මස් කෑම අඩු කර මිහිතලය රැක ගනිමු -ආනෝල්ඩ්

ඡායාරූප මූලාශ්‍රය, Getty

කාලගුණ විපර්යාස වලක්වා ගැනීම සඳහා සතියකට එක් දිනක් හෝ දෙකක් නිර්මාංශ ආහාර පරිභෝජනයට මිනිසා හුරු විය යුතු බව කැලිෆෝනියාවේ හිටපු ආණ්ඩුකාර ආනෝල්ඩ් ස්වාසෙනේගර් පැවසීය.

වායුගෝලයට මුදා හැරෙන මුළු හරිතාගාර වායු ප්‍රමාණයෙන් 28%ක් පමණ සත්ව ගොවිපලවලින් විමෝචනය වන බවට ඇස්තමේන්තු කර ඇති බවයි ජනප්‍රිය හොලිවූඩ් තරුවක් වන ස්වාසෙනේගර් බීබීසීයට කියා සිටියේ.

එමගින් මිහිතලය රත් වීම සිදු වන බැවින් මාංශ පරිභෝජනය පාරිසරික ප්‍රශ්නයක් වී ඇති බව ඔහු පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, EPA

කායවර්ධනය

තමා හිමි කර ගෙන ඇති ආකාරයේ දේහයක් ඇති කර ගැනීමට අපේක්‍ෂා කරන තරුණයන්ට සත්ව මාංශ ආහාරයට ගැනීමකින් තොරව එය ඉටු කර ගැනීමට හැකිවේදැයි විමසු විට කාය වර්ධන ශූරයෙකු වූ ආනෝල්ඩ් ස්වාසෙනේගර් කියා සිටියේ සාර්ථක කාය වර්ධන ශූරයන් මාංශ පරිභෝජනයෙන් වැළකී ඇති බවයි.

‘ශරීරයට ප්‍රෝටීන ලබා ගත හැකි ක්‍රම බොහොමයක් තිබෙනවා. කායවර්ධනයේ යෙදෙන නිර්මාංශ වූ පුද්ගලයන් බොහෝ දෙනෙක් මම දැකල තියෙනවා.’ ඔහු පැවසීය.