රාජාභිෂේකය: චාල්ස් රජු යටතේ එක්සත් රාජධානියේ රාජතන්ත්‍රය කෙතරම් ජනප්‍රිය ද?

King Charles III, Buckingham Palace, 2022

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

    • Author, ජේන් කෝබින් සහ ෂෝන් කෝලන්
    • Role, බීබීසී පැනොරාමා

එක්සත් රාජධානියේ රාජතන්ත්‍රය සංක්‍රාන්තියක සිටියි. දෙවැනි එලිසබෙත් රැජිණගේ දීර්ඝ පාලන සමය තුළ පවුලේ කැළඹිලි පැවැතිය ද, එය රාජතන්ත්‍රය සඳහා බොහෝකොටම ස්ථාවර සහ සන්තතික සමයක්විය. දැන් අලුත් රජෙක් සිටියි.

නමුත් රාජතන්ත්‍රය පිළිබඳ මහජන මතය ද වෙනස්වෙමින් පවතින්නේ ද? චාල්ස් රජුගේ මෑතකාලීන සංචාරයන්හි දී, නව පාලනයට සහාය පළකරන්නන් සේම රාජතන්ත්‍ර-විරෝධී උද්ඝෝෂකයින් ද ඝෝෂාකාරී ලෙස තම පැමිණීම දන්වා සිටියේ ය.

මහජනයා තමන් එදිරිවීමේ අවදානම නිසාවෙන් මහ රැජිණ ජීවතුන් අතර සිටිය දී එවැනි උද්ඝෝෂණ සිදුකිරීමට තමන් මැලිවනු ඇතැ යි මේ රාජතන්ත්‍ර-විරෝධීන් පිළිගෙන ඇත. නමුත් දැන් ඔවුන් සටන් වැදීමට සූදානම්ව සිටියි.

රාජාභිෂේකයට පෙර, මහජන මනෝභාවය මැනගැනීම සඳහා පැනොරාමා විසින් නව YouGov මත විමසුමක් පැවැත්වීමට පවරනු ලැබුණි. ප්‍රතිඵලවලින් පෙන්නුම් කෙරුනේ, රාජතන්ත්‍රය පවත්වාගැනීම සඳහා පුළුල් සහයෝගයක් ඇතිබව යි. ඡන්දයෙන් පත්කෙරෙන රාජ්‍ය නායකයෙකුට කැමැත්ත දී තිබුණේ 26%ක් පමණි. ඊට සාපේක්ෂව 58%ක් රාජතන්ත්‍රය සඳහා කැමැත්ත පළකර තිබුණි.

නමුත්, මෙම කැපී පෙනෙන සංඛ්‍යාවන්ට යටින් මත විමසුම විසින් පෙන්නුම් කළේ ආකල්පමය වෙනස්කම් සිදුවෙමින් පවතිනබව යි - නව රජුට ඔහුගේ පාලනයේ ආරම්භයේ දීම ජනප්‍රියත්වය හා බැඳි පැහැදිලි අභියෝගයන් එල්ලවී තිබේ.

විශේෂයෙන්ම, තරුණයින් ආකර්ෂණයකර ගැනීම සම්බන්ධයෙන් රාජතන්ත්‍රය ගැටලුවකට මුහුණපා ඇතිබව පෙනෙයි.

රාජතන්ත්‍රයට සහාය පළකිරීමට වැඩිම ඉඩක් ඇත්තේ වයස අවු. 65ට වැඩි තැනැත්තන් වන නමුත් (78%කින්), අවු. 18 - 24 අතර තැනැත්තන් අඩුම වියහැකියාවක් දැක්වීය. ඔවුන්ගෙන් රාජතන්ත්‍රයට සහාය දුන්නේ 32%ක් පමණි. ඡන්දයෙන් තේරී පත්වෙන රාජ්‍ය නායකයෙකුට වැඩිම කැමැත්තක් පළකිරීමේ ඉඩ තිබුණේ මේ තරුණ වයස් කාණ්ඩය වන අතර (38%ක්), ඉතිරි 30% තමාට අවශ්‍ය කුමක්දැ යි දැන සිටියේ නැත.

Monarchy or elected state head?

උදාසීනභාවය ද ප්‍රතිපක්ෂවීම තරමටම ගැටලුකාරී විය හැකි අතර, මේ ළාබාල වයස් කාණ්ඩයේ 78%ක් දෙනා ඔවුන් රාජකීය පවුල ගැන "උනන්දුවක් නොදක්වන" බව කියයි.

එසේ නම්, නව පාලනය මුහුණ දෙනු ඇති අසීරු ගැටලු මොනවා ද?

ජීවන වියදම් පීඩා අධික සමයක, රාජකීය පවුල සතු ධනය එක් එක් වයස් කාණ්ඩයන් තියුණු ලෙස බෙදා වෙන්කරන එක් සාධකයක්බව පෙනෙයි.

ප්‍රධාන සංඛ්‍යා දත්තයක් ලෙස, එක්සත් රාජධානියේ වැඩිහිටියන් 4 592 දෙනෙකු සහභාගී වූ මෙම ඔන්ලයින් සමීක්ෂණයේ දී පුද්ගලයින්ගෙන් 54%ක් පවසා තිබුණේ රාජතන්ත්‍රය හොඳ අගයක් නියෝජනය කරනබව යි - එය නරක අගයක් නියෝජනය කරතැ යි සිතන 32%ක පිරිසක් විය.

නමුත් ඡන්දය ප්‍රකාශ කළ තරුණ කණ්ඩායම (වයස අවු. 18-24 අතර අය) 40%ක ප්‍රතිශතයකින්, රාජතන්ත්‍රය මුදල් සඳහා නරක වටිනාකමක් ලබාදෙන යමෙකැ යි සිතීමට වැඩි ඉඩක් පෙන්වීය. ඊට විරුද්ධ දෙය සිතුවේ 36%කි.

The Royal Family appeared on the balcony of Buckingham Palace to watch an RAF flypast - marking the Queen's birthday in 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2019 දී රැජිණගේ උපන්දිනය සනිටුහන් කරමින් රාජකීය ගුවන් හමුදා යානාවන් පියාසර කරනු නැරඹීමට රාජකීය පවුල බකිංහැම් මාළිගයේ බැල්කනියේ පෙනී සිටියහ

"[තියෙන] මාළිගා ගාණම මහ විකාරයි. ඇත්තෙන්ම කිව්වොත්, ඔබට එක් මාළිගාවක් ඕනෙ රාජ්‍ය උත්සවවලට, බකිංහැම් මාළිගය [වගේ], සමහර විට ගම්බද පළාතකට විශ්‍රාම යන්න ඕනෙ වුණොත් තව මාළිගාවක්," හිටපු ලිබරල් ඩිමොක්‍රට් ඇමැතිවරයෙකු සහ රාජකීය වියදම් විවේචකයෙකු වන නෝමන් බේකර් පවසයි.

ඔහු, රජතුමා "මිනිස්සුන්ට දේශගුණ විපර්යාසය ගැන දේශනා දෙන ගමන්" හෙලිකොප්ටර සහ පුද්ගලික ජෙට් යානා අධිභාවිතාව ලෙස ඔහු හඳුන්වන්නක් ඉස්මතුකර කරයි.

වසර ගණනක සිට රජුගේ මිතුරෙකු වන නිකලස් සෝම්ස් සාමිවරයා එවැනි යෝජනා ප්‍රතික්ෂේප කරයි. ඔහු පවසන්නේ, මහජන රාජකාරීවල දී "ඉතා හොඳ අරමුණකට" පමණක් හෙලිකොප්ටර භාවිතා කෙරෙනබව යි.

"ඒක කරන්නේ විනෝද ගමන්යෑමක් විදියට නෙවෙයි," ඔහු පවසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ විශේෂඥ ශ්‍රීමත් වර්නන් බොග්ඩනර් ද මෙම මූල්‍යමය විවේචනයන් නොපිළිගනියි.

"මම හිතන්නේ සමස්තයක් වශයෙන්, රාජකීය පවුල මුදලට සරිලන හොඳ අගයක් දෙනවා. ඒ වගේම, මුදල් ලැබෙන්නෙත් මහජන රාජකාරි බාරගන්න පුද්ගලයින්ට විතර යි."

නමුත් පසුගිය සතියේ තවත් YouGov මත විමසීමකින් ඉස්මතුකර පෙන්වූ පරිදි, වියදම් පිළිබඳ මහජන සංවේදනීයතාවක් තිබේ. රජය විසින් රාජාභිෂේකය සඳහා වියදම් කළ යුතුයැ යි ජනයාගෙන් බහුතරය විශ්වාස නොකළබව ඉන් අනාවරණය විය.

රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් ගතහොත්, රාජාභිෂේකයට කොපමණ මුදලක් වැයවන්නේ ද යන්න, උත්සවය අවසන් වන තුරු රජය විසින් හෙළි නොකෙරෙයි.

රාජකීය අරමුදල් සම්බන්ධයෙන් මෑතක දී පුවත්පත් විමර්ශනයන් සිදුවී ඇති අතර, ඒවායින් ලැන්කැස්ටර් සහ කෝන්වෝල් ආදිපාදවර දනව්හි තත්ත්වය ඇතුළුව (මේ එක් එක් වතුයාය රාජකීයයන් සඳහා පවුම් මිලියන 20කට වැඩි ලාභ උපදවයි) රාජකීයයන් සඳහා වන පුද්ගලික හා මහජන අරමුදල්හි සීමා මායිම් ප්‍රශ්නකර තිබේ.

බේකර්ට අනුව, මෙම ඉඩකඩම් හා දේපොළ "පොදු වත්කම්" ලෙස සැලකිය යුතු අතර, ඒවායින් ලාභය ලෙස ලැබෙනා මුදල "රාජකීය පෙට්ටගම්වලට හරවනවා" වෙනුවට "පොදු සේවාවන් සඳහා සැපයෙන අරමුදල් ලෙස බදු ගෙවන්නන් වෙත යා යුතු" ය.

මීට ප්‍රතිචාර ලෙස බකිංහැම් මාළිගය ප්‍රකාශ කරන්නේ කෝන්වෝල් ආදිපාදවර දනව්ව සිහසුනෙහි උරුමක්කරුගේ පොදු, පුද්ගලික හා පුණ්‍ය කටයුතු සඳහා අරමුදල් සපයනබව යි. එසේම, ලැන්කැස්ටර් ආදිපාදවර දනව්ව විසින් රජතුමා "රාජ්‍යයට බරක්" නොවනු පිණිස ඔහුට අරමුදල් සැපයීමට සහාය දෙනබව පැවසුනි.

හිටපු රාජකීය පාලකයාගේ මරණයෙන් පසු පත්වන නව රජුට ප්‍රවේණි බද්දක් ගෙවීමට සිදු නොවන්නේ මන්දැ යි, සිටි විශ්වවිද්‍යාලයයේ ඉතිහාසඥයෙකු වන, නූතන බ්‍රිතාන්‍යය තුළ රාජතන්ත්‍රය ලබා ඇති ස්ථානය අධ්‍යයනය කරන මහාචාර්ය ඈන් වයිට්ලොක් ප්‍රශ්න කරයි.

එනමුත්, අරමුදල් සහ බදු අයකිරීම් පිළිබඳ තීරණ ගනු ලබන්නේ රජ පවුල විසින් නොව රජය විසින්බව මාළිගය පෙන්වා දෙයි.

එසේවුවත්, රාජකීය මූල්‍ය කටයුතුවල විනිවිද නොපෙනෙනබව පිළිබඳ ප්‍රශ්න දිගින් දිගටම එල්ලවෙන අතර, රජුගේ ධනය හා සබැඳිව මෑතක දී සිදුකෙරුණු වෙන් වෙන් පුවත්පත් විමර්ශන දෙකකින් එළැඹි නිගමනයන්ගේ වෙනසෙහි විශාලත්වය, මෙම අවිනිශ්චිතතාවේ පරිමාණය පෙන්වා දෙයි. ඉන් එක් පුවත්පතක් ඔහුගේ වත්කම පවුම් මිලියන 600කැ යි කියූ අතර අනෙක එක පවුම් බිලියන 1.8කැ යි කීය.

මහජනයා මුහුණපාන අත්දැකීම්වලට කොපමණ සහකම්පනයක් දැක්වීමට රාජකීයයන් සමත් ද යන්න පිළිබඳ සැකයයන්, මුදල් පිළිබඳ ප්‍රශ්න මඟින් අවුළුවනු ඇත.

