මරණ දඬුවම ඉවත් කරන්න - පාප් වහන්සේ

ඡායාරූප මූලාශ්‍රය, Reuters
මරණීය දණ්ඩනය නීති පොතෙන් ඉවත් කිරීමට පියවර ගන්නා මෙන් පාප් වහන්සේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියහ.
එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලය අමතා ඉතා දුර්ලභ දේශණයක් පවත්වමින් එම ඉල්ලීම කළ උන් වහන්සේ, දිළිඳු සහ වරප්‍රසාද අහිමි ජනතාව වෙත දැනට වඩා සානුකම්පිත ආකාරයෙන් ක්‍රියා කරන මෙන්ද ඉල්ලීමක් කළහ.
ෆ්රැන්සිස් පාප් වහන්සේ එක්සත් ජනපද සංචාරයක නිරත වන්නේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වීම පිණිස ලෝක නායකයන් නිවුයෝක් නුවරට රැස්ව සිටියදී.
ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ඒ අතර සිටියි.
සංක්‍රමණික අර්බුදය
පසුගිය සිකුරාදා ගාල්ලේ දී විශේෂ ප්‍රකාශයක් කළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබෙන්නේ නම් ලබන වසරේ සිට ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව පැවසීය.
ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය වැනි දියුණු රටවල පවා මරණ දඬුවම ක්‍රියාත්මක වන බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

ඡායාරූප මූලාශ්‍රය, AFP
එනමුත් වොෂින්ටනයේදී කොන්ග්‍රස් සභිකයන්, විනිශ්චයකරුවන් සහ නිලධාරීන් ඇතුළු 500 කට අධික පිරිසක් අමතා කතා කළ පාප් වහන්සේ අවධාරණය කළේ ලොව පුරා සියලු රටවල් මරණ දඬුවම තහනම් කළ යුතු බවයි.
ඒ වෙනුවට වැරදිකරුවන් පුනරුත්ථාපනය කරන මෙන් උන් වහන්සේ එක්සත් ජනපද නායකයන්ගෙන් ඉල්ලා සිටියහ.
දැඩි අත්පොලසන් මධ්‍යයේ කොන්ග්‍රස් සභාවට ඇතුළු වූ පාප් වහන්සේ ප්‍රධානම අවධානය පළ කළේ සංක්‍රමණිකයන් පිළිබඳ අර්බුදයටයි.
සංක්‍රමණිකයන් දෙස 'තවත් අංකයක්' ලෙසින් නොව 'මනුෂ්‍යයකු' ලෙසින් බලන්නැයි උන් වහන්සේ අයැද සිටියහ.
දෙවැනි ලෝක යුද්ධයෙන් අනතුරුව ලෝකය ඉතා බරපතල සංක්‍රමණික අර්බුදයකට මුහුණ දී සිටින බව සඳහන් කළ උන් වහන්සේ, විශේෂයෙන්ම වඩා යහපත් ජීවිතයක් පතා මධ්‍යම ඇමෙරිකානු රටවල සිට එක්සත් ජනපදයට ළඟාවීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් පිළිබඳව සඳහන් කළ අවස්ථාවේ සභාවේ සියලු දෙනා නැගිට අත්පොලසන් දුන්හ.



![දරුවන් හතර දෙනෙකු සහ දෙමව්පියන් [හිස්] සිටින පවුලේ පින්තූරයක්](https://ichef.bbci.co.uk/ace/ws/660/cpsprodpb/4cbe/live/88b07cc0-f5ec-11f0-aa63-9f26721d0c22.png.webp)




