කාන්තා මත්පැන් තහනමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඡායාරූප මූලාශ්‍රය, iStock
මත්පැන් මිල දී ගැනීමට සහ මත්පැන් අළෙවි සැල්වල සේවය කිරීම සඳහා කාන්තාවන්ට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩලය මගින් ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කෙරිණ.
නිශාන්ති බණ්ඩාරනායක, එම්ඩීජේබී ප්‍රනාන්දු, සමන්මලී ෆොන්සේකා, චන්දිමා රවිනි ජිනදාස, දීපාංජලී අබේවර්ධන, සබ්රිනා එසුෆාලි, ෂාරන්‍යා සේකරම්, රන්දුලා ද සිල්වා, මේනකා ගල්ගමුව, සුජාතා ගමගේ සහ විශාඛා පෙරේරා තිලකරත්න යන කොළඹ නගරයේ පදිංචි කාන්තාවන් එකොළොස් දෙනෙකු විසින් එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබේ.
මුදල් අමාත්‍ය මංගල සමරවීර, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙන පෙත්සම්කාරියෝ, කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට සහ මත්පැන් අලෙවි කරන වෙළෙඳ සැල්වල සේවය කිරීමට නීත්‍යානුකූලව අවසර දෙමින් ඉකුත් 10 වෙනි දින මුදල් අමාත්‍යවරයා විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කළ බව සඳහන් කරති.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම මුදල් අමාත්‍යවරයාගේ එම තීන්දුවට දැඩි විරෝධය පළ කළේය.
එම ගැසට් නිවේදනය පිළිබඳව සමාජය තුළ විරෝධතා මතු වීමෙන් පසුව එම ගැසට් නිවේදනය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවට ප්‍රවෘත්ති පළවී ඇතැයි ද පෙත්සමේ සඳහන් වේ.
කැබිනට් මණ්ඩලයේ එම තීරණය මගින් කාන්තාවන්ට සමාජය තුළ සමාන ආකාරයෙන් කටයුතු කිරීමට ඇති අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කාරියන්ගේ තර්කය වී තිබේ.
මේ හේතුවෙන් රජය සිය මූලික අයිතීන් කඩ කර ඇති බවට තීන්දුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කාරියෝ, මත්පැන් මිලදී ගැනීමට සහ මත්පැන් අලෙවිහල් වල සේවය කිරීමට නීත්‍යානුකූලව අවසර ලබාදෙන ගැසට් නිවේදනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරති.
කැබිනට් මණ්ඩලයේ තීන්දුව සමාජ ජාල ඔස්සේ ද ප්‍රබල සංවාදයකට තුඩු දී තිබේ.
තවත් කියවන්න:









