කැමිලා, නව රාජ මෙහෙසිය

Camilla, Duchess of Cornwall, in 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඇය චාල්ස්ගේ ජීවිතයේ ප්‍රේමය පමණක් නොවේ, තුරුණු වියේ සිටම ඔහුගේ විශ්වාසවන්තිය මෙන්ම පසුගිය දාහත් වසර පුරා ඔහුගේ බිරිඳ ද වූවා ය. දැන් ඔහු රජවීමත් සමඟ ඇය රජ මෙහෙසියබවට පත්වී තිබේ.

ප්‍රධාන ජාතික හා ජාත්‍යන්තර උත්සව සහ සැමරුම්වල දී සිය සැමියාගේ පසෙකින් සිටින කැමිලා මහජනයාට හුරුපුරුදු දසුනකි. නමුත් ඇයම පවසන පරිදි එය පහසු කටයුත්තක් නොවේ.

කැමිලා පාකර් බෝල්ස් තරම් ප්‍රසිද්ධියේ අපහාසයට ලක්වූ කාන්තාවන් සිටින්නේ අල්පයකි. ඇය වේල්ස් කුමරිය ඩයනා හා නිරන්තර සැසඳීමට ලක්වූවා පමණක් නොව, චාල්ස් හා ඩයනා අතර වූ සියවසේ විවාහය බිඳවැටීමට හේතුවූ "තෙවැන්නිය" ද විය.

Bridesmaids and sisters 4-year-old Camilla and 3-year-old Annabelle Shand, at a wedding

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කැමිලා පාකර් බෝල්ස් (වමේ), ඇගේ සොයුරිය ඇනබෙල් සමග, 1952 පැවැත්වුණු මංගල උත්සවයක දී

චාල්ස් සිය සැමියා වශයෙන් තෝරාගැනීමත් සමඟ ඇගේ ජීවිතය උඩුයටිකුරු විය. වසර ගණනාවක් තිස්සේ මාධ්‍ය ඇය පසුපස පැන්නූ අතර, ඇගේ චරිතය සහ පෙනුම නිර්දය ලෙස විවේචනය කෙරිණි. නමුත් කාලයත් සමඟ ඒ සියල්ලෙන්ම මිදුණු ඇය රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨතම කාන්තා සාමාජිකාව ලෙස කෙමෙන් කෙමෙන් තම ස්ථානය තහවුරු කර ගත්තා ය.

ලෝකය ඇය හඳුන්වන පරිද්දෙන් 'වයස විසිගණන්වල මුල දී ඔවුන් හමුවූ විට චාල්ස් දුටුසැණින් ප්‍රේමයෙන් බැඳුණු ගැහැනියට' එය පහසු ගමනක් නොවීය.

දෙවන එළිසබත් රැජිනට ඇය සම්පූර්ණයෙන් පිළිගැනීමට තරමක කාලයක් ගතවූ නමුත්, ජීවිතයේ අවසාන වසරවල දී ඇය කැමිලාට සිය සහාය දැක්වූවා ය.

නව රැජිනට ඇතැම්විට පූර්ණ ජනතා පිළිගැනීම කිසිදා නොලැබෙන්නට ඉඩ ඇත. නමුත් මේ වසර මුල දී ඇය වෝග් සඟරාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී කියා සිටියේ, "මම ඒකෙන් උඩට ඇවිත් දිගටම ජීවිතේ ගෙනගියා. අපට ජීවිතේ එක්ක ඉදිරියට යන්න සිද්ධවෙනවා..."

බ්‍රිතාන්‍ය කිරීටයේ උරුමකරු වන තැනැත්තා හා විවාපත්වීම, 1947 ජූලි 17 වන දින උපන් කැමිලා රෝස්මරී ෂැන්ඩ්ගේ අනාගතයේ ලියැවී නොතිබෙන්නට ඇත.

ඇගේ පවුල ඉහළ පන්තියට අයත් ධනවතුන් වුවත් කිසිසේත්ම රාජකීයයන් නම් නොවීය.

ඇය හැදී වැඩුනේ සසෙක්ස්හි පිහිටි ඇගේ පවුලට අයත් සුන්දර වතු යායක දී සිය සහෝදරයා සහ සහෝදරිය සමඟ ය. ඇගේ පවුල ඉතාම ආදරණීය සහ එකිනෙකා කෙරෙහි තදින් බැඳුණු පවුලක් විය.

විශ්‍රාමික හමුදා නිලධාරියෙකු වූ ඇගේ පියා බෲස් ෂැන්ඩ්, ඇය නින්දට යන තෙක් ඇයට කතන්දර කියවීමට හුරුවී සිටි අතර, ඇගේ මව වූ රොසලින්ඩ් සිය දරුවන් පාසලට, ක්‍රියාකාරකම්වලට සහ මුහුදු වෙරළට කැඳවාගෙන ගියා ය.

මව්පියන් ලොව පුරා සංචාරය කරන විට දිගු කාලයක් ඔවුන්ගෙන් වෙන්ව සිටීමට සිදුවූ චාල්ස්ගේ ළමා කාලයට වඩා කැමිලාගේ ළමා කාලය ඉඳුරාම වෙනස්වූවකි.

ස්විට්සර්ලන්තයේ පිහිටි, ගැහැණු ළමුන් උසස් සමාජයට කළඑළි බැසීමට හුරු කරන 'ෆිනිෂින් පාසැලක්' විසින් ලන්ඩන් සමාජයේ ප්‍රමුඛ සාමාජිකාවක් ලෙස ගෙවන ජීවිතයට කැමිලාව සූදානම් කෙරිණි. ඇය ජනප්‍රිය තරුණියක වූ අතර, '60 දශකයේ මැදභාගයේ සිට ඇන්ඩෲ පාකර් බෝල්ස් නම් අශ්වාරෝහක නිලධාරියෙකු සමඟ වරින්වර සබඳතාවයක් පවත්වාගෙන ගියා ය.

Andrew Parker Bowles and Camilla on their wedding day

ඡායාරූප මූලාශ්‍රය, Frank Barratt / Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර ගණනාවක් වරින වර බිඳෙමින්, එක්වෙමින් පැවැති සම්බන්ධතාවයකින් පසු, 1973 දී කැමිලා ඇන්ඩෲ පාකර් බෝල්ස් සමඟ විවාහවිය

1970 දශකයේ මුල් භාගයේ දී ඇය තරුණ චාල්ස් කුමරුට හඳුන්වා දෙනු ලැබිණි.

චාල්ස් කුමරුගේ චරිතාපදානයක් රචනා කළ ජොනතන් ඩිම්බල්බිට අනුව, "ඇය ආදරණීය සහ නිහතමානී අයෙකුවූ අතර - ප්‍රථම ප්‍රේමයක තදබල හැඟීමෙන් යුතුව - චාල්ස් ඇය දුටු මොහොතේ ඇය හා ප්‍රේමයෙන් බැඳුනි."

නමුත් කාලය ඔවුන්ගේ ප්‍රේමයට හරස්වී තිබිණි. එකල චාල්ස් වයස විසිගණන්වල මුල්භාගයේ සිටි අතර නාවික හමුදාවේ සේවයට බැඳී සිටියේය. ඔහු 1972 වසර අගභාගයේ දී මාස අටක විදේශ සේවය සඳහා පිටත්ව ගිය කාලයේ දී ඇන්ඩෘ කැමිලාට විවාහ යෝජනා කළ අතර ඇය එය පිළිගත්තා ය. ඇය චාල්ස් විවාහ යෝජනා කරන තෙක් බලා නොසිටියේ ඇයි? ඇගේ මිතුරන් අනුමාන කරන්නේ ඇය තමා අනාගත රැජිනක් වීමට සරිලතැ යි කිසිසේත් නොසිතන්නට ඇති බව යි.

Charles stands next to Camilla, near parked cars on the edge of a polo match

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චාල්ස් (වමේ) සහ කැමිලා එක්ව සිටිනු දැක්වෙන පළමු ඡායාරූපය 1972 දී ගන්නා ලද්දකි

චාල්ස්ගේ හැඟීම් කෙසේවුවත්, ඔවුන් දෙදෙනා දිගින් දිගටම එකිනෙකාගේ ජීවිතයේ කොටසක් බවට පත්ව සිටිය හ.

ඔවුන් දෙදෙනාම එකම සමාජ කවයන්ට අයත් වූ අතර, චාල්ස් සහ ඇන්ඩෘ එකට පෝලෝ ක්‍රීඩා කළහ. එමෙන්ම ඔවුන්ගේ පළමු දරුවා වන ටොම්හට ඇපකාර පියා වන ලෙසට ද යුවල චාල්ස්ගෙන් ඉල්ලා තිබුණි. පෝලෝ ක්‍රීඩා අතරතුර දී ගන්නා ලද චාල්ස් සහ කැමිලාගේ ඡායාරූපවල ඔවුන් ඉතා සැහැල්ලු සහ සමීප සබඳතාවක් පවත්වාගෙන යන බව පෙනෙන්නට තිබේ.

1981 ගිම්හානය වන විට චාල්ස් හට තරුණ ඩයනා ස්පෙන්සර් මුණගැසී, ඔහු ඇයට විවාහ යෝජනාකර තිබුණි. මේ කාලයේ දීත් කැමිලා ඔහුගේ ජීවිතයේ කොටසක්ව සිටියා ය.

ඩයනා සහ චාල්ස් අතර විවාහය සිදුවීමට දින දෙකකට පෙර, චාල්ස් "F" සහ "G" අකුරු කැටයම් කරවා කැමිලා වෙනුවෙන් සාදවා තිබූ අත් පළඳනාවක් ඩයනාට හසුවීමෙන් අනතුරුව, ඇය සිය විවාහය අවලංගු කිරීමට පවා සිතූ අකාරය, 'Diana: Her True Story'හි කතුවරයා වන ඇන්ඩෲ මෝටන් විසින් සිය කෘතියෙහි විස්තර කර තිබේ. චාල්ස් සහ කැමිලා එකිනෙකා ඇමතූ සුරතල් නම් වූ 'ෆ්‍රෙඩ්' සහ 'ග්ලැඩිස්'හි මුල් අකුරු කොටා මෙම පළඳනාව සාදවා තිබුණි.

ඩයනා, තම ස්වාමිපුරුෂයා සහ කැමිලාගේ සම්බන්ධතාවය නිසා පීඩාවට පත්ව සිටි බව නිසැක ය. චාල්ස් පවසන්නේ, කැමිලා සහ තමන් අතර යළිත් ප්‍රේම සම්බන්ධයක් හටගන්නේ ඔහුගේ විවාහය "ආපසු හැරවිය නොහැකි ලෙස බිඳවැටුණු" පසුව බව යි. නමුත් මේ වන විට සත්‍ය නොවනබවට තහවුරුව ඇති 1995 පැනොරාමා සම්මුඛ සාකච්ඡාවේ දී ඩයනා අප මතකයේ රැඳෙන ප්‍රකාශයක් සිදුකළා ය. "මේ විවාහයේ අපි තුන්දෙනෙක් සිටියා," එහිදී ඇය පවසයි.

චාල්ස් සහ කැමිලා යන දෙදෙනාගේම විවාහයන් දෙදරා යාමත් සමඟ ප්‍රසිද්ධියට පත්වූ ඇතැම් තොරතුරු අතිශය වේදනාකාරී විය. නමුත් 1989 දී රහසිගතව පටිගත කර ඉන් වසර හතරකට පමණ පසුව ප්‍රසිද්ධියට පත්කළ රාත්‍රී දුරකථන ඇමතුමක් තරම් ඇතැම්විට ඒ කිසිවක් වේදනාකාරී නොවිය හැකි ය. කැමිලාගේ ටැම්පොනයක්බවට (කාන්තාවන් භාවිතා කරනා සනීපාරක්ෂක උපකරණයක්) පත්වීමට තමන් කැමති බවට චාල්ස් ප්‍රකාශකරනු එහි පටිගතව ඇති අතර, ඔවුන් අතර වූ සබඳතාවයේ සමීපබව එමඟින් පැහැදිළි විය.