පැනොරාමා වෙනුවෙන් එක්සත් රාජධානියේ වැඩිහිටියන්ගෙන් මත විමසීම අප්‍රේල් 14 සිට 17 වැනිදා දක්වා පැවැත්විණි. එමඟින්, 45%ක වැඩි ප්‍රතිශතයක් ජනයා රජු "[සාමාන්‍ය ජනයාගේ අත්දැකීම් පිළිබඳව] දැනුවත්කමින් තොර" බව විශ්වාස කරතැ යි යෝජනා කෙරෙයි. එහි ප්‍රතිවිරුද්ධ අදහස දරන්නේ 36%කි.

is monarchy 'out of touch'?

නමුත් රජතුමා වරප්‍රසාද නොලද පවුල්වලට උපකාර කිරීම සඳහා ඔහුගේ පුණ්‍යායතනයන් හරහා දශක ගණනක් තිස්සේ කටයුතුකර තිබේ - ප්‍රින්සස් ට්‍රස්ට් (Prince's Trust) අරමුදලේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනී මාටිනා මිල්බර්න් ආර්යාව, පුළුල් පරාසයක පුද්ගලයින් සමග සන්නිවේදනය කිරීමට ඔහුට ඇති හැකියාව අගය කළා ය. "මම එතුමාත් එක්ක බන්ධනාගාර, බාලවයස්කාර වැරදිරුවන් වෙනුවෙන් ඇති ආයතන, රැකියා මධ්‍යස්ථාන වගෙ තැන්වලට ගිහින් තියෙනවා - ඒ වගේම එතුමාට ඒ සම්බන්ධකම හදාගන්න පුළුවන්, ඒක ඇත්තෙන්ම හරිම අපූරු යි."

එසේවුවත්, රාජතන්ත්‍ර-විරෝධී කණ්ඩායමක් වන රිපබ්ලික්හි ප්‍රධාන විධායක නිලධාරී ග්‍රැහැම් ස්මිත් යෝජනා කරන්නේ, සාමාන්‍යයෙන් අඩු මට්ටමින් වාර්තා වන රාජතන්ත්‍ර විරෝධයක් මත විමසීමෙන් පිළිබිඹු කරනබව යි. "රට පුරාම, රාජතන්ත්‍රය අහෝසි කරන්න ඕනෙ කියන මිලියන ගාණක් මිනිස්සු ඉන්නවා," ඔහු පවසයි.

රාජකීය පවුල තදබල සංවේදීත්වයක් දක්වන තවත් ක්ෂේත්‍රයක් වන්නේ, ඔවුන් වර්ගය පිළිබඳ දරන ආකල්ප පිළිබඳ ප්‍රත්‍යක්ෂයන් ය.

සසෙක්ස්හි ආදිපාදවරිය වන මේගන් සමග භේදවීමෙහි සිට, කළු ජාතික පුණ්‍යායතන ආරම්භක න්ගොසි ෆුලානිට බකිංහැම් මාළිගයේ පැවැති උත්සවයක දී සලකන ලද ආකාරය සම්බන්ධයෙන් ඇතිවූ ඉහළ පෙළේ කෝලාහලය දක්වාම, එය ගැටලුකාරී මාතෘකාවක් විය.

වාර්ගික සුළුතර පසුබිම්වලින් පැවැතෙන පුද්ගලයින් රාජතන්ත්‍රයට සහාය දැක්වීමේ ඉඩකඩ අවමබව සොයාගැනුණු YouGov මත විමසීම මඟින් අභියෝගයේ පරිමාණය යෝජනා කෙරිණි. එම කණ්ඩායමෙන් 40%කට වැඩි පිරිසකට රාජතන්ත්‍රයක් වෙනුවට ඡන්දයෙන් තේරී පත්වූ රාජ්‍ය නායකයෙකු අවශ්‍යවිය. ඊට සමානවම, "රාජකීයයන්ට වර්ගය හා විවිධත්වය සම්බන්ධයෙන් ගැටලුවක්" ඇතැ යි වාර්ගික සුළුතර පසුබිමකින් පැවැත එන තැනැත්තන් විසින් සිතීමේ වැඩි ඉඩක් තිබේ. ඔවුන්ගෙන් 49%ක පිරිසක් රාජකීයයන්ට එවැනි ප්‍රශ්නයක් තිබේයැ යි ඔවුන් විශ්වාස කරනබව කීය. පසුබිම නොසලකා ගණනය කෙරෙන සමස්තයේ ප්‍රතිශතය 32%ක් විය.

