එක්සත් රාජධානියේ නව සරණාගත සැලැස්ම ජාත්‍යන්තර නීතිය කඩකරතැ යි එක්සත් ජාතීන් කියයි

Rishi Sunak

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රජයේ නව සරණාගත සැලසුම් බ්‍රිතාන්‍ය ජනතාවට "ප්‍රමුඛතාවක්" ලබාගැනීම සඳහා උපකාරී වනු ඇතැ යි රිෂී සුනක් පැවසුවේ ය

එක්සත් රාජධානියේ රජයේ යෝජිත සරණාගත නීතිය "සිත් කණස්සලු කරවනසුළු " වන අතර, සරණාගතභාවය සඳහා ප්‍රබල හිමිකම් ඇති තැනැත්තන් පවා එමඟින් අවහිර කරනු ඇතැ යි එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයය (UNHCR) ප්‍රකාශකර ඇත.

මෙම පියවර ජාත්‍යන්තර නීතිය කඩ කරනබවත්, [අනවසරයෙන්] ඉංග්‍රීසි ඕඩය තරණය කිරීම නැවැත්වීමට එවැන්නක් අනවශ්‍යබවත්, එක්සත් රාජධානිය සඳහා පත්කර ඇති UNHCR නියෝජිත විකී ටෙනන්ට් බීබීසීය වෙත පැවසුවා ය.

මෙම නීතිය ගෙනඒමටත්, එහිදී පැමිණෙන ඕනෑම නෛතික අභියෝගයක් ජය ගැනීමටත් "සටන් කිරීම සඳහා [ඔහු] සූදානම්" බව අග්‍රාමාත්‍ය රිෂි සුනක් පවසා ඇත.

නමුත් මෙම සැලසුම් නිසාවෙන් "අවුල්සහගත තත්ත්වය තවත් නරක අතට හැරීමේ" අවදානමක් ඇතිබව එරට කම්කරු පක්ෂය පවසා තිබේ.

අඟහරුවාදා (මාර්තු 7), එක්සත් රාජධානි රජය එරට සරණාගතභාවය පතා නීතිවිරෝධී මාර්ගයකින් එහි පැමිණෙන ඕනෑම අයෙකු එරටට ඇතුළුවීම තහනම් කරන නව නීතියක් කෙටුම්පත් කළේ ය.

නීතිවිරෝධී ලෙස ඒරටට ඇතුළුවී හිඳ හසුවන තැනැත්තන්ට ද නැවත පැමිණීමට හෝ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගැනීමට අනාගතයේදී අවහිර කරනු ලැබේ.

මෙම පියවර, සෑම වසරකම ඉංග්‍රීසි ඕඩය හරහා එක්සත් රාජධානියට පැමිණෙන පුද්ගලයින් සංඛ්‍යාව ඉහළයෑම ආමන්ත්‍රණය කිරීමේ උත්සාහයේ කොටසකි. 2018 දී 300ක් වූ එය, 2022 දී 45 000කට වඩා වැඩිවිය.

Skip X post
X අන්තර්ගතයට අවසරදීමට ඔබ එකඟ ද?

මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.

අනතුරු ඇඟවීමයි: බීබීසී නොවන වාර්තාවල වෙළෙඳ දැන්වීම් අඩංගු විය හැකිය

End of X post

මෙම සැලසුම් සම්බන්ධයෙන් ඇගේ ප්‍රතිචාරය විමසූ විට, ටෙනන්ට් මෙසේ පැවසුවා ය: "අපි ඉතාම කණස්සල්ලට පත්ව සිටිනවා. මේක එක්සත් රාජධානියට සරණාගතභාවය පතා අක්‍රමවත් ලෙස පැමිණෙන පුද්ගලයින්ට ඇති ප්‍රවේශය ඵලදායී ලෙස අවහිර කිරීමක්.

"මේක සරණාගත සම්මුතිය පැහැදිලි ලෙස කඩ කිරීමක්බව අපි විශ්වාස කරනවා. ඒ වගේම, සරණාගතභාවය සඳහා ප්‍රබල හිමිකම් ඇති පුද්ගලයින්ට පවා එම අයිතීන් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබෙන බව මතක තබා ගන්න ඕන."

1951 දී ප්‍රථම වරට එකඟතාවක් ඇතිවූ සරණාගත සම්මුතිය යනු, සරණාගතයෙකු ලෙස හැඳින්විය යුත්තේ කවුරුන් ද යන්න පැහැදිලි කරන, සම්මුතියට අත්සන් තබන රාජ්‍යයන් ඔවුන් ආරක්ෂා කිරීමට බඳවන බහුපාර්ශ්වික ගිවිසුමකි.

එක්සත් රාජධානියට "දිගුකාලීන මානුෂීය සම්ප්‍රදායක්" ඇතිබවත්, සංක්‍රමණය සම්බන්ධ ගැටලු නිසි නියාමනයකින් හා වඩාත් හොඳ පරිපාලන පද්ධතියක් හරහා විසඳාගත හැකිබවත් ටෙනන්ට් පැවසුවා ය.

"සරණාගත ක්‍රමයක් ක්‍රියාත්මක කරවන්න," ඇය පැවසුවා ය. "සරණාගතභාවය සැකසීම සාධාරණව, කාර්යක්ෂමව, වේගවත්ව සිදුකරන්න.

"ජනතාවට සරණාගතබව සඳහා අයිතියක් නැතිනම් ඔවුන්ව ඔවුන්ගේම රටවලට යවන්න. ඔවුන්ට එවැනි අයිතියක් තිබේ නම්, එම ක්‍රියාවලිය ඒකාබද්ධ කරන්නට සහ වඩාත් ඉක්මනින් එම ක්‍රියාවලිය හරහා යාමට ඉඩ දෙන්න."

නිව්ස්නයිට් වෙත අදහස් දක්වමින් කොන්සර්වටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් ග්‍රැහැම් කියා සිටියේ, රජයේ ප්‍රතිපත්තිය "අධිෂ්ඨානයෙන්, දයාවෙන් සහ සමානුපාතිකත්වයෙන්" ක්‍රියාත්මක කරන්නේ ද යන්න මත පදනම්ව විනිශ්චය කළ යුතුබවකි.

"ඇත්ත වශයෙන්ම ස්ට්‍රාස්බර්ග්වල දී [යුරෝපීය මානව හිමිකම් පිළිබඳ අධිකරණය (ECHR) පිහිටා ඇත] අපේ සිදුවීමට අවධානය යොමුවෙලා තියෙනබවට සිත්ගන්නාසුළු ඉඟි පළවෙලා තිබෙනවා,"යි ද ඔහු පැවසුවත්, ඒ පිළිබඳ වැඩි තොරතුරු ලබා නොදුන්නේ ය.

මෙම නීතිමය සැලසුම ECHR සමග නොගැලපීමට "50%කට වඩා වැඩි අවස්ථාවක්" පවතිනබවත්, එය නීතිමය අභියෝගවලට ලක්වෙතැ යි අපේක්ෂා කරනබවත් එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් සුවෙලා බ්‍රේවර්මන් සියලුම කොන්සර්වටිව් මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී ඇත.

2px presentational grey line

නව නීතියෙන් සිදුවනු ඇත්තේ කුමක් ද?

