්මන් සමාජය අනුමත නොකරන බව පෙන්වා දෙයි.

Facebook

ඡායාරූප මූලාශ්‍රය, Facebook

මේ අතර"අනුමැතියකින් තොරව" ස්ථාපනය කරන ලද ඉහත කී "අපහාසාත්මක දැන්වීම් පුවරුව" ඉවත් කිරීමට කටයුතු කරන ලෙස තමන් කොළඹ නාගරික කොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටි බව ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා බ්‍රහස්පතින්දා (ජනවාරි 18) නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්විණි.

කෙසේ නමුත් සිය පැමිණිල්ලෙන් අනතුරුව කොළඹ මහ නගර සභාව ඉහත කී ප්‍රචාරක පුවරුව ඉවත් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සිකුරාදා (ජනවාරි 19) ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

සිය ෆේස්බුක් පිටුවේ පළ කර ඇති අදාළ වැකිය සහිත ඡායාරූපය ඉන් ඉවත් කර ඇති අතර නිවේදනයක් පළ කරමින් ඉහත කී කායික පුහුණු ආයතනය පවසන්නේ පොදුවේ කාන්තාවන්ට අපහාසයක්, නින්දාවක් සිදු කිරීම සිය අරමුණ නොවූ බවය.

ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමේ දී නගරය සහ ගම අතර බෙදීමක් පවතීද?

කාන්තා මත්පැන් තහනම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න බ්‍රහස්පතින්දා කියා සිටියේ "කොළඹ කතුන්" ශ්‍රී ලංකාවේ සමස්ත කාන්තාවන් නියෝජනය නොකරන බවය.

එසේම තරබාරු කාන්තාවන් බැරලයකට සමාන කර ඉහත කී කායික පුහුණු ආයතනය විසින් සිය ෆේස්බුක් පිටුවේ පළ කර ඇති අදාළ වැකිය සහිත ඡායාරූපය පිළිබඳ ප්‍රතිචාර දක්වා තිබු සියලුම දෙනා සිය අදහස් පළ කර තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන් වීම ද විශේෂත්වයකි.

එම ප්‍රචාරක දැන්වීම් පුවරුව සම්බන්ධයෙන් ට්විටර් සමාජ ජාලය තුළ අදහස් පළ වී තිබුණ ද ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලය වැඩි අවධානයක් යොමුව නොතිබුණි.

කාන්තා සම අයිතීන් සහ ලිංගිකත්වය මත පදනම්ව වෙනස් ලෙස සැලකීමත් ඊට එරෙහිව හඬ නැගීම යන කාරණා දෙස බැලීමේ දී "පන්තිය" ද ප්‍රධාන සාධකයක් වන බව සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා පෙන්වා දෙයි.

"පන්තියේ" බලපෑම

A Sri Lankan woman holds a cocktail during a drinks competition in Colombo, 26 February 2017

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

"එය නාගරික සහ ග්‍රාමීය මෙන්ම පංතිමය වශයෙනුත් බැලිය යුතුයි. සමාජයේ ඉහළ පන්තිවල කාන්තාවනුත් ඇතැම් විට උත්සව අවස්ථාවල මත්පැන් බොනවා. ඒකට විරෝධතාවක් නැහැ මොකද ඒ අය ඒක සලකන්නේ සමාජ චාරිත්‍රයක් හැටියට" යනුවෙන් මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා කියා සිටියේ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

"ග්‍රාමීය සමාජයේ කාන්තාවන්ගෙන් මත්පැන් පානය කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලීමක් නැහැ. නමුත් ඒ ප්‍රදේශවල තමයි මත්පැන් සම්බන්ධ ප්‍රශ්න වැඩිපුරම තියෙන්නේ."

පුරුෂයන් මත්පැන් පානය කිරීම සඳහා මුදල් වැය කිරීම පවුලේ අගහිඟකම්වලට ද ප්‍රධාන වශයෙන් බලපා ඇති බව කී මහාචාර්යවරයා ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සම්බන්ධයෙන් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව සඳහන් කළේය.

"මේක අතීතයේ සිට තිබුණු තත්ත්වයක් කියලා මම කියන්නේ නැහැ. විශේෂයෙන්ම යටත් විජිත යුගයේ අවසාන භාගයේ පමණ සිටයි මේ වර්තමාන තත්ත්වය තීරණය වෙලා තිබෙන්නේ."

"දෙබිඩි පිළිවෙතක්"

කාන්තා අයිතීන් දිනා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් හඬක් නැගෙන්නේ ද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, "මේ කලාපයේ අනෙක් රටවල් ගත් විට ඉන්දියාව සහ මුස්ලිම් රටවල් වන බංග්ලාදේශය සහ පාකිස්තානයේ පවා කාන්තා සංවිධාන, කාන්තා නිදහස සඳහා තිබෙන ව්‍යාපාර අපට වඩා ඉදිරියෙන් ඉන්නේ,"

කාන්තාවන් පමණක් ආරක්ෂා කර ගැනීමෙන් සමාජීය ප්‍රශ්න විසඳාගත නොහැකි බව පෙන්වා දෙන මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා කාන්තාවන්ට පමණක් මත්පැන් තහනම් කිරීම ඉහත කී දෙබිඩි පිළිවෙතේ එක් ලක්ෂණයක් බව සඳහන් කළේය.

"ලිංගිකත්වය ගත් විට පිරිමි ළමයින්ට ඕන තරම් එළියට යන්න පුළුවන්, විනෝද වෙන්න පුළුවන්, ගැහැණු ළමයි ආශ්‍රය කරන්න පුළුවන්. නමුත් ගැහැණු ළමයි එහෙම නොකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක මම දකින්නේ දෙබිඩි පිළිවෙතක් විදිහටයි."

බැරලයක් සහිත ඉහත කී ප්‍රචාරක දැන්වීම සඳහා කාන්තාවන් පමණක් යොදා ගැනීම තුළින් ඔවුන්ට අසාධාරණයක් වන බව කී මහාචාර්යවරයා ඒ සම්බන්ධයෙන් කාන්තාවන් හඬ නැගිය යුතු බව පෙන්වා දෙයි.

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව 2012 වසරේ සිදු කරන ලද සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 52%.

නමුත් කාන්තා අයිතීන් දිනා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණවත් හඬක් නැගෙන්නේ ද?

http://www.statistics.gov.lk

ඡායාරූප මූලාශ්‍රය, http://www.statistics.gov.lk

ඒ දෙස බැලීමේදී ඉන්දියාව ඇතුළු කලාපයේ සෙසු රටවල්වල කාන්තා අයිතීන් සහ නිදහස වෙනුවෙන් ක්‍රියාත්මක ව්‍යාපාර ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින බව මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වාගේ අදහසය.

"මේ කලාපයේ අනෙක් රටවල් ගත් විට ඉන්දියාව සහ මුස්ලිම් රටවල් වන බංග්ලාදේශය සහ පාකිස්තානයේ පවා කාන්තා සංවිධාන, කාන්තා නිදහස සඳහා තිබෙන ව්‍යාපාර අපට වඩා ඉදිරියෙන් ඉන්නේ."

එම රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාව තුළ කාන්තාවන්ගේ අධ්‍යාපනය ඉහළ මට්ටමක පැවතිය ද කාන්තා අයිතිවාසිකම් පිළිබඳ අරගලයේ දී ශ්‍රී ලංකාව පසුපසින් සිටින බව සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය කාලිංග ටියුඩර් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි යොමු: