චාල්ස් රජුගේ රාජාභිෂේකය: සහභාගී වන්නේ කවුද - නොවන්නේ කවුද?

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
- Author, චාලි ඇඩම්ස්
- Role, බීබීසී පුවත්
තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට යන්තමින් දින කිහිපයක් ඉතිරිව තිබිය දී, එයට ආරාධිත අමුත්තන්ගේ ලැයිස්තුවේ සිටින්නේ කවුද, නොසිටින්නේ කවුද යන්න පිළිබඳව වඩාත් පැහැදිලි චිත්‍රයක් අප ඉදිරියේ මැවෙමින් තිබේ.
මැයි හයවැනි දා ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් ආසන දෙව් මැඳුරේ දී රජු, රාජ මෙහෙසිය කැමිලා ද සමග ඔටුනු පළඳිනු ඇත.
1953 දී, රජුගේ මව්, දෙවැනි එලිසබෙත් රැජිණ වෙනුවෙන් පැවැත්වුණු රාජාභිෂේකයට වඩා කුඩා, කෙටි හා වඩාත් විවිධත්වයකින් යුත් උත්සවයක් රජු විසින් තෝරාගෙන තිබේ.
මේ සඳහා පුද්ගලයින් 2000ක් පමණ දෙනාට ඇරයුම්පත් යවා ඇති අතර, අමුත්තන් ලැයිස්තුව ගැන අප දැනට දන්නා තොරතුරු මෙසේ ය.
රාජකීය පවුලේ සාමාජිකයින්
බොහෝ උත්සවයන්හි දී මෙන්ම මෙහිදීත් පවුලට මුල් තැන හිමිව ඇති අතර, චාල්ස් රජුගේ හා කැමිලාගේ පවුලේ බොහෝ සාමාජිකයින් මීට සහභාගීවීමට නියමිත ය.
වේල්ස් කුමරු හා කුමරිය වන විලියම් කුමරු හා කැතරීන් ද, රජුගේ සොයුරු සොයුරියෝ දෙදෙනෙකු වන රාජකීය කුමරිය ඈන් සහ එඩින්බරෝහි ආදිපාද එඩ්වඩ් ඒ අතර සිටිති.
බොහෝ අනුමානයන්ගෙන් පසු, හැරී කුමරු මෙම අවස්ථාවට සහභාගී වනබව තහවුරුකර තිබේ. නමුත් ඔහුගේ බිරිඳ මෙගන් මෙයට නොපැමිණෙනු ඇත. රාජාභිෂේකය, යුවළගේ පුත්‍ර ආචි කුමරුගේ සිව්වන උපන්දිනය දාට යෙදී තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
යෝක්හි ආදිපාද ඇන්ඩෘ කුමරු පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන නමුත් ඔහුගේ පෙර බිරිඳ හා යෝක්හි ආදිපාදවරිය වන සේරා ෆර්ගියුසන් නොපැමිණෙනු ඇත.
ඔවුන්ගේ දියණියන් වන, සිහසුන සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙලේ නවවැනි හා 11 වැනි ස්ථානයන් දරන බියට්‍රිස් කුමරිය හා ඉයුජිනී කුමරිය ද, ඈන් කුමරියගේ දියණිය වන සාරා ටින්ඩල් හා ඇගේ සැමියා වන මයික් ටින්ඩල් ද මීට සහභාගීවීමට ඉඩකඩ තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
චාල්ස් රජුගේ හා කැමිලාගේ මුණුබුරු මිණිබිරියන් එහි පැමිණෙනු ඇති අතර, ඔවුන්ගෙන් ඇතැමෙකු උත්සවයේ අංගයන්ට ද සහභාගී වේ.
විලියම් කුමරු හා කැතරින්ගේ පුත් ද, සිහසුනට අනුප්‍රාප්තික පිළිවෙලෙහි දෙවැන්නා ද වන ජෝර්ජ් කුමරු, "ගෞරවනීය අතවැසි ළමුන්" ගෙන් කෙනෙකු වනු ඇත.
රාජ මෙහෙසියගේ මුණුබුරන් තිදෙනෙකු වන ගස් සහ ලුවී ලොපෙස් හා ෆ්‍රෙඩී පාකර් බෝල්ස් ද, ඇගේ ඥාති මුණුපුරෙකු වන ආතර් එලියට් ද එම තනතුරම දරනු ඇති අතර, වෙස්ට්මින්ස්ටර් ආසන දෙව් මැඳුර හරහා ගමන් කෙරෙන පෙරහැරට ද සම්බන්ධ වනු ඇත.
කැමිලා රැජිණගේ සොයුරිය ඇනබෙල් එලියට් සහ සමීප මිතුරියක වන ලැන්ස්ඩවුන් ආර්යාව රැජිණගේ අතවැසි ආර්යාවන් ලෙස මීට සහභාගී වනු ඇත.
දේශපාලනඥයන්, ලෝක නායකයන් සහ විදෙස් රාජකීයයන්
ආරාධිත අමුත්තන් 2000 අතර ප්‍රමුඛ පෙළේ දේශපාලකයින් සහ ලෝක නායකයින් ද සිටියි. මෙවැනි රාජ්‍ය උත්සවයක දී ආරාධිත අමුත්තන් කවුදැ යි තීරණය කරන්නේ රජයබව ද සිහිතබා ගත යුතු ය.
අගමැති රිෂී සුනක් ද කැබිනට් අමාත්‍යවරුන් හා සාමි මණ්ඩලයේ සගයින් ද සමග සහභාගීවීමට නියමිත ය.
වාර්තාවන්ට අනුව, ලිස් ට්‍රස් හා ටෝනි බ්ලෙයා වැනි හිටපු එක්සත් රාජධානි අගමැතිවරුන් ද, ස්කොට්ලන්තයේ නව මහාමාත්‍ය හම්සා යූසුෆ් ද මෙහි පැමිණෙනු ඇත.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් එහි පැමිණෙනු ඇත. මාර්තු මාසයේ දී චාල්ස් රජුගේ ප්‍රංශ රාජ්‍ය සංචාරය එරට විරෝධතා හේතුවෙන් කල් දමනු ලැබූවත්, එක්සත් රාජධානිය කෙරෙහි ඔහුගේ "මිත්‍රත්වය, ගෞරවය සහ සම්මානනය" පෙන්වීමට මැක්‍රොන් මෙයට සහභාගී වනබව මූලාශ්‍රයයක් ටයිම්ස් වෙත පවසා තිබුණි.
අප්‍රේල් මස චාල්ස් රජු වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් අවස්ථාවේ දී එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන්, ඔහු මීට සහභාගී නොවන වග පැවසූමුත් ජනපති ආර්යාව වන ජිල් බයිඩන් ඔහු වෙනුවට පැමිණෙනු ඇතැ යි තහවුරු කළේ ය.
පෝලන්ත ජනපති අන්ඩ්‍රේ ඩූඩා සහ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් යන දෙදෙනාම, ඔවුන් මෙයට පැමිණීමට සැලසුම් කරනබව පවසා ඇත. පාකිස්ථාන අගමැති ෂෙහෙබාස් ෂරීෆ් සහ ෆීලිපින ජනපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ද පැමිණෙනු ඇතැ යි පුවත් වාර්තා පවසයි.
ආගමික නායකයින් හා පොදු රාජ්‍ය මණ්ඩලය පුරාවෙන්ම නියෝජිතයින් ද පැමිණෙනු ඇතැ යි විශ්වාස කෙරෙයි.
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකයට සහභාගිවීමට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුලු පිරිසක් ද ලන්ඩනය බලා ගොස් තිබේ.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සම්ප්‍රදායෙන් බැහැරට යමින්, විදෙස් රාජකීය පවුල්වල සාමාජිකයින් ද උත්සවය සඳහා ලන්ඩනයට පැමිණෙනබව වාර්තාවී තිබේ.
මීට, මොනාකෝහි ඇල්බට් කුමරු හා චාලීන් කුමරිය, ස්පාඤ්ඤයේ ෆෙලිපේ රජු සහ ලෙටීෂියා රැජිණ, ජපානයේ කිරුළ හිමි කුමරු අකිෂිනෝ සහ කිරුළ හිමි කුමරිය කිකෝ, සහ ස්වීඩනයේ 16 වැනි කාල් ගුස්ටාෆ් රජු සහ ඔහුගේ දියණිය වන කිරුළ හිමි වික්ටෝරියා කුමරිය ඇතුළත් ය.
එසේම, පෙබරවාරියේ වින්ඩ්සර් මාළිගයේ දී රජු හා තේ පැන් සංග්‍රහයකට සහභාගී වූ, යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා ෆොන් ඩ ලයන් ද මීට සහභාගී වනු ඇතැ යි විශ්වාස කෙරෙයි.
ස්වේච්ඡා සේවකයින්, සන්නද්ධ හමුදා සහ පුණ්‍යායතන සේවකයින්
චාල්ස් රජු හා කැමිලා, ඔවුන්ගේ පුණ්‍ය කටයුතු පිළිබඳ කෙරෙන ඇගයීමක් ලෙස ප්‍රජා නියෝජිතයින් 850 දෙනෙකුට උත්සවය සඳහා ඇරයුම්කර ඇත.
මෙයට, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කම්ලාභීන් (BEM) 450 දෙනෙකු හා රාජකීය පවුල විසින් තෝරාගැනුණු කණ්ඩායම්වල තරුණ තරුණියන් 400 දෙනෙකු ද ඇතුළත් ය.
බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කම්ලාභියෙකු වන, විශ්‍රාමලත් ගිනි නිවන භට ජෝන් ඇන්ඩර්සන් පැවසුවේ, මේ අවස්ථාව සඳහා ආරාධනා ලැබීම සඳහා තමා "වරප්‍රසාදලත්තෙකු" මෙන් හැඟුණුබව යි.

ඡායාරූප මූලාශ්‍රය, PA Media
තවත් ආරාධිතයෙකු වන්නේ මැක්ස් වූසි නම් නවයෞවනයා ය. 'බෝයි ඉන් ද ටෙන්ට්' (කූඩාරමේ පිරිමි ළමයා) ලෙස ප්‍රසිද්ධවූ ඔහු තෙවසරක් තිස්සේ කූඩාරමක නිදමින් ප්‍රාදේශීය සාත්තු නිවාසයක් සඳහා අරමුදල් රැස්කළ අයෙකි.
වෙනත් තැනෙක, සන්නද්ධ හමුදා භටයින් 6000කට වැඩි පිරිසක් රාජාභිෂේක කටයුතු සඳහා සහභාගී වනු ඇත. මෙනිසා, මෙය වසර 70කින් සිදුවන විශාලතම උත්සවාකාර හමුදා මෙහෙයුමබවට පත්වේ.
බකිංහැම් මාළිගය ඉදිරිපිට පිහිටි විශේෂ නැරඹුම් වේදිකාවක සිට පෙරහැර හා ගුවන් යානා සංදර්ශනය ඇතුළුව රාජාභිෂේකය නැරඹීම සඳහා හමුදාවිරුවන් සහ ජාතික සෞඛ්‍ය සේවාවේ සේවකයින් ද ආරාධනා ලබා ඇත.
තරු ආගමනයන් ගැන අනුමානයන්
රජුගේ හෝ රාජ මෙහෙසියගේ ප්‍රසිද්ධ මිතුරන් ද රාජාභිෂේකය සඳහා ආරාධනා ලබනු ඇත්දැ යි අනුමානයන් පළවී තිබේ.
දිනයේ විකාශන ආවරණයට සම්බන්ධවීමට පෙර ජොඈනා ලම්ලී ආර්යාව උත්සවයට සහභාගී වෙතැ යි ස්කයි නිව්ස් වාර්තාකර ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
වෙනත් ප්‍රමුඛ පෙළේ පුද්ගලයින් ඔවුන් මේ සඳහා සහභාගී වනබවට නිවේදනයකර නැතත්, රාජකීය පවුල හා සමීප සබඳකම් පවත්වන තාරකාවන් ආරාධිතයින් අතර සිටිනු ඇත
2005 වසරේ දී සාන්ත ජෝර්ජ්ගේ දේවස්ථානයේ දී පැවැත්වුණු, එවකට චාල්ස් කුමරුගේ හා කැමිලාගේ විවාහයට ආශිර්වාද දීමේ උත්සව සභාවේ දී ප්‍රසිද්ධ මුහුණු රැසක් දක්නට ලැබිණ. ඊට, Absolutely Fabulous නම් කතා මාලාවේ රඟපෑ ලම්ලී ආර්යාව මෙන්ම, විකට නළුවන් වන ස්ටීවන් ෆ්‍රයි සහ රෝවන් ඇට්කින්සන් ද, නළු රිචර්ඩ් ඊ. ග්‍රාන්ට් සහ නිළි පෘනෙලා ස්කේල්ස් ද සහභාගී විය.
ඩේවිඩ් සහ වික්ටෝරියා බෙකම් ආරාධිත ලැයිස්තුවේ සිටිනබවට කටකතා පැතිර තිබේ. දෙදෙනා විලියම් කුමරු හා කැතරින්ගේ මෙන්ම හැරී කුමරු හා මෙගන්ගේ ද විවාහ උත්සවයන්ට සහභාගී වූහ. එසේම, හිටපු එංගලන්ත පාපන්දු ක්‍රීඩකයෙකු වන බෙකම් දෙවැනි එලිසබෙත් රැජිණගේ දේහයට ගෞරව දැක්වීම සඳහා පැය 12ක් පෝළිමේ සිටියේ ය.
උත්සවය සඳහා ඇරයුම් ලැබුමට වාසනාවන්ත නොවූ සියලුදෙනා වෙනුවෙන්, BBC One හා BBC Radio හරහා උත්සවය සජීවීව විකාශය වනු ඇත.
එසේම එය BBC iPlayer, BBC Sounds සහ බීබීසී පුවත් වෙබ් අඩවිය හරහා ද නැරඹීමට හැකි ය.











