මේ වසරේ ළමා අපචාර පැමිණිලි 6500

ඡායාරූප මූලාශ්‍රය, Getty

මේ වසර තුළ ළමා අපචාර සහ අපයෝජනය පිළිබඳ පැමිණිලි 6500 ක් ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය පවසයි.

ළමා අපයෝජනය, ළමුන් පාසල් නොයෑම සහ ළමුන්ට නොසැලකිලිමත් ලෙස සැලකීම ඒ අතර වන බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය නටාෂා බාලේන්ද්‍ර ප්‍රකාශ කළේ.

එම පැමිණිලිවල සත්‍ය අසත්‍ය භාවය කෙසේ වෙතත් ඒවා පිළිබඳව කඩිනමින් විමර්ශන ආරම්භ කර ඇති බව ඇය ප්‍රකාශ කළාය.

ඒකාබද්ධව විමර්ශන

ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ විමර්ශන අංශය, නීති අංශය සහ පොලිස් ඒකකය ඒකාබද්ධව විමර්ශන සිදු කෙරෙන බවයි සභාපතිනිය නටාෂා බාලේන්ද්‍ර පැවසුවේ.

ළමා අපචාර වැඩිවී ඇත්ද කියා පැහැදිලි පිළිතුරක් ලබා දිය නොහැකි බව පැවසූ ඇය කියා සිටියේ පසුගිය වසරේ පළමු මාස අට තුළ මේ වසරට වඩා පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

පසුගිය වසර දහය දෙස බැලීමෙන් ළමා අපචාර වැඩිවී ඇති බවක් පෙනෙන්ට ඇති බව ඇය සඳහන් කළාය.

“පැමිණිලි කිරීම් වැඩි වෙලා තියෙනවා, මාධ්‍ය මගින් වාර්තා කරනවා. නමුත් වැඩිද අඩුද කියන්න දත්ත නැහැ. නමුත් කියන්න පුළුවන් හුඟක් සිදුවෙනවා කියල,” ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය නටාෂා බාලේන්ද්‍ර ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළාය.

නිශ්චිත හේතු

ළමා අපචාර වැඩිවීමට තුඩු දෙන නිශ්චිත හේතු හඳුනාගෙන නැති බවත් ඒ සම්බන්ධයෙන් නිගමන වලට එළඹීමට තරම් ලොකු දැනුමක් නොමැති බවත් ඇය පැවසුවාය.

නමුත් දළ වශයෙන් කතා කරන විට ශ්‍රීලාංකීය සමාජය තුළ යුද්ධයෙන් පසුවත් ප්‍රචණ්ඩත්වය වැඩිවී ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ .

“මත කුඩු, මත් ද්‍රව්‍ය භාවිතය වැඩි වෙලා තියෙනවා, අසභ්‍ය වීඩියෝ බලන එක හුඟක් තියෙනවා, සමාජයේ බිඳ වැටීමක් පෙන්න තියෙනවා. හරියටම කියන්න බැහැ හේතුව, ”ඇය සඳහන් කළාය.

දැනුවත් කිරීමේ වැඩසටහන්

ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආරම්භ කොට ඇති බව පැවසූ ඇය පාසල් මට්ටමින් සහ ගම් මට්ටමින් කමිටු පිහිටුවා ගුරුවරුන්, දෙමව්පියන් සහ පොදුවේ සමාජය දැනුවත් කෙරෙන බවත් ජනතාව ශක්තිමත් කිරීම අධිකාරියේ අරමුණ බවත් ඇය ප්‍රකාශ කළාය.

ජනතාව විසින් දරුවන් ආරක්ෂා කිරීම තහවුරු කිරීම සහ නියාමනය කිරීම දැනුවත් කිරීමේ වැඩසටහන්වලින් අපේක්ෂා කෙරෙන බවයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිනිය නටාෂා බාලේන්ද්‍ර තවදුරටත් ප්‍රකාශ කළේ.