චාල්ස් කුමන ආකාරයේ රජෙකු වෙයි ද?

Charles

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

1px transparent line

බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් ඔටුන්නේ උරුමක්කාරයා වූ චාල්ස් දැන් රජ වී සිටියි. රජකමට උරුමක්කාරයා ලෙස වසර 70ක් ඔහු ගත කළ කාලය, ඔහු බ්‍රිතාන්‍යයේ හොඳින් ම සූදානම් මෙන් ම එරට රජකමට පත්වූ වයස්ගතම පුද්ගලයා බවට පත් වනු ඇත.

73 හැවිරිදි චාල්ස් රජු ඔහුගේ මවගේ දීර්ඝ පාලන කාලය තුළ එක්සත් රාජධානියේ අගමැතිවරුන් 15 දෙනෙකු සහ අමෙරිකාවේ ජනාධිපතිවරුන් 14 දෙනෙකුගේ පාලනය කරනු දැක තිබේ.

දෙවන එලිසබෙත් රැජිණගේ සුවිශේෂී යුගයක් සනිටුහන් කරන පාලන කාලයෙන් පසු කුමන ආකාරයේ රජ කෙනෙකු අපි අපේක්ෂා කරමු ද? එමෙන්ම, කුමරෙකු ලෙස කටයුතු කිරීමට පුරුදු වී සිටි අයෙකු අධිරාජ්‍යයෙකුගේ මධ්‍යස්ථභාවයට හුරුවනු ඇත්තේ කෙසේ ද?

බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස්ට තමන්ගේ ම විදෙස් ගමන් බලපත්‍රය හෝ රියැදුරු බලපත්‍රය ළඟ තබා ගැනීමට හෝ මහ ජනතාව ඉදිරියේ බරපතළ අදහස් පළ කිරීමට මින්පසු අවස්ථාවක් හිමි වන්නේ නැත. රාජ්‍යත්වය පෞද්ගලිකත්වය අතික්‍රමණය කරයි.

මෙය වෙනස් රාජකාරියක් සහ වෙනස් නීති පද්ධතියකට අනුගත වීමක් බව බ්‍රිතාන්‍යයේ ව්‍යවස්ථා විශේෂඥයෙකු වන මහාචාර්ය වර්නන් බොග්දනෝර්ගේ විශ්වාසය යි.

"කුඩා අවදියේ පටන්ම ඔහු දැන සිටි ආකාරයට ඔහුගේ ජීවන රටාව වෙනස් විය යුතුයි," මහාචාර්ය වර්නන් බොග්දනෝර් පවසයි.

කතා කිරීම පාලනය කරගත යුතු බව චාල්ස් හොඳින් දනී. "මම මෝඩයෙක් නෙවෙයි. රජකමට පත් වෙනවා කියන්නේ වෙන ම කර්තව්‍යයක් බව මට තේරෙනවා," 2018 වසරේ බීබීසී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු පැවසීය. "මම ඒ විදියට ම ඒ දේවල් කොහොම හරි කරගෙන යනවා කියන අදහස සම්පූර්ණයෙන් ම විකාරයක්."

නව රජකෙනෙකු අභිෂේක වීමෙන් පසු, කාසිවල රාජකීය මුද්‍රාව විරුද්ධ මුහුණතට මාරු වෙයි. එමෙන්ම චාල්ස්ගේ පාලනය ද වෙනස් ඉලක්කයකට යොමු වනු ඇත.

චාල්ස් රජු පාලනය කරන රට ඔහුගේ මවට උරුම වූ රටට වඩා බොහෝ සෙයින් වෙනස් එකකි. මහාචාර්ය බොග්දනෝර් අපේක්ෂා කරන්නේ, නව රජු බහු සංස්කෘතික, බහු ඇදහිලි සහිත බ්‍රිතාන්‍යයක් ගොඩ නගනු ඇති බවය.

සුළු ජාතීන් සහ ප්‍රතිලාභ අහිමි වූ කණ්ඩායම් සම්බන්ධ කර ගැනීමට දෘෂ්‍යමාන උත්සහයක් ගන්නා එක්සත්භාවයේ බලවේගයක් ලෙස ඔහු ක්‍රියා කරනු ඇතැයි මහාචාර්යවරයා අපේක්ෂා කරයි.

1px transparent line
Charles joins members of the British Asian Trust (BAT) for a short distance as they kick-start BAT's 'Palaces on Wheels' Sponsored Bike Ride, at Highgrove House in Tetbury, Gloucestershire on June 10, 2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බ්‍රිතාන්‍ය ආසියානු භාරයේ සාමාජිකයින් සමඟ ඔවුන් ග්ලෝස්ටර්ෂයර් හි ඇති හයිග්‍රෝව් හවුස් හි අනුග්‍රහයෙන් සවාරියක් ආරම්භ කරමින් බයිසිකලයක නැග - 2021 ජුනි
1px transparent line

එමෙන් ම, කලාව, සංගීතයට වැඩි වශයෙන් රාජ්‍ය අනුග්‍රහය හිමි වනු ඇති බවත්, ෂේක්ස්පියරියානු සංස්කෘතියට වැඩි ඉඩකඩක් සහ තුරඟ තරගවලට අඩු ඉඩකඩක් හිමි වනු ඇති බවත්ය.

කෙසේ වෙතත්, චාල්ස් කුමරුගේ Prince's Trust පුණ්‍යායතනයේ වසර ගණනාවක් පුරා චාල්ස් සමඟ සේවය කළ ශ්‍රීමත් ලොයිඩ් ඩෝර්ෆ්මන් පවසන්නේ, දේශගුණික විපර්යාස සහ කාබනික වගාව සඳහා ඔහු දැක්වූ දායකත්වය සම්පූර්ණයෙන් නතර නොවනු ඇති බවය.

"ඔහු ඉතා දැනුවත් සහ ඵලදායී කෙනෙක්. රජකමට පත්වූ වහා ම සියල්ල අත් හරියි කියලා හිතන්න අමාරුයි," ශ්‍රීමත් ලොයිඩ් යෝජනා කරයි.

චාල්ස් රජු "පුළුල් නොවූ" රාජ්‍යත්වයක් ගෙන යනු ඇති බවට කතාබහක් ඇති වී තිබේ. එහි අදහස වී ඇත්තේ, චාල්ස් - කැමිලා සහ විලියම් - කැතරින් මැදි කර ගත් කෘත්‍යාධිකාරී රාජකීයයන්ගෙන් සැදුම්ලත් කුඩා කණ්ඩායමක් යොදා ගැනීමට දැඩි අවධානයක් යොමු කර ඇති බවය.

එසේ වුවද, නව පාලනයේ ප්‍රමුඛ පණිවිඩය අඛණ්ඩතාව සහ ස්ථාවරත්වය වනු ඇතැයි රාජකීය විචාරක වික්ටෝරියා මර්ෆි පවසයි.

"විශාල වෙනස්කම් බලාපොරොත්තු වෙන්න එපා. ඔහු ඉතාමත් ප්‍රවේශම්සහගතයි," ඇය පවසයි.

"අපි පුරුදු වෙලා තියෙන්නේ රැජිණ ජාතික ජීවිතයේ නියතයක් කියලයි. ඒත් ඇය හැරුණාම චාල්ස් ඕනෑ ම කෙනෙකුට වඩා, ඕනෑ ම දේශපාලනඥයෙකුට වඩා වැඩි කාලයක් එහි ගත කළා." රාජකීය නිවේදක සහ කර්තෘ රොබර්ට් හාර්ඩ්මන් පවසයි.

1px transparent line
Royal Family on the balcony of Buckingham Palace, June 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2022 ජූනි, බකිංහැම් මාලිගයේ බැල්කනියේ "පුළුල් නොවූ" රාජකීය පවුල
1px transparent line

දේශගුණික විපර්යාස පිළිබඳ අනතුරු ඇඟවීම් වැනි කාරණා සම්බන්ධයෙන් නිවැරදි බව ඔප්පු කිරීමෙන් චාල්ස් රජු ශක්තිමත් වී ඇතැයි ඉතිහාසඥ ශ්‍රීමත් ඇන්තනි සෙල්ඩන්ගේ විශ්වාසයයි. වරක් සමච්චලයට ලක්ව සිටි ඔහුට දැන් "ඇටන්බරෝ - රැස් මඩලක් බවට පත්ව තිබේ," ඔහු කියයි.

උදාහරණයක් වශයෙන්, 2021 වසරේදී ග්ලාස්ගෝහි පැවති දේශගුණික විපර්යාස සමුළුවේදී අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් වැනි ප්‍රකට පුද්ගලයින් චාල්ස් බැරෑරුම් ලෙස සැලකූ අතර ලෝකයේ ඔහුට ඇති තත්ත්වය රජු ලෙස කටයුතු කිරීමේදී ඔහුට සහය වනු ඇතැයි හාර්ඩ්මන් පෙන්වා දෙයි.

"මේක හුදු වර්ණනාවක් නෙවෙයි. ඔවුන් දෙදෙනා එකට අසුන්ගෙන හිටියා. ඒ වෙලාවේ බයිඩ්න් කිව්වා:'මේ සියල්ල ඔබගේ මැදිහත්වීම නිසයි සිද්ධ වුණේ'," ඔහු පැවසීය.

කෙසේ වෙතත්, නව රජුගෙන් කුමන ආකාරයේ චරිත ස්වභාවයක් දක්නට ලැබේවි ද?

ඔහු ගැන දන්නා පුද්ගලයින් පවසන්නේ, ඔහු තරමක් ලජ්ජාශීලී, විවෘත නැති අයෙකු බවය. ඇතැමෙකුට අනුව ඔහු,"සංවේදී හදවතක් ඇත්තෙකි".

1px transparent line
Official photograph to mark the prince's 18th birthday

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, කුමාරයාගේ 18 වැනි උපන්දිනය සැමරීම සඳහා ගත් නිල ඡායාරූපය
1px transparent line

පාසලේදී හිරිහැරවලට සහ කොන් කිරීමට ලක්වූ බවට පැමිණිලි කළ, තනිව සිටි පිරිමි දරුවෙකු වූ බවට ද හෝඩුවාවක් පවතී.

"ඔවුන් රාත්‍රිය පුරා සෙරෙප්පු විසි කළා. කොට්ටවලින් මට ගැහුවා. මට පුළුවන් තරම් තදින් පහර දුන්නා," යැයි නේවාසිකාගාරයේදී තමන්ට වූ හිරිහැර පිළිබඳව ඔහු නිවසට ලිපියකින් දන්වා තිබිණි.

ඔහුගේ බිරිඳ වන කැමිලා ඔහු ගැන විස්තර කළේ: "ඉවසීමක් නැති කෙනෙක්. ඔහුට ඕන අවශ්‍ය දේවල් ඊයේ ඉවර වෙලා තියෙන්නයි. එහෙමයි ඔහු දේවල් කරන්නේ."

චාල්ස්ගේ 70 වන උපන් දින සැමරුම වෙනුවෙන් පැවති රූපවාහිනී සාකච්ඡාවකදී ඇය පැවසුවේ, ඔහු ඉතා බැරෑරුම් චරිතයක් ලෙස ප්‍රසිද්ධියේ පෙනුණ ද, ඔහුගේ විනෝදජනක පැත්තක් ද ඇති බවය.

"ඔවුන් දකින්නේ ඔහු ගොඩක් බැරෑරුම් පුද්ගලයෙක් කියලා. ඒත් මම කැමතියි ඔහුගේ චරිතයේ සැහැල්ලු පැත්තත් ජනතාව දකිනවා නම්. ඔහු දණ ගහගෙන දරුවන් එක්ක සෙල්ලම් කරනවා, ඔවුන්ට හැරී පොටර් කතාව කියවනවා. ඒ විදියට කතා කරනවා," කැමිලා පැවසීය.