  • එක්සත් රාජධානියෙන් පිටමං කෙරෙන පුද්ගලයින් නැවත එරට පැමිණීම හෝ අනාගතයේ දී බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලබාගැනීම අවහිර කරනු ලැබේ
  • සංක්‍රමණිකයින්ට, ඔවුන් රඳවා තබාගන්නා පළමු දින 28 තුළ දී ඇප ලැබීමට හෝ අධිකරණ සමාලෝචනයක් ලබාගැනීමට නොහැකි වනු ඇත
  • "ආරක්ෂිත සහ නීත්‍යානුකූල මාර්ග" හරහා එක්සත් රාජධානියට පැමිණෙන සරණාගතයින් එහි පදිංචි කරවීමට සීමාවක් පැනවෙනු ඇති - මෙම සීමාව පාර්ලිමේන්තුව විසින් වාර්ෂිකව සැකසෙයි
  • නීතිවිරෝධී ලෙස එක්සත් රාජධානියට පැමිණෙන අය රඳවා තබාගෙන, ඔවුන් රුවන්ඩාවට හෝ "ආරක්ෂිත" තෙවැනි රටකට පිටමං කිරීමට ස්වදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයාට රාජකාරියක් පැනවෙයි - මෙය, යමෙකුට සරණාගතභාවය ඉල්ලා සිටීමට ඇති අයිතිය මත නීතිමය ප්‍රමුඛතාවක් ලබයි
  • වයස අවුරුදු 18ට අඩු තැනැත්තන්, පියාසර කිරීමට වෛද්‍යමය වශයෙන් නුසුදුසු තැනැත්තන් හෝ, ඔවුන් පිටමං කරන රට තුළ දී බරපතල හානියට ලක්වීමේ අවදානමක් ඇති තැනැත්තන් පිටමං කිරීම ප්‍රමාද කිරීමට හැකිවනු ඇත
  • වෙනත් සරණාගත ඉල්ලීම්, ඔවුන් පිටමං කිරීමෙන් පසු දුරස්ථව විභාග කෙරෙනු ඇත
2px presentational grey line

අග්‍රාමාත්‍ය කාර්යාලයයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී අදහස් දක්වමින් සුනක් කියා සිටියේ, ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් රාජධානිය ECHR වෙතින් ඉවත්වීම අවශ්‍ය නොවෙතැ යි තමා විශ්වාස කරනබවත්, රජය "අපගේ ජාත්‍යන්තර බැඳීම් සපුරාලන" බවත් ය.

"මෙම පියවරවල දැඩිබව ගැන විවාදයක් ඇතිවනු ඇතිබව මට තේරෙනවා," ඔහු පැවසුවේ ය. "මට කියන්න පුළුවන් එකම දේ තමයි, අපි මේ දේ වෙනත් සියලු ආකාරවලින් උත්සාහ කර තිබුණට ඒවා සාර්ථක වුණේ නැහැ කියන එක.

"මගේ ප්‍රතිපත්තිය ඉතාම සරල යි: මේ රටට එන්නේ කවුද කියන එක තීරණය කළ යුත්තේ මේ රට සහ ඔබේ රජය මිස අපරාධ කල්ලි නෙවෙයි."

නීතිවිරෝධී මාර්ගවලින් එක්සත් රාජධානියට පැමිණීමට උත්සාහ කරන තැනැත්තන්ට මෙම ප්‍රතිපත්තිය "ඉක්මන්" බාධාවක් වනු ඇතැ යි තමා විශ්වාස කරන බව ඔහු පැවසීය.

කම්කරු පක්ෂයේ සේයා ස්වදේශ ලේකම් (shadow home secretary) ඉවෙට් කූපර්, ආණ්ඩුව "ඉංග්‍රීසි ඕඩය දිගට බලය අල්ලා ගැනීමට අපරාධ කල්ලිවලට ඉඩ දී ඇතැ"යි ද, මිනිස් ජාවාරම්කරුවන්ට දඬුවම්දීමට අපොහොසත්ව ඇතැ යි ද චෝදනා කළා ය.

"ආණ්ඩුව මේක බරපතල විදියට සලකනවා නම්, ඔවුන් ප්‍රංශය සහ යුරෝපය එක්ක ආපසු පැමිණීමේ ගිවිසුම් ද ඇතුළුව, පවුල් නැවත එක්වීම සහ නැවත පදිංචි කිරීම ප්‍රතිසංස්කරණය වැනි නිසි ලෙස පාලනය කළ, කළමනාකරණය කළ නීතිමය මාර්ග ඇතුළත් වෙන විදියට නිසි නව ගිවිසුමක් ඇතිකර ගන්න ජාත්‍යන්තරව කටයුතු කරනවා," ඇය පැවසුවා ය.

"මෙම පනත විසඳුමක් නෙවෙයි. ඒක අවුල්සහගත තත්ත්වය තවත් අවුලට පත්කරන අවදානමක්."