රාජකීය පවුල් ගස සහ අනුප්‍රාප්තික අනුපිළිවෙල
දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසු ඇගේ වැඩිමහල් පුත් චාල්ස් රජුබවට පත්විය.
ඔහු තෙවන චාල්ස් රජු ලෙස හැඳින්වෙනු ඇත - 1685න් පසු කිරීටය දැරූ පළමු චාල්ස් ඔහු ය. සැප්තැම්බර් 8 වන දා කාලක්‍රියා කළ රැජින, බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝතම කලක් රජකම් කළ රාජකීයයා විය.
රාජකීය පවුල සහ අනුප්‍රාප්තික අනුපිළිවෙල ගැන වැඩි විස්තර පහතින් දැනගන්න.


රැජින සහ එඩින්බරෝහි ආදිපාද ෆිලිප් කුමරු
වසර 70ක් රජකම් කළ රැජින එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් කිරුළ දැරූ රාජකීයයා විය. 2022 සැප්තැම්බර් 8 වන දින මියයන විට ඇය 96 වන වියේ පසුවූවා ය.
1926 දී උපත ලද එලිසබෙත් කුමරිය, 1952 දී ඇගේ පියා වූ හයවන ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසු රැජිනබවට පත්විය. 1947 දී ඇය එඩින්බරෝ ආදිපාදවරයා වන ෆිලිප් සමග විවාහවූ අතර, මෙම යුවළ චාල්ස්, ඈන්, ඇන්ඩෘ සහ එඩ්වඩ් නම් දරුවන් සිව්දෙනෙකු ලදහ.
ඩෙන්මාර්කයේ සහ ග්‍රීසියේ හිටපු කුමරෙකු වන ෆිලිප් 1921 දී උපත ලැබූ අතර, දෙවන ලෝක යුද්ධයේ දී රාජකීය නාවික හමුදාවේ සේවය කළේ ය. සියලු බ්‍රිතාන්‍ය රජුන් හා රැජිණියන්ගේ සහකරුවන් හා සහකාරියන් අතරින් දීර්ඝතම කලක් වල්ලභ කුමරු තනතුරේ සිටි තැනැත්තා ද ඔහු වන අතර, 2017 දී රාජකීය වගකීම්වලින් විශ්‍රාම ගත්තේ 22,000කට වැඩි ඒකපුද්ගල ක්‍රියාකාරකම් ප්‍රමාණයක් සම්පූර්ණ කරමිනි.
ඔහු 2021 අප්‍රේල් 9 වන දා මියගියේ ය.

තෙවන චාල්ස් රජු
උපත: 1948

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඔහුගේ මව මියගිය මොහොතේ සිට චාල්ස් රජුබවට පත්විය.
හිටපු වේල්ස් කුමරා 1981 ජූලි 29 වන දා ඩයනා ස්පෙන්සර් ආර්යාව සමග විවාහවූ අතර, ඇය වේල්ස් කුමරියබවට පත්විය. මෙම යුවළ විලියම් සහ හැරී නම් පුතුන් දෙදෙනෙකු ලදහ. පසුකලෙක ඔවුන් වෙන්වූ අතර ඔවුන්ගේ විවාහය 1996 දී අවලංගු කෙරිණි. 1997 අගෝස්තු 31 වන දා පැරිසියේ දී සිදුවූ රිය අනතුරකින් කුමරිය මියගියා ය.
ඔහු 2005 අප්‍රේල් 9 වන දා කැමිලා පාකර් බෝල්ස් සමග විවාහවූයේ ය. රැජින මියයාමට පෙර, ඇගේ පුතා රජවූ විට කෝන්වෝල්හි ආදිපාදවරිය වූ කැමිලා, 'රජ මෙහෙසිය' ලෙස හැඳින්වීමට අවශ්‍යබව ඇය පැවසුවා ය.
අනුප්‍රාප්තික අනුපිළිවෙල
1. විලියම් කුමරු, කෝන්වෝල් සහ කේම්බ්‍රිජ්හි ආදිපාද
උපත: 1982

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
විලියම් කුමරු වත්මන් තෙවන චාල්ස් රජුගේ සහ වේල්ස් කුමරිය වන ඩයනාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර දැනට සිංහාසනය සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙලේ පළමු ස්ථානයේ පසුවෙයි.
මව මියයන විට ආදිපාදවරයා 15-හැවිරිදි වියේ පසුවිය. ඔහු ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම ලැබූ අතර, ඔහුගේ අනාගත බිරිඳ කේට් මිඩ්ල්ටන් ඔහුට හමුවූයේ එහිදී ය. මෙම යුවළ 2011 දී විවාහවිය.
ඔහුගේ 21 වන උපන්දිනයේ දී ඔහු රාජ්‍ය උපදේශකයෙකු ලෙස පත්කරනු ලැබුණි - නිල අවස්ථාවන්හි දී රැජින වෙනුවෙන් පෙනී සිටීමට මින් ඔහුට බලතල හිමිවිය. 2013 ජූලි මාසයේ දී ඔහුට සහ බිරිඳට ඔවුන්ගේ පළමු දරුවා වූ ජෝර්ජ් ලැබුණි. ඔවුන්ගේ දෙවැන්නිය වූ චාලට් 2015 දී ද, තෙවැන්නා වූ ලුවී 2018 දී ද බිහිවිය.
යුධ හමුදාවේ, රාජකීය නාවික හමුදාවේ, සහ රාජකීය ගුවන් හමුදාවේ පුහුණුව ලැබූ විලියම් කුමරු, අනතුරුව උතුරු වේල්සයේ ඇන්ගල්සීහි පිහිටි රාජකීය ගුවන් හමුදා නිම්නයේ ගුවන් හමුදා සෙවීම් සහ ගලවාගැනීම් ගුවන් නියමුවෙකු ලෙස තෙවසරක් සේවය කළේ ය. ඔහු තම රාජකීය රාජකාරීන්ට අමතරව, නැගෙනහිර ඇන්ග්ලියානු ගුවන් ගිලන්රථ සේවය සඳහා සහාය නියමුවෙකු ලෙස වසර දෙකක් අර්ධකාලීනව සේවය කළේ ය. රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා වෙනුවෙන් රාජකීය රාජකාරි වැඩි ප්‍රමාණයක් භාරගැනීම සඳහා 2017 ජූලි මාසයේ දී ඔහු එයින් ඉවත්විය.
සිංහාසනයේ උරුමක්කාරයා ලෙස ඔහුගේ ප්‍රධාන රාජකාරියවන්නේ රජුගේ රාජකීය වගකීම්වලට සහායවීම යි.
2. කෝන්වෝල් සහ කේම්බ්‍රිජ්හි ජෝර්ජ් කුමරු
උපත: 2013

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෝන්වෝල් සහ කේම්බ්‍රිජ්හි ජෝර්ජ් කුමරු 2013 ජූලි 22 වන දා ලන්ඩනයේ ශාන්ත මරියා රෝහලේ දී උපත ලැබීය. විලියම් කුමරු, බර කිලෝග්‍රෑම් 3.8ක් වූ ඔහුගේ පුත්‍රයාගේ උපත සඳහා සහභාගීව සිටියේ ය.
ජෝර්ජ් කුමරු ඔහුගේ පියාට පසු සිංහාසනයට උරුමකම් කියයි. ඔහු අනුප්‍රාප්තික අනුපිළිවෙලේ දෙවැනියා ය.
3. කෝන්වෝල් සහ කේම්බ්‍රිජ්හි චාලට් කුමරිය
උපත: 2015

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෝන්වෝල් සහ කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය 2015 මැයි 2 වන දා නැවතත් ශාන්ත මරියා රෝහලේ දී ඇගේ දෙවැනි දරුවා ලෙස දැරියක බිහිකළා ය. ආදිපාදවරයා කිලෝග්‍රෑම් 3.7ක් බරැති දරුවාගේ උපත සඳහා පැමිණ සිටියේ ය. ඔහු සහ ආදිපාදවරිය දැරියට චාලට් එලිසබෙත් ඩයනා යන නම තැබූහ.
ඇය සිංහාසනය සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙලේ තෙවැන්නා වන අතර, ඇගේ පියාට සහ වැඩිමහල් සොහොයුරාට පසුව සිටියි. ඇය කෝන්වෝල් සහ කේම්බ්‍රිජ්හි රාජකීය චාලට් කුමරිය ලෙස හැඳින්වේ.
4. කෝන්වෝල් සහ කේම්බ්‍රිජ්හි ලුවී කුමරු
උපත: 2018