කැමිලාගේ දික්කසාදය 1995 දී සිදුවිය. චාල්ස් සහ ඩයනාගේ විවාහය ද 1996 දී නිල වශයෙන් අවසන් විය.

තම පවුලට, විශේෂයෙන්ම තම දරුවන් දෙදෙනා වන ටොම්ට සහ ලෝරාට මහජනයාගෙන් එල්ලවූ විරෝධය සහ සතුරුකම් ද නොතකා චාල්ස් සමඟ සිටීමට කැමිලා ගත් තීරණය ඇය කෙතරම් දැඩිව ඔහුට බැඳී සිටියා ද යන්න පෙන්වයි.

පැපරාසීන් විල්ට්ෂයර්හි පිහිටි පවුලේ නිවසින් පිටත පඳුරුවල සැඟවී සිටි කාලය ගැන ටොම් පාකර් බෝල්ස් පවසා තිබේ. "අපේ පවුල ගැන තවදුරටත් අපේ හිත රිදවන්න පුළුවන් විදියේ දෙයක් කියන්න ඉතිරිවෙලා නැහැ," ඔහු 2017 දී ටයිම්ස් පුවත්පතට ලිව්වේ ය. "මගේ අම්මා බුලට්-පෘෆ්," ඔහු එසේ ද ලිවීය.

ඒ දිනවල කැමිලා මෙසේ පැවසුවා ය: "කවුරුවත් කැමති නෑ හැමතිස්සෙම කාගෙහරි බැල්මක් යටතේ ජීවත්වෙන්න. ඒකට හුරුවෙන්න ක්‍රමයක් හොයාගන්න එකයි කරන්න තියෙන්නේ."

1997 දී ඩයනාගේ මරණයෙන් පසු, ඔවුන්ට එල්ලවූ විවේචන දරාගැනීම වඩාත් දුෂ්කර විය. චාල්ස් ප්‍රසිද්ධියේ ඔහුගේ පුතුන් වන විලියම් සහ හැරී කෙරෙහි අවධානය යොමුකළ අතර, කැමිලා ප්‍රසිද්ධ වේදිකාවෙන් පසුබැස්සා ය.

එහෙත් ඔවුන්ගේ සබඳතාව දිගටම පැවතුනි.

චාල්ස්ගේ ස්ථාවරය වූයේ කැමිලා තම ජීවිතය තුළ සිටින ස්ථානය වෙනස්කළ නොහැකි බව යි. එබැවින්, ඇය කෙරෙහි මහජනතාව තුළ වූ ආකල්පය ක්‍රමිකව වැඩි දියුණු කිරීමට ව්‍යාපාරයක් ආරම්භ කෙරිණි. 1999 දී, කැමිලාගේ සහෝදරියගේ 50 වැනි උපන්දින සැමරුම පැවති රිට්ස් හෝටලයෙන් ඔවුන් දෙදෙනා රාත්‍රියේ පිටත්වයාමෙන් එය ආරම්භ විය. ඉන් වසර හයකට පසු, වින්ඩ්සර් ගිල්ඩ්හෝල්හි පැවැති කුඩා සිවිල් උත්සවයක දී ඔවුහු විවාහවූහ.