In November, King Charles attended an art exhibition in Leeds which explored the UK's role in slavery

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, නොවැම්බර් මාසයේ දී චාල්ස් රජු ලීඩ්ස්හි පැවති චිත්‍ර ප්‍රදර්ශනයකට සහභාගීවිය. එය වහල් ක්‍රමය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ භූමිකාව ගවේශනය කළේ ය

සෝම්ස් සාමිවරයා ජාතිවාදය පිළිබඳ සියලු ඇඟවිලි දැඩි සේ ප්‍රතික්ෂේප කරයි. "රජතුමා තුළ ජාතිවාදීකම බිංදුවක්වත් ඇත්තෙ නැහැ," ඔහු පවසයි.

රජු සහ රාජකීය නිවස්නය වර්ගය සහ විවිධත්වය පිළිබඳ සියලු කාරණා බැරෑරුම්කොට සලකන වග බකිංහැම් මාළිගය පවසයි. ඔවුන් ඊට සාක්ෂි ලෙස, න්ගොසි ෆුලානි කෝලාහලයේ දී ලබාදුන් "ඉක්මන් හා ශක්තිමත්" ප්‍රතිචාරය ඉදිරිපත් කරයි. එය එහි විවිධත්වය සහ අන්තහ්කරණය පිළිබඳ ප්‍රතිපත්ති සමාලෝචනය කළබව ද එය පවසයි.

නමුත්, මෙය පොදු රාජ්‍ය මණ්ඩලය ද ඇතුළුව එක්සත් රාජධානියෙන් පිටත සබඳතාවලට ද බලපානා පැනයකි. එහිදී යටත්විජිතවාදයේ සහ වහල් ක්‍රමයේ ලෙගසිය පිළිබඳව ප්‍රශ්න මතුකෙරෙමින් පවතියි.

ගිය වසරේ රුවන්ඩාවේ දී පොදු රාජ්‍ය මණ්ඩලීය නායකයින් අමතා සිදුකළ කතාවක දී, චාල්ස් කුමරු වහල් වෙළඳාමෙන් ඇති කෙරුණු ගැහැට නිසා ඇතිවූ "පුද්ගලික දුක් දොම්නස්හි ගැඹුර" ගැන කතා කළේ ය.

පසුගිය ශරත් සෘතුවේ දී දකුණු අප්‍රිකානු ජනපති සිරිල් රමෆොසා පැමිණි විට සිදුකළ තවත් කතාවක දී රජු මෙසේ පැවසීය: "අපි අපගේ පොදු අනාගතයක බලය විවරකර ගන්න නම්, අපේ අතීතය හැඩගැස්වූ වැරදි ක්‍රියාවන් අප පිළිගත යුතු යි."

නමුත් බාබඩෝස්හි ඉතිහාසඥයෙකු හා කැරිකොම් රෙපරේෂන්ස් කොමිසමේ (කැරිබියානු කලාපයේ වහල් සේවය හා සබැඳි හානිපූරණ කොමිසමක්) සභාපති වන ශ්‍රීමත් හිලරි බෙක්ල්ස් පවසන්නේ, වර්තමානයේ දී, කැරිබියානු කලාපය හා රාජතන්ත්‍රය අතර සබඳතාව "ආතතිමය" බැවින් තවත් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යබවකි.

"මේ ආතතීන් පහසුවෙන් සමනය කරන්න පුළුවන් රජු සමාව අයදීමේ ප්‍රකාශයක් ඉදිරිපත් කරලා හානිපූරණ යුක්තියක් ලබාදීමේ මාර්ගයක් අනුගමනය කරන්න පටන්ගත්තොත්. ඊට පස්සේ, ඒක කැරිබියානු ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කරන්න උපකාර වෙන ප්‍රයෝගික, දිනපතා ක්‍රියාකාරකමක්බවට පත්කරන්න පුළුවන්."