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
කෝන්වෝල් සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය 2018 අප්‍රේල් 23 වන දා ලන්ඩනයේ ශාන්ත මරියා රෝහලේ දී රාත්තල් 8 අවුන්ස 7ක් බරැති දරුවෙකු වන ඇගේ තෙවන පුත්‍රයා බිහිකළා ය.
සිංහාසනය සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙලේ සිව්වන ස්ථානයේ පසුවන ලුවී ආතර් චාල්ස්ගේ උපත සඳහා ආදිපාදවරයා පැමිණ සිටියේ ය.
5. හැරී කුමරු, සසෙක්ස්හි ආදිපාද
උපත: 1984

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
හැරී කුමරු සැන්ඩ්හර්ස්ට් රාජකීය හමුදා ඇකඩමියේ පුහුණුව ලැබූවකු වන අතර, හෙලිකොප්ටර නියමුවෙකු ලෙස සේවය කරමින් හමුදාවේ ලුතිනන්වරයෙකුබවට පත්විය.
සන්නද්ධ හමුදාවේ ගතකළ වසර 10 තුළ කැප්ටන් වේල්ස් ලෙස ප්‍රසිද්ධියට පත්වූ ඔහු, 2012 සිට 2013 දක්වා අපාචේ හෙලිකොප්ටරයක සහායක නියමුවෙකු සහ තුවක්කුකරුවෙකු ලෙස දෙවරක් ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාකාරී සේවයේ යෙදුනේ ය. 2015 දී ඔහු හමුදාවෙන් ඉවත්වූ අතර දැන් අප්‍රිකාවේ සංරක්ෂණ කටයුතු ද, තුවාල ලැබූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා 'ඉන්වික්සස් ගේම්ස්' සංවිධානය කිරීම ද ඇතුළු පුණ්‍ය කටයුතු කෙරෙහි අවධානය යොමුකරයි.
ඔහු සිය 21 වැනි උපන්දිනයේ සිට රාජ්‍ය උපදේශකයෙකු ලෙස කටයුතුකර ඇති අතර, නිල රාජකාරි සඳහා රැජින වෙනුවෙන් පෙනී සිටියේ ය.
හැරී කුමරු 2018 මැයි 19 වන දා වින්ඩ්සර් මාළිගාවේ දී එක්සත් ජනපද නිළි මේගන් මාක්ල් සමග විවාහවිය. 2020 ජනවාරි මාසයේ දී රාජකීය යුවළ කියා සිටියේ, ඔවුන් "ජ්‍යෙෂ්ඨ" රාජකීයයන් ලෙස තම තනතුරුවලින් ඉවත්ව, එක්සත් රාජධානිය සහ උතුරු ඇමරිකාව අතර සිය කාලය බෙදාගන්නාබව යි. "මූල්‍යමය වශයෙන් ස්වාධීනවීම සඳහා වැඩ කිරීමට" තමන් අදහස් කරනබව ඔවුන් පැවසීය.
ඉන් වසරකට පසුව, මෙම යුවළ නැවත රාජකීය රාජකාරිවලට නොපැමිණෙන අතර, ඔවුන්ගේ ගෞරවනීය හමුදා පත්වීම් සහ රාජකීය අනුග්‍රහය ද අත්හරිනබවට බකිංහැම් මාළිගය තහවුරු කළේ ය.
6. ආචි හැරිසන් මවුන්ට්බැටන්-වින්ඩ්සර්
උපත: 2019

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සසෙක්ස් ආදිපාද යුවළගේ පළමු දරුවා වන ආචි හැරිසන් මවුන්ට්බැටන්-වින්ඩ්සර් 2019 මැයි 6 වන දා රාත්තල් 7 අවුන්ස 3ක බරින් යුතුව උපත ලැබීය. ඔහුගේ උපත සඳහා ආදිපාදවරයා පැමිණ සිටියේ ය. ඔහු මෙසේ නම් කිරීම මඟින්, තම පළමු දරුවා සඳහා රාජකීය පදවි නාමය භාවිතා නොකිරීමට යුවල තීරණය කළහ.
දරුවාගේ නම ප්‍රසිද්ධියට පත්කළ විට BBC රාජකීය වාර්තාකරු ජොනී ඩයිමන්ඩ් පැවසුවේ, මෙම තීරණය දරුවා චාරිත්‍රානුකූල රාජකීයයෙකු ලෙස ඇතිදැඩි කිරීමට යුවළට අවශ්‍ය නොවනබවට වන ප්‍රබල ඇඟවීමක්බව යි.
7. ලිලිබට් ඩයනා මවුන්ට්බැටන්-වින්ඩ්සර්
උපත: 2021
2021 ජූනි 4 වන දා කැලිෆෝනියාවේ සැන්ටා බාබරාහි දී සසෙක්ස්හි ආදිපාදවරිය ඇගේ දෙවන දරුවා බිහිකළා ය. 'ලිලී' ලෙස හැඳින්වෙන ලිලිබට් ඩයනා මවුන්ට්බැටන්-වින්ඩ්සර් රැජිණගේ 11 වැනි මී මුණුබුරා වේ. 'ලිලී' යන රාජකීය පවුල රැජින ඇමතීමට භාවිතා කරනා සුරතල් නාමයෙන් ඇයව නම්කර ඇත.
1997 දී, හැරී කුමරු 12-හැවිරිදි වියේ පසුවන විට රිය අනතුරකින් මියගිය ඔහුගේ මවට ගෞරවයක් ලෙස ඇයට 'ඩයනා' යන මැද නම ලබාදෙන ලදී.
8. යෝක්හි ආදිපාද
උපත: 1960

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිංහාසනය සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙලේ අටවැනියා වන ඇන්ඩෘ කුමරු රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ තෙවන දරුවා විය - නමුත් වසර 103ක් තුළ දී, සිහසුන දරමින් සිටි රජෙකු හෝ රැජිණක ලද පළමු දරුවා ද ඔහු වෙයි.
1986 දී, සාරා ෆර්ගියුසන් සමග විවාහවීමෙන් ඔහු යෝර්ක්හි ආදිපාදවරයා ලෙස නම්කරනු ලැබූ අතර ෆර්ගියුසන් යෝර්ක්හි ආදිපාදවරියබවට පත්විය. ඔවුහු දියණියන් දෙදෙනෙකු - බියට්‍රිස්, 1988 දී සහ ඉයුජීනි, 1990 දී - ලදහ. ආදිපාදවරයා සහ ආදිපාදවරිය නීත්‍යානුකූලව වෙන්වීමට සැරසෙනබව 1992 මාර්තු මාසයේ දී ප්‍රකාශයට පත්කෙරිණි. 1996 දී ඔවුන් දික්කසාද විය.
ආදිපාදවරයා වසර 22ක් රාජකීය නාවික හමුදාවේ සේවය කළ අතර, 1982 දී ෆෝක්ලන්ඩ් යුද්ධයේ දී ක්‍රියාකාරී සේවයේ යෙදුනි. රාජකීය කටයුතුවලට අමතරව, ඔහු 2011 දක්වා රජය සඳහා විශේෂ වෙළඳ නියෝජිතයෙකු ලෙස ද සේවය කළේ ය.
ලිංගික ජාවාරම් සහ කුමන්ත්‍රණ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් බලාපොරොත්තුවෙන් සිටියදී සියදිවි නසාගත් එක්සත් ජනපද මූල්‍යකරුවෙකු වන ජෙෆ්රි එප්ස්ටයින් සමග වූ ඔහුගේ සබඳකම් පිළිබඳව BBCය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකින් පසු ඇන්ඩෘ කුමරු 2019 දී රාජකීය රාජකාරිවලින් ඉවත්විය.
පෙබරවාරියේ දී, එප්ස්ටයින්ගේ වින්දිතයෙකු විසින් එක්සත් ජනපදයේ දී ඔහුට එරෙහිව ගොනුකරන ලද සිවිල් ලිංගික අතවර නඩුවක් සමථයකට පත්කිරීම සඳහා, හෙළි නොකළ මුදලක් ගෙවීමට ඔහු එකඟවිය. නමුත් ඔහු එහි වගකීම පිළිනොගත් අතර අදාළ චෝදනා නැවත නැවතත් ප්‍රතික්ෂේප කළේ ය.
9. බියට්‍රිස් කුමරිය
උපත: 1988

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
බියට්‍රිස් කුමරිය, ඇන්ඩෘ කුමරුගේ සහ යෝර්ක්හි ආදිපාදවරිය වන සාරාගේ වැඩිමහල් දියණිය යි. ඇගේ සම්පූර්ණ පදවි නාමය වන්නේ යෝර්ක්හි රාජකීය බියට්‍රිස් කුමරිය යි. ඇයට නිල වාසගමක් නැති නමුත් 'යෝර්ක්' යන නාමය භාවිතා කරයි.
2020 ජූලි මාසයේ දී ඇය මහා පරිමාණ දේපොළ අධිපතියෙකු වන එඩුවාඩෝ මපෙල්ලි මොස්සි සමග වින්ඩ්සර් මාළිගාවේ රෝයල් ලොජ්හි පිහිටි සියලු සාන්තුවරුන්ගේ රාජකීය දේවස්ථානයේ දී විවාහවූවා ය. මෙම යුවළ මැයි මාසයේ දී විවාහවීමට නියමිතව තිබූ නමුත් කොරෝනාවෛරසය ඔවුන්ගේ සැලසුම් ප්‍රමාද කළේ ය.
10.සියෙනා එළිසබෙත් මපෙල්ලි මොස්සි
උපත: 2021
2021 සැප්තැම්බර් මාසයේ දී බියට්‍රිස් කුමරියට සියෙනා එලිසබෙත් නම් දැරියක ලැබුණි. සිංහාසනය සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙලේ 10 වැනි ස්ථානයේ පසුවන ඇය රැජිනගේ 12 වැනි මී මුණුබුරා ද වේ. බියට්‍රිස් කුමරිය, මපෙල්ලි මොස්සි ඩාරා හුවාං සමග පෙර පැවැති සබඳතාවයෙන් ලද ක්‍රිස්ටෝපර් වුල්ෆ්ගේ ('වුල්ෆි' ලෙස හැඳින්වෙන) සුළුමව ද වේ.
11. ඉයුජිනී කුමරිය
උපත: 1990

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඉයුජිනි කුමරිය ඇන්ඩෘ කුමරුගේ සහ යෝර්ක්හි ආදිපාදවරිය වන සාරාගේ බාල දියණිය යි. ඇයගේ සම්පූර්ණ පදවි නාමය යෝර්ක්හි රාජකීය ඉයුජීනි කුමරිය වන අතර ඇය සිංහාසනය සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙලේ 11 වැනි ස්ථානයේ පසුවෙයි.
ඇගේ සොහොයුරිය වන බියට්‍රිස් කුමරිය මෙන්ම ඇයට ද නිල වාසගමක් නැතත්, 'යෝර්ක්' යන නාමය භාවිතා කරයි. ඇය 2018 ඔක්තෝබර් 12 වන දා වින්ඩ්සර් මාළිගයේ දී ඇගේ දිගුකාලීන පෙම්වතා වන ජැක් බෲක්ස්බෑන්ක් සමග විවාහවූවා ය.
12. ඔගස්ට් ෆිලිප් හෝක් බෲක්ස්බෑන්ක්
Born: 2021

ඡායාරූප මූලාශ්‍රය, PRINCESS EUGENIE
ඉයුජීනි කුමරිය සහ ජැක් බෲක්ස්බෑන්ක්ගේ පුත්‍ර ඔගස්ට්, 2021 පෙබරවාරි 9 වන දා, රැජිනගේ නවවැනි මී මුණුපුරා ලෙස උපත ලැබීය.
13.වෙසෙක්ස්හි අර්ල්වරයා
උපත: 1964

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
1999 දී සොෆී රයිස්-ජෝන්ස් සමග විවාහවූ විට එඩ්වර්ඩ් කුමරුට වෙසෙක්ස්හි අර්ල් සහ සෙවර්න්හි වයිකවුන්ට් යන පදවි නාමයන් හිමිවිය. 2003 දී මෙම යුවළට ලුයීස් ආර්යාව උපත ලද අතර, 2007 දී ඔවුන් ජේම්ස්, සෙවර්න්හි වයිකවුන්ට් යන නම් ලද දරුවා ලැබීය.
රාජකීය මැරීන් බලකායේ කෙටි කලක් සේවය කිරීමෙන් පසු, කුමාරයා ඔහුගේම රූපවාහිනී නිෂ්පාදන සමාගමක් පිහිටුවා ගත්තේ ය. ඔහු දැන් රැජිනගේ නිල රාජකාරි සඳහා සහායවන අතර පුණ්‍යායතන සඳහා මහජන සම්බන්ධිකරණ කටයුතු සිදුකරයි. ඔහු සිංහාසනය සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙලේ 13 වැනියා ය.
14. ජේම්ස්, සෙවර්න්හි වයිකවුන්ට්
උපත: 2007

ඡායාරූප මූලාශ්‍රය, PA
වයිකවුන්ට් සෙවර්න් යනු වෙසෙක්ස්හි අර්ල්වරයාගේ සහ සිටුවරියගේ බාල දරුවා ය. මෙම යුවළ තම දරුවන් කුමාරා හෝ කුමරිය ලෙස හඳුන්වනවා වෙනුවට අර්ල්වරයෙකුගේ පුතුන් හෝ දියණියන් ලෙස "අනුග්‍රාහක" පදවි නාමයන් ලබාදීමට තීරණය කළහ. මෙම තීරණය ගෙන ඇත්තේ රාජකීය තනතුරුවල බරින් මිදීමටබව සැලකේ.
15. ලුයීස් ආර්යාව
උපත: 2003

ඡායාරූප මූලාශ්‍රය, PA Media
2003 දී උපත ලද ලුයීස් වින්ඩ්සර් ආර්යාව වෙසෙක්ස්හි අර්ල්වරයාගේ සහ සිටුවරියගේ වැඩිමල් දරුවා ය. කෙසේ වෙතත්, ඇය අනුප්‍රාප්තික අනුපිළිවෙලේ දී තම බාල සොහොයුරාට වඩා පහළින් සිටින්නේ, බාල පුතෙකුට වැඩිමහල් දියණියක් පසුකර අනුප්‍රාප්තිය ලබාගත හැකි ක්‍රමය ඉවත්කරමින් නීතියක් බලාත්මකවීමට පෙර ඇය උපත ලද බැවිනි.
16. රාජකීය කුමරිය
උපත: 1950

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඈන් රාජකීය කුමරිය, රැජිනගේ දෙවන දරුවා සහ එකම දියණිය යි. ඇය, උපතේ දී සිංහාසනය සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙලේ තෙවැන්නිය වූ නමුත් දැන් මේ වන විට 16 වැනි ස්ථානයේ සිටියි. ඇයට 'රාජකීය කුමරිය' යන පදවි නාමය ලැබුණේ 1987 ජුනි මාසයේ දී ය.
ඈන් කුමරිය දෙවරක් විවාහ වී ඇත; ඇගේ පළමු සැමියා වන කපිතාන් මාර්ක් ෆිලිප්ස් ඇගේ දරුවන් දෙදෙනා වන පීටර් සහ සාරාගේ පියා වන අතර, ඇගේ දෙවැනි සැමියා වූයේ වයිස් අද්මිරාල් ටිමති ලෝරන්ස් ය.
මවුන්ට්බැටන්-වින්ඩ්සර් යන වාසගම නිල ලේඛනයක දී භාවිතා කළ පළමු රාජකීයයා ද ඈන් කුමරිය යි. කුමරිය කැප්ටන් ෆිලිප්ස් සමග විවාහවීමේ දී විවාහ ලේඛනයට එම නම භාවිතා කළා ය. ඇය 1976 මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලේ දී මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් අශ්වාරෝහක ඉසව් සඳහා තරග කළ අතර, 1970 සිට ඇය සභාපතිව සිටින සේව් ද චිල්ඩ්රන් ඇතුළු පුණ්‍යායතන ගණනාවකට සම්බන්ධවී සිටියි.
17. පීටර් ෆිලිප්ස්
උපත: 1977

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පීටර් ෆිලිප්ස් රැජිනගේ මුණුබුරන් අතරින් වැඩිමලා ය. ඔහු 2008 දී කැනේඩියානු ජාතික ඕටම් කෙලී සමග විවාහවූ අතර, ඔවුන්ට 2010 දී සවෑනා සහ 2012 දී අයිලා දියණියන් ලැබුණි.
රාජකීය කුමරියගේ දරුවන්ට රාජකීය තනතුරු නොමැත, මන්ද ඔවුන් කාන්තා පරම්පරාවෙන් පැවත එනබැවිනි. මාර්ක් ෆිලිප්ස් විවාහවූ විට අර්ල්වරයක් ප්‍රදානය කෙරුණු නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළෙන් ඔහුගේ දරුවන්ට අනුග්‍රාහක පදවි නාමයන් හිමිනොවීය.
පීටර් ෆිලිප්ස් සහ ඔහුගේ බිරිඳ 2020 පෙබරවාරි මාසයේ දී දික්කසාද වනබව නිවේදනය කළහ.
18. සවෑනා ෆිලිප්ස්
උපත: 2010

ඡායාරූප මූලාශ්‍රය, PA Media
2010 දී උපත ලද සවෑනා, පීටර් සහ ඔටම් ෆිලිප්ස්ගේ වැඩිමහල් දියණිය වන අතර රැජිනගේ පළමු මී මුණුබුරා ද විය.
19. අයිලා ෆිලිප්ස්
උපත: 2012

ඡායාරූප මූලාශ්‍රය, PA Media
2012 වසරේ දී උපත ලද අයිලා පීටර් සහ ඔටම් ෆිලිප්ස්ගේ බාල දියණිය යි.
20. සාරා ටින්ඩල්
උපත: 1981

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
සිය මව සහ පියා අනුගමනය කරමින් ඉතා සාර්ථක අශ්වාරෝහක තත්ත්වයක් අත්කරගත් සාරා ටින්ඩල් 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී රිදී පදක්කමක් ද දිනාගත්තා ය. 2011 දී ඇය එංගලන්තයේ හිටපු රග්බි ක්‍රීඩක මයික් ටින්ඩල් සමග විවාහවූ අතර මෙම යුවළගේ පළමු දරුවා වන මියා ග්‍රේස් 2014 දී උපත ලැබීය.
රාජකීය කුමරියගේ දරුවන් කාන්තා පරපුරෙන් පැවත එන බැවින් ඔවුන්ට රාජකීය පදවි නාමයක් හිමිනොවේ. නමුත් ඇය සිංහාසනය සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙලේ 20 වැනි ස්ථානයේ සිටියි. ඔවුන්ගේ පියා වන මාර්ක් ෆිලිප්ස් ඈන් කුමරිය සමග විවාහවූ විට අර්ල්වරයක් ප්‍රදානය කෙරුණු නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළෙන් ඔවුන්ට අනුග්‍රාහක පදවි නාමයන් හිමිනොවීය.
21. මියා ග්‍රේස් ටින්ඩල්
උපත: 2014

ඡායාරූප මූලාශ්‍රය, Getty Images
රැජිනගේ මිණිබිරිය වන සාරා ටින්ඩල් 2014 ජනවාරි මාසයේ දී ඇගේ පළමු දරුවා වන මියා ග්‍රේස් බිහිකළා ය.
22. ලීනා එලිසබෙත් ටින්ඩල්
උපත: 2018

ඡායාරූප මූලාශ්‍රය, PA Media
යුවළගේ දෙවන දරුවා 2018 ජුනි 18 වන දින ග්ලොස්ටෂයහි ස්ට්‍රෞඩ් මාතෘ ඒකකයේ දී රාත්තල් 9 යි අවුන්ස 3ක බරක් සහිතව උපත ලැබීය.
ලීනා ඇගේ මී මිත්තණිය වූ එලිසබෙත්ට ගෞරවයක් ලෙස එනමින් නම්කෙරිණි.
ඇගේ සහෝදරියට මෙන් ලීනා එලිසබෙත්ට ද රාජකීය පදවි නාමයක් නොමැති අතර, ඇය ටින්ඩල් මෙනවිය ලෙස ද හැඳින්වේ.
23. ලූකස් ෆිලිප් ටින්ඩල්
උපත: 2021
සාරා සහ මයික් ටින්ඩල්ගේ තෙවන දරුවා ද, රැජිනගේ 10 වැනි මී මුණුපුරා ද වන පුත්‍රයා 2021 මාර්තු 21 දා රාත්තල් 8 අවුන්ස 4ක් බරින් යුතුව උපත ලැබීය.