Prince Charles and Camilla Parker Bowles leaving the Ritz Hotel together in 1999

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චාල්ස් සහ කැමිලා යුවළක් ලෙස පළමුවරට නිල වශයෙන් පෙනී සිටියේ 1999 දී දෙදෙනා එක්ව සාදයකින් පිටව යන මොහොතක දී ය

නව යුවළ කෙරෙහි මහජනයා අයහපත් ලෙස ප්‍රතිචාර දක්වනු ඇතැ යි ඔවුන් තුළ වූ කනස්සල්ල නිෂ්ඵල බව ඔප්පු කරමින්, අත්පොලසන් සහ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ඔවුන් පිළිගැනිණි.

නමුත් ඇය කිසිදිනෙක හෝ 'රැජින' ලෙස හඳුන්වනු ඇත්ද යන්න පිළිබඳව වූ විවාදය දිගින් දිගටම පැවතුනි.

ඇයට එම පදවි නාමය භාවිතා කිරීමට නීත්‍යානුකූලව හිමිකම් ඇතත්, ඩයනා සහ චාල්ස්ගේ විවාහය බිඳවැටීම සම්බන්ධයෙන් ඇයට තවදුරටත් චෝදනා එල්ල කරන්නන් ද සැනසීමේ මාර්ගයක් ලෙස ඇය 'රැජින' වෙනුවට 'කුමර මෙහෙසිය' ලෙස හඳුන්වනු ඇතැ යි පැවසුණි.

2022 දී අවසානයේ මහරැජින විසින් මෙම කාරණය සමථයකට පත්කරන ලද අතර, "කාලය එළැඹි විට කැමිලා රජ මෙහෙසිය ලෙස හඳුන්වනු ඇත යන්න [ඇගේ] අවංක ප්‍රාර්ථනාව" බව යි. චාල්ස්ගේ පාර්ශ්වයෙන් කැමිලා ඇගේ ස්ථානය දිනාගෙන ඇති බව තහවුරු කිරීමට මෙන්ම, ඒ පිළිබඳව වූ මහජන විවාද අවසන් කිරීමට ද එය ප්‍රමාණවත් විය.

රැජින මුලින් කැමිලා ගැන අප්‍රසාදයෙන් පසුවූයේ නම්, විලියම් සහ හැරී කුමරුන්ට එය වඩාත් අපහසුවන්නට ඇතිබව සිතිය හැකි ය. ඔවුන් දෙදෙනාට සිය මව්පියන්ගේ විවාහය ප්‍රසිද්ධියේ බිඳවැටීමට මුහුණදීමට සිදුවූ අතර, පසුව විලියම්ට වයස අවුරුදු 15 දී සහ හැරීට වයස අවුරුදු 12 දී ඔවුන්ගේ මවගේ මරණයට මුහුණදීමට ද සිදුවිය.

Charles and Camilla on their wedding day

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2005 අප්‍රේල් 9 වන දා වින්ඩ්සර් ගිල්ඩ්හෝල් ශාලාවේ පැවැති සිවිල් උත්සවයක දී මෙම යුවළ විවාහවිය

2005 දී සිදුවූ චාල්ස් - කැමිලා විවාහයෙන් මාස කිහිපයකට පසු, එවකට 21 හැවිරිදි වියේ පසුවූ හැරී පැවසුවේ කැමිලා තම පියා ඉතාමත් සතුටින් තබන "කදිම කාන්තාවක" බව යි.

"විලියමුත්, මමත් ඇයට ඉතා දැඩි ලෙස ආදරය කරන අතර ඇය සමඟ යහපත් සබඳතාවක් පවත්වාගෙන යනවා."

එතැන් සිට වසර ගණනාවක් පුරා කැමිලා කෙරෙහි ඔවුන්ගේ සැබෑ හැඟීම් සහෝදරයන් දෙදෙනා විසින්ම හෙළිකර නැත. එහෙත් පොදු කටයුතුවල දී විලියම්, ඔහුගේ බිරිඳ කැතරින්, සහ කැමිලා අතර ගනුදෙනු සිදුවන ආකාරය සහ ඔවුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන්නෙකුට ඔවුන් අතරේ පවතින්නේ උණුසුම් සහ යහපත් සබඳතාවක් බව පෙනී යනු ඇත.