බකිංහැම් මාළිගය ප්‍රකාශ කරන්නේ, ටවර් ඔෆ් ලන්ඩන් මාළිගය සහ කෙන්සිංටන් මාළිගය ඇතුළු පැරණි මාළිගා සයක් නඩත්තු කරනා 'හිස්ටොරික් රෝයල් පැලසස්' නම් පුණ්‍යායතනය, බ්‍රිතාන්‍ය රාජතන්ත්‍රය හා වහල් වෙළඳාම අතර පැවැති සබඳතා සොයා බලනා ස්වාධීන පර්යේෂණ ව්‍යාපෘතියක කොටස්කරුවෙකුබව යි. චාල්ස් රජු මෙම ගැටලුව ඉතා බැරෑරුම්කොට සලකන වග ද මාළිගය ප්‍රකාශ කරයි.

පැනොරාමා වෙනුවෙන් සිදුකෙරුණු මත විමසීම විසින් රාජතන්ත්‍රයේ වෙනසක් සිදුවන මොහොතක් ගැන ප්‍රශ්න මතුකළ හැකි ය.

නමුත් එය සන්තතියෙහි චිත්‍රයක් ද වෙයි. සමස්ත ප්‍රතිඵලවලින් රාජතන්ත්‍රය කෙරෙහි පුළුල් සහයෝගයක් පෙන්නුම් කරන අතර, සැලකිය යුතු තරම් විශාල, සැක කිරීමට නැඹුරු පුද්ගලයන් සුළුතරයක් ද වෙයි.

පසුගිය කාලය තිස්සේ සිදුකළ බොහෝ මත විමසීම්වලින්, නැගීම් හා බැසීම් ද වෙනස්වන සිරස්තලයන් ද සහිතව මීට සමාන ප්‍රතිඵලයක් පෙන්නුම් කළේ ය.

රාජකීයයන්ගේ ජනප්‍රියත්වය, විලියම් කුමරු හා කේට්ගේ විවාහ මංගල්‍යය හා රැජිණගේ දියමන්ති ජුබිලිය පැවැත්වුණු 2011 - 2012 අතර කාලයේ දී උපරිමයකට පැමිණිබව දක්නට ලැබුණි.

ඉන්පසු වසරවල දී මෙම ජනප්‍රියත්වය 'බසින කලාවක්' දුටු අතර, මෙවසර මුල දී හැරී කුමරුගේ ග්‍රන්ථය වූ 'ස්පෙයා' නිකුත්වීමත් සමග ඒ වටා ඇතිවූ කෝලාහලයන් නිසාවෙන් රාජකීයයන් කෙරෙහි කැමැත්ත පිළිබඳ වැගැයීම්වලට පහරක් එල්ලවිය. නමුත් ඒවා නැවතත් ඉහළට නගිනු නැතැ යි මින් අදහස් නොවේ.

එසේම මෙය, තරුණයින් රාජතන්ත්‍රය කෙරෙහි වන ඔවුන්ගේ උදාසීනභාවයේ වත්මන් ප්‍රවණතාව කොතරම් දුරට පවත්වාගෙන යන්නේ ද යන්න මත ද පදනම් වේ. දිගුකල තිස්සේ සිදුකෙරෙන 'බ්‍රිටිෂ් සෝෂල් ඇටිටියුඩ්ස්' සමීක්ෂණය (බ්‍රිතාන්‍ය සමාජ ආකල්ප පිළිබඳ සමීක්ෂණය) විසින් මින්පෙර සොයාගෙන තිබුණේ, පුද්ගලයින් වයසින් වැඩෙත්ම රාජතන්ත්‍රය කෙරෙහි වඩාත් අනුකම්පාසහගතබවක් දක්වන වග යි.

නව පාලනය මෙම රටාව දිගටම පැවතේ ය යන අපේක්ෂාව ඇතිව එය හොඳින් නිරීක්ෂණ කරනු ඇත.

පැනොරාමා වෙනුවෙන් සිදුකළ YouGov මත විමසුමේ සංඛ්‍යා දත්ත බරතබා ඇති අතර එය සියලු එක්සත් රාජධානි වැඩිහිටියන්ගේ නියෝජනයක් වේ. එම නියැදියටම, වාර්ගික සුළුතර පසුබිමකින් ප්‍රතිචාර දැක්වූවන්ගේ වර්ධනයක් ද ඇතුළත් ය.