1px transparent line
Prince Charles with Prince Louis, June 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2022 ජූනි මාසයේ ප්ලැටිනම් ජුබිලිය අතරතුර චාල්ස් ඔහුගේ මුනුපුරා වන ලුවී කුමරු සමඟ
Charles and Camilla laughing during the Braemar Highland Gathering on 3 September 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2022 සැප්තැම්බර් 3 වන දින බ්‍රේමර් හයිලන්ඩ් රැස්වීම අතරතුර චාල්ස් සහ කැමිලා සිනාසෙමින්
1px transparent line

ඔහු මහ ජනතාව අබියසදී සැහැල්ලු මෙන් ම ප්‍රවේශ විය හැකි පුද්ගලයෙකු බවට පත් වන අතර තමන්ගේ ම විහිළුවලින් ජනතාව ඇදබැඳ තබා ගැනීමට ද ඔහුට හැකියාවක් ඇත. ඇතැම් විට රජකමට පත් වීමෙන් පසු එය වෙනස් විය හැකිය. එහෙත් වේල්ස්හි කුමාරයා ලෙස ඔහු මිත්‍රශීලී, සීයා කෙනෙකුගේ පෞරුෂයක් ගොඩ නගාගෙන තිබේ.

70 වන විය පසු කළ පුද්ගලයෙකු ලෙස මන්දගාමීත්වයේ කිසිදු සලකුණක් ඔහු පෙන්වන්නේ නැත.

Prince's Teaching Institute හි චාල්ස් සමඟ සේවය කළ ක්‍රිස් පෝප් පවසන්නේ, අභිනව රජු ඉතා කාර්ය බහුල, ඉදිරියට යන විශාල කාර්යභාරයක් කරපින්නා ගත් "ශක්ති කදම්බයක්" බවය.

"ඔහු ඊළඟ පරම්පරාවේ ශුභසිද්ධිය ගැන සැබවින් ම අවධානයෙන් ඉන්නේ. ඔහු කරන කාර්යභාරය ඔබට පෙනේවි," පෝප් පැවසීය.

උරුමයන් ආරක්ෂා කිරීම සහ සාම්ප්‍රදායික ශිල්ප සංරක්ෂණය කිරීම මෙන් ම නවෝත්පාදන සහ වෙනස්කම් සඳහා දිරිමත් කිරීම ද චාල්ස්ගේ පුණ්‍ය කටයුතු අතර වේ.

"ඔහු නිතර ම හිතන්නේ සම්ප්‍රදාය නෑ. ඒත් ඔරලෝසුව ආපසු කරකැවිය යුතුයි කියන එක ඒකෙන් ගම්‍ය වෙන්නේ නෑ කියන එක," පෝප් පවසයි.

ඒ අනුව, නව රජුගේ චරිතය විවිධ දිශා වෙත යොමු වී ඇති අතර වෙනසක් අවශ්‍ය බව සහ පවතින දේ සංරක්ෂණය කළ යුතු බව අතර එය දෝලනය වන බව පෙනීයයි. ඔහු එක්තරා ආකාරයක සාම්ප්‍රදායික රැඩිකල් මතධාරියෙකි.

1px transparent line
Prince of Wales poses during a visit to Shipton Mill, Tetbury in Gloucestershire - which holds the HRH Royal Warrant and specialises in high quality traditional milling - July 2020

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2020 ජූලි ග්ලොසේස්ටර්ශිර් හී ශිප්ටෝන් මොලේ හි, සාම්ප්‍රදායික ඇඹරීමේ ඉත්සවයකදී
Charles addressing an Action on Forests and Land Use event on day three of the COP26 Climate Conference in Glasgow, November 2021

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චාල්ස් 2021 නොවැම්බර් මස ග්ලාස්ගෝ හි COP26 දේශගුණික සමුළුවේ තුන්වන දිනයේ වනාන්තර සහ ඉඩම් පරිහරණය පිළිබඳ සමුළුව අමතමින්
1px transparent line

ඔහු 18 වන සියවසේ සිතුවමක දැක්වෙන රතු පැහැති කම්මුල් සහිත ඉඩම් හිමියෙකු සේ ඇතැම් විට දිස්වේ. තවත් අවස්ථාවක ඔහු සමහර ප්‍රජාවන් නොසලකා හැර ඇති ආකාරය ගැන කෝපයට පත්ව කලකිරුණු ප්‍රතිසංස්කරණවාදියෙකු මෙන් පෙනේ.

ඔහුගේ වැඩි කොටසක් මවගේ රාජකාරියට අදාළ මනෝභාවයෙන් යුක්ත වන අතර මවගේ ආගමික විශ්වාසයන් සහ හාස්‍ය පිළිබද හැගීම් ද චාල්ස් සිය මවගෙන් උකහාගෙන ඇත.

හයිටන් මේතා 2007 වසරේදී බ්‍රිතාන්‍ය ආසියානු භාරය ස්ථාපනය කිරීමේදී චාල්ස් රජු සමඟ කටයුතු කළ අයෙකි.

"ඔහු හදවතින් මානව හිතවාදියෙක්. මම හිතන්නේ ඔහු කෙතරම් ජනතාව ගැන හිතනවා ද කියන එක හරියට ජනතාව තේරුම් අරගෙන නෑ. තමන්ගේ මුණුපුරු මිණිපිරියන්ට ඉතිරි වන ලෝකය ගැන ඔහු නිරන්තරයෙන් කතා කරනවා. ඔහු ඒ ගැන කනස්සල්ලෙන් පසුවනවා," මේතා පැවසීය.

ඔහු ඍජු දුරකතන ඇමතුම් හරහා ද වහා ක්‍රියාත්මක විය. "එදා සිකුරාදා දිනයක රෑ 9ට විතර ඇති. ඒ වෙලාවේ මට දුරකතන ඇමතුමක් ලැබුණා මේ විදියට: 'මට මේ දැන් දැන ගන්න ලැබුණා පකිස්ථානයේ ජලගැලීම් ගැන. අපි මොකද කරන්නේ?' ඔහු එහෙම කතා කළේ කාර්ය බහුල නොවන කෙනෙක් නිසා නෙවේ. ඔහුට ප්‍රශ්නය ගැන අසන්න ලැබුණු සැණින් ඔහු ක්‍රියාත්මක වුණා. සැබවින් ම ඔහු මිනිසුන් ගැන හිතන කෙනෙක්," මේතා පවසයි.

1px transparent line
Princess Elizabeth of England and her husband Prince Philip, Duke of Edinburgh with their baby Prince Charles on July 1949 at Windlesham Moor, Surrey.

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, චාල්ස් 1948 දී බකිංහැම් මාලිගයේ උපත ලැබීය
1px transparent line

චාල්ස් ෆිලිප් ආතර් ජෝර්ජ් 1948 නොවැම්බර් 14 වන දා බකිංහැම් මාලිගයේදී උපත ලැබීය. බීබීසී පුවත් සේවය ඔහුගේ උපත නිවේදනය කරන විට එය නිවේදනය කරන ලද්දේ රැජිණට පුතෙක් උපන්නා ලෙස නොව රැජිණ ආරක්ෂිතව කුමාරයෙකු බිහි කළා යනුවෙනි. ඉන් සිව් වසරකට පසු ඔහු ඔටුන්න හිමි කුමාරයා විය.

"මම මේ විශේෂ තනතුර වෙනුවෙන් උපන් බව මම තේරුම් අරන් ඉන්නේ. ඒ වෙනුවෙන් උපරිමව කැපවෙන්න මම අධිෂ්ඨාන කරගෙන ඉන්නේ. ඒ වගේ ම මට හැකි අයුරින් ඊට සහය වෙන්න මම ක්‍රියා කරනවා," 2005 වසරේ පැවති සාකච්ඡාවකදී චාල්ස් කුමරු පැවසීය.

සංවිධාන 400කට අධික සංඛ්‍යාවක ප්‍රධානියා ලෙස ක්‍රියා කළේ ඔහුය. ඔහුට රාජකීය නාවික හමුදාවෙන් ගෙවනු ලබන වැටුප් වෙන් කරමින් 1976 වසරේදී ඔහු තමන්ගේ ම පුණ්‍යායතනයක් ආරම්භ කළේය. එය 'ද ප්‍රින්සස් ට්‍රස්ට්' විය.

"ඒක හොඳ අදහසක් කියලා අභ්‍යන්තර කටයුතු කාර්යාලය හිතුවේ නැහැ. ඒක බිම් මට්ටමේදී ක්‍රියාත්මක කිරීමට දුෂ්කර වුණා," ඔහු 2018 වසරේදී බීබීසී පුවත් සේවයට පැවසීය.

ඔහුගේ එම කාර්යය දේශපාලන ඇගිලි ගැසීම් සහ මැදිහත්වීම් පිළිබද චෝදනාවලට ලක්වූ අතර "කළු මකුළු සටහන්" ලෙස ඒවා හදුන්වනු ලැබීය. 2004 වසරේ සිට චාල්ස් රජයේ අමාත්‍යවරුන් වෙත සිය මකුළුවෙකු වැනි අත්අකුරුවලින් ලියන ලද ලිපි සැලකිල්ලට ගෙන එම නම පටබැද තිබිණි.

එම ලිපි මඟින් ප්‍රශ්න කර තිබුණේ, ගොවිතැන්, නාගරික සැලසුම්, ගෘහ නිර්මාණ ශිල්පය, අධ්‍යාපනය සහ පැටගෝනියන් ටූත් ෆිෂ් නමැති මතස්‍යයා වැනි කරුණු සම්බන්ධයෙන් රජයේ ප්‍රවේශය පිළිබදවය.

1px transparent line
Charles, known for his public views on architecture, at his Poundbury village development in Dorset in 1999

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 1999 දී චාල්ස්, ඔහුගේ පවුන්ඩ්බරි ගමේ සංවර්ධනය හා ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ඔහුගේ මහජන අදහස් ලබාදෙමින්.
1px transparent line

චාල්ස්ගේ එම ලිපි ලැබුණු හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු පැවසුවේ, තමන් ඔහුගේ ලිපි හේතුවෙන් දැඩි මානසික පීඩනයකට ලක්ව නොසිටි නමුත් ඔහු ස්ථිර අදහස් සහිත පුද්ගලයෙකු බව තමන්ට සිහිපත් කළ හැකි බවය. චාල්ස් යනු විරුද්ධ තර්ක කිරීමට අවශ්‍යතාවක් නොමැතිව පූර්ව - සැකසූ අදහස් ඉදිරිපත් කරන්නෙකු ලෙස එම අමාත්‍යවරයා දකී.

"මට ලොකු පීඩනයක් දැනුණෙ නෑ. ඔහු ඔහුගේ මැදිහත් වීම් කළා. ලිපි එව්වා. ඔහු බලපෑම් කළේ නෑ," ඔහු පැවසීය.

ඔහුගේ එම මැදිහත්වීම් ගැන 2006 වසරේදී පැවති සාකච්ඡාවකදී විමසූ විට ඔහු කීවේ, "ඒක ඇගිලි ගැසීමක් නම්, මම ඒ ගැන ගොඩක් ආඩම්බර වෙනවා," යනුවෙනි. එහෙත් ඔහු පැවසුවේ, තමන් "ජයග්‍රහණය කිරීමට නොහැකි වූ තත්ත්වයක" පසුවූ බවය.

"ඔබ කිසිවක් නොකර හිටියොත් ඔවුන් ඒ ගැන පැමිණිලි කරනවා. ඒ වගේ ම ඔබ යම් කිසි උත්සහයක් අරගෙන ඒක කරගන්න බැරිව නතර වුණොත් ඒකටත් පැමිණිලි කරනවා," ඔහු පැවසීය.

පසුව සහභාගි වූ සාකච්ඡාවකදී ඔහු පැවසුවේ, තමන් පක්ෂ දේශපාලනයෙන් වැළකී සිටි බවය. එහෙත් "මිනිසුන් ජීවත් වන තත්ත්වයන්" වැනි ගැටලු සම්බන්ධයෙන් කතා කිරීමට බලකෙරිණි.

හිටපු කම්කරු අමාත්‍ය ක්‍රිස් මුලින් ඔහුගේ දිනපොත්වල චාල්ස් සමඟ පැවැත්වූ සාකච්ඡාවක් විස්තර කර ඇති අතර, ඉන් කියවෙන්නේ, ඔහුගේ තනි ඉලක්කගත අවධානය සහ සිය නිලය අවදානමේ හෙළා ගනිමින් කතා කිරීමට පැවති සූදානම පිළිබදව තමන් පුදුමයට පත්වූ ආකාරය ගැනය. "ඔහු ඒ කාරණයට ම ආයෙත් එනවා. අවාසනාවන්ත තරුණයින්ගේ ක්ෂිතිජයන් පුළුල් කරන්නේ කෙසේ ද? මම පාපොච්චාරණය කරනවා, මම පැහැදුණා ඔහු ගැන. එය තෝරා ගත්තේ නම් ඔහුට තම ජීවිතය පවා නැති වෙන්න තිබුණා."

1px transparent line
HRH Prince Charles Prince of Wales poses for an official portrait to mark his 70th Birthday in the gardens of Clarence House, with Their Royal Highnesses Camilla Duchess of Cornwall, Prince William Duke of Cambridge, Catherine Duchess of Cambridge, Prince George, Princess Charlotte, Prince Louis, Prince Harry Duke of Sussex and Meghan Duchess of Sussex, on September 5, 2018 in London, England.

ඡායාරූප මූලාශ්‍රය, Chris Jackson / Clarence Hous via Getty images

ඡායාරූප ශීර්ෂ වැකිය, චාල්ස් ක්ලැරන්ස් හවුස් උද්‍යානයේ ඔහුගේ 70 වැනි උපන්දිනය සැමරීම සඳහා නිල ප්‍රතිමූර්තියකට පෙනී සිටිමින්
1px transparent line

සිය පාලනය ඇරඹීමට චාල්ස් රජුට කෙබදු මහජන සහයක් හිමි වෙයි ද?

"ජනතාවගේ ආකල්ප සැලකිල්ලට නොගතහොත් රාජ්‍යත්වයට පැවැත්මක් නොපවතිනු ඇත. අවසානයේ ජනතාවට එය අවශ්‍ය නොවුණහොත් එය නොපවතිනු ඇත," චාල්ස් පවසා තිබේ.

2021 වසරේ දෙසැම්බර් මාසයේදී කරන ලද සමීක්ෂණයකින් කියවුණේ, ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ යමින් පවතින අතර, බ්‍රිතාන්‍යයේ වැසියන්ගෙන් තුනෙන් දෙකක ප්‍රතිශතයක් ඔහු ධනාත්මක ආලෝකයක් ලෙස දකින බවය.

කෙසේ වෙතත්, මත විමසීම්වලදී නිරන්තරයෙන් පෙනී ගියේ, ඔහු සිය මව වූ දෙවන එලිසබෙත් රැජිණට සහ ඔහුගේ පුත් විලියම් කුමරුට වඩා ජනප්‍රියත්වයෙන් අඩු බවය. එහෙයින් මහ ජනතාවගෙන් සැලකිය යුතු ප්‍රතිශතයකගේ හිත දිනා ගැනීමට චාල්ස්ට සිදුවනු ඇත.

විශේෂයෙන් ම, තරුණ ප්‍රජාව අතර ඔහුගේ ජනප්‍රියත්වය අඩු මට්ටමක පවතී. වික්ටෝරියා මර්ෆි පවසන්නේ, 1997 වසරේ අගෝස්තු මාසයේදී රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ ඔහුගේ බිරිඳ වූ ඩයනා කුමරිය සම්බන්ධයෙන් රූපවාහිනී නාලිකා සහ සිනමා හරහා ඇති කර ඇති මතය මෙම තත්ත්වයට හේතු වී ඇති බවය.

එම මත සාක්ෂි සහ ප්‍රබන්ධ අතර මිශ්‍රණයක් වුව ද, ඉන් එල්ල වන බලපෑම දැඩිය.

"පසුගිය වසර කිහිපය තුළ ඩයනා වටා ගෙතුණු ප්‍රබන්ධ රාජකීය පවුලට කෙතරම් ප්‍රබලව බලපෑවේ ද යන්න ගැන අවධානය යොමු කළ යුතුයි," මර්ෆි පවසයි.

චාල්ස් රජකමට පත්වූ පසු, මහජන මතය වෙනස් කිරීමට උත්සහයක් ගෙන ඇතැයි, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පෝලින් මැක්ලරන් පවසයි.

මීට පෙර උපහාසාත්මක නාට්‍යවලදී හාස්‍යයට ලක්වූ ඔහු ක්‍රමයෙන් ගෞරවාන්විත චරිතයක් බවට පරිවර්තනය වී ඇති බවත්, පරිසරය පිළිබද බැරෑරුම් දේ කීමෙන් ඔහු "වනස්පතියක්" බවට පත්ව ඇති බවත් මහාචාර්ය මැක්ලරන් පවසයි.

මහජනතාවගේ අවශ්‍යතා සෑම විටම එතරම් උසස් තත්ත්වයකින් යුක්ත නොවිය හැකිය. රාජකීය පවුලේ ප්‍රධානියා ලෙස ඔහුට හැරී කුමරු සහ මේගන්, සසෙක්ස් ආදිපාදවරිය සහ රාජකීය පවුල සමඟ ඇති සම්බන්ධය පිළිබඳ කතන්දර සඳහා ඇති දැඩි ගෝලීය රුචිය සමඟ සටන් කිරීමට සිදුවනු ඇත.

1px transparent line
The Prince of Wales follows the Land Rover Defender carrying the coffin of the Duke of Edinburgh ahead of the funeral of the Duke of Edinburgh at Windsor Castle, Berkshire, 17 April 2021.

ඡායාරූප මූලාශ්‍රය, PA Media

ඡායාරූප ශීර්ෂ වැකිය, 2021 දී ඔහුගේ පියා වන පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේදී කුමරු හැඟුම්බර වී.
1px transparent line

කීර්තිමත් ජීවිතය පිළිබඳ රූපවාහිනී නාට්‍ය (සෝප් ඔපෙරා) සමඟ රාජකීය කථා අතිච්ඡාදනය වීමට පටන් ගත් විට එය ඔහුට අපහසු විය.

වර්ජිනියා ගිෆ්රේගේ ලිංගික අපයෝජන ප්‍රකාශයෙන් පසුව ඇති කර ගත් බේරුම්කරණ ගනුදෙනුවෙන් පසු ඇන්ඩෲ කුමරුගේ අනාගත භූමිකාව වැනි දැඩි පවුල් තීරණවලට මුහුණ දීමට චාල්ස්ට සිදුවේ.

එක්සත් රාජධානියෙන් බැහැරට අවධානය යොමු කිරීමේදී, පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ වඩා නූතන සබදතාවක් ගොඩ නගා ගැනීම ඔහුට ඇති ප්‍රධාන අභියෝගයකි. එහි නව ප්‍රධානියා ලෙස සාමාජික රටවල සංචාරයන් හරහා යටත් විජිතකරණයේ ගැටලු සහ වහල්භාවයට විසදුම් සොයන්නේ කෙසේ ද?

චාල්ස් රජු එක්සත් රාජධානිය ඇතුළු රටවල් 14ක ප්‍රධානියා බවට පත්ව සිටී. එම රටවල් අතරන් කිහිපයක් ජනරජ බවට පත්වීමට අවශ්‍ය බව පවසා තිබේ. එම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව චාල්ස් පැහැදිලිව පවසා ඇත..

ඔහුගේ නව පාලනය සුමට කිරීමට අවශ්‍ය තීරණ දැනටමත් ගෙන තිබේ. ඔහුගේ බිරිද කැමිලා, කුමරිය ලෙස නොව සහය රැජිණ ලෙස හැදින්විය යුතු බවට සිය මව කළ මැදිහත්වීම සම්බන්ධයෙන් ඔහු අමන්දානන්දයට පත්ව ඇතුවාට සැකයක් නැත.

බහුතරයක් විශ්‍රාම ගන්නා වයසක ලෝකයේ වඩාත් උසස් ම තනතුරක වැඩ අරඹන චාල්ස්ට කැමිලා විශාල සහයක් වනු ඇත.

ඔහුගේ ජීවිත කාලය පුරා බලා සිටි මෙම දුෂ්කර ගාම්භීරත්වය මේ මොහොතේ උදාවී තිබේ.

මේ චාල්ස් රජුගේ කාලයයි.