වතිකානය සහ ඕතඩොක්ස් පල්ලිය එක මේසයක

ඡායාරූප මූලාශ්‍රය, AP
කියුබාවේ දී වතිකානුවේ පාප් වහන්සේ සහ රුසියානු ඕතඩොක්ස් පල්ලියේ ප්‍රධාන පියතුමා අතර පැවැත්වුණු ඓතිහාසික හමුවේ දී සියලුම කිතුනුවන් එකමුතු කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු බවට සාකච්ඡා පැවැත්වූ බවයි පැවසෙන්නේ.
එකොළොස් වැනි ශතවර්ෂයේ බටහිර සහ නැගෙනහිර වශයෙන් ක්‍රිස්තියානි කඳවුර දෙකකට බෙදී වෙන් වීමෙන් පසු පාප් වහන්සේ සහ රුසියානු පල්ලිය අතර සිදු වූ පළමු හමු වීම මෙයයි.
පාප් වහන්සේ සහ රුසියානු පල්ලියේ ප්‍රධාන පියතුමා කියුබාවේ හවානා ගුවන් තොටුපලේ දී මුණ ගැසුණු අතර පැය දෙකක කාලයක් පුරා කතා බහේ නිරතව සිටියහ.
පසුව රුසියානු පල්ලියේ පියතුමා පැරගුවායි රාජ්‍ය සහ බ්‍රසීලයේ සංචාරයක් සඳහා පිටත්ව ගියේය.
ඒකාබද්ධ ප්‍රකාශයක්

ඡායාරූප මූලාශ්‍රය, AP
මැද පෙරදිග කලාපයේ දිගින් දිගටම කිතුනුවන්ට එරෙහි වද හිංසා වලින් ඔවුන් ආරක්ෂා කර ගැනීමට ලෝකයේ අවධානය යොමු කර ගැනීම පිණිස පල්ලි දෙකම ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමත් මෙහි දී සිදු කෙරිණ.
එම විශේෂ හමුවෙන් පසු ශුද්ධෝතම පාප් වහන්සේ මේ වන විට පස් දින සංචාරයක් සඳහා මෙක්සිකෝවට පැමිණ සිටියි.
ලොව දෙවන ස්ථානයට විශාලම කතෝලික ජන සමූහය ජීවත් වන මෙක්සිකෝවේ මේ වන විට පවතින දැඩි ශීතල දේශගුණය ද නොසලකමින් ලක්ෂ තුනකට අධික කිතුනුවෝ පාප් වහන්සේ පිළිගැනීමට එක් රැස්ව සිටියෝය.