Camilla with her son Tom and daughter Laura

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කැමිලා ඇන්ඩෘ පාකර් බෝල්ස් හා සිදුවූ ඇගේ විවාහයෙන් ලද පුත් ටොම් සහ දියණිය ලෝරා සමග
Camilla with the Queen, Prince Philip, Princess Kate and Prince William at the christening of Princess Charlotte

ඡායාරූප මූලාශ්‍රය, Chris Jackson / Getty images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2015 දී පැවැත්වුණු චාලට් කුමරියගේ බෞතීස්මය වැනි උත්සවවල දී කැමිලා රාජකීය පවුලේ ප්‍රධාන සාමාජිකාවක්බවට පත්ව සිටියා ය

දැන් සිය දිවියේ හැත්තෑවෙනි දශකයේ මැද කාලය පසු කරමින් සිටින කැමිලාගේ ජීවිතයේ කේන්ද්‍රය ඇගේ සැමියා සහ පවුල බවට පත්වී තිබේ. වින්ඩ්සර් මාළිගය සමඟ ඇයට ඇති සබඳතා පුවත් සිරස්තල නිර්මාණය කරනු හැකිමුත්, අප්‍රසිද්ධ දිවියේ දී ඇය මුණුපුරන් සහ මිණිපිරියන් පස් දෙනෙකු සිටින ප්‍රීතිමත් මිත්තණියකි. ඇයට අයත් විල්ට්ෂයර් නිවස වන රේ මිල් හවුස් ඇගේ විවේකී කාලය ගත කිරීම සඳහා වෙන්ව තිබේ.

"ඇයට ඉතා සමීප පවුලක් සහ සමීප, පැරණි මිතුරන් පිරිසක් සිටිනවා," ඇගේ බෑණනුවන් වන බෙන් එලියට් වැනිටි ෆෙයාර් සඟරාවට පැවසුවේ ය. "ඇය ඇගේ ස්වාමිපුරුෂයාටත්, දරුවන්ට සහ මුණුබුරන්ටත් හරිම ආදරෙයි."

කැමිලා ඇය ප්‍රිය කරන ක්ෂේත්‍රවල ද ඇගේම සලකුණක් තබා තිබේ.

  • ඇගේ මව සහ මිත්තණිය ද පෙළුණු ඔස්ටියෝපොරෝසිස් රෝගය පිළිබඳව සමාජ දැනුවත්කිරීම් සිදුකිරීම
  • ගෘහස්ථ හිංසනය, ලිංගික අඩත්තේට්ටම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය වැනි බැරෑරුම් විෂයන් කරෙහි සමාජ අවධානය යොමුකිරීම
  • පොත් පිළිබඳ ඇගේ පියාගෙන් ඇයට උරුමවූ පොත් කෙරෙහි ඇති ඇල්ම අනෙක් අයට ද පැතිරවීමට ඉන්ස්ටග්‍රෑම් හරහා උත්සාහ කිරීම

ඇය රාජකීයත්වයට පැමිණියේ ජීවිතයේ පසුභාගයේ දී නිසා, ඇයට ලැබෙන සුවිශේෂී අවධානය පිළිබඳව ඇතැම් විට ඇය ලැජ්ජාවට පත්වන ආකාරයක් පෙනෙන්නට තිබේ.

ක්ලැරන්ස් හවුස්හි පුණ්‍ය උත්සවයක් ආවරණය කරමින් සිටිය දී, සියලු දෙනා සූදානම්දැ යි පරීක්ෂා කරමින් ආදිපාදවරිය, පඩිපෙළ මුදුනේ සිට එබී බලා තිබේ.

පැමිණි පිරිස සූදානම් බව දැක සතුටු වූ ඇය පහළට පැමිණ, පුණ්‍යායතනයේ ප්‍රධාන විධායක නිලධාරියා උද්යෝගීමත් ලෙස වැළඳගෙන හාදුවක් දුන්නා ය.

ලොක්ඩවුන් සමයේ දී සිය මුණුබුරන් වැළඳගැනීමට නොහැකිවීම ගැන ආදිපාදවරිය ශෝකයෙන් සිටියා ය. එම සීමාවන් ලිහිල්වූ විට පුරුදු ජීවිතය වෙතයාමට හැකිවීම ගැන ඇය පැහැදිළිවම සතුටට පත්වූ බව පෙනෙන්නට තිබුණි.

King Charles and Princess Consort Camilla

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චාල්ස් සහ කැමිලා ප්‍රසිද්ධ කටයුතුවල දී එක්ව සිනාසෙන අයුරු නිතර දක්නට ලැබේ

ඇය කටයුතු කරන ආකාරය දෙස බලන විට, මිනිසුන් පහසුවට පත්කිරීමේ හැකියාව ඇයට ඇතිබව පැහැදිලිව පෙනේ. මහජනයා ඇමතීම සිත නොසන්සුන් කරන දෙයක් ලෙස ඇය විසින් පිළිගෙන තිබුණත්, ගතවූ වසර ගණන පුරා ඒ සඳහා ආත්ම විශ්වාසය වර්ධනය කරගැනීමට ඇයට හැකිව තිබේ.

චාල්ස් සහ කැමිලා විවාහ වී දැනට වසර 17ක් ගතවී ඇත. ඔවුන්ගේ සම්බන්ධය කෙතරම් යහපත් ද යන්න ප්‍රසිද්ධියේම පෙනෙන්නට තිබේ. ප්‍රසිද්ධියේ පෙනී සිටින අවස්ථාවල දී ඔවුන් අතර හුවමාරු වන බැල්මවල්, සිනහවල් මෙන්ම පුද්ගලික විහිළු ද දකින්නට නැත්තේ කලාතුරකිනි.

"ඔවුන් එකිනෙකාට ආදරය හා ගරු කරනවා වගේම, යම් දෙයකට එකට සිනාසීමේ හැකියාව ඔවුනට තිබෙනවා," එලියට් වැනිටි ෆෙයාර් වෙත පැවසුවේ ය.

ඔවුන් සුඛෝපභෝගී ජීවිත ගතකරන බව සැබෑවක් නමුත්, ඔවුන් වෙත එල්ලවන දැඩි අවධානය පීඩනයක්වීමට ඉඩ තිබේ.

"හැමතිස්සෙම ඔබේ පැත්ත ගන්නා කෙනෙකු සිටීම සතුටක්," චාල්ස් කුමරු ඔවුන්ගේ දසවැනි විවාහ සංවත්සරයට පෙර CNN ප්‍රවෘත්ති සේවයට පැවසුවේ ය. "දෙවියන්ට ස්තුතිවන්නට, ඇය මට අතිවිශාල සහයෝගයක් දක්වන්නියක්, ජීවිතයේ හාස්‍යජනක පැත්ත දකින්නියක්."

"ඇතැම්විට ඒක රාත්‍රී අන්ධකාරයේ නෞකාවන් ගමන්කරනවා වගෙයි," ඇය තමන් ඔහු හා එක්ව ගතකරන දිවිය ගැන පවසන්නී ය. "නමුත් අපි හැමතිස්සෙම එකට වාඩිවෙලා තේ කෝප්පයක් බොමින් දවස ගැන සාකච්ඡා කරනවා. අපට අප වෙනුවෙන් වෙන්වූ මොහොතක් තිබෙනවා."

රජුගේ භූමිකාව හුදකලා එකකි. චාල්ස් කැමිලා අත්හැරීමට අකමැතිවන්නට ඇත්තේ, ඔහු භාරගන්නා භූමිකාව තුළ ඔහුට අවශ්‍ය සහයෝගය සැපයිය හැකි එකම පුද්ගලයා ඇය බව ඔහු දැන සිටි නිසාවීමට ඉඩ තිබේ